Colombo, end of the War, Featured Articles, Features

ඝාතනයේ දේශපාලනය – විජයගේ සිට භාරත දක්වා

Photo by-lankadeepa.lk

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අද ජීවතුන් අතර නැත. අප බොහෝ දෙනෙකු ඔහු දැන හදුනා ගත්තේ විජය කුමාරතුංගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ තරුණ නායකයකු ලෙස ය. මෙයට දශක දෙකකට ඉහත දී, සමහර විට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැරවීම් ලක්ෂයක් බවට පත් වීමට ඉඩ තිබූ විජය කුමාරතුංග ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන දේශපාලනය විසින් බිලි ගන්නා ලදී. විජය කුමාතුංග ඝාතනය කළ එම ජවිපෙ මිනීමරු දේශපාලනය විසින් භාරත ලක්ෂ්මන් සළකන ලද්දේ ද මරා දැමිය යුතු දේශපාලනඥයකු ලෙස ය. නමුත් ඔහු එම මිනිමරු බලවේගයන්ට යටත් නොවී සිය දේශපාලනය ද ජීවිතය ද රැක ගත්තේ ය. ඉන් වසර 23කට පසු, භාරත නම් එම දේශපාලනඥයාට වෙඩි තබා මරා දමන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ සිට පොදු පෙරමුණට මාරු වූ දුමින්ද සිල්වා නම් දේශපාලනඥයාගේ ඝාතක කණ්ඩායම විසිනි. ඝාතන දේශපාලනය එක් පක්ෂයකට සීමා වූ දුෂ්ඨත්වයක් නොවේ.

දුමින්ද සිල්වාගේ ප්‍රචණ්ඩ දේශපාලනය ආරම්භ වූයේ ඔහු පොදු පෙරමුණට එක් වීමෙන් පසු නොවේ. එජාපයේ සිටිය දී ද ඔහුගේ දේශපාලනය ප්‍රචණ්ඩත්වයෙන් ලක්ෂිත වී තිබුනි. නමුත් එජාපය ඔහුගේ ප්‍රචණ්ඩ දේශපාලනය හෙළා දැක්කේ නැත. බස්නාහිර පළාත් සභාවට එජාපයෙන් තරඟ වැදී වැඩිම මනාප ලබා ගත්තේ දුමින්ද සිල්වා ය. ඔහු රාජපක්ෂ පාලනයට මාරු වූයේ සිය සහෝදරයාගේ ගුවන් විදුලි නාලිකාව වූ ඒබීසී ජාලය රජය විසින් තහනම් කිරීමෙන් පසු ය.

හම්බන්තොට අසළ රන්මිනිතැන්න නම් ගම්මානයකට නුදුරින් එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායමක් සිටින්නේ යැයි කරන ලද වාර්තාකරනයක් ව්‍යාජ හේතුව ලෙස ගෙන ඒ.බී.සී. ජාලයම තහනම් කරන ලද්දේ එතෙකුදුත් විවේචනාත්මන පුවත් වාර්තාකරණයන්ට ඉඩ දුන් හිරු සහ සූරියන් ගුවන් විදුලි නාලිකා ආණ්ඩුවේ වසඟයට ගැනීම පිණිස ය. දුමින්ද සිල්වා රාජපක්ෂ දේශපාලනයට මාරුවූ අතර ඒ.බී.සී. නාලිකා ජාලයට පැනවූ තහනම ඉවත් කෙරුණි. ඉන් පසු තමන් එජාපයේ සිටිය දී අනෙක් දේශපාලන පක්ෂ කෙරෙහි දැක්වූ බලහත්කාරය දුමින්ද සිල්වා එජාපයට සහ පසුව ජවිපෙට එරෙහිව මුදා හැරියේ ය. යුද්ධ ආණ්ඩුවක අගසව්වකු වූ බැවින් දැන් ඔහුගේ ප්‍රචණ්ඩත්වය වෙඩි හඩින් සහ බෝම්බ දුමාරයෙන් බෞතීස්ම වී තිබුනි. අද සම්පූර්ණ දේශපාලන රාමුවක් බවට පත්ව ඇති වරදාන සහ බියගැන්වීම යන රාජපක්ෂ ආණ්ඩුවේ යුද්ධ දේශපාලන පිළිවෙත එහි මුල්කාලයේ සිටම හැඩය ලබා ගනිමින් තිබුණි.

