Colombo, end of the War, Featured Articles, Features

මිනී මරණ පොලීසිය, දොම්පේ සහ නවන්තුරෙයි අතර දුර සහ ‛සිංහලයා හා දමිළයා’ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

නවන්තුරෙයි තියෙන්නේ යාපනයේ ය. දොම්පේ තියෙන්නේ කොළඹ ය. නවන්තුරෙයි හි ජීවත්වන්නේ ශ්‍රී ලංකික දෙමළ ජනයා ය. දොම්පේ ජීවත්වන්නේ ශ්‍රී ලාංකික සිංහල ජනයා ය. මේ නගරද්වාරයේ ඇති වූ සිදුවීම් දෙකක් විසින් ඉහත කී ප්‍රශ්ණය අප වෙත යළිත් වතාවක් දමා ගසනු ලැබ තිබේ.

පසුගිය සැප්තැම්බර් 29 දින දොම්පේ පොලිසිය සොරකම් සම්බන්ධයෙන් යැයි කියා තරුණයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගත්තේ ය. ඉන් එක් තරුණයකු එක් දරු පියකු වූ ගයාන් සාරංග විය. සාරංග අත් අඩංගුවට ගෙන ඇති බව දැන ගන්නට ලැබුණූ ඔහුගේ බිරිඳ දොම්පේ පොලීසියට ගොස් අත් අඩංගුවට ගෙන ඇති සිය සැමියා බැලීමට අවසර යැදුවා ය. පොලීසියේ මහත්වරු පුරුදු පරිදි බොරු කියා ඇය රස්තියාදු කර රූ බෝවී ගෙන එත් දී ඇය ආපසු හරවා යැව ූහ. ඇත්ත වශයෙන් ම නම් ඒ වන විටත් පොලීස් ස්ථානය පිටු පස දෙපයින් එල්ලූ සාරංගට පොලිස් නිලධාරිහු දෙතිස් වද දෙමින් තිබුණි. පසුව ගයාන් පමුණුවා තිබූ වධ ඉවසා ගත නොහෙනු ඔහුගේ පියා ලය පැලී මිය ගියේ ය.

පසුදින පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේ ය. ‛‛2011.09.29 වන දින දොම්පේ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ඔවුන් විසින් අපරාධ විස්සකට වැඩි ප්‍රමාණයක් සිදුකල බවත් එම අපරාධ වලට මියගිය පුද්ගලයාද සම්බන්ධ බවට ඉදිරිපත් වු තොරතුරු මත පැය 15.30 ට පමණ දොම්පේ පොලිස් ස්ථානය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලදි, අනාවරණය වු පරිදි සැකකරු විසින් සොරා ගන්නා ලද සොර බඩු සොයා ගැනිමට දොම්පේ පොලීසිය ක්‍රියා කල අතර එක් වතුර මෝටරයක් ඔහු සන්තනකයේ තිබි සොයා ගෙන ඇත. අනිකුත් සොර බඩු සොයා ගැනිමට යෑමේදි දෙකටන ප්‍රධාන මාර්ගයේදි සැකකරු ජීප් රථයෙන් පැන්න බවට තොරතුරු වාර්තා විය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වු ගනේආරච්චි අප්පුහාමිලොගේ ගයාන් සාරාංග නැමති අයෙකි.’’

පොලිස් ජීප් රථයකින් සැකකරුවන්ට පැනීමට පුලුවන් ද බැරිද කියා ඕනෑම වැඩිහිටයකුගෙන් අසන්න. නිසැක උත්තරය වනු ඇත්තේ ‛බැහැ’ කියා ය. පොලිස් වාහනයකින් පැන සැකකරුවකු මියගියේ යැයි යන කතා විශ්වාස කිරීමට තරම් මහා ජනයා මෝඩ නැත. එනයින් මහාජනයා සිය කතාව විශ්වාස නොකරන බව දැන දැනත් දොම්පේ පොලීසිය එම ප්‍රබන්ධය පොලිස් නිවේදනයක් ලෙස ප්‍රකාශ කළේ අනුමාන දෙකක් මත ය. පළමුවැන්න නම් ස්වයං වාරණය සිය ඉහළම සදාචාරය බවට පමුණුවා ගෙන ඇති ශ්‍රී ලංකාවේ බහුතර ජනමාධ්‍ය විසින් එම ප්‍රබන්ධය ඇසින් දුටු සත්‍යයක් ලෙස මහා ජනයාට ගිල්ලවනු ඇතිය යන විශ්වාසය යි. අනෙක් අනුමානය නම් යුද්ධ ජයඝොෂා විසින් හිරිවට්වනු ලැබ සහ සන්නද්ධ බලපරාක්‍රමය විසින් බිය ගන්වා ඇති මහා ජනයා පරිදි ම ගයාන් ගේ ඥාති ජනයා ද මෙම මරණය නිහඬව පිළිගෙන බණක් කියා දානයක් දී හිත හදා ගනු ඇතිය යන්න යි.

