මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය සහ මුහුණ දෙන අභියෝග මෙමඟින් විමර්ශනය කෙරේ.
දේශපාලන විසඳුමක් සෙවීම සඳහා සිදු කැරෙන සාකච්ඡා ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. මෑත කාලීනව රටේ බලයට පත් වූ සෑම රජයක්ම පාහේ මේ සඳහා සාකච්ඡා කොට තිබේ. ගිවිසුම්වලට එළැඹ ඇත. පාර්ලිමේන්තු කමිටු/තේරීම් කාරක සභා පත් කොට ඇත. එහෙත් අද දක්වා ඒ කිසිදු සාකච්ඡාවකින් හෝ ගිවිසුමකින් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් හෝ සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් අත් කරගැනීමට හැකියාවක් ලැබී නැත.
මෙරට දේශපාලන සාකච්ඡාවල මෑත කාලීන ඉතිහාසය (එනම් 1980 දශකය සහ ඉන් මෙපිට කාල පරිච්ඡේදය) ප්‍රධාන අවධීන් දෙකකට බෙදිය හැකිය. ඒ යුද සමය සහ ප්‍රශ්චාත් යුද සමය වශයෙනි. යුද සමයේ සිදු කැරුණු සියලු සාකච්ඡා නැතහොත් බොහෝ සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධාන හේතුව වූයේ එල්ටීටීඊ සංවිධානයේ අත්තනෝමතික ක්රියාකලාපයයි. එදා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටි එල්ටීටීඊය කිසිදු අවස්ථාවක සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් සෙවීමට අවංක උත්සාහයක් ගත්තේ නැත. තමන් දුර්වල වන අවස්ථාවල දී සාකච්ඡා කිරීමත්, ශක්තිමත් වන අවස්ථාවල දී සාකච්ඡා අතරමඟ නවතා දමා යුදමය විසඳුමක් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමත් එල්ටීටීඊ සංවිධානයේ සාමාන්‍ය පුරුද්ද විය. මස් රාත්තලම තමන් සතු කරගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ප්‍රශ්නයට විසඳුමක් ද නොමැතිව සමස්ත එල්ටීටීඊ සංවිධානයම යුදමය වශයෙන් දැවැන්ත පරාජයකට ගොදුරු වීමයි.
අද එල්ටීටීඊ සංවිධානයක් නැත. එල්ටීටීඊය නැති ශ්‍රී ලංකාව තුළ අද දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නඟන්නේ දෙමළ ජාතික සන්ධානයයි. (එල්ටීටීඊය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා ද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු ප්රශ්නයකි. අද දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අතුරින් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානතම සංවිධානය බවයි මෙයින් කියැවෙන්නේ) මේ නිසා දැන් රජය දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත. මේ ලිපිය ලියන අවස්ථාව වන විට සාකච්ඡා වට නවයක් පවත්වා අවසන්ය. එහෙත් නිශ්චිත එකඟතාවකට පැමිණීමට හෝ සාකච්ඡා පැහැදිලි ඉලක්කයකට යොමු කරවා ගැනීමට හෝ පාර්ශ්ව දෙකට මෙතෙක් හැකියාවක් ලැබී නැත. සාකච්ඡා බිඳ වැටීමේ හෝ එකඟතාවකින් තොරව සාකච්ඡා අතරමඟ නවතා දැමීමේ හෝ මං සළකුණු පහළ කෙරෙමින් තිබේ.
