“මේ පාර කපන එක ආරංචි උනාට පස්සෙ වන සංරක්ෂණ නිළධාරීන් මේ වැඩේ පරීක්ෂා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ අයට ඉළුඹකන්ද ගමේදී මැරයන් යන්න දීලා නැහැ. වන සංරක්ෂණ නිළධාරීන් මේ බාධාකිරීම සම්බන්ධයෙන් රක්වාන පොලීසියේ පැමිණිලි කරලා තියෙනවා. මෙවැනි බාධාකිරීමක් කළොත්, රටේ සාමාන්‍ය තත්ත්වය වෙන්නෙ මෙම නිළධාරීන් එක්ක එම ප්‍රදේශයට පොලීසියෙන් යන්න ඕනෙ. රාජකාරියට බාධා කිරීම නිසා එම මැරයින්ව දණ්ඩ නීති සංග්‍රහය යටතේ එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව පොලීසියට තියෙනවා. නමුත් පොලීසිය වන සංරක්ෂණ නිළධාරීන් සමග මෙම මැරයින් ඇල්ලීමට ගොස් නැහැ. දේශපාලන හස්තය කොතරම් දරුණු විදිහට මෙතන ක්‍රියාත්මක වෙනවද කියලා පැහැදිලි වෙනවා.”
සිංහරාජ රක්ෂිතය හා සම්බන්ධව ඇති ඉළුඹකන්ද වනාන්තර ප්‍රදේශය හරහා සූරියකන්ද දක්වා ඉදිකෙරෙමින් පවතින කිලෝමීටර 06 ක මාර්ගය ඉතා හානිකර අතර ඒ හේතුවෙන් සිංහරාජ අඩවියට එල්ල වී ඇති තර්ජන පිළිබඳව පරිසර සංවිධාන එකමුතුව මගින් අද (13) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය දැනුවත් කිරීමේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය. මෙම මාර්ගය සැකසීම සිංහරාජ වනාන්තරයේ ජීවීන්ට බලපාන අන්දම පිළිබඳ ගාල්ල පරිසර සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා මෙලෙස අදහස් දැක්වීය.
“මේ පාර නිසා හරියටම මේ වනාන්තරය දෙකට මැදින් වෙන්වෙනවා. ලංකාවේ තිබෙන වැසි වනාන්තර වලට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි වනාන්තර දූපත්කරණය වීම. පුංචි පුංචි වනාන්තර ගොඩක් ඉතුරු වෙනවා. මේ විදිහට දූපත් බවට පත්වුණාම මේ වනාන්තර වල ඉන්න සතුන් ජානමය වෙනසකට ලක් වෙනවා. එක වනාන්තරයකින් තව වනාන්තරයකට කුරුල්ලෙක්ට පියාඹලා යන්න පුළුවන්. නමුත් ක්ෂීරපායි සතෙක්, උභය ජීවියෙක්, උරගයෙක් ගත්තොත් එක වනාන්තරයකින් තව වනාන්තරයකට ගමන් කරන්න බැරි නිසා ඒ අයගෙ ජාන වෙනස් වෙන්න ගන්නවා. මේ සතුන්ට ආවේණික වූ සංක්‍රමණික රටාවල් තියෙනවා. මේ විදිහට වනාන්තර මැදින් පාරවල් හැදුවාම ඒක ඒ සතුන්ගෙ සංක්‍රමණික රටාවලට සෘජුවම බලපානවා. උදාහරණයක් විදිහට දකුණු ප්‍රදේශයේ ඉදිකරන අධිවේගී මාර්ගයත්, මාර්ගය දෙපස වනයේ සිටින සතුන්ගෙ සංක්‍රමණික රටාවලට බලපානවා. හරියට එක රටක් රටවල් දෙකක් බවට පත් වෙන ආකාරයේ තත්වයක් වනාන්තරයක් මැදින් පාරක් කැපුවහම ඇතිවෙනවා. ඒක ජෛව විවිධත්වයට බරපතල තර්ජනයක් වෙනවා. අධිවේගී මාර්ගයක් හැදුවහම විශේෂයෙන්ම ක්ෂීරපායි සත්වයන්ට සහ උරගයන්ට මාරුවෙන්න බැහැ. අධිවේගී පාරක් නොවුණත් තාර පාරක් හැදුවට පස්සෙ විශේෂයෙන්ම උභයජීවීන්ට සහ උරගයින්ට ගමන් කරන්න බැරි වෙනවා. මෙලෙස වනාන්තරයක් මැදින් පාරක් හදනවා කියන්නේ ඕනෑම ජීවියෙක්ගෙ සංචරණය වෙනස් වීමට බලපානවා.”
සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුකරන මෙම ව්‍යාපෘතියේ නෛතික තත්වය පිළිබඳව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.
