‛අද වමට වෙලා තියෙන්නෙ මහා ඇලෙක්සැන්ඩර්ට වුණු දේ ’ – [ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ]
“අද මිනිස්සුන්ට විවේකයක් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩකරනවා. වැඩ කරලා ගෙදර ඇවිල්ලා වාඩි වුණාම දකින්නෙ රූපවාහිනිය. විනෝද වෙන මාර්ගයත් ධනවාදය විසින් හදලා තියෙනවා. ටී.වී එකේ තියෙන ටෙලි නාට්‍ය ටික බලලා තමයි අපි නිදාගන්නෙ. ඉතින් මේ ටෙලි නාට්‍ය වලින් මිනිස් ජීවිතය අන්ත පිරිහීමකට ලක්කරනවා. ඒවා අපව දිරිගන්වන්නේ පහත් ආශාවන් තෘප්ත කර ගැනීමේ පැත්තට. භෞතික භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා අපිට ඉලක්කයක් දීලා තියෙනවා . අද විවිධ රූපවාහිනී චැනල් වල විවිධ වාස්තු විද්‍යා තත්වයන්ට හදපු ගෙවල් පෙන්වනවා. ඉතින් මේ ගෙවල් දැක්කම අපිට දැන් සතුට නැහැ,අපිට තෘප්තිය නැහැ, අපි හොයන සතුට අර ගෙවල් වල තියෙනවා කියලා අපි හිතනවා. ඊට පස්සෙ අපි ටී.වී එකේ දැක්කා වගේ ගෙයක් හදන්න ණය වෙනවා. අන්තිමට අපි හදන ගෙදර අපිට ඉන්න වෙලාවක් නැහැ. මොකද ණය ගෙවන්න වැඩ කරන්න සිද්ධ වෙනවා. අවසානයේ අපි ජීවත් වෙන්න ගෙයක් හදලා නෙමෙයි. ගෙයක් හැදීම සඳහා ජීවිතය පරිත්‍යාග කරලා. පාරිභෝගික ධනවාදී උමතුව ඇතුළෙ මිනිස්සුන්ව වට්ටලා තියෙන්නෙ මේ තැනට පත්කරලා තියෙනවා. අද වෙන කොට අප තුළ මිනිස් සබඳතා නැහැ. අද සියළු මිනිස් සබඳතා දේපල සබඳතා බවට පත්වෙලා තියෙන්නෙ. අද අපි මිනිස් සබඳතා කැප කරලා අත් පත් කර ගත නොහැකි ෆැන්ටසීන් හඹා යනවා. දැන් අපිට තියෙන අභියෝගය තමයි නැතිවෙච්ච මනුෂ්‍යත්වය නැවත ලබා ගන්නෙ කොහොමද කියන එක. අපේ නිෂ්පාදන කේෂත්‍රය බිඳ වැටෙයිද? ආදායම අහිමි වෙයිදි? මහජන සුබසාධන සේවාව බිඳවැටුනට පස්සෙ මොනව වෙයිද? අපේ ළමයින්ව ඉස්කෝලෙ යවන්න පුළුවන් වෙයිද? වගේ ප්‍රශ්න වලින් එහා ගිය මනුෂ්‍යත්ය පිළිබඳව දැවැන්ත අර්බුදයක් මේ නව ලිබරල් ධනවාදය මතුකරනවා. වමේ ව්‍යාපාරය පිළිතුරු සෙවිය යුතුව තියෙන්නෙ එන්න ඒකට.”
“නව ලිබරල්වාදයේ දෙවන ඉනිම සහ වමේ අභියෝගය” නමින් ආර්ථික අධ්‍යන පර්ෂදය විසින් ඊයේ (28) කොළඹ නව නගර ශාලාවේදී සංවිධානය කර තිබූ සංවාදශීලී සම්මන්ත්‍රණයේදී ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ විසින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කරන ලදී. මෙහිදී පුබුදු ජයගොඩ තව දුරටත් මෙලෙස අදහස් දැක්වීය.
