Colombo, Kilinochchi, Poems

සප්ත ස්වප්න [අජිත් සී හේරත්]

පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය

දුරවබෝධී ලක්ෂ්‍යයක සිට
මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි.
නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි.
ජලතලය මත ඇද වැටීමට
මොහොතකට පෙර
සුන්බුන් අතර පාවෙන
තොටිල්ලක් තුළ බිළි‍‍ඳෙකුව අවදි වූයෙමි.
ඇඳිවත් දෙදණ තෙක් ඔසවාගෙන
මඩදියේ ඇවිදින මා හැඳින සිනහසී අතවනන
මිනිසුන්ද ගැහැණුන්ද පසුකර පාව ගියෙමි.

තොටිල්ල කුණු කාණුවක සිර වී පෙරළුණෙන්
තෙතබරිතව සීතලෙන් වෙවුලමින්
මම ඉන් ඉවතට බඩ ගා
ඔබ පසුපස ඇදී ආවෙමි.
ඔබ මා නුදුටුවෙහිය!
එක්වරම කිසිවෙකු විසින් මා ඔසවා
දියකඳ වෙත වීසි කෙරිණ.
මම යළිත් අවකාශයේ පහලට රූටා වැටෙමින් සිටියෙමි.
බිම පතිතවීමට මොහොතකට පෙර
මා යළිත් අවදිවනු ඇති බවට
එවර මා තුළ හැඟීමක් විය.

දෙවන සිහිනය -මා ලද ශාපය ඔබගේ හාදුව විසින් නිමා වූයේ නැත.

වර්ෂාව නොනැවතී ඇද හැළිණ
ඔබ කවුළුවෙන් ඉවත බලා සිටියාය.
කවුළු වීදුරුව මත රැඳි
ඔබගේ සුසුම් හුමාලය මිහිදුමක් වී
ඈත නකල්ස් කඳු වැටි බොඳ කෙරිණ.

ක්ලෝරෆෝම් මතින්
මා දෑස නිදිබරව පිය‍වෙන විට
ඔබ නෙතින් වට කඳුළක් විසින් මා අවදි විය.
පැරපීන් ඉටිතැටිය මත අප්‍රාණිකව වැතිරී
මම ඔබ දෙස බලාසිටියෙමි.
මා ඔසවාගත් ඔබ
එකම වරක් පමණක් මා සිප
කවුළුව විවර කර
මා එළියට වීසිකර
විද්‍යාගාරයෙන් නික්මී ගියාය.
යළි කිසි දිනෙක ඔබ පාසල් පැමිණියේ නැත.
මා‍ ලද ශාපය ඔබගේ හාදුව විසින් නිමා වූයේ හෝ
බිම ඇදවැටීමට පෙර මා අවදි වූයේ හෝ නැත.

තෙවන සිහිනය- කිසිදා තරණය කළ නොහෙන පාලම

ඔවුහු ඔබ සියළු දෙන දෑත් පිටිතල හයා බැඳ
පාලම මත නිරුවතින් දණගැස්වූහ.
ඔබ ගලවාගනු වස්
ඔබ විසින් පාවා නොදී වැළලුණ
අවසාන රයිපලය සොයමින්
මම මහපොළොව වියරුවෙන් පහුරුගෑවෙමි.
මට එය සොයාගත ‍ නොහැකි විය
පහළ ගංදියේ
මළකඳන් පාවෙමින් තිබිණි
මේ පාලම පසුකරන හැම වරෙකම
මා ද ළය සිදුරුව ගංදියට ඇද වැටෙයි.
තාමත් ඇද වැටෙමින් සිටිමි.

සිව්වන සිහිනය- ඒ නිල් අහස සහ වළාකුළු දුටුවෙමි.

රැඳවුම් කඳවුරේ වැල්දොඩම්ගාල යට
දිරාගිය සිල්පර කොටයක් මත වාඩි වී
පලා යාමේ මගක් ගැන සිතූවෙමි.
මහපොළොව කැණ උමගක් හාරා
කඳු සතක් එපිට මහවන මැදින් මතු වී
වෙනත් නිල් අහසක් සහ සුදු වළාකුළු දකින්නට
හැකි බව ඔබ හෙමින් මා සවනට මිමිණීය.
කඳවුරේ පොදු නාන ලිඳ පාළුවී
ජල තලය නිසල වූ දහවලක
බැම්ම මත වාඩි වී
ළිං පත්ළ දෙස බැලූ මට
ඒ උමග හමු විය
පත්ළක් නොමැති ළිංකුහරය තුළ
ඒ නිල් අහස සහ වළාකුළු දුටුවෙමි.
පොළවේ එහා කෙළවර සිට
මගේ දෑසින් ඔබ මදෙස බලා සිටියෙහිය!
රැඳවියන්ගේ බාල්දි දුසිමකින්
ජල තලය කැළතී නිල් අහස, වළාකුළු සහ ඔබ
අතුරුදන්වන්නට පළමුව
ලිඳ තුළින් පලා යාමට සිතුවෙමි.
මම යලිත් පත්ලක් නොමැති භූ කුහරය
තුළින් නිල් අහස වෙත ඇද වැටෙමින් සිටියෙමි.

