Pic by – Adaderana.com
හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත් කෙරේ ලු. ඒ අතරින්, තමන්ගේ හතුරන් හැඳිගෑවී යන්නටත්, චුත කිරීමටත් ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන යි.
සත්ත්ව අවිහිංසාව සහ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් මේ ම්ලේඡ්ච යාග ක්‍රමය තහනම් කරන්නැ යි ඉල්ලා අභියාචනාධිකරණයට ගියෝය. තවත් එවැනිම පිරිසක් හලාවත දිස්ත්‍රික් විනිසුරුවරයා ඉදිරියටත් ගියහ. මේ යාගය වසර සිය ගණනක් තිස්සේ පැවත ආ ආගමික වතාවතක් වන හෙයින් එය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කෙළේය. එහෙත් ඊට දින කිහිපයකට කලින්, මේ වතාවත තාවකාලිකව නතර කිරීමේ අධිකරණ නියෝගයක් හලාවත දිස්ත්‍රික් විනිසුරුවරයා නිකුත් කර තිබුණි. තමාගේ නීතිය රටේ නීතියත් විය යුතු යැයි ප්‍රසිද්ධියේ කියා සිටින සහ එසේ ක්‍රියා කරන ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා වැඩි හයියට දිස්ත්‍රික් උසාවියේ නියෝගයත් අතට ගෙන මුන්නේෂ්වරම් කෝවිලට ගොස්, මරණයට නියමිතව සිටි එළුවන් සහ කුකුළන් 50 ක් බේරාගත් බව පුවත්පත් වාර්තා කෙළේය. මේ අතර, කැළණිය ප්‍රදේශයේ සියළු සත්ව ඝාතක ස්ථාන මේ සතියේ සිට තමා විසින්, එනම් තමාගේ පෞද්ගලික අභිමතය පරිදි තහනම් කරන බව, මර්වින් සිල්වා ප්‍රකාශයට පත්කොට තිබෙනවා පමණක් නොව, කැළණිය ප්‍රදේශයේ සතුන් මරණ කෙනෙකු වෙතොත් ඔහුගේ අත් කපා දැමිය යුතු බවට ද ඔහු අදහස් පල කොට තිබේ.
මේ කියන සත්ත්ව අවිහිංසාව පසුපස සැබවින්ම ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ මූලධර්මවාදී දේශපාලනය ගැන මේ ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් නැත. එය අද වන විට මුන්නේෂ්වරමේ පමණක් නොව දෙවිනුවර සිට පේදුරුතුඩුව දක්වා වන ඕනෑම තැනක කාටත් දැකගත හැකි විවිධ මුහුණුවරින් ඉස්මත්තට පැමිණෙමින් තිබේ. මේ බිළි පූජාවට එරෙහිව කටයුතු කොට මර්වින් සිල්වා ඇතුළු පිරිස් නිකංම ගෙදර ගියා නම් ඔවුන් කිසිවෙකුගේ උරහිස්වල තද පාටට අළු ගෑවෙන්නේ නැත. එහෙත් ‛වැඩි හොඳට’ බෝධි පුජා ව්‍යාපෘතියකුත් එහි අග්ගිස්සට ගැටගසා ගැනීම නිසා මේ පුහුල් හොරුන්ව පහසුවෙන් හඳුනා ගැනීමට අපට හැකි වී තිබේ.
රටේ පවතින නීතියට අපහාස කිරීමට සහ අභියෝග කිරීමට මර්වින් සිල්වා බය නැත. ඔහු රජයේ සේවකයන්ව මහ දවල් ගස් බැන්දේය. රටක ස්වෛරී නීතියට නිගරු කොට, ඒ සමග සෙල්ලම් කොට කුප්‍රකට නමක් ඇති කරගත් මෙවැනි දේශපාලඥයන්, කෙසේ වෙතත්, දෙවියන් සමග එසේ රණ්ඩුවට යාමේ දී ටිකක් පරිස්සම් වෙත්. එහි දී, සමන් සහ නාථ වැනි ‛සම්‍යක්’ දෙවිවරුන්ට පමණක් නොව, කතරගම සහ මුන්නේෂ්වරම් වැනි පරදේශක්කාර දෙවිවරුන්ටත් මොවුහූ මාරාන්තික බය පක්ෂපාත කමකින් යුක්ත වෙත්. ඒ කෙතෙක් ද යත්, මුන්නේෂ්වරම් ගොස් එළුවන් සහ කුකුළන් 50 ක් බලෙන් පැහැරගෙන ආ මර්වින් සිල්වාට, ඒ ‛පාපය’ වෙනුවෙන් මුන්නේෂ්වරම් දෙවියන්ගෙන් යම් විපතක් සිදු වෙතැ යි සිතා බෞද්ධ සිද්ධස්ථානවල බෝධි පුජා 1500 ක් මේ වන විට සංවිධානය කොට ඇති බව පුවත්පත් වාර්තා කරයි.
