විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආශ්‍රිත ව මොරඩවිල්ලුව හා තවුසමඩුව ප්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් හා වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති යන අය විසිනි. මේ වන විට මේ වනාන්තර ප්‍රදේශයේ විශාල ශාක කපා ඉවත් කිරීම සිදු කරමින් පවතින අතර, එය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය දැව සංස්ථාව විසිනි. මේ දැව හෙළීම හා දැව ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි මේ වනාන්තර ප්‍රදේශය අලි ඇතුන් ගේ ප්‍රධාන ගැවසුම් භූමියකි. මේ වනාන්තර එළි පෙහෙළි කිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් සහජීවනය බිද වැටී විවිධ හානිකර තත්ත්වයන් ඇති විය හැකි ය.
එසේම කලාඔය ආශ්‍රිතව මේ වගා ව්‍යාපෘතිය සිදු කිරීම හේතුවෙන් ඒ සඳහා යොදන රසායනික පළිබෝධ නාශක හා රසායනික පොහොර වර්ග කලා ඔයට එක් වී ඒවා අවසානයේ පුත්තලම කලපුවේ සාන්ද්‍රගතවීම සිදු වේ. මේවා කලාඔය කඩොලාන තීරයේ මත්ස්‍ය විශේෂවල හා ඉස්සන්, කකුළුවන් වැනි අපෘෂ්ඨවංශීන් ගේ බෝවීම් ක්‍රියාවලියට ඉතා හානිකර ලෙස බලපෑ හැකි ය. එය කලපු මත්ස්‍ය අස්වැන්නට මෙන් ම ධීවර ජනතාවට ද ඉතා හානිකර ලෙස බලපානු ඇත.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත ප්‍රේරක කලාපයේ යම් සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් ලබාගත යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් එවන් අනුමැතියක් ලබාගෙන නොමැත. 1990 අංක 12 දරන වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එම නීතිමය ප්‍රතිපාදනය ද මෙහි දී උල්ලංඝනය කර තිබේ. සංශෝධිත 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධනය කිරීමේ ආඥා පනතට අනුව මෙවන් මහ පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් අදාළ සියලු ම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ලබා ගෙන නොමැත.
මේ නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ ඔවුන් ගේ හිතුමනාපයට සිදු කරන මේ හානිකර ක්‍රියාව වහාම මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය යුතු ව ඇත. එ සේ නොවුනහොත් මේ ප්‍රදේශයේ පාරිසරික ප්‍රශ්න රැසකට හා අලි – මිනිස් සහජීවනය බිඳවැටීමට මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් බලපෑ හැකි බව සජීව චාමිකර වැඩිදුරටත් පවසයි.
මේ පිළිබදව වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ආචාර්ය සමන් සේනානායක පවසන්නේ මෙම භුමියේ කිසිදු කටයුත්තකට තම අධිකාරිය කිසිදු අනුමැතිය ලබා දී නොමැති බවයි. එසේම මේ පිළිබදව අදහස් දක්වන පුත්තලම දිස්ත්‍රික් ලේඛම්වරයා පවස්නේ මෙයට අනුමැතිය ලබාගෙන මෙය සිදු කරන බවයි. කෙසේ වෙතත් වනසංරක්ෂන දේපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි නිළධාරීයෙකු ප්‍රකාශ කලේ ”අපට විල්පත්තුව අයිති නැති බවත් වන ජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුවට මෙය අයිති බවත්ය.” වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබදව විමසීමට ගත් සියලු උත්සහයන් ව්‍යාර්ත විය.
කෙසේ නමුත් මේ සිදුකරමින් තිබෙන විනාශයට දුන් අනුමැතිය සහ එහි තත්ත්වයන් ඉතා ඉක්මනින් විකල්ප තුලින් බලාපොරොත්තු වන්න.
මේ දැක්වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ මහින්ද චින්තනයේ පරිසරය පිළිබදව පරිසරය පිළිබදව දී ඇති ප්‍රතිඥාවයි. එය ඉටුවෙන අකාරය ඉහළ පිංතූරවලින් මනාවට දිස්‍වේ.