පස්වන සිහිනය-නිල් ටාර්පෝලීන් චිතකය

නිල්පැහැ ටාර්පෝලින් කුඩාරම
සමග තොටිල්ල ගිනිගෙන දැවෙද්දී
ඔබ ඉන් පිටතට බඩ ගා ආවෙහිය!
සිඟිති අතපය පිළිස්සී තිබූ මුත්
ආයාසයෙන් ඉවතට ඇදී යාමට
තැත් දරන ඔබ දෙස
මම අකර්මණ්‍යයව බලා සිටියෙමි.
අප දෑස් එකිනෙක මොහොතකට ගැටුණු මුත්
ඔබ මා දුටුවේදැයි නොදනිමි.
පාෂාණීභූත මා පසුකර බඩ ගා ඇදී ගිය ඔබ
අගලකට ඇද වැටී
සෙසු මළ කඳන් සහ දුමාරය අතර
අතුරුදන් විය.
ජීවිතය සොයා සැඟව ගත් අගලම
ඔබගේ සූසානය බවට පත් කළ
බුල්ඩෝසර ඈතට ඇදී යද්දී
ඒ සිඟිති අත යම්තමින් වැලි කඳු අතර දිස්විණ.


සයවන සිහිනය-මා පමා වූයෙන් මට ඔබ සදහටම මග හැරිණි.

ශෝකී නොසන්සුන් බවකින් අවදි වූයෙමි
ඒ පමා වීදැයි වේලාසනින්දැයි
සිතාගත නොහැකිය
තාමත් අන්ධකාරය බැවිනි.
කිසිවෙකු මා මුණගැසෙනු වස්
යම් තැනක බලා සිටින බවට
ඉඳහිට මා පෙ‍ලෙන හැඟීම
යළිත් හදිසියේම මතු විය.
එහෙත් කවුරුන්ද කොතැනකදීදැයි අවිනිශ්චිතය.
ඇතැම් විට ඒ ඔබ විය හැකිය.
එළැඹීමට නියමිත දින සියල්ල
සිහි කැඳවීමේ සටහන්ද සමගම
ඉරා උදුරා දමා තිබූ බැවින්
කැලැන්ඩරයේ ශේෂව ඇත්තේ
ගෙවී ගිය දින මාස පමණකි.
A9 අවසාන මුරපොල ‍පසුකර
මායිම හරහා ඇවිද ගිය නමුත්
ඔබ දක්නට නොවීය.
මා පමා වූයෙන් ඔබ නික්ම ගියේදැයි නොදනිමි.
ඔබ නැති වන්නියේ
නටබුන් නිවසක දොරකඩ වාඩී වී
නිවාගත් දුම්වැටියේ ඔබේ අඩ අතැතිව බලා සිටියෙමි.

සත්වන සිහිනය-අතීතය කැබැළිතිව විසිරී පාවිණි.

සෝදිසි මෙහෙයුම නිමා කර
සොල්දාදුවන් නික්ම ගිය පසු
කාමරයේ නෂ්ටාවශේෂ මැද
ඔවුන් විසින් ඉරා දමන ලද
අපගේ අවසාන සමූහ ඡායාරූපයේ
කැබැලි විසිරී තිබිණි.
කාලය විසින් අවපැහැගැන්වු
ඒ කඩදාසි කැබැළි මත
නොදන්නා ඉරණම් කරා
වෙන්ව යාමට මොහොතකට පෙර
අප එක්ව ගත කළ අවසාන නිමේෂයේ
මදහස තවමත් රැඳී තිබිණි.
ඒ කැබැළි එකින් එක අහුලා
ජනෙල් ගැට්ට මත තබා
යළි එය එකට ඇලවීමට තැත්කළෙමි
එහෙත් කොහේදෝ සිට පැමිණි සුළඟක්
එක්වරම ඒවා ඩැහැගනු ලැබිණි.
සරත් සමයේ ගිලිහුණ අවසාන තුරුපත් සමග
ඒවා එකිනෙකින් ඈතටම විසිරිණ.
අපි ඒ සුළඟේ කඩදාසි කැබැළි බවට පත්ව
පහළටම පාව යමින් සිටියෙමු.

ආවර්ජනය

අලසව යහන මත වැතිරී අසන
හිමිදිරි කුරුලුහඬ පවා සිහිනයකි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.
ඊළඟ සිහිනයේ දී ඇසෙන
මරණීය විලාපයකින් බිඳ වැටෙන.

