ගර්භනී පලස්තීන මවකට වෙඩි තැබීම මගින් එකවර දෙදෙනෙකු මරි දැමිය හැකි බව කියන මෙම ටී ෂර්ටය ඇදි සිටින්නේ පුහුණුව අවසන්ව විසිර යන ඊශ්‍රායෙල් සොල්දාදුවෙකි.
පරීක්ෂණ කම්ටුවක් ඉදිරියෙහි සාක්ෂි දුන් සොල්දාදාවන් ගනණාවක්ම කියා සිටියේ විවිධ තත්ත්වයන් යටතේ අවි ආයුධ අත නැති ස්ත්‍රීනට සහ ළමයින්ට පවා වෙඩි තැබීමට තමන්ට අණ ලැබුණු බවයි.
මාර්තු 21දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපියක් මගින් කියා සිටියේ ඊශ්‍රායෙල් හමුදාව තුළ අන්තවාදී ආගමික බලපෑම් මුල්බැස ගනිමින් පවතින බවත් එමගින් පලස්තීනය ජනයාට එරෙහි යුද්ධය ආගමික ශුද්ධ යුද්ධයක් බවට ලෙස සැළකෙමින් ඇති බව ය. එයැවින්ම ඊශ්‍රායෙල හමුදවට මේ යුද්ධයේ දී නිති රීති කිසිවක් නැත.
මේ භයානක වර්ධනය ගැන අසතුටට පත් යුද හමුදා ප්‍රධානියකු වූ ඩැනි සමීර් මෙසේ කීවේ ය. ” ආගමික නායකයින් අපව සම්භාහනය කර අප අත්හි ආගමික පොත පත තබන්නනේ නම් අප එක් කණ්ඩායමක මිස අපේ සමාජයේ ම නියෝජිතයින් බවට පත් නොවේ. අප මේ ගැන කාට කියන්න ද?”
ඊශ්‍රායෙල හමුදාව දශක හතරක් පුරා පැවැතියේ ආගමික නොවූ ඓහිලෞකික ආයතනයක් ලෙස ය. නමුත් පසුගිය දශක දෙක තුළ එය අන්තවාදී ආයතනයක්බවට පත්ව තිබේ. මෙම තත්ත්වය විසින් ඇති කළ හැකි භයානක වර්ධනයක් පෙන්වා දෙන ඊශ්‍රායෙල් යුද හමුදා ආචාර ධර්ම පද්දතියේ සම කර්තෘ වන මහාචාර්‍ය මෝෂේ හර්බර්තල් කියන්නේ අන්තවාදි බලවේග හමුදාව හරහා ඊශ්‍රායෙල සමාජයම මත අන්තවාදී බලපෑමක් ඇති කිරීමට උත්සාහ දරණ බවයි.
යුද හමුදා ජාතිවාදී රණකාමී මතවාදයන්ට ගෙන ඒම අවසානයේ දී මුලු මහත් සමාජයටම විපතක් වන බව ඊශ්‍රායෙල් වාමාංශිකයෝ පෙන්වා දෙති.
”කොම්බියෝ ” – ගරිල්ලෝ දිනති.
” අපේක්ෂාවේ පක්ෂයට එක්වෙයල්ලා, වෙනසක් ලඟ එනවා” යැයි කැමරාවට උද්යොගිමත් කටහඬ දෙන්නේ රතු ටී ෂර්ටයක් හැඳගත් යෞවනියකි. ඇග් රූපය බොඳවෙමින් එතැන ගන්නේ කලු කණ්ානාඩි පැළඳ ගත් ජැන්ඩිකාර තරුණයෙකි. මේ වනාහී 1988 ගණන් අගභාගයේ එල් සැල්වදෝරයේ බලය අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියා සිටිය දී යකඩින් සහ ගින්නෙන් දවාඅලු කළ වාමාංශික පැරබුන්ඩෝ මාර්ටි විමුක්ති පෙරමුණ ( ත්‍ඵඛභ) පසුගිය මාර්තුවේ දී යොදා ගත් මැතිවරණ ප්‍රචාරක දැන්වීමකි.
1980 ගණන්හි දී ලතින් ඇමෙරිකාවේ දියුණුතම වාමාංශික විප්ලවවාදි සංවිධානය ලෙස සැළකුණේ ත්‍ඵඛභ ය. ග්‍රාමීය සහ නාගරික ගරිල්ලා අරගල ඒකාබද්ධ කරමින් ඇමෙරිකානු ගැති ඒකාධිපති පාලනය පෙරළා දමන තරමට එය ඉදිරියට ගමන් කරමින් සිටියා ය. ගරිල්ලා ව්‍යාපාරය මුල් බැසගෙන තිබූ ග්‍රාමීය පෙදෙස් මත දක්ෂිනාංශික ඇරීනා පක්ෂයේ නායකත්වයෙන් යුතුව මහා පරිමාණ මර්ධනයක් දියත් කරන ලදී. ඊට අමතරව මරා දැමිය යුතු බවට තීරණය කෙරුණු ආගමික ක්‍රියාධරයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍යයින්. ගුරුවරුන්, සහ මානව හිමිකම් ක්‍රියාධරයින් යනාදී කවරකු හෝ වේවා ඉතිරි කෙරුනේ නැත. රාජ්‍ය ත්‍රස්තවාදය ජය ගත්තේ ය. අංක තහඩු නැති වාහන මතින් සැරි සැරූ රාජ්‍ය අනුග්‍රහය ලද මිනීමරු ත්‍රස්ත කල්ලි සමාජයම බිය වද්දා හිරිවට්ටන ලදී.
