සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Media

මාතර තානායම: රු. 60,000 යි. මාතර වැසිකිළිය: රු. 261,000 යි.


Pic edit by – Samm
අද තරම් රටේ දූෂණය ඔඩුදිවූ වෙන කිසි කාලයක් තිබී ඇත් දැයි සැක සිතේ. එසේ වෙතත්, අද තරම් එම දූෂණය පවුල් කිහිපයක් අතරේ මහ පරිමාණයෙන් බෙදාහැරෙන තත්ත්වයක් මීට පෙර තිබී නැති බවට නම් සැකයක් නැත. ඒ සියල්ලටමත් වඩා, මේ දූෂණ සහ වංචා, ‛රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ රහස්’ වශයෙන් ආරක්ෂා කළ ආණ්ඩුවක් ද මීට පෙර තිබී නැත.

මේ තත්ත්වය යම් තාක් දුරකට හෝ විවේචනය කිරීම සඳහා ඉතිරි වී සිටින දේශපාලන විචාරකයන් අතලොස්ස පවා මේ තත්ත්වය විවේචනය කරන අතරේම, අතීතයේ වෙනත් පාලන කාලයන් යටතේ ද මෙවැනි දූෂණ සහ වංචා සිදු වූ බව, අතුරු කතාවක් වශයෙන් අපට මතක් කර දෙති. එම අතුරු කතාවෙන් මේ විචාරකයන් වසං කිරීමට තැත් කරන යමක් තිබේ. ඒ වෙන කිසිවක් නොව, තමන් විසින්ම මතුපිට විවේචනයට හසු කරගන්නා වර්තමානයේ වගකීමෙන් මේ පාලක පංතිය නිදොස් කිරීම කෙරෙහි ඔවුන් තුළ ඇති රහස් ආශාව යි.

අද අපේ සමාජය මුහුණදෙන දහසකුත් එකක් රෝගකාරක ගැන කතා කිරීමේ දී තවමත් අප 1977 ගැන කතා කරමු. මේ සියල්ලට වගකිව යුත්තා ජේ. ආර්. ජයවර්ධන බව පෙන්වා දෙමු. සමාජ හර පද්ධතියේ වර්තමාන නාය යාමක් ඇතැ යි ද, ඊට පාදක වුණේ 1977 විවෘත ආර්ථිකය යැයි ද තර්ක කරමු.

1977 සිට අද වන විට වසර 34 ක් ගත වී ඇත. හරියටම මෙම කාලයෙන් මුල් අර්ධය, එනම් ඉහත කී රෝගකාරක බෝ කළ අවදිය එම රෝගකාරක නිර්මාතෘවරුන් අතින් පාලනය වූ අතර ඉතිරි අර්ධය පාලනය වී ඇත්තේ එම රෝග ලක්ෂණ හඳුනාගත් සහ ඊට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරිපත් වූ පාලකයන් විසිනි. ජනතාව ඔවුන්ව පත්කර ගත්තේ ද එම පොරොන්දුව මත යි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සහ නව ආර්ථික පිළිවෙතක් රටට හඳුන්වා දෙන බව බලයට පත්වීමට පෙර ජේ.ආර්.ජයවර්ධන ප්‍රකාශ කොට තිබුණි. 1977 දී මේ රටේ ජනතාව ඔහු සහ ඔහුගේ පක්ෂය බලයට පත්කර ගත්තේ ඒ දැනුම සහිතව යි. තමන් අවබෝධ කරගෙන සිටියාට වඩා යක්ෂයා කළු බව ජනතාව අවබෝධ කර ගන්නා විට වසර 17 ක් ගෙවී තිබුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ බරපතල විවේචනයට මුල් තැන දෙමින් බලයට පත් සහ එම ආකර්ශණීය වේදිකාවේ සිටම දේශපාලන කථිකාව හසුරුවන පිරිසක්, 1994 සිට අද දක්වාමත් මේ රටේ බලය හොබවති. එහෙත් මේ මූලික ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් ඔවුන් සක්‍රීය දේශපාලනයේ දී අනුගමනය කළ සහ අදටත් අනුගමනය කරමින් තිබෙන පිළිවෙත කුමක් ද? ජේ.ආර්. ජයවර්ධනගේ පිළිවෙතම තවත් ඔපමට්ටම් කොට ඉදිරියට ගෙන යාම යි.

ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය තුළ ඇති කළ වඩාත් අනර්ථකාරී අංශයන් වන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අධිකාරීවාදී අඩියකට ඔසවා තබන අතරේම මේ රටේ පරිපාලන පද්ධතිය සහමුලින් දේශපාලනීකරණය කිරීමත්, ජාවාරම්කාර ආර්ථිකයකට පහසුවෙන් හිස එසැවිය හැකි කොල්ලකාරී වාතාවරණයක් ස්ථාපිත කිරීමත් ය. මේ දේවල් ගැන අපි ඕනෑ තරම් කතාකොට ඇත්තෙමු. ඒවාට ඕනෑ තරම් පිළියම් යෝජනා කොට ඇත්තෙමු. කෙසේ වෙතත්, ඒ චෝදනා සහ තර්ක සියල්ල අදටත් වලංගු වීමට තිබුණේ, ජේ.ආර්.ජයවර්ධන හෝ ඔහුගේ පක්ෂය අද දක්වාමත් මේ රටේ බලයේ සිටියේ නම් ය. එහෙත්, පසු ගිය 17 වසර තිස්සේ ඔවුන් පාලක වේදිකාවේ සිටියේ නැති බව අපි දනිමු. ඔවුන් සිදු කළ අකුසල් දුරු කිරීමට පේවී සිටි පිරිසකි, ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ අද දක්වාමත් මේ රට පාලනය කරන්නේ. ඉතිං, ජේ.ආර්. ගේ හමට තවමත් තඩිබෑමට අපට ඇති සදාචාරමය අයිතිය කුමක් ද?

මෙයින් අවධාරණය කෙරෙන්නේ, වර්තමානය පිළිබඳ අපේ විවේචනය තුළ, අතීතයේ අතුරු කතා තව දුරටත් වලංගු විය නොහැකි බව යි.

දූෂණය සහ මහජන සම්පත් කොල්ලකෑම වර්තමාන පාලනය තුළ මොන තරම් සීමාන්තික තැනකට තල්ලු වී ඇත් දැ යි කියාපාන අගනා සංකේතයක් මාතර තානායම සහ වැසිකිළිය බදු දීම ආශ්‍රයෙන් අපට හඳුනාගත හැකිව තිබේ. ජනාධිපතිවරයාගේ නිවෙසට කෑම සපයන ව්‍යාපාරිකයාට දේශපාලනයේ ආනුභාවයෙන් මාතර තානායම අවුරුදු 33 ක කාලයක් සඳහා පවරා දෙනු ලැබ තිබේ. ඒ සඳහා ඔහු ආණ්ඩුවට ගෙවන කුලිය, මසකට රුපියල් 60,000 ක් පමණි. ඊට මීටර දෙතුන් සීයක් ඈතින් මාතර බස් නැවතුම් පොළේ මහජන වැසිකිළියක් තිබේ. එහි බදුකරු මාතර නගර සභාවට ගෙවන මාසික කුලිය රුපියල් 261,000 කි. මාතර තානායමේ වර්ග ප්‍රමාණය අක්කර කාලකටත් වැඩි විය හැකි අතර, මාතර වැසිකිළියේ විශාලත්වය වර්ග අඩි 400 කට නොවැඩි ය.

තානායමේ පරිපාලනය නගර සංවර්ධන අධිකාරියේ ය. වැසිකිළියේ අයිතිය මාතර නගර සභාවේ ය.

මෙසේ වූයේ ඇයි? වැසිකිළියකට වඩා තානායමක් මොන අතින් ගත්තත් වැඩි ආර්ථික වටිනාකමකින් යුක්ත විය යුතු බව, කන බොන සහ වැසිකිළි යන සෑම මනුෂ්‍යයෙකුම දනී. එහෙත් රටේ විධායකය සමග ඔබට යම් හිතවත්කමක් ඇතොත්, වැසිකිළියක්වත් බද්දට ගත නොහැකි කුණු කොල්ලයට තානායමක් ඔබේ නමට පවරා ගැනීමට ඔබට හැකියාව ලැබේ. මේ සිද්ධියේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, මාතර වැසිකිළිය අවුරුදු පතා අළුත් කෙරෙන කුලී කොන්ත්‍රාත්තුවකට යටත් කෙරී තිබෙන අතර, මාතර තානායම ජනාධිපතිවරයාගේ හිතවතාට පවරා ඇත්තේ අවුරුදු 33 ක බදු කාලයක් සඳහා වන බව යි. එනම්, 2044 වර්ෂයේ දීත් මේ බදුකරු රජයේ හෙවත් මහජන ආදායමට බැර කරනු ඇත්තේ, රුපියල් 60,000 ක් පමණක්ම වන බව යි.

