1971 සිට, සීමිත කාල වකවානු කිහිපයක හිස්තැන් කිහිපයක් හැරුණුකොට, පොදුවේ ගත් කල ලංකාව පාලනය කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. පසු ගිය අවුරුදු හයක කාලය තුළ නොකඩවා එය බලපැවැත්වීය.
යුද්ධයේ අවසාන කාලයේ සිදු වී යැයි කියන මානව හිමිකම් සහ වෙනත් යුද අපරාධ පිළිබඳ සොයාබලා තමාට උපදෙස් දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කමිටුවක් පත්කළ අවස්ථාවේ විමල් වීරවංශ ‛මැරෙන තෙක්’ උපවාස කෙළේය. එදා, අපේ විදේශ ප්‍රතිපත්තිය වුණේ, ‛ලෝකේ එවුංට අපේ දේවල් බලන්න අයිතියකුත් නැහැ, ලෝකේ ඉන්න එවුංට ඕනේ විදිහට අපි වැඩ කරන්නෙත් නැහැ’ යන සටන් පාඨය යි. දැන්, මේ විෂය අරභයා විමල් වීරවංශගේ මුණුමුණුවක්වත් ඇසෙන්ට නැත. උපවාසයකින් මළගිය පසු කෙනෙකුට මුණුමුණු ගාන්නට තියා හුස්ම ගන්නටවත් පුළුවන්කමක් නැත. එහෙත්, විමල් වීරවංශගේ ගැලරි දේශපාලනය වෙනුවට, බාධක දිවීමේ රිලේ පොල්ල පසුව අතට ගත්තෝ ‛විදග්ධයෝ’ ය. ලංකාවේ හිටපු නීතිපතිවරයා යැයි කතාවට කීවත්, අපේ ජනාධිපතිවරයාගේ නින්දගම් නීතිපතිවරයා වූ මොහාන් පීරිස් ඒ අතරින් ප්‍රමුඛයෙකි. ඔහු ලෝකය පුරා කරක්ගසමින්, හතර අතේ පිංසෙන්ඩු වුණේය. ඔහුගේ ප්‍රතිපත්තිය වුණේ, ‛වීරවංශ මොනවා කීවත්, අපේ දේවල් බලන්න තමුන්නාන්සේලාටත් අයිතියක් තියෙන බව ඇත්ත. ඒත්, ඊට කලින් ඒ දේවල් ගැන සොයා බලන්න අපිට අවසර දෙන්න. මේ සැරේ නම්, හරියටම අපි ඒ ගැන සොයා බලනවා’ යන ප්‍රතිපත්තිය යි. මේ ගරු සේවය සඳහා දැන් ඔහුව කැබිනට් මණ්ඩලයේ නීති උපදේශකයා වශයෙන් පත්කොට තිබේ. මීට කලින්, හිටපු අගවිනිසුරුවරයා විශ්‍රාම ගිය පසු ජනාධිපතිවරයාගේ නීති උපදේශක වශයෙන් පත්කළ බව පාඨකයාට මතක ඇති. අධිකරණයේ ඕනෑම කෙනෙකුට, අවශ්‍ය වෙතොත් ගැනීම සඳහා, දැන් පූර්වාදර්ශ දෙකක් තිබේ. ‛හොඳට හිටියොත්, පෙන්ෂන් ගියත්, වැඩ.’
අපේ දේශපාලන ලෝකය මොන තරම් නරා වළක් වී ඇත් ද යත්, කිසි දේශපාලන කාරණයක් පිළිබඳව වියුක්තව කතා කිරීමේ කිසි ඉඩක් අද ඉතිරිව නැත. එනම්, එක කාරණයක් වෙනම ගෙන කතා කළ නොහැක. නරා වළේ දුර්ගන්ධය දසත විසිරී ඇති හෙයිනි. හදිසි නීතිය ඉවත් කිරීමේ තදියම ගැන ලිවීම සඳහා, වීරවංශගේ උපවාසය සහ මොහාන් පීරිස්ගේ භූමිකාවත් සාකච්ඡාවට එන්නේ එබැවිනි.
