“මුළු රටම භීතියෙන් ඇලලූ මිලේච්ඡ ඝාතකයා ඝාතනය වී ඇත.මේ මොහොතේදී මුළු රටම රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන බව, බොහෝ ස්ථාන වල කැවුම් කිරිබත් වලින් සංග්‍රහ කෙරෙන බව, ජාතික ධජය ඉහළට නංවා ශ්‍රී ලංකා ජාතියේ අභිමානය මුළු මහත් ලෝකයටම කියා සිටින බවත්, රටේ දස දෙසින් වාර්තාකරුවන් අපට වාර්තාකරමින් සිටින බව ඉතාමත්ම සතුටින් අප කියා සිටිනවා.”
මීට වසර දෙකකට පෙර 2009 මැයි මාසයේ රූපවාහිනිය ඉදිරිපිට දී ඉඳ ගෙන, හිට ගෙන, මුව අයාගෙන ඉහත පුවත දෙස නෙත් දල්වාගෙන බලා සිටියා මතකය. නන්දිකඩාල් කලපුව පෙලූ තිස්වසරක නියඟය අවසන් වී ඇති බව කවුරුන් හෝ කෑ ගසා පැවසුවා මතකය. කාලයාගේ ඇවෑමෙන් සතුරෙකු ගෙන් තොර සමෘද්ධිමත් දේශයක පිපී ඇති වසන්තයේ මල් දකිනු රිසිව දිනපතා උදයේම කවුළු හැර බැලුවා මතකය. නමුත් මල් පිබිදෙනවා වෙනුවට, සමෘද්ධිමත් වනවා වෙනුවට, පරාජය කළා යැයි පාරම් බාන ‛ත්‍රස්තවාදය’ අපගේ ගෙමිදුලේ හිට ගෙන ඉන්නවා අපට පෙනෙමින් තිබේ. ඉතින් තිස් වසරක් රටට වින කළ ත්‍රස්තවාදය පරාජය කලා යැයි කියමින් තව තිස් අවුරුද්දක් බලයේ සිටීමට සිහින මවන්නන්ට පැවසිය යුත්තේ ඔවුන් ත්‍රස්තවාදය පරාජය කලා නොව ත්‍රස්තවාදය වපුරා ඇති බවයි.
එගොඩ ගොඩෙත් සිල්වලා
එදා නන්දිකඩාල් කලපුවෙන් අවසන් කලා යැයි පාරම් බෑ ත්‍රස්තවාදය අද නන්දිකඩාල් වලින් නොනැවතී කැළණි ගං මිටියාවතද ආක්‍රමණය කර ඇත. මේ සඳහා හොඳම උදාහරණය ගෙන එන්නේ කැළණි ගඟෙන් එගොඩ සිටින සිල්වා කෙනෙකි. මොහු මිනිසුන් ගස් බඳිමින්, ජනමාධ්‍ය වේදීන්ට පහර දෙමින්, අසරණ මිනිසුන්ට චණ්ඩි පාට් දමමින් මුළු එගොඩ කැළණියම භීතියෙන් අලලමින් සිටියි. මොහු විසින් මරණයට නියම කර ඇති එළුවන්, කුකුළන් බේරා ගන්නා අතරම ජීවත්වීමට නියම වී ඇති මිනිසුන්ට මරණ තර්ජනය කරමින් ලංකාවට අළුත් දේශපාලන දර්ශනයක් හඳුන්වා දෙමින් සිටියි. එනම් එළුවන්, කුකුළන් තරම් වත් මිනිසුන් නොවටිනා බවයි. මෑතකදී කැලණියේ පාසැලක දරුවෙක්ගේ පියෙක්ට සමස්ත රටම බලා සිටිද්දී පහර දෙමින් මොහුගේ අළුත්ම ත්‍රස්තවාදී ක්‍රියාව සිදු කළේය. සමස්ත සමාජයක් ඉදිරිපිටදීම කිසිදු සබකෝලයකින් තොරව මිනිසුන්ව හිංසාවට පත් කරන දේශපාලුවන් සිටිනා රටක තව දුරටත් පිරිහෙන්නට දේශපාලනයක් තිබේ ද? අනික් කාරණය නම් මේ පියා පහර කන්නේ මෙම දේශපාලඥයාගේ වංචාවන් හෙලිදරව් කිරීම නිසාය. මෙලෙස පහර දීමෙන් හෙලිදරව් වෙන්නේ තමා ඡන්දය දුන් පාලකයෙක්ගේ කටයුතු පිළිබඳව දැනුවත් වීමට ජනතාවට අයිතියක් නොමැති බවද? අද සිවිල් වැසියෙක් මුළු රටම බලා සිටිද්දී මැරයෙක්ගෙන් ගුටි කන විට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් නැත. පහර දීමේ සාක්ෂි ඕනෑවටත් වඩා තිබියදී මහජනයාගේ ආරක්ෂාව සඳහා සිටිනවා යැයි කියන පොලීසියේ පරීක්ෂණ සිවිල් වැසියන්ට අද අහිමි වී ඇත. ඉතින් එදා ත්‍රස්තවාදය අවසන් වූවා යැයි සතුටු වූ ජනතාවගෙන් අපට අසන්නට ඇත්තේ මේ ඔබ දකින්නේ ත්‍රස්තවාදය නොවේද?