“ජීවිතය කියන්නෙ ඇන්දීම සහ ගේම් ගැසීම කියලා නව ලිබරල්වාදය අපට කියනවා. පුළුවන් තරම් වටේ ඉන්න අයව අන්දවන්න. පුළුවන් තරම් ගේම් ගහන්න. ගේම් වලින් තමයි ගොඩ යන්න පුළුවන් කියලා තමයි කියන්නෙ. මනුෂ්‍ය සමාජය මූණ දීලා තියෙන මේ ඛේදවාචකය ඉස්සරහ ධනවාදයට මොකක් හරි පිළිතුරක තියෙනවද? මේකට උත්තරයක් නිර්මාණය කළ යුතුව තිබුණෙ වමේ ව්‍යාපාරය විසින්. මම වාමාංශික පක්ෂයක ක්‍රියාධරයෙක් විදිහට නිහතමානීව කියන්න ඕනෙ වම ඒකට පිළිතුරක් හොයන්න අසමත් වුණා කියලා. වමේ ව්‍යාපාරයට මේ අගතීන්ගෙන් ගැලවෙන්නත් බැරි වුණා. නව ලිබරල් ධනවාදයට විරුද්ධ සටන් පාඨය අතේ තියාගෙනම නව ලිබරල් ධනවාදය මගින් ගොඩනගපු සියළු අගතීන් වල වමේ ව්‍යාපාරය ගිලුණා. ලෝකය පුරා තියෙන වමේ ව්‍යාපාර වලට පැවැත්ම සඳහා හෘදය සාක්ෂිය අත් අරින්න සිදු වුණා. පැවැත්ම,බලය, දෛනික ක්‍රියාකාරීත්වය සඳහා ආධ්‍යාත්මය අතහරින්න බලකෙරුනා. නව ලිබරල්වාදය විසින් මිනිස්සුන්ට වෙච්ච දේම වමේ ව්‍යාපාරයටත් වුණා. සමහර ව්‍යාපාරයන් වද වේදනා මැද්දෙ, ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආපු උරුමයන් පොඩි ලංසුවකට අත හැරලා දාන්න සිදු වුනා. වමේ ව්‍යාපාරයත් උපයෝගීතාවයට අසුවුණා. ප්‍රතිපත්තිමය අභියෝගතාවලට ශක්තිමත්ව ඉන්න එක වෙනුවට වරින් වර එන අභියෝග වලට අනුව තමන් හැඩගැසෙන වමේ ව්‍යාපාරයක් ලෝකය පුරා ගොඩනැගුණා.”
“මේ සමාජයේ ජාතිකවාදය, ප්‍රාදේශීයවාදය, ගෝත්‍රවාදය වගේ හැඟීම් මුල් බැහැලා තියෙන්නෙ. විවිධ මිත්‍යා විශ්වාසයන් මුල් බැහැලා තියෙනවා. වගකිව යුතු සමාජ ව්‍යාපාරයකට තියෙන්නෙ ඒවා සමග සටන් වැදීමයි. නමුත් වමේ ව්‍යාපාරයන් ඒවා සමග සටන් වදිනවා වෙනුවට උපයෝගීතාවය සඳහා ඒවා සමග සම්මුතීන් වලට ගිහිල්ලා කටයුතු කරන්න පටන් ගත්තා. නව ලිබරල්වාදයට ඕනෙ වුණෙ එහෙම සමාජයක් හදාගන්න. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව යටත් කර ගත්තට පස්සෙ ඉන්දියාවෙ තිබුණු ජෝතිෂ්‍ය,මන්තර වගේ ඒවා දැකලා විශ්මයට පත් වුණා. ඇලෙක්සැන්ඩර් මිථ්‍යා විශ්වාස වල ග්‍රහණයට ලක්වුණා. අන්තිමට කතාවක් තියෙනවා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව යටත් කළාද, නැත්නම් ඉන්දියාව විසින් මහා ඇලෙක්සැන්ඩර්ව යටත් කළාද කියලා. නව ලිබරල්වාදය එක්ක සටන් කරද්දි වමට එහෙම එකක්ද වුණේ කියලා සලකා බැලිය යුතුයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන දේශපාලනයක් වෙනුවට මේ සමාජ ක්‍රමය තුළ හිඳිමින් ඒකෙ මතු පිට දේවල් වෙනස් කිරීමට උත්සාහ ගන්නා දේශපාලනයක් දක්වා වමේ ව්‍යාපාරයට පසු බසින්න සිදුවුණා. ඒ නිසා ලෝක පරිමාණයෙනුත්, දේශීය තත්වයෙනුත් වමේ ව්‍යාපාරයට වැරදිච්ච තැන් තියෙනවා. ඉතාම නිහතමානී ලෙස වැරැද්ද තේරුම් ගත යුතුව තියෙනවා,වැරැද්ද සාකච්ඡා කළ යුතුව තියෙනවා, වැරැද්ද හදා ගත යුතුව තිබෙනවා.”
“වමේ ව්‍යාපාරයක් කියන්නෙ හුදු දේශපාලන සටන් පාඨ ගොඩක් නෙමෙයි. වම කියලා කියන්නෙ ජීවන විලාසිතාවක්. වමේ ව්‍යාපාරයක් කියන්නෙ සතියකට දෙක ගානෙ මාධ්‍ය සාකච්ඡා තියෙන එකක් නෙමෙයි. වමේ ව්‍යාපාරය කියන්නෙ සම්මන්ත්‍රණ තිය තිය ඉන්න එකටත් නෙමෙයි. වම කියන්නෙ ජීවන දැක්මක්. තම ජීවිතයේ මුලු හරයෙන්ම මේ නව ලිබරල්වාදී අගතීන්ගෙන් මිදුණු වමක් අවශ්‍යයි. මේ ඉන්න දේශපාලඥයාගේම රතු පාට ඇන්ද දේශපාලඥයා නෙමෙයි. මේ තියන ආකෘතියෙම රතු පාට මොකක් හරි නෙමෙයි. වෙනස් ජීවන විලාශයක් සහිත වමක් අවශ්‍යයි. මේ නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතාම ජයග්‍රාහීව අරඹන වෙලාවෙ වම ඉස්සරහ තියෙන අභියෝගය තමයි වම ලෑස්තිද විමුක්තිදායකයා වෙන්න කියන එක.”