හදිසි නීතිය කා සඳහා ද? මහජන ආරක්ෂක පනතක් වශයෙන් මෙය හැඳින්වීම, මහජනයාව ගොනාට ඇන්දවීමකි. 1971 සිට හදිසි නීතිය පවත්වාගෙන ඇත්තේ, මහජනයාගේ ආරක්ෂාවට වඩා, පාලකයාගේ ආරක්ෂාව සඳහා බව පැහැදිළි යි. පාලකයාගේ ආරක්ෂාව අභියෝගයට ලක් කෙරෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තිබේ. එකක් වන්නේ, පැහැදිළිවම, රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩ ව්‍යාපාරයන් ය. ජනතා විමුක්ති පෙරමුණ 1971 දී සහ 1987/89 කාලයේදීත්, එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරය 1983-2009 දක්වාත් මේ ඝනයට වැටුණි. අද ඒ දෙකම, රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩ බලවේග වශයෙන් කිසිවෙකු සලකන්නේ නැත. එහෙත්, පාලකයාගේ ආරක්ෂාව තර්ජනයට ලක්කෙරෙන වඩාත් බියකරු බලයක් ඉතිරිව තිබේ. ඒ මහජන බලය යි. මෙම බලය තවම නියත වශයෙන් බෙලහීනකොට නැත. නිදහස් වෙළඳ කලාපයේදී ඒ බව පාලකයා අත්දැක්කේය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, ‛ග්‍රීස් යකුන්’ නිසා නීතිය අතට ගත් ප්‍රජාවන් සහ කොළඹින් නිවාස අහිමිකොට පලවා හැරෙන දිලින්දන් ආදී පුපුරා යාමේ සමාජ විභවයන් තවම පවතී. මේ නිසා හදිසි නීතිය තව දුරටත් අවශ්‍ය කෙරේ.
රටේ තත්ත්වය එසේ තිබිය දී, බෑන් කී මූන් ගේ අවතාරයත් නැවත හොල්මන් කිරීමට පටන්ගත්තේය. ඒ, ලබන 12 වැනි දා ජිනීවා නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය යි. මේ සැසි වාරයේ දී ඇමරිකාව හෝ වෙනත් රටක්, ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පැනනැගී ඇති කාරණය මතු කිරීමට සැරසෙයි. මේ අතර, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් 12 වැනි දා ලංකාවට එයි. ඉතිං, අපේ විදේශ ඇමති ජි.එල්. පීරිස් 11 වැනිදා ජිනීවා නුවරට ගොස්, මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට පසුව දා සහභාගී විමට නියමිත විදේශීය නියෝජිතයන්ට රෑ කෑමක් දී ඔවුන්ගේ සිත දිනා ගැනීමට හැම විරියක්ම දැරීමෙන් අනතුරුව, ඇමරිකානු සහකාර ලේකම්වරයා හමු වීමටම හැරෙන තැපෑලෙන්ම ඊට පසුව දා කොළඹට එයි.
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවේ යුද අපරාධ පිළිබඳ චෝදනාව එක දිගටම ඉස්මත්තට ගෙන එද්දී, අඩු වශයෙන්, එක දෙයක් අපේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය. ඒ, යුද්ධයෙන් පසු, උතුරු/නැගෙනහිර දෙමළ ජනතාව නැවත පදිංචි කරවීම සහ ඔවුන් වෙනුවෙන් හදිසි මානුෂීය ප්‍රතිපාදන සැලසීමත්, ඒ ආශ්‍රයෙන් පැනනැගී ඇති රටේ ජාතික ප්‍රශ්නයට අදාළ දේශපාලන සාකච්ඡා දෙමළ ජාතික නියෝජිතයන් සමග සද්භාවයෙන් පවත්වා ගැනීමත්, ඊට ප්‍රාරම්භක පියවරක් වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය වෙත ආපසු අපේ පාලක පංතිය සීග්‍රයෙන් තල්ලු කැරැවීමත් ය. අඩුම දේශපාලනික වියදමකින්, මේ මොහොතේ ක්‍රියාවට නංවන බව ලෝකයාට පෙන්විය හැක්කේ, මේ අවසානයට කී කාරණයට අදාළ සීනිබෝල අවශ්‍යතාවන් ය. හදිසි නීතිය ඉවත් කිරීම යනු එවැන්නකි.
හදිසි නීතිය දිග් කෙරෙන්නේ මසක් පාසා ය. එය අවසන් කිරීමට අගෝස්තු 31 යොදාගත්තේ ඇයි? ඒ වෙනුවට, තවත් මසක් ගත වී, සැප්තැම්බර් 30 වැනි දා එය අහෝසි කිරීමට නොතිබුණි ද? එසේ කළ නොහැක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අපේ ‛රිපෝට්’ එක ඉදිරිපත් කළ යුතු ය. ඒ ‛විභාගය’ පැවැත්වෙන්නේ, සැප්තැම්බර් 12 වැනි දා ය. මේ නිසා, ඒ දිනයට කලින් මාසයේ අවසාන දිනයේ දී, එනම් අගෝස්තු 31 වැනි දා එය කළ යුතුව තිබුණි.