මෙගොඩ ගොඩෙත් සිල්වලා
එගොඩ ගොඩේ සිල්වා හැර කැළණි ගඟෙන් මෙගොඩ තවත් සිල්වා කෙනෙක් සිටියි. මේ සිල්වාගේ ආයුධ සන්නද්ධ අධි වේගයෙන් ගමන් ගන්නා සුඛෝපභෝගී රථ පෙළ ප්‍රදේශය භීතියෙන් අළලා ඇත. මොහුගේ අරමුණ මෙගොඩ කැළණිය මෙක්සිකෝවේ ප්‍රාන්තයක් කිරීමටය. දැනටමත් මොහු මේ ප්‍රදේශයේ බොහෝ තරුණයින්ට මෙක්සිකානු පුරවැසිභාවය ලබා දී ඇත. ප්‍රදේශයේ මළ ගෙවල් වලට බලෙන් ගොස් හාල් මිටි දීම, සංගීත සංදර්ශන වල අරක්කු බෝතල් බෙදීම, මොහුට එරෙහි වන්නන්ට කඩු පහර වල් දීම මොහුගේ සමාජ සත්කාරයන් ගෙන් සමහරකි. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාවට කපා ගැනීම්, මරා ගැනීම්, වෙඩි තබා ගැනීම් සාමාන්‍ය සිද්ධීන්ය. වෙනත් ප්‍රදේශ වල තරුණයෝ බොහොමයක් ගංජා, කුඩු සොයා එන්නේ මෙම ප්‍රදේශයට වීම ද විශේෂත්වයකි. බරපතලම කාරණය නම් මේ ප්‍රදේශයේ සිටින ඕනෑම අයෙක් ඕනෑම මොහොතක අකල් මරණයකට ගොදුරු වීමට ඉඩ තිබීමයි. මෙම ප්‍රදේශයන්හි පොලීසිය ක්‍රියා කළ යුත්තේද මේ සිල්වාගේ අණ පරිදිය. නැතිනම් පොලීසියටද වන්නේද අකල් මරණයන්ට ගොදුරු වීමටය. එබැවින් පොලීසිය කරන්නේ සිදුවන සිදුවීම් බලා සිටීමත් මෙම සිල්වාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමත්ය. මෑතකදී අවසන් වූ මැතිවරණ කාලය වූ කලි මෙම ප්‍රදේශය අතිශය ප්‍රචණ්ඩකාරී වූ අවධියකි. පොලිස් පරීක්ෂණයන්ගෙන් තොර මරණයන් විශාල ප්‍රමාණයක් මේ කාලයේදී මේ ප්‍රදේශයේ සිදු විය. මැතිවරණ දිනයේ ඡන්ද පොළවල් වලට ගිය මේ සිල්වා, ඡන්ද දායකයන් එලවා දැමීය. සමහර ඡන්ද දායකයන්ගේ ගෙවල් වලට ගොස් පහර දුන්නේ බොහෝ දෙනා බලා සිටියදීය( මේ බලා සිටි බොහෝ දෙනා අතරට පොලීසියද අයත්ය). අවසානයේ සියල්ල නිම වූයේ මිලේච්ඡ අවි ගැටුමකිනි. ඛේදජනකම සිදුවීම නම් සිදුවීම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් ද අවි ගැටුමට මැදි වී තුවාල ලැබීමයි. ඉතින් එදා ත්‍රස්තවාදය අවසන් වූවා යැයි සතුටු වූ ජනතාවගෙන් අපට අසන්නට ඇත්තේ මේ ඔබ දකින්නේ ත්‍රස්තවාදය නොවේද? යන්නයි.
එකම ගොඩේ සිල්වලා
ආශ්චර්යය නම් එගොඩ ගොඩේ සිටින සිල්වාත්, මෙගොඩ ගොඩේ සිල්වාත් සිටින්නේ එකම ගොඩක වීමයි. එනම් මේ දෙසිල්වාම එකම පාලන තන්ත්‍රයක සුවච ගෝලයෝය. මොවුන්ගේ මැරකම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෙනස්ව මොවුන්ගේ මැරකම් සුජාතකරණය කිරීමත්, මොවුන් අනාරක්ෂිත වන විට දිවිහිමියෙන් කැපවෙමින් මොවුන්ව ආරක්ෂා කිරීමත් ආණ්ඩුවේ කාර්යය වී ඇත. එය එසේ වන්නේ මන්දැයි නොදනිමු. ලෝකයම මවිත කරමින් ත්‍රස්තවාදය අවසන් කලා යැයි කියන පාලකයන්ට අපට කියන්නට ඇත්තේ, නැවතත් ඔවුන් වපුරන්නේ ත්‍රස්තවාදයම බවයි. එදා ත්‍රස්තවාදය අවසන් යැයි හොරණෑ පිඹි ජනමාධ්‍ය වලින් අපට අසන්නට ඇත්තේ මහජනයා පෙලන සිල්වලාගේ මැරකම් ඔවුන්ගේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයට ඇතුළත් නොවේද යන්නයි. ත්‍රස්තවාදීන් ලෙස එක් ජනවර්ගයක් දෙස පමණක් සැකයෙන් බලන අවස්ථාවක,‛ත්‍රස්තවාදය’ රාජ්‍ය ආරක්ෂාව ඇතිව අපගේ ගෙමිදුලටම පැමිණ ඇත. එබැවින් ජනතාවනි, ත්‍රස්තවාදය අවසන් වූවා යැයි සිතමින් කිරිබත් කන්නට ඉක්මන් නොවන්න.