පසුගිය අගෝස්තු 4 වැනිදා පැවති සාකච්ඡා වටයේ දී රජයට කරුණු තුනක් ඉදිරිපත් කරමින් දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ දින දහයක් ඇතුළත ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් රජය සමඟ සිදු කරන සාකච්ඡාවලින් ඉවත්ව යන බවයි. එහි දී ආණ්ඩුක්‍රම සැලැස්ම, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බලතල බෙදී යන ආකාරය සහ මූල්‍ය බලතල යන කාරණා තුන සම්බන්ධව රජයේ ප්‍රතිචාරය විමසා තිබිණි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රජය කියා සිටියේ එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් හදිසි නිගමනවලට එළැඹීමේ හැකියාවක් නොමැති බවයි. එල්ටීටීඊ සංවිධානය විසින් අපේක්ෂා කළ විසඳුම ආකාරයේ විසඳුමක් ඇති කර ගැනීමේ හැකියාවක් නොමැති බවත්, සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ඇති කරගැනීම උදෙසා අවශ්‍ය ජනමතය ගොඩනැඟීමට මෙවැනි ඉල්ලීම්වලින් බාධා සිදුවන බවත් එහි දී රජය දෙමළ ජාතික සන්ධානයට පවසා තිබේ.
ශ්‍රී ලංකා රජයත් දෙමළ ජාතික සන්ධානයත් දැඩි ස්ථාවරවල එල්බගෙන සිටින බව අප මෙහි දී අමුතුවෙන් කිව යුතු නැත. පාර්ශ්ව දෙකටම එකඟ විය හැකි මධ්‍ය ලක්ෂ්‍යයක් සොයා ගැනීම මේ නිසා වඩාත් අපහසු වේ. සාකච්ඡාමය විසඳුමක් සෙවීමේ දී දෙපාර්ශ්වයම සෑහෙන අවංකභාවයකින් කටයුතු කළ යුතුය. තම තමන්ගේ අරමුණු හා අභිලාස පෙරටු කොට ගෙන ගනුදෙනු කළ ද අවස්ථාවෝචිතව යම් නම්‍යශීලී බවක් පෙන්වීමට සූදානමක් තිබිය යුතුය. එහෙත් එවැන්නක් මේ දෙපාර්ශ්වයෙන්ම පෙනෙන්නේ නැත. හුදෙක් මේ සාකච්ඡා තව දුරටත් කල්මැරීමේ හෝ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා රවටා ගැනීමේ හෝ උත්සාහයක්දැයි කෙනෙකුට හැඟෙන්නේ නම් එය සම්පූර්ණයෙන් වැරැදිසහගත නොවේ.
මේ අතර අගෝස්තු 9 වැනිදා ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් කතානායකවරයා වෙත යෝජනාවක් භාර දෙනු ලැබීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඩග්ලස් දේවානන්ද, වාසුදේව නානයක්කාර, පාඨලී චම්පික රණවක, රජීව විජේසිංහ ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් දහසය දෙනෙකුගේ අත්සනින් යුතුව එම යෝජනාව භාර දී තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව එකම දේශයක ජනතාවක් ලෙස සවිබල ගැන්වීම පිණිස දේශපාලන හා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග නිර්දේශ කර වාර්තා කිරීම මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැවරෙන ප්‍රධාන වගකීම වේ. කාරක සභාව පත්කිරීමෙන් මාස 06 ක් ඇතුළත සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව ද එම යෝජනාවේ සඳහන් කොට තිබේ.
බැලූ බැල්මටම ආණ්ඩු පක්ෂය විසින් කර තිබෙන මේ යෝජනාව ඉතාමත් යහපත්ය. ජාතික ගැටුලුවට විසඳුමක් සෙවිය යුත්තේ සියලු දෙනා එකමුතුවය. සහයෝගයෙන් වැඩ කිරීමෙනි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් මේ රජයම 2006 දී පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවට සිදු වූයේ කුමක් ද යන්න අපි සියලු දෙනා දනිමු. එය වසර තුනක් තිස්සේ රැස්වෙමින් සාකච්ඡා කළ ද අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. ඇතැම් පක්ෂ එකී කමිටුව මඟහරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කමිටුව විසින් වරින් වර වාර්තා කීපයක් නිකුත් කළ ද අවසන් වාර්තාවක් පවා සකස් කර ගැනීමට ඔවුහු අසමත් වූහ. අවසානයේ දී ර්‍ණනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ යෝජනා යන මැයෙන් පා. ම. ආර්. යෝගරාජන් හා නිශාම් කාරියප්පර් විසින් වාර්තාවක් නිකුත් කළ ද එයින් සිදු වූ දෙයක් නැත. සරලවම කියන්නේ නම් සර්ව පාක්ෂික නියෝජිත කමිටුව පුස්සක් බවට පත් වූයේය. සිදු වූ එකම දෙය නම් කාලය, ශ්‍රමය හා මුදල් නාස්ති කිරීම පමණි.