“දැන් නව ලිබරල් වාදයට එරෙහිව වමේ ව්‍යාපාරය තුළ ප්‍රවණතා දෙකක් තියෙනවා. එකක් තමයි අති වාම ප්‍රවණතාවය. අන්තවාදී ලෙස සමාජයෙන් වියුක්තව වෙනම නිකායවාදී කුඩා කුඩා කණ්ඩායම් වලට බෙදුණු වමක් තමයි මේ අති වාම කියලා කියන්නෙ. වමේ ව්‍යාපාරයේ තව පිරිසක් ඉන්නවා ඇතිවාම කියලා. ඒ අයට වම ඇති වෙලා තියෙන්නෙ. මේ අය වම කියලා කියන ගමන් දකුණෙ තමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා සමාජයෙන් වියුක්තව පොඩි පොඩි කණ්ඩායම් හැදුණ අති වාම ව්‍යාපාරයකින් අපිට වැඩකුත් නැහැ, වමේ ව්‍යාපාරයේ නාමයෙන් නව ලිබරල්වාදයේ සියළු අගතීන්හි ගිලිලා ඉන්න ඇති වාම ව්‍යාපාරයකිනුත් වැඩක් නැහැ. අතිවාම සහ ඇතිවාම යන දෙකෙන්ම වෙනස් වුණු ඇත්ත වමේ ව්‍යාපාරයක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා.”
පසුගිය සමයේ ආණ්ඩුව ගෙනගිය ජාතිකවාදී ප්‍රතිපත්තියේදී ජ.වි.පෙ කටයුතු කළ ආකාරයත්, අනාගතයේදි ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජ.වි.පෙ ස්ථාවරයත් පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පුබුදු ජයගොඩ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළේය.
“මම කණ්ඩායමක් විදිහට නෙමෙයි කතා කරන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ විදිහටයි. අපිට ශක්තිමත් ප්‍රතිපත්තියක් තිබුණා. ජාතිවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සමානාත්ම හා ප්‍රජාතන්ත්‍රවාදී පදනම මත පීඩිතයා ඒකරාශී කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය වුණෙ. නමුත් ඒ ප්‍රතිපත්තිය මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙද්දි සමහර අවස්ථාවල සමතුලිතය බිඳ වැටුණා. බෙදුම්වාදය හා ජාතිවාදය කියන එක පරාජය කිරීමට වැඩි බරක් දෙද්දි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම, සමානාත්මතාවය ගොඩනැගීම, පීඩිතයා සමගි කිරීම වගේ පැති පිළිබඳ අවධානය ගිලිහිණු තත්වයක් ඇති වුණා. සිදුවුණු සමහර අඩුපාඩු සම්බන්ධයෙන් පක්ෂය දැකලා තියෙනවා. අපි අතින් සිදුවුණු අඩුපාඩු පිළිබඳව සමාජයත් එක්ක නිශ්චිත කතාබහක් කළ යුතුයි කියලා පක්ෂයේ සාකච්ඡා කරලා තියෙනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් නිසා මේ පිළිබඳව මගේ පෞද්ගලික අදහස් පල කිරීමට මට බාධාවක් තියෙනවා. අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ ඇතිවෙච්ච අඩුපාඩු සම්බන්ධව නිශ්චිත සාකච්ඡාවක් සමාජයත් එක්ක ඉදිරියේදී ඇති වීමට නියමිතයි. මතුවෙච්ච යම් මතභේදාත්මක තත්වයන් එක්ක ඒ සාකච්ඡාව පොඩ්ඩක් ප්‍රමාද වුණා. නමුත් ස්ථීර වශයෙන්ම මේ පිළිබඳව සාකච්ඡාවක් නුදුරේදිම සමාජයත් එක්ක කරනවා. ඒ සඳහා අවශ්‍යකරන නිහතමානී කම අපට තියෙනවා. අපිට කොතනදි හරි වැරදිලා තියෙනව අපිට වැරදුණා, අපි ඒ වැරැද්ද හදා ගන්න ලෑස්තියි කියලා සමාජය ඉස්සරහ කියන්න කිසි පැකිලීමක් නැහැ.”