බහුතර ජනමාධ්‍ය සිය රාජ (පක්ෂ) කාරිය හරියටම කළ නමුත් ගයාන්ගේ ඥාති සහ අසල්වාසී පිරිවර එම ප්‍රබන්ධය ගිල්ලේ නැත. දහස් ගණනින් එක්ව ඔව්හු පොලීසිය වට කළහ. හූ කීහ. ගල් ගැසූහ. ගිනි තැබූහ. පොලිස් වාහන ගිනි ගත්හ. පොලිස් ජනෙල් දොර බිදී ගියේ ය. බහුතර ජනමාධ්‍ය විසින් සඟවන ලද නමුත් සිය ඥාතියා සහ සගයා මරා දැමුනේ මීනි මරණ පොලීසිය විසින් බව එමගින් ජනයා විසින් වීදියෙහි ලියා තැබූහ. පත්තර කඩදාසි වෙනුවට මහා ජනයාට ඇත්ත කතාව ලිවීමට වීදිය යොදා ගැනීමට සිදු විය.

යුද හමුදාව මහ රෑ නිවෙස් වලට පැන පොලීසියට වටකර පහර දුන් ජනයා අත් අඩගුවට ගත්තේ හෝ ඔවුනට පහර දුන්නේ හෝ නැත.

ඒ වෙනුවට පොලිස්පතිවරයා අලුත් තනුවක් වාදනය කරමින් කළ එළි බැස්සේ ය. ගයාන් සාරංග මිය ගියේ ජිප් රථයෙන් පැනීමෙන් යැයි කියූ ප්‍රථම පොලිස් නිවේදනය අසත්‍ය බව ඔප්පු වී තිබෙන බව ඔහු කියා සිටියේ ය. ඉන් අනතුරුව මරණයට සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත් අඩංඟුවට ගැණුනි. එපමනකින් නොනැවතුනු ආණ්ඩුව දොම්පේ පොලීසියෙහි එවකට සේවයේ නියුතුව සිටි නිලධාරින් 75 දෙනොම වහාම මාරු කර යවන ලදී. බොහෝ විට මරණය වෙනුවෙන් මිලියනයෙන් බැඳි පියල්ලක් අල්ලස් වශයෙන් ගෙවන්නට ද ඉඩ තිබේ.

දැන් අපි වෙනත් ස්ථනයකට යමු. ඒ යාපනයේ නවන්තුරෙයි ය. දිනය පසුගිය අගොස්තු 22 දා ය.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් ජීවත්වන පෙදෙස්හි සැරි සැරීමට අභිරුචියක් පෙන්වූ ග්‍රීස් යකුන් පස් දෙනෙකු ඒ අගෝස්තු 22දා රැයෙහි යාපනයේ නවන්තුරෙයි පෙදෙසෙහි දෘශෂමාන විය. සිය දර්ශනයෙන් ගම් වැසියන් කැළඹිල්ලට පත්වනු දුටු යකුන් පිරිස එක එල්ලේ දිව ගොස් නවන්තුරෙයි හමුදා කඳවුර තුළට වැද අතුරුදහන් විය. ගම් වැසියෝ මහත් සංත්‍රාසයට ද කේන්තියට ද පත්ව හමුදා කඳවූර දෙසට රංචු ගැසුණි. එවිට අර ග්‍රීස් යකුන් පස් දෙනා හමුදා වාහනයක නැගී හමුදා නිල ඇදුමින් සැරසි පලා යනු ජනයා දුටුවෝ ය. ඔවුන්ගේ භීතිය කෝපය බවට පෙරළුණි. එක් ග්‍රීස් යකකු වාහනයෙන් පිටට කිණිස්සක් උලුක්කු කර දත් විළිස්සා ජනයාට ඔලොක්කුවක් ද දැමී ය. අයෙක් එම වාහනයට ගල් මුල් දමා ගැසූහ. හූ කීහ. එපමණකි.