දැන් තරමක් සිහි නුවණ එලවන්න. මුන්නේෂ්වරමේ කෝවිල සහ මේ කියන බෝධි පූජා පැවැත්වෙන බෞද්ධ සිද්ධස්ථාන අතර ඇති වෙනස කුමක් ද? දේව බලය, ආධ්‍යාත්මික බලය, ලෝකපාලක බලය වැනි විවිධ නම්වලින් හැඳින්වෙන අධිභෞතික වරයක්, මේ ස්ථාන දෙකේම බැතිමත්තු අපේක්ෂා කරති. එහෙත්, එක තැනක ඒ සඳහා සත්ව ඝාතනය (රුධිරය) උපයෝගී කරගන්නා අතර අනිත් ස්ථානයේ දී ඒ වෙනුවට සිද්ධ කෙරෙන්නේ ගසකට (කිරි) යාගහෝම කිරීම යි. එක තැනක අමු හිංසාව, අනිත් ස්ථානයේ කිරි වන් සුදෝසුදු අවිහිංසාව. ඒ වෙනස අපට, අහසට පොළොව සේ හොඳටම පැහැදිළි යි. එහෙත්, මේ වෙනස පසුපසින් ඇති විශ්වාස පද්ධතිය තුළ හඳුනාගත හැකි යම් වෙනසක් තිබේ ද? කොහෙත්ම නැත.
ඔබෙන් පරිබාහිර සහ ඔබේ ලෝකයෙන් පරිබාහිර යම් අධිභෞතික බලවේගයක් මගින් ඔබ ජීවත්ව වන භෞතික ලෝකය කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කැරැවිය හැකි බව, මුන්නේෂ්වරම් කෝවිලේ හිංසාකාරී ම්ලේඡ්ච බිළි පූජාවට සහභාගී වන බැතිමතා සේම, අවිහිංසාවාදී බෝධිපූජා පවත්වන ‛බෞද්ධ’ ඔබත් තරයේ විශ්වාස කරයි. ‛ඒ වුණාට, අපි අහිංසක සත්තු මරන්නේ නැහැ නේ’ යැයි ඔබේ කටින් පිටවෙන හුරතල් උත්තරය මට සිතාගත හැකිය. එහෙත්, එසේ සතුන් මැරීම හරහා දේව බලයක් උත්පාදනය කරගත හැකි බව හෙවත් දේව හාස්කම බලගැන්වීම සඳහා එසේ සතුන් මැරීම අනිවාර්ය විය හැකි බව, ‛බෞද්ධ’ ඔබත් විශ්වාස කරන බව ඔප්පු කෙරෙන සක්‍රීය ක්‍රියාවක, බෝධි පූජා මගින් ඔබ නිරත වන බව මොහොතකටවත් ඔබ සිතා බැලුවේ ද?