එල්ටීටීඊ ය හැරුණ විට ශ්‍රී ලංකාවේ පුද්ගල ඝාතන දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැඟූ සිංහල දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යි. එම පිළිවෙත වෙනුවෙන් එහි නායක පරම්පරාවක්ම ජීවිතවලින් වන්දි ගෙවන ලද නමුත් සිය දේශපාලනයේ එම පරිච්ජේදය ගැන කිසිදු විවෘත සාකච්ජාවකට ජවිපෙ ඉඩ තැබුවේ නැත. එමෙන්ම එල්ටීටීඊ ය සන්නද්ධ බලවේගයක් ලෙස අහෝසි වී යාමෙන් පසුව වුව එය වෙනුවෙන් අද පෙනී සිටින අන්තර් ජාතික බලවේග හෝ එය ගෙන ගිය මිනීමරු දේශපාලනය විවේචනයකට හසු කරන්නේ නැත. එමෙන්ම උතුරේ දී එල්ටීටීඊ සහ දකුණේ දී ජවිපෙ ගෙන ගිය පුද්ගල ඝාතන දේශපාලනය සමඟ සටන් කරනු වස් දෙපාර්ශවයේ ම විවිධ බලවේග ද යම් තරමක ආත්මාරක්ෂක සන්නද්ධ දේශපාලනකට අවතීර්ණ වූහ. එම ප්‍රවණතාවයන් ද ශ්‍රී ලංකාවේ දේශපාලනය මිලිටරිකරණය කිරීමට දායක වූ බවට සැකයක් නැත.

එපමණක්ම නොවේ. පසුගිය දශක හතරක කාලයක් පුරා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ඉතාම කාර්‍යක්ෂම ලෙස වැඩි දියුණු කර ගෙන ඇති හැකියාවක් නම් පුද්ගල ඝාතන දේශපාලනය යි. ශ්‍රී ලංකා රාජ්‍ය විසින් මෙකී කාලපරිච්ජේදය පුරා කිසිදු වගවීමක් නැතිව ඝාතනය කරන ලද වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනාවක් විය හැකි ය. අද අත් අඩංඟුවට ගැනෙන ‛පාතාල’ සාමාජිකයින් පමණක් නොව මහමඟ නිදා ගන්නා අසරණයින් පවා ඝාතනය කැරෙන්නේ ඒවා සාධාරණය කැරෙන ප්‍රචාරක වැඩ සටහන් සමඟ ය. අද ශ්‍රී ලංකා රාජ්‍ය ය වනාහී සහමුලින්ම මිලිටරිකරණය වූ සහ ප්‍රචණ්ඩත්වය පරමාදර්ශයට නංවා ගත් බියකරු රකුසෙකි. හදිසි නීතිය ඇතුවත් නැතුවත් එයට ලේ රසය සහ වෙඩි බෙහෙත් දුමාරය නැතිව බැරිය.

අප බොහෝ දෙනෙකු දේශපාලනයේ දී කල්පනා කරන්නේ ‛අපේ චන්ඩියා අපට හොඳයි’ කියා ය. උදාහරණයන් වශයෙන් කුරුණෑගල දේශපාලකයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ චන්ඩිකම් ඔහු එජාපයේ සිටින විට එක්සත් ජාතික පාක්ෂිකයිනට ආහල්ලාදයකි. අද ඔහුගේ චන්ඩිකම් පොදු පෙරමුණුවාදීනට සතුට ගෙනෙයි. එය ම එජාප හිතවාදීනට බියකරු දැක්මකි. ජවිපෙ මර්දනයට මුහුණ දී සිටි කළ ‛කුමාර මහත්තයා’ වීරයෙකි. අද දේශපාලන අභියෝගයක් බවට පත්වන කළ ‛කුමාර මහත්තයා’ ත්‍රස්තවාදියෙකි. එල්ටීටීඊ නායක කේපී දරුණුම ඝනයේ ත්‍රස්තවාදියෙකි. ගොඨාභයවාදී කේ.පී. සාමකාමී ඇදහිය යුතු තරමේ සිවිල් නායකයෙකි. එල්ටීටීඊ කරුණා අම්මාන් බෞද්ධ භික්ෂුන් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කළ මිනිීමරු ත්‍රස්තයෙකි. ඇමැති කරුණා අම්මාන් කරුණා භරිත දේශප්‍රේමී නායකයෙකි.

අප වීරයින් ද්‍රෝහීන් කරන්නේත් ද්‍රෝහීන් විරයින් කරන්නේත් කිසිදු දේශපාලන සාකච්ජාවකින් තොරව ය. ඉගෙන ගත යුතු වූ දේශපාලන පාඩම් ගැන කිසිදු බරපතල සාකච්ජාවකින් තොරව ය. කළක එජාප වීරයකු වූ දුමින්ද සිල්වා පසුව පොදු පෙරමුණූ වීරයකු බවට පත් විය. දැන් බොහෝ දෙනෙකුට අනුව ඔහු මිනීමරුවෙකි. යම්තමින් ගැස්සී ගිය 2005 ජනාධිපතිවරනයෙන් රනිල් වික්‍රමසිංහ සහ එජාපය ජය ගත්තේ නම් දුමින්ද සිල්වා තවමත් එජාප වීරයකු ලෙසම සිටින්නට ඉඩ නොතිබුනේ ද?