පැරබුන්ඩෝ මාර්ටි විමුක්ති පෙරමුණ ද විනිසුරුන්ගේ, දක්ෂිනාංශික බුද්ධිමතුන්ගේ, ” ද්‍රෝහීන්ගේ” ආණ්ඩුවාදී නිලධරයින්ගේ මානව හිමිකම් කෙළසන බවට චෝදනා ලැබුවේ ය. එමෙන්ම එය දැවැන්ත මිලිටරි පරාජයක් ලැබුවේ ය. සිය උපාය මාර්ගයන් හි වෙනසක් අවශ්‍ය බව තේරුම් ගත් ඉතිරි වූ නායක පිරිස් පාර්ලිමේන්තු මැතිවරණ මගින් සිය බලය උරගා බැලිමට තීරණය කළෝය. ගරිල්ලා යුද්ධය අත හැරියහ. එනමුත් 1992 සිටම බලයට පත් වූයේ මිනීමරු කල්ලි නායකයකු වූ රොබර්ටෝ ඩි අබ්යුසොන් විසින් සහාය දෙන ලද ඇරීනා පක්ෂය යි. එය ධනය ද බලය ද එකසේ යොදා ගනිමින් දිගට ම බලයේ සිටියා ය.
2009 දී පැරබුන්ඩෝ මාර්ටි විමුක්ති පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වූ මුරිකෝ මූනාස් තරඟයට ඉදිරිපත් කළේ ය. ඔහු ජය ගත්තේ යුද්ධයෙන් පරදවන ලද ගරිල්ලන් කෙරෙහි සමාජයේ වූ ගෞරවය යළි පෙන්වා දෙමිනි. තමන් සමාජවාදී පිළිවෙත් ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ ක්‍රියාත්මක කරන බවට මූනාස් ජය දිනූ වහාම සහතික විය. ඔහුගේ සටන්පාඨය වුයේ ”වෙනසක්” යනුය. ඒකාධිපතියා පැරදුණි.
ගරිල්ලෝ – තවමත් කැලයේ
1980 ගණන්හි ආසියාවේ ශක්තිමත්ම මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය පැවැතියේ පිලිපීනයේ ය. 1980 දී එහි ගරිල්ලා භටයින් 80 ක් සිටයේයැයි කියති. එයට නායකත්වය දුන් පිලිපීන කොමියුනිස්ට් පක්ෂය රටෙහි දෙවන විපක්ෂ දේශපාලන බලවේගය බවට පැමිණ තිබුණි. එය විසින් ඉතා ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් ද ගොඩ නංවා තිබුණි. මහ ජනයා අතර එය ජනාදරයට පත්ව තිබුණි.
එකළ ඒකාධිපති මාර්කොස් විසින් රට පාලනය කලේ මර්දනයේ දරුණු හස්තයෙනි. ගරිල්ලා ව්‍යාපාරය එකම ශක්තිමත් විරුද්ධකම් පෑම බවට පත්ව තිබුණි. විශ්ව විද්‍යාලයන්හි ද කැරලිකරුවන්ගේ බලය අති මහත් විය. පිලිපිනය ආසියාවේ ඊළග විප්ලවයට සූදානම් බවට පෙර නිමිති බොහෝ විය.
මාර්කොස් පාලනය දෙදෙරා ගොස් ඉරි තලන්නට වූ විට ඇකිනෝ කොරෙසෝන්ගේ නායකත්වය ඇතිව ප්‍රජාත්‍රන්තවාදි විපක්ෂය නැගිට්ටේය. එහෙත් ඒ තුළ ද විප්ලවවාදින්ගේ බලය ප්‍රබල ලෙස තිබුණි. 1986 දී මාර්කොස්ට එරෙහිව ජනතා නැගිටීම් ඇති විය. යුද ටැංකි ඉදිරිපිට වාඩිලා ගත් ජනයා ඒවා ආපසු හරවා යැවූහ. විප්ලවවාදී ව්‍යාපාරය මෙම අරගලයට නායකත්වය දුනනේ නැත. ඔව්හු තව දුරටත් එකම උපාය ලෙස සන්නද්ධ අරගලය සළකා ගනිමින් මහජන අරගලය ගණනකට නොගෙන උන්හ. වෙනස් වූ දේශපාලන තත්ත්වයන් යටතේ නව උපාය මාර්ග අවශ්‍ය බව එහි නායක ජොසේ මරියා සිසෝන් පිලිගත්තේ නැත.
මහජන නැගිටීම් හමූයේ ඒකාධිපතියා පළා ගියේ ය. ගරිල්ලා ව්‍යාපාරය කැළයට වී සිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පක්ෂ බලයට පැමිණියහ. කොම්යුනිස්ට් පක්ෂය දෙකඩ විය. ගරිල්ලා ව්‍යාපාරය දුර්වල විය. නායක පිරිස් ඉවත් වූහ. ජෝසේ මරියා සිසෝන් රටින් පිට ගියේ ය. අද කොම්යුනිස්ට් පක්ෂය සමඟ ඇත්තේ ගරිල්ලා භටයින් 5000 පමණ පිරිසක් යැයි කියනු ලැබේ. තවමත් යුද්ධය පවතී. නමුත් ව්‍යාපාරයට ජනාදරයක් නැති තරම්ය. එය අවසාන කිරීමට පිලිපීන හමුදාවන්ට බැරි විය. ගරිල්ලෝ තවම කැලයේ සිටිති.
සුනන්ද දේශප්‍රිය.