ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ ජවිපෙ සාමාජිකයාගේ ස්වයං හඳුනාගැනීම සහ එලියෙ සමාජයේ ඔවුන්ව හඳුනාගැනීම අතර හැමවෙලේම යම් කිසි ආතතියක් පැවතිලා තියෙනවා. මීට කලිනුත් මේ පක්ෂයේ බෙදීම් ඇති වෙලා තියෙනවා. 1970 දශකයේ අගභාගයේ, 1980 ගණන්වල, විමල් වීරවංශගේ බෙදීයාම වගේ මේ සෑම බෙදීයාමක්ම පිටිපස්සෙ හැමකාලෙකම, පක්ෂයේ සමාජවාදී අදහස් සහ පක්ෂයේ ජාතිකවාදී මතවාද අතර ගැටුම තිබිලා තියෙනවා. දැන් ඇතිවෙලා තියෙන බෙදීම මීට පෙර ඇතිවුණ බෙදීම් වලට වඩා ගුණාත්මක වෙනසක් සහිතයි කියලා මං හිතනවා. මේ බෙදීම ඇතිවන්නේ ලංකාවේ තිස්වසරක යුද්ධය අවසන් වෙලා ලංකාව තුළ ඇතිවෙලා තියෙන සුවිශේෂී වටපිටාවක. ජවිපෙ විතරක් නෙමෙයි එජාපෙ ඇතුළෙත් පක්ෂ අභ්‍යන්තර ගැටුම් වලින් පෙනෙන්නේ යුද්ධයෙන් පසුව නිර්මාණය වෙලා තියෙන නව දේශපාලන තත්ත්වයට හැඩගැසීමට එම ව්‍යාපාර ගන්නා උත්සාහයක් විදිහට.
දැනට පක්ෂයේ නිලමතය අභියෝගයට ලක්කරණ කණ්ඩායම් ගත්තොත් ඔවුන් ඉදිරිපත් කරන අදහස්, මං හිතන්නේ ලංකාවේ ජවිපෙ විතරක් නෙමෙයි පොදුවේ වාමාංශික ව්‍යාපාරය සම්බන්ධයෙනුත් නැවත බරපතල ලෙස කල්පනා කර බැලිය යුතු කරුණු. උදාහරණයක් ලෙස ඔවුන්, පක්ෂයේ ජනවාර්ගික අර්බුදය ගැන තිබෙන ස්ථාවරය පිළිබඳව නැවත සිතිය යුතුයි කියන අදහස ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔවුන් පක්ෂයේ මෙතෙක් කාලයක් තිබ්බ දේශපාලන පරමාදර්ශයන් වෙත නැවත හැරී බැලිය යුතුයි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතන්නේ ලංකාවේ පොදුවේ වාමාංශික ව්‍යාපාර විසිනුත් විශේෂයෙන් ජවිපෙ විසිනුත් තමන්ගේ දේශපාලන අනාගතය නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් මේ අදහස් තීරණාත්මක වෙනවා.
ජවිපෙ ආරම්භයේ සකස්වුණ යම් යම් පරමාදර්ශයන් ගැන නැවත සාකච්ඡා කරන ඒ පරමාදර්ශයන් වෙත නැවත ගමන් කරන්න යෝජනා කරන ප්‍රවණතාවයක් මතුවීම මම දකින්නෙ ඉතාම සාධනීය තත්ත්වයක් වශයෙන්. නමුත් තියෙන අභියෝගය තමයි අළුතින් බිහිවන ව්‍යාපාරය කොයිතරම් දුරට අරන් යන්න පුළුවන් වෙයිද කියන ප්රශ්නය. ජවිපෙ සම්බන්ධයෙන් ගත්තොත් ගම් මට්ටමින් පැතිරුණ ඉතාමත් ක්‍රියාකාරී සංවිධාන ජාලයක් පවතිනවා. ප්රජාතන්ත්රවාදය පැත්තෙන්, සුළු ජනයාගේ අයිතීන් පැත්තෙන්, පීඩනයට පත්වුණු රටේ අනිත් ජනයාගේ විමුක්තිය පැත්තෙන් සාධනීය ප්‍රවණතාවයක් පක්ෂය තුළින් වර්ධනය වෙලා එනවා නම් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා කියලා මම හිතනවා.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන, වාමාංශික ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන බුද්ධිමත් ප්‍රජාව තවමත් ජවිපෙ තුළින් ඇතිවෙලා තියෙන ප්‍රවණාතාවය ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකරලා නැහැ. ඔවුන්ගේ මෙම නිහඬතාවය හරි පුදුමසහගතයි. මේක හරි බරපතල කාරණයක්. ජවිපෙ තුළින් නියෝජනය වෙන තරුණ බලවේගය කුමන දිශාවකට ගමන් කරයිද මේ බලවේගය මොන විදිහේ දේශපාලනයක් ඉදිරියේදී වර්ධනය කරයිද කියන එක ලංකවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ගත්තොත් ඉතාම බරපතල කාරණයක්. ඉතින් ඒ තත්ත්වය පිළිබඳව සිවිල් සමාජය දක්වලා තියෙන නිහඬතාවය හරිම කණගාටුදායකයි.
මේ ගොඩැනැගෙන ව්‍යාපාරය පැරණි මාදිලියේ බොල්ෂෙවික් ආකෘතියේ පක්ෂයක් කරා නැවත ගමන් කරන්න උත්සාහ කෙරුවොත් ඒකට ලොකු පැවැත්මක් තියෙයි කියලා මම හිතන්නෙ නැහැ. ඓතිහාසිකවම එය අර්බුදයට ලක්වෙලා තියෙන්නෙ. ඒ අර්බුදය තමයි නැවත නැවත පෙන්නුම් කරන්නෙ. නමුත් ඒ වෙනුවට මීට වඩා පුළුල් තලයකට තමන්ගෙ විමුක්ති දේශපාලනය අරගෙන යන්න, ඒ කියන්නෙ හුදෙක් පන්ති අරගලය කියන පැරණි මාක්ස්වාදී අදහසට පමණක් සීමා වෙන්නෙ නැතිව ලංකවේ කුල පීඩනයෙන් පෙලෙන ජනයාගේ ගැටළු, තරුණයන්ගේ රැකියා වියුක්තියේ ගැටළු, කාන්තාවන් මුහුණ දීලා තිබෙන පුරුෂාධිපත්‍ය පිළිබඳ ගැටළු සම්බන්ධ කරගෙන ඒ වගේම සුළු ජාතින්ගේ වාර්ගික සමානාත්මතාවය පිළිබඳ අදහස් මේ අළුත් අදහස් ඉදිරිපත් කරන කණ්ඩායම සමත් වුණොත් එය වැදගත් කියලා මම හිතනවා. ඔවුන් උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන් විශාල උද්ඝෝෂණයක් කරන බව ඇත්ත. නමුත් තවමත් පේන විදිහට මේ අළුත් කණ්ඩායම වුණත් බලය බෙදාහැරීමේ දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද කියලා පැහැදිලිව ප්‍රකාශයට පත්වෙලා නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ ලිංගික සමානාත්මතාවය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් තවම පැහැදිලි නැහැ. නමුත් ඔවුන් එක්ක රැඩිකල් අදහස් දරණ සංස්කෘතික කණ්ඩායම්, ස්ත්‍රී කණ්ඩායම් එකතු වෙලා ඉන්න ඉන්න බව පැහැදිලියි. ඉතින් මෙවැනි සමාජ විමුක්තිය පිළිබඳ පුළුල් අදහස් මත පදනම් වෙලා ඔවුන් යම්කිසි සමාජ ව්‍යාපාරයක ස්වරූපය ගත්ත තැනකට මාරුවෙන්න උත්සාහ කරනව නම් මං හිතන්නෙ සුභවාදී අනාගතයක් ඔවුන්ට තියෙනවා කියලා.
ජවිපෙ සම්බන්ධයෙන් ගත්තාම පේනවා, ඔවුන් පක්ෂය තුළ පරමාදර්ශී අදහස් සාකච්ඡා කරන විට, පක්ෂය තුළ ඔවුන් ඉතාම රැඩිකල් වෙනසක් පිළිබඳව සාකච්ඡා කරන විට ඔවුන් උපක්රමික තලයේ, පරිබාහිර සමාජයත් එක්ක කරන ගනුදෙනු වලදී වෙනත් ජාතිකවාදී අදහස් එක්ක, සමාජයේ තියෙන විවිධ ගතානුගතික අදහස් එක්ක අනුගත වීමේ ප්රවණතාවයකට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධය පැවතුණ කාලය තුළ ඔවුන් ගොඩනගපු බහුජන සංවිධාන දේශප්‍රේමයේ නාමයෙන්, සිංහල ජාතිකවාදයේ නාමයෙන්, රට බේරාගැනීමේ නාමයෙන් පවතින ක්‍රමයට හොඳටම අනුගත වෙන තත්ත්වයක් පැහැදිලිවම පෙනුනා. ඔවුන් මේක ඔවුන් තුළ යුක්තිසහගත කරගත්තේ මේක උපක්රමික තලයේ කාරණයක් කියලා. නමුත් ඇත්තටම මේ අනුගත වීමත් එක්ක ඔවුන්ට මේවා ක්‍රියාත්මක කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔවුන් යුද්ධයට සහයෝගය දක