විජය කුමාරතුංගගේ මරණයට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව නොදන්නා කෙනෙක් සිටියේ නැත. නමුත් විජය කුමාරතුංගගේ බිරිදවූත් 1994 මෙරට ජනාධිපතිනිය බවට පත් වූවාවූත් චන්ද්‍රිකා කුමාරතුංග සිය දේශපාලන පැවැත්ම රැක ගැනීම පිනිස ජවිපෙ සමඟ හාදවීමට තීරණය කිරීමෙන් පසු පසු කළෙක කියා සිටියේ විජය මරා දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොව එජාපය විසින් බව යි. එපමණක් නොව 1988 – 1990 සමයේ සිය පක්ෂය වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරීන් 200ක් පමණ ඝාතනය කළ ජවිපෙ සමඟ දේශපාලන සන්ධානයකට එළඹියේ එම මිනීමරු දේශපාලනය පිළිබඳ කිසිදු විවේචනයකින් තොරව ය. ඉන් පෙන්වන්නේ ඝාතන දේශපාලනය පිළිබඳ දක්වන ලද ලිහිල් ප්‍රවේශය යි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තුළ අද ඇතිවී තිබෙන විවාදයේ දී එය විසින් දියත් කරන ලද ඝාතන දේශපාලනයේ විපාක ගැන වචනයක්වක් සදහන් වන්නේ නැත.

ඝාතනයේ දේශපාලනය ක්‍රියාවට නොදැමූ සන්නද්ධ කණ්ඩායමක් උතුරෙහි නැත. දකුණේ ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂ සියල්ලම වාගේ තමන්ගේම හෝ රාජ්‍යයේ හෝ සන්නද්ධ බලය යොදාගෙන ඝාතනයේ දේශපාලනය එනම් පුද්ගල ඝාතන දේශපාලනය ක්‍රියාවට නංවා තිබේ. අද එම පිළිවෙත රාජපක්ෂ පාලනයේ ද පිළිලියකි.

දේශාලපාලන සංවාදය සහ නීතියේ ආධිපත්‍ය වෙනුවට දේශපාලන ප්‍රචණ්ඩත්වය පරමාදර්ශය කරගත් දුමින්ද වේවා මර්වින් වේවා (මේ දෙදෙනා ම එජාපයේ ද නායකයින්ව සිටියහ) යනු හුදකලා චරිත නොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය මිලිටරිකරණයවීමේ සංකේතයන් ය. දුර්විපාක නොලැබීමේ මුල්බැස ගත් සංස්කෘතිය විසින් රාජ්‍ය බලයේ අනුග්‍රහයෙන් කැරෙන දේශපාලන ප්‍රචණ්ඩත්වයන්ට නිත්‍ය රැකවරණය සපයයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරකින් පිදුම් ලද දුමින්ද සිල්වා මෙන් අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ අභ්‍යන්තර කොටස්කරුවකුවීම යනු සිය විරුද්ධවාදීන්ට එරෙහිව ඹ්නෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමට අවසර පත්‍රයක් ලබා ගැනීම ය. එය ස්වකීය බලය ගොඩනඟා ගැනීම මගින් රාජපක්ෂ පාලනයේ බලය ශක්තිමත් කිරීමට ලැබෙන යක්ෂාවේශයකි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර බිලි වූයේ එවැනි යක්ෂාවේශයකට ය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ මරණය විසින් යළි අපට හමුවට ගෙන එන්නේ යුද්ධාවසානයෙන් වසර දෙකහමාරකට පසුත් ඝාතනයේ දේශපාලනය අප සමාජයේ මුල්බැසගෙන ඇති අන්දමත් අනපේක්ෂිත මොහොතක එය බිය ජනක පුපරා යා හැකි අන්දමත් ය. එය කොතරම් බිය ජනක වූයේ ද යත් කළකට පෙර සිය දේශපාලන සගයකු වූත් වත්මනෙහි සිය වෘත්තීය සමිති උපදේශක අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවූත් භාරතගේ අවසන් ගමනට සහභාගිවීමට සේනාධිනායක ජනාධිපතිවරයාට පවා නොහැකි විය.

අපට යුද්ධ දේශපාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරා ඇත්ත වශයෙන්ම ගමන් කිරීමට අවශ්‍ය නම් එහි මුල් පියවර වන්නේ ඝාතනයේ දේශපාලනය, එහි වග උත්තරකරුවන් සහ ඉන් විනාශ වී ගිය මෙරට ජනයාගේ මානව හිමිකම් පිළිබඳව විවෘත සහ ගැඹුරු සංවාදයකට එළඹීමයි.

දේශපාලනය නිරායුධ කිරීම – අප තවම ඒ කරා ගමන් අරඹා නැත. වත්මන් පාලනය ඒ කරා වූ ප්‍රවිශ්ඨයක් පෙන්වන්නේ ද නැත.

සුනන්ද දේශප්‍රිය