අලුතින් පත් කරන්නට යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද තවත් එවැනිම නිෂ්ඵල උත්සාහයක් වනු ඇත්දැයි අප දන්නේ නැත. අප දන්නේ මෙතෙක් අප අත්දැක ඇති ඉතිහාසය පමණි. 1993 දී ඉදිරිපත් කළ මංගල මුණසිංහ කමිටු වාර්තාවෙන් අත් වූ ප්‍රතිඵලයක් නැත. එමඟින් ද වාර්ගික ගැටලුට විසඳුමක් යෝජනා කර තිබිණි. එහෙත් ඒ ගැන අද කිසිදු කතා බහක් නැත. පොදුජන එක්සත් පෙරමුණු රජය විසින් 1995 දී ඉදිරිපත් කරන ලද දේශපාලන යෝජනාවලිය, 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදී විසඳුම් යෝජනා ගණනාවක් මේ වන විට ඉදිරිපත් කොට තිබේ. මේ කිසිවකින් කිසිවක් සිදු වී නැත.
වර්තමානයේ උද්ගත වී තිබෙන මේ අවුල්සහගත බව තූළ දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ගත යුතු හොඳම පියවර ලෙස අප දකින්නේ පළමුව රජය සිය ස්ථාවරය රටට ඉදිරිපත් කිරීමයි. රටේ පාලක පක්ෂය හැටියට රජයට ඒ සඳහා වැඩි වගකීමක් ද හිමි වේ. අනෙක් අතට මේ රජයට එවැන්නක් කිරීම කිසිසේත් අපහසු නොවේ. වර්තමාන පාර්ලිමේන්තුව තුළ තිබෙන බහුතර බලය ගැන සලකා බලන විටත්, රජය නියෝජනය කරන දේශපාලන පක්ෂවල විවිධත්වය ගැන සලකා බලන විටත් රජයට මෙවැන්නක් පහසුවෙන්ම කළ හැකිය. මෙවැන්නක් කිරීමේ ඇති අනෙක් වැදගත්කම වන්නේ ඉන් දේශපාලන විසඳුමක් පිළිබඳව තිබෙන දකුණේ හදගැස්ම හඳුනා ගැනීමට අවස්ථාවක් ද උදා වීමයි.
කවුරුන් එසේ ප්‍රකාශ කළ ද රජය සිය ස්ථාවරය එළිපිට ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන බවක් තවම පෙනෙන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය විසින් මෙයට මාස කීපයකට ඉහත ඉදිරිපත් කළ බලය බෙදා හැරීමේ යෝජනා සම්බන්ධයෙන් රජය ලිඛිතව පිළිතුරු ලබා දෙන බව කීව ද පසුව එය මඟ හැරියේය. දෙමළ ජාතික සන්ධානය විසින් පසුගියදා ඉදිරිපත් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙහි තිබෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්ම නම් එය දෙපාර්ශ්වයට සාකච්ඡා කොට විසඳා ගත හැකිව තිබිණි. එහෙත් පිළිතුරු දීම එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ අනෙකා තමා කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ වැටීමයි.