“මෙවැනි සංවේදී ප්‍රදේශයක මාර්ගයක් ඉදිකිරීම නිසා වනාන්තරය එලිවෙනව නම්, ඒ එලිවෙන වනාන්තරය සඳහා ඇතිවන බලපෑම් පිළිබඳව ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සිදුකළ යුතුයි. ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වන පාර්ශවය විසින් මෙම වාර්තාව සකසලා දින 30 කාලයක් මහජනයාගේ අදහස් සඳහා විවෘතව තැබිය යුතුයි. සමස්ත අදහස් සලකලා බලලා මධ්‍යම පරිසර අධිකාරියත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ සඳහා අනුමැතිය දෙනවද නැද්ද කියලා තීරණය කළ යුතුයි. නමුත් මේ පාර හදන පිරිස පරිසර තක්සේරු වාර්තාව සැකසීමට අදාල මූලික නිර්ණායකවත් සකස් කරලා නැහැ වගේම බලහත්කාරයෙන් මෙම පාර සකස් කරමින් සිටිනවා. එබැවින් මෙම ව්‍යාපෘතිය නීති විරෝධි ව්‍යාපෘතියක් වෙනවා. මීට පෙරත් ‛නිල්දෙනිය වත්ත’ කියන මෙම වනාන්තරය ආශ්‍රිතවම පවතින ප්‍රදේශයක් නීති විරෝධි ලෙස එලි කිරීමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණ නියෝගයක් ලබා ගත්තා. එම නිසා ඒ නීති විරෝධි එලිකිරීම නැවතුණා. ඉතින් වත්මන් තත්වය සම්බන්ධයෙනුත් තීරණයක් ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට නීත්‍යාණුකූල ශක්තියක් මෙන්ම පූර්ව අත්දැකීමකුත් තියෙනවා.”
“මුල් අවස්ථාවේ දී අධිකරණයට යාමට බලය තියෙන්නෙ මධ්‍යම පරිසර අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විතරයි. නමුත් මෙම ආයතන වල අකර්මන්‍යතාවයක් තියෙනවා කියලා අපි දකිනවා. මේ පාර කපන එක ආරංචි උනාට පස්සෙ වන සංරක්ෂණ නිළධාරීන් මේ වැඩේ පරීක්ෂා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ අයට ඉළුඹකන්ද ගමේදී මැරයන් යන්න දීලා නැහැ. වන සංරක්ෂණ නිළධාරීන් රක්වාන පොලීසියේ පැමිණිලි කරලා තියෙනවා. මෙවැනි බාධාකිරීමක් කළොත්, රටේ සාමාන්‍ය තත්වය වෙන්නෙ මෙම නිළධාරීන් එක්ක එම ප්‍රදේශයට පොලීසියෙන් යන්න ඕනෙ. රාජකාරියට බාධා කිරීම නිසා එම මැරයින්ව දණ්ඩ නීති සංග්‍රහය යටතේ එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව පොලීසියට තියෙනවා. නමුත් පොලීසිය වන සංරක්ෂණ නිළධාරීන් සමග මෙම මැරයින් ඇල්ලීමට ගොස් නැහැ. දේශපාලන හස්තය කොතරම් දරුණු විදිහට මෙතන ක්‍රියාත්මක වෙනවද කියලා පැහැදිලි වෙනවා.”
මහාමාර්ගය සැකසීමෙන් පසුව ඉදිරියේදී ඇති වීමට නියමිත අවශේෂ හානිකර තත්වයන් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ පෙන්වා දෙන ලදී.
“පාර කැපුවට පස්සෙ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ සමහර ඉඩම් වල එනසාල් වගා කිරීමට කටයුතු කරනවා කියලා තොරතුරු ලැබෙනවා. මීට පෙරත් මෙම ප්‍රදේශයේ එනසාල් වගා කරලා නවත්වල තියෙනවා. මොකද එනසාල් වගාව ජීවීන්ගේ පැවැත්මට හානිදායක වගාවක් නිසා. ඒ වගේම එනසාල් පදම් කිරීමට විශාල වශයෙන් දර අවශ්‍යයි. ඉතින් එනසාල් වගාව පටන් ගත්තොත් ඒ සඳහා දරත් මේ වනාන්තර වලින් සපයගන්න ඉඩ තියෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයන්හි තේ වගාව ආරම්භ කිරීමට නියමිතයි. මේ තේ වගාව සඳහා අධික ලෙස කෘමිනාශක භාවිතා කරනවා. මෙම කෘමිනාශක භාවිතාව ජීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රබල ලෙස බලපාන්න පුළුවන්. එමෙන්ම මේ මාර්ගය සැකසුවාට පසු සංචාරක හෝටල ඉදිකිරීමට නියමිතයි. මෙම සංචාරක හෝටල් මාර්ගය දෙපස වනාන්තරයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ තත්වයන් සියල්ලම ජාතික උරුමයක් වන සිංහරාජ වන අඩවියට සහ එහි ජීවීන්ට දැඩි හානිකර තත්වයක් ඇති කිරීමට නියමිතයි.”
මෙම අවස්ථාවට පරිසරවේදීන් සහ පරිසර සංවිධාන කිහිපයක්ම සහභාගී විය. 1972 දී තුනී ලෑලි සංස්ථාවට අවශ්‍ය ලී කැපීම සඳහා සිංහරාජය භාවිතා කළ අතර ඊට එරෙහිව ප්‍රබල අරගලයක් තම සංවිධානය විසින් එම අවස්ථාවේදී ගෙන ගිය බව වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමයේ ප්‍රධාන ලේකම් සරත් එදිරිසූරිය මහතා පැවසීය. එදා එම අරගලය නොතිබුණා නම් අද සිංහරාජ වනාන්තරයක් ඉතිරි නොවන බවත් පුරා අවුරුදු 06කට වැඩි කාලයක් ලංකාවේ පාසැල් සිසුන් දැනුවත් කරමින් සහ පවතින රජයන්ට බලපෑම් කරමින් ගෙන ගිය එම අරගලයේ ප්‍රතිපලයක් ලෙස අද සිංහරාජය නිරුපද්‍රිව පවතින බවත් සරත් එදිරිසූරිය මහතා මෙම අවස්ථාවේදී වැඩිදුරටත් පැවසීය.
පෙර සටහන්
‛චින්තනය’ ඵළ දරමින් සිංහරාජ අඩවිය දෙකඩ කරයි – නාමලුත් සහයට..