ඔබ බෝධි පූජා පවත්වන්නේ, මර්වින් සිල්වා ඇමතිවරයාට මුන්නේෂ්වරම් දෙවියන්ගෙන් විපතක් සිදු විය හැකි ය යන විශ්වාසය මත යි. එනම්, මර්වින් සිල්වා ඇමතිවරයා මුන්නේෂ්වරම් දෙවියන්ගෙන් එළුවන් සහ කුකුළන් 50 ක් බලහත්කාරයෙන් පැහැරගෙන පැමිණීමට එරෙහිව ඔහුට දඩුවම් පැමිණවීමට තරම් ‛ආනුභාවයක්’ සහ ‛බලයක්’ එම මුන්නේෂ්වරම් දෙවියන්ට ඇතැ යි ඔබ ද විශ්වාස කරයි. දැන්, මේ පාරභෞතික විශ්වාසය සම්බන්ධයෙන් ඔබත්, මුන්නේෂ්වරම් කෝවිලේ දී හැඳිගෑවී යන්නට පලිගසන බැතිමතාත් අතර මූලික සංකල්පීය වෙනසක් නැති බව ඔබට පෙනෙනු ඇත. එහෙත් නැවතත්, එක තැනක (මුන්නේෂ්වරම් කෝවිලේ දී) හිංසාකාරී ප්‍රතිඵලයක් අපේක්ෂා කෙරෙන අතර, බෝධි පුජාවේ දී (බුදුන් වැඩම කළා යැයි පැවසෙන කැළණිය රජමහා විහාරයේ දී) අපේක්ෂා කෙරෙන්නේ ‛හිංසාවෙන් ආරක්ෂා වීමක්’ බව කෙනෙකු පෙන්වා දෙන්නට පිළිවන. එනම්, දෙපොලේ සිටින දෙන්නාගේ අපේක්ෂාවේ වෙනස යි. එකක්, හිංසාව. අනික අවිහිංසාව.
අපි ලෞකික පැත්තට හැරෙමු. ඔබේ අයිතිවාසිකමක් ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා (බෝධි පුජාවේ දී මෙන්) ඔබ උසාවි යයි. එසේම, ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ විට අදාළ පුද්ගලයන්ට දඩුවම් පමුණුවන්නැ යි ඉල්ලමින් ද (මුන්නේෂ්වරම් යනවා සේ) ඔබ උසාවි යයි. මුන්නේෂ්වරම් දෙවියන් සහ බෝධිපූජාවෙන් අත්කරගත හැකි යැයි ඔබ විශ්වාස කරන සේවාව, වෙනත් තලයක, පිළිගත් විශ්ව සාධාරණීය ලෞකික තලයක, ඉටු කර දෙන සැටි උසාවියේ දී ඔබට දැකිය හැකිය. ඔබව ආරක්ෂා කිරීම සේම ඔබට දඩුවම් කිරීමටත් බලය අධිකරණයට පැවරෙන්නේ මූලාශ්‍ර දෙකකින් නොව, එක මූලාශ්‍රයකිනි. ඒ වනාහී නීතියේ ස්වෛරීත්වය මත නිශ්චය කෙරෙන මානව යුක්ති ධර්මය යි. උසාවි සිය ගණනක් මේ රටේ තිබුණත්, එසේම ඔබේ අපේක්ෂාව කුමක් වුවත්, ඒ සෑම උසාවියකම පරම අධිකාරය ව්‍යුත්පන්න වන්නේ එකම මූලාශ්‍රයකින් බව දැන් ඔබට වැටහෙනවා ඇති.
ඒ ආකාරයෙන්ම, විවිධ දෙවිවරුන්ගේ විවිධ දේවාල දස දහස් ගණනක් මේ රටේ තිබුණත්, ලක්ෂ ගණනක් බෝ ගස් මේ රටේ තිබුණත්, ඒ සෑම ස්ථානයකම ‛ආනුභාවය’ සහ ‛හාස්කම’ ව්‍යුත්පන්න වන්නේ ද එකම මූලාශ්‍රයකින් බව අප තේරුම්ගත යුතුව තිබේ. ඒ මූලාශ්‍රය කුමක් ද? එය වෙන කිසිවක් නොව, බැතිමතා තුළ ඇති මෝහය සහ අවිද්‍යාව යි. හිතක් පපුවක් නැති ගසකට යාප්පු වීමෙන් සහ කන්නලව් කිරීමෙන් ආරක්ෂාවක් සැලසෙතැ යි සිතන ඔබත්, සත්ව රුධිරය පූජා කිරීමෙන් අනිකා හැඳිගෑවී යතැ යි සිතන ඔහුත්, එක් කෙනෙකු මිස දෙන්නෙකු නොවේ.