එය එසේ වූ නමුදු රජය සිය ස්ථාවරය ප්‍රකාශ කළ පමණින් හෝ නැතහොත් රජය විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ පමණින් හෝ මේ සාකච්ඡා සාර්ථක වේ යැයි කීමට පුළුවන් කමක් නැත. සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා දෙමළ ජාතික සන්ධානය ද සිය කැමැත්ත සහ අවශ්‍යතාවය ප්‍රදර්ශනය කළ යුතුය. පසුගියදා රජය සෙනෙට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ හැසිරීම කෙබඳු ආකාරයක් ගත්තේ ද යන්න අපි දුටුවෙමු. එය සාකච්ඡාවට හෝ නොගෙන පසෙකට විසි කිරීමට තරම් දෙමළ ජාතික සන්ධානය දරදඬු විය. දෙමළ ජාතික සන්ධානය වෙතින් පෙන්නුම් කරන මේ දැඩි ආකල්පය සාකච්ඡාමය එකඟතාවක් සඳහා යෝග්‍ය යැයි කිව නොහැකිය. යම් යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එය විමර්ශනය කොට බලා ඉන් අනතුරුව එයට එකඟවීම හෝ නොවීම වෙනකකි. එහෙත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් නොකොටම ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. මේ නිසා රජය යම් යෝජනාවලියක් ඉදිරිපත් කළ පමණින් එය සාර්ථක වේ යැයි උපකල්පනය කිරීම සම්පූර්ණයෙන් නිවැරිදි නැත. ඒ සඳහා අනෙක් පාර්ශ්වයෙන් ද නම්‍යශීලී බවක් ප්‍රදර්ශනය කළ යුතුය. නමුදු ඒ නම්‍යශීලීභාවය තවම දෙමළ ජාතික සන්ධානය වෙතින් පෙන්නුම් කැරෙන්නේ නැත.
උතුරට ලබාදෙන විසඳුම කුමක් වුවද එය දකුණේ එකඟතාවය හා කැමැත්ත මත තීරණය විය යුත්තක්ව තිබේ. තරමක් අමිහිරි වුවත් එකී සත්‍යය පිළිගැනීමට අපට සිදු වේ. මේ සඳහා දෙමළ ජාතික සන්ධානය අන්තවාදී ස්ථාවරයන්ගෙන් බැහැර විය යුතුය. සිය ඉල්ලීම්වල සාධාරණ හා යුක්තිසහගත බව දකුණේ සිංහල ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම ස්වාධීන දෙමළ රාජ්‍ය සංකල්පය බැහැර කිරීම කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඔප්පු කිරීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය යුතුය. මෙවැනි ක්‍රියා පිළිවෙත් තෝරමින් දකුණේ සිංහල ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලකට දෙමළ ජාතික සන්ධානය අවතීර්ණ විය යුතුව තිබේ.
අනෙක් කාරණය වන්නේ දකුණේ සිංහල ජනතාවගේ ජන විඥානය වෙනස් කිරීමයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් කොතරම් සාධාරණ වුවද, කොතරම් යුක්තිසහගත වුවද ඒවා එලෙසින්ම සිංහල සමාජය පිළිගැනීමට සූදානම් වේයැයි උපකල්පනය කිරීම වැරැදිය. මැදහත් සිංහල ජනතාවට මෙහි දී තීරණාත්මක කාර්යභාරයක් පැවරේ. දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවල සාධාරණ බව සිංහල සමාජය තුළ තහවුරු කිරීම මේ මැදහත් සිංහල ජනතාවට පැවරෙන වගකීම වේ. මේ ආකාරයට ජනවර්ග අතර ගොඩනැඟෙන අන්‍යෝන්‍ය අවබෝධය හා සංහිඳියාව දේශපාලන විසඳුමක් සඳහා වෙසෙසින් අවැසි වේ.
අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙපමණකි. සාර්ථක සාකච්ඡාවක් සඳහා රජයත් දෙමළ ජාතික සන්ධානයත් මනා විවෘතභාවයකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඉන්දියාව බලපෑම් කරන නිසාවත්, ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරන නිසාවත් මේ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය අවබෝධයකින් හා විශ්වාසයකින් කටයුතු කිරීම මෙහි දී ඉතා වැදගත්ය. සාකච්ඡාව අර්ථවත් වනු ඇත්තේ මේ ආකාර විවෘත හා අවංකභාවයකින් ක්‍රියා කරන්නේ නම් පමණි.