හමුදා වාහන ගිනි ගත්තේ නැත. හමුදා කඳවුරේ ජනෙල් දොර බිදී ගියේ නැත. කදවුරට වූ අලාභයක් ද නැත. එනමුත් එම රැයෙහි ම අලුයම 1.30ට පමණ සිය ගනන් හමුදා පිරිස් නවන්තුරෙයි ගම්මානය වටකර නිවෙසින් නිවෙසට යමින් වෙඩි තබමින්, පහර දෙමින් ගම්වැසි පිරිමින් අත් අඩංඟුවට ගත්හ. අයකු දෙදෙනකු නොවේ. සියකටත් වඩා අත් අඩංඟුවට ගත්හ. එපමණක් ද? නැත. එම රැයෙහිම දරුණු ලෙස පහර දී ඉන් විසි දෙනෙකුගේ පමණ අත් පා බිද දැමූහ. අනෙක් පිරිස් තවත් අනේක වධ හිංසාවන්ට ලක් කළහ. සිය ගණනාවක් වූ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම පැය ගණනාවකින් පමා කළහ. අන්තිමේ දී අධිකරණය ඉදිරියට පමුණුවා රුඳවුම්භාරයට යැවූහ.

මෙම වධහිංසා පැමිණවීමට වගකිව යුතු කිසිදු යුද නිලධරයකු මාරු කර යැවුනේ නැත. සැක පිට කිසිවකු අත් අඩංඟුවට ගැනුනේ ද නැත. හමුදාපති කිසිම ප්‍රකාශයක් කළේ ද නැත. අත් අඩංඟුවට ගත් මේ දෙමළ ශ්‍රී ලංකිකයින්ගේ අත් පා බිඳ වධහිංසා පැමිණ වූයේ කවරකු විසින්දැයි තවමත් අප දන්නේ ද නැත. වන්දි වෙනුවට ඔවුන්ට හිර ගෙදර කල් දේරම් බත් ලැබුණි.

දොම්පේ සහ නවන්තුරෙයි අතර ඇයි මේ වෙනස? අප එම ප්‍රශ්ණය ඇසීමටත් පිළිතුරු සෙවීමටත් සූදානම් ද? මේ වනාහී 2011 අගෝස්තු සහ ඔක්තෝබර් මාසයන්හි දී සිදු වූ හුදකලා සිදුවීමක් නොවේ. නිදහස් ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයා මත පැනවුණූ අසමානාත්වයේ එක් කුඩා සිදු වීමක් පමණි. මෙරට දෙමළ ජනයාගේ ආත්මය පුරා පවතින්නේ මෙම අසමානත්වයේ විපාකය වන අවසානයක් නැති ගැහැට විසින් ඇති කරන ලද වේදනාව සහ කේන්තිය යි.

දෙම්පේ සිංහලයා මරා දැමු පොලිස් නිලධරයිනට ආණ්ඩුව විසින් නඩු පවරනු ඇත. නවන්තුරෙයි දමිළයිනගේ අත් පා කැඩූ පොලිස් හෝ හමුදා පිරිස්වලට එරෙහිව අධිකරණයෙහි නඩු පවරනු ලැබුණේ එම විනිදිතයින් ම විසිනි. රජය කාගේ ද කියා දෙමළ ජනයා වටහාගෙන ඇත්තේ මෙවැනි සිය ගනන් දහස් ගනන් අසාධාරණයන් හරහා ය.

මෙම අසාධාරණයේ පදනම කුමක් ද? දෙමළුන් දෙවැනි පන්තියේ යැයි කැරෙන විශම සැළකීම නිසා ද? කල්පනා කර බලන්න.

ප.ලි.

මොරටුවෙහි දී අත් අඩංඟුවට ගන්නා ලද සිංහල තරුණයකු දැන් පොලිස් අත් අඩංගුවේ දී මරා දමා තිබේ. පොලිස් ප්‍රබන්දය නම් එම තරුණයා ගඟට පැන මිය ගිය බවයි. මෙයට පෙර නාවික හමුදාවෙහි විශේෂ මුහුදු සටන් පුහුණු වූ හිටපු නාවික හමුදා සෙබළකු පොලිස් අත් අඩංඟුවෙහි දී මෙළෙසම කැළනි ගඟට පැන මිය ගියේ පිහිනීමට බැරිව ය! මොරටු තරුණයා මරා දැමීම ද දැන් ජාතික පුවත්පත් විසින් අලෙවි කරමින් සිටින්නේ පාතාලයකුගේ සිදුවිය යුතු මරණයක් ලෙස ය. නමුත් ඔහුගේ ඥාතිහු එම ප්‍රබන්ධය පිළි නොගනිති.

සුනන්ද දේශප්‍රිය