සිහිනයෙන් සිහිනයට
මා හඹා එන
මවිසින් ලුහුබැ‍ඳෙන
මා වෙතින් පලා යන
මුණගැසීමට මොහොතක් තබා මග හැරෙන
යළිදු වෙනත් රූපයක් තුළ මතුවන
ඔබ කවුරුන්ද
වරෙක පසු කර ආ සියළු මංපෙත්
කඳු සිඛර සහ මිටියාවත් හරහා
එකිනෙකා ලුහුබඳින
එකිනෙකාගෙන් පලා යන
අප කවුරුන්ද?
එකම ආත්මයක් තුළ රූපාන්තරණයන් දහසක්..
එකම රූපයක් තුළ ආත්මයන් දහසක්.

මේ සියල්ලෙන් පසුවත්
මට මා ඔබෙන් වෙන් කර හඳුනා ගත නොහැකිය,
ඔබ ඔවුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිවාක් මෙනි.
සියළු විශ්වීය පදාර්ථයන්ගේ
මූලරූපය ඔබය.
මා එහි පිළිබිඹුව පමණෙකි.

දෙවන රළ පහරෙන්
මළකඳන් සයුරටම දියකර අසිප‍ත් පිරිසුදු කෙරිණ.
මළවුන් සහ නොමළවුන් අතර වෙනස හැරෙන්නට
අන් සියල්ල සෝදා හැරිණි.
වළ දමන ලද රාත්‍රීන් සන් කරනුයේ
නටබුන් නිවෙස්වල වෙඩි වලින් සිදුරු වූ දොර පියන් වලටය.
නිදි වරා දුටු සිහිනයන් දැන්
පැරණි දිනපොතක සටහනක් පමණි‍.
අතීරණයේ එක් මංසලකදී
නොගත් මංපෙත්
කාලයේ මී දුමින් වැසී යයි.

ඔබගේ දෙණ බහාලූ ලාබ මිනී පෙට්ටිය
මඩවගුරක් මැද හුදෙකලා වූ මුත්
ඝාතකයාගේ රන්මුවා දෝළාව කරින් ගෙන
පෙරහැරේ යනවුන් දිටිමි.
රූපාන්තරණය දුරවබෝධී වූයේත් යුක්තියුක්ත වූයේත්
අනුයාත අවධීන්ගේ ආසන්න සමරූපිතාව විසිනි.

පැරපීන් ඉටිතැටිය මත තම ආත්මය ඇණගසා
එහි ළය පලා හදවත ඉවතට ගත් මැඩියෙකු
වැගිරෙන රුහිරු සිය දිගු දිවෙන් රස විඳියි‍.
‘මේ නුඹලාගේ විමුක්තිය උදෙසා
මා වැගිරවීමට කලින් සිතා සිටි මාගේම රුධිරයයි.’
ඉතින්නම් කිසිවෙකු සාගින්නෙන් නොමියෙනු ඇත

පාරිලෙය්‍ය වනයේ වස්සාන සීතල
විසින් පසක් කරදුන් පරම සත්‍යයම
ගෙත්සෙමණ කඳු මුදුනේ ශෝකී අන්ධකාරය
තුළින් මතු වූ අවසාන යාඥාවේ දෝංකාරය නොවිණිද?
බොලීවියාවේ පාළු පාසල් ගොඩනැගිල්ලක් තුළ හෝ
බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළ හෝ
නන්දිකඩාල් කලපුවේ ලේ වැකි වැල්ල මත වුව හෝ
අත්විඳි මරණීය හුදෙකලාවේ ශාන්ත භාවය වූකලී
මිනිස් වර්ගයාට සිය පාපී ඔලොගුවද කරින්ගෙන
කිසිදිනෙක ළඟාවිය නොහැකි විශ්වයේ ඈත කෙලවරක
රැඳීගත් අචේතනික නිශ්චලත්වයමය.

සමාප්තිය

නිදහස විඳිය හැක්කේ
එය පිළිබඳ සිහිනයේ
කිසිදා අවදි නොවන
සදාකාලික සිරකරුවෙකු වීමෙනි.
පිළිගැනීමට අකැමැති මුත්
මාගේ යථාර්ථය යනු මා‍ගේ සිහිනයන්ය.
දැන් අමතකව ඇති මුත්ඒ කලක් අප එක්ව දුටු සිහිනයන්ය.

එය සිහිනයක් නම්
බිම පතිතවීමට පෙර නිමේෂය තුළවත්
එය තුළ ජීවත් වන්නට ආශාකරමි‍‍.
එය ජීවිතය නම්
සම්මුතියේ උදෑසනක් වෙත
යටහත්ව දෑත් ඔසවා අවදිවනු වෙනුවට
මම කාලය හෝ අවකාශය අර්ථ විරහිත
මාගේ සිහින තුළම ඇද වැටෙමින් සැරිසරමි
කිසි දිනෙක අවදි නොවී මිය යමි