මෙය අද රටේ සිදු වන යෝධ පරිමාණ දූෂණ කන්දරාව සමග අහලකින්වත් තැබිය හැකි ගනුදෙනුවක් නොවන බව ඇත්ත. එහෙත්, ගෝල්ෆේස් වැනි කොළඹ නගරයේ සුපිරි පොදු දේපළ පෞද්ගලීකරණය කිරීමේදීත්, යුද්ධ කාලයේ දී කරන ලද දැවැන්ත අවි ගනුදෙනුවලදීත්, රටට අහිමි වූ ධනස්කන්ධය මොන තරම් ඉහළ අගයක් ගන්නට ඇත් දැ යි වටහා ගැනීමට මේ සිද්ධියෙන් යම් එළියක් සැපයෙයි.

රටක ආණ්ඩුවක් එම රටේ ජනතාවට ‛තොරතුරු දැන ගැනීමේ අයිතිය’ දිය නොහැකි යැයි කියන විට, ඒ පසුපස සැඟවීමට යත්න දරන්නේ, පාලක පංතියේ මෙවැනි දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කතා පුවත් ය. ‛තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පාර්ලිමේන්තු යෝජනාව ආණ්ඩුව මගින් පරාජය කරන අතරේ, කොළඹ නගරාධිපති ධුරයට එම ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වන මිලින්ද මොරගොඩගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි අංකයට ‛තොරතුරු දැන ගැනීමේ අයිතිය’ කොළඹ ජනතාවට ලබා දීමට පොරොන්දු වී තිබීම හිස් ඡන්ද ගුන්ඩුවක් පමණක් වන බව එයින් පැහැදිළි වෙයි. රටේ ජනතාවට දිය නොහැකි අයිතියක් කොළඹ ජනතාවට පමණක් කෙනෙකු දෙන්නේ කෙසේ ද? මෙයින් අදහස් වන්නේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මිලින්ද මොරගොඩ ප්‍රතික්ෂේප කරන බව ද? නැත්නම්, ඇතැම් දේශපාලඥයන් හුවාදක්වන පරිදි, ‛තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ජනතාවට පැවරීම පිළිබඳ යම් ‛අත්හදා බැලීමක්’ කොළඹ දී කිරීමට ද? කොහෙත්ම නැත.

එවැනි අත්හදාබැලීමක්වත් කිරීමේ කිසි උවමනාවක් පාලකයන්ට තිබීමට පුළුවන් කමක් නැත. මිලින්ද මොරගොඩ යනු, ප්‍රජාතන්ත්‍රවාදයේ මහත්මා ගුණාංග ගැන ධර්ම දේශනා කරමින් බලයට පත් ‛උපාසක’ මහතෙකි. ඒ මහතා බලයට පත්වූ පසු හැසිරුණු නින්දා සහගත ආකාරය ගැන ‛කෝප්’ වාර්තාවේ සවිස්තරාත්මකව දැක්වෙයි. දැන්, තමන්ට එරෙහිව ‛කෝප්’ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන චෝදනාවලට මුහුණදීම වෙනුවට මේ ‛උපාසක’ මහතා කෙළේ කුමක් ද? එක්සත් ජාතික පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට එක් වීම යි/ පසු ගිය කාලයේ මේ රටේ ඕනෑම දේශපාලඥයෙකුට, තමන්ගේ දූෂණ, හොරමැරකම් සහ අපරාධ (මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ) වලින් නිදහස් වීමේ පහසුම මාර්ගය වුණේ, ආණ්ඩු පක්ෂයේ පුටුවක වාඩි ගැනීම යි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහත්මා දේශපාලනයක් ගැන කතා කළ මිලින්ද මොරගොඩ ඒ පෝලිමේ මුලින්ම සිටියේය. තමා කොළඹ නගරාධිපති වුණොත්, ‛තොරතුරු දැන ගැනීමේ’ අයිතිය ජනතාවට පවරමි යි අද පොරොන්දු වන්නේ එවැනි පුද්ගලයෙකි. හොරාගේ අම්මා නොමිලේම පේන කී පලියට, අප ඒ පේන විශ්වාස කළ යුතු ද?

ගාමිණී වියන්ගොඩ