මේ නිසා, සතෙකු ඝාතනය කිරීමට එරෙහි වීමට ඔබට ඇති අයිතියම, එම සතා ඝාතනය කිරීමට මුන්නේෂ්වරම් බැතිමතාට ද ඇතැ යි, ඔබේ චින්තනය මත පිහිටා, මට තර්ක කළ හැකිව තිබේ. මුලින්ම, මර්වින් සිල්වා සහ ඔබ, මුන්නේෂ්වරම් දෙවියන්ගේ ‛බලය’ සහ ‛හාස්කම’ පිළිගනී. ඔබ විරුද්ධ වන්නේ, එම ‛බලය’ සහ ‛හාස්කම’ පණගන්වති යි විශ්වාස කෙරෙන රුධිර පුජාවට පමණි. එහෙත් අනිත් අතට, එම රුධිර පුජාව සහ අර කියන දිව්‍යමය හාස්කම ඉෂ්ට සිද්ධ වීම අතර අනිවාර්ය සම්බන්ධයක් ඇති බවට මුන්නේෂ්වරම් බැතිමතා දරණ විශ්වාසය ඔබත් දරයි. සතුන් පැහැරගෙන ඒමෙන් එම රුධිර පුජාවට බාධා පැමිණවීම නිසා මුන්නේෂ්වරම් දෙවියන් කෝප විය හැකි බවට ඔබ විශ්වාස කොට, එයින් මර්වින් සිල්වාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ බෝධි පුජා පවත්වන්නේ එබැවිනි. දැන්, බෞද්ධ ඔබ සහ මුන්නේෂ්වරම් හින්දු බැතිමතා අතර ඇති වෙනස කුමක් ද? කිසි වෙනසක් නැත. මර්වින් සිල්වා ආරක්ෂා කර ගැනීම සඳහා බෝධි පුජා පැවැත්වීමෙන් ඔබ ද අවසානයේ දී මුන්නේෂ්වරම් බිළි පූජාවේ අධිභෞතික බලය පිළිගන්නා හින්දු බැතිමතෙකු වී තිබේ.
දැන් අනිත් පැත්තට අපි හැරෙමු. පිරිසුදු බුදු දහම පවතින ලෝකයේ ඇති එකම රට ලංකාව යැයි නිතර දෙවේලේ කියනු අපට ඇසේ. දැන්, මුන්නේෂ්වරමේ සත්ත්ව බිළි පුජාවට, ‛සත්ව අවිහිංසාවේ’ වේදිකාව මත සිට විරෝධය පාන අයවළුන්ගෙන් කී දෙනෙක් ‛වෙජිටේරියන්’ හෙවත් ශාකභක්ෂක ද? අපේ සිංහල=බෞද්ධ සංඝ සාසනයෙන් කී නමක්, තමන්ගේ දානයට මස් මාළු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
මර්වින් සිල්වා මුන්නේෂ්වරම් යන දවසේ එම කෝවිලේ මරණයට නියමිතව සිටියේ එළුවන් සහ කකුළන් 50 ක් පමණි. එහෙත් එම දවසේම, කොළඹ පමණක් ඝාතනය කෙරුණු ගවයන් සංඛ්‍යාව 300 කි. එදා මුළු රට පුරා ඝාතනය වූ කුකුළන් සංඛ්‍යාව 300,000 (තුන් ලක්ෂයකි). එදා දවසේ රට පුරා වෙළඳහල්වල මෙට්‍රික් ටොන් මිලියන 30 ක මාළු ප්‍රමාණයක් විකිණීමට තිබුණි. මේ වනාහී, එළුවන්, ඌරන්, සහ තාරාවන් වැනි අප පරිභෝජනයට ගන්නා වෙනත් සතුන් ද, සතුන්ගේ මස්වලින් නිෂ්පාදනය කෙරෙන වෙනත් නොයෙකුත් අවශේෂ (සොසේජස් වැනි) ආහාරපාන ද නැතිවය.
මේ කරුණු මගින් භද්‍රකාලී බිලි පූජාව යුක්ති සහගත කෙරෙන බවක් සිතිය යුතු නැත. මිථ්‍යාව, මුන්නේෂ්වරමේ හින්දු කෝවිලක කපුවෙකු ඉදිරියේ උපන්නත්, බෞද්ධ පන්සලක බෝ ගස් සෙවණක උපන්නත්, එකහෙලා පිටුදැකිය යුතු ය. එහෙත් අමතක නොකළ යුතු කරුණු දෙකක් තිබේ: එක, සතුන්ගේ මස් මාළුවලින් රස නහර පිනවා ගන්නා කිසිවෙකුට ‛සත්ව අවිහිංසාව’ ගැන කතා කිරීමට අයිතියක් නැත. දෙක, එක මිථ්‍යාවක් තවත් මිථ්‍යාවකින් අභියෝගයට ලක් කළ නොහැක.