දැන් මෙහි අනිත් පැත්ත සමග අප මෙය සසඳා බලමු. ජනාධිපතිවරයා පවසන පරිදි හදිසි නීතිය ඉවත් කරන්නේ, ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් භූක්ති වීඳීම සඳහා අවස්ථාව සැලසීමට නම් එසේ සැලසෙන සහනය සැප්තැම්බර් 1 වැනි දා සිට ජනතාවට දැනෙන්නට තිබිය යුතුයි. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය ජේ.ආර්.ජයවර්ධන අහෝසි කළ දාට පසුව දා, එම නීතිය යටතේ සිරගතව සිටි රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවෝ ගෙදර ආහ. දැන්, හදිසි නීතිය ඉවත් කිරීමත් සමග, 5000 ක් පමණ වන දෙමළ සිරකරුවන් ගෙදර යා යුතු ය. දෙමළ පුනරුත්ථාපන සංවිධානය අහෝසි විය යුතු ය. අධි ආරක්ෂිත කලාප ගලවා දැමිය යුතු ය. හමුදා මුරපොලවල් ඉවත් කළ යුතු ය. පොලීසියේ ඉහළ නිලධාරියෙකුට සැකකරුවෙකු දෙන කටඋත්තරයක් උසාවියේ දී එම පුද්ගලයාට එරෙහි සාක්ෂියක් වශයෙන් භාරනොගත යුතු ය. වැඩ වර්ජන වැලැක්වීම සඳහා ඕනෑම අංශයක් අත්‍යාවශ්‍ය සේවා වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල අහෝසි විය යුතුය.
ඒ කිසිවක් සිදු වුණේ නැත. ඒ වෙනුවට, හදිසි නීතිය යටතේ මෙතෙක් පැවති ඉහත කී මර්දනකාරී බලතල, එදා සිටම, ‛ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ නැවතත් අත්පත් කරගත් බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කෙළේය. හදිසි නීතිය ඉවත් කිරීමේ මායාව, ඒ තරමට රැවටිලිකාරීය.
දැන් මේ මායාව පවා, පාරදෘෂ්‍ය භාවයකින් යුතුව, ක්‍රමවත්ව කිරීමට තරම් ආණ්ඩුවට දැක්මක් තිබුණේ ද නැත. ‛ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත’ යටතේ මේ බලතල තමන් නැවත අත්පත්කර ගන්නා බව වාචිකව ප්‍රකාශයට පත්කළා විනා, මේ දක්වා ඒ බලතල කිසිවක් පිළිබඳ රෙගුලාසියක් ආණ්ඩුවේ ගැසට් පත්‍රය මගින් මේ රටේ ජනතාවට දැනුම් දීමට ආණ්ඩුව පියවර ගෙන නැත. මෙය හුදෙක් ජනතාවට දැනුම් දීමක් පමණක් නොව, එය නීතිමය අවශ්‍යතාවක් ද වන්නේය. එහෙත්, හිටපු නීතිපතිවරයා කියන පරිදි, මෙවැනි රෙගුලාසි නීතියක් බවට පත්වීමට, රජය මගින් එය වාචිකව ප්‍රකාශයට පත්කිරීම පමණක් සෑහේ ලු. ජනාධිපතිවරයාගේ දේශපාලනය සහ රටේ නීතිය එකක් යැයි සලකන හිටපු නීතිපතිවරයාගේ එම නිර්වචනය පසෙකින් තබා, අදාළ පනතේ සඳහන් සැබෑ නීතිය දෙසට අපි හැරෙමු. මේ රෙගුලාසි ඇති කරගත්තේ යැයි කියන, ‛ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ 27 වැනි ඡේදයේ මෙසේ කියැවෙයි. ‛‛මේ යටතේ පැනවෙන සෑම රෙගුලාසියක්ම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කළ යුතු අතර, එය ක්‍රියාවට නැගෙන්නේ, එම ගැසට් පත්‍රය නිකුත් වන දවසේ සිට හෝ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කෙරෙන ඊට පසු වෙනත් දවසක සිට පමණි’’.
මේ සියල්ලෙන් පැහැදිළි වන්නේ කුමක් ද? සැප්තැම්බර් 13 වැනි දා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ආරම්භ වෙයි. ඊට සහභාගී වීමට නියමිත ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනි දා එහි මහා සභා රැස්වීම ඇමතීමට නියමිත යි. දැන්, එක පැත්තකින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේත්, තවත් පැත්තකින් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම ඉදිරියේත්, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ‛සමෘද්ධිය’ ගැන කයිවාරු ගසන්නට අපේ නායකයන්ට පිළිවන. ඒ මගින්, යුද අපරාධ පිළිබඳ සොයා බැලීමේ අන්තර්ජාතික ප්‍රයත්නයන් තව කාලයකට අඩාල කිරීමට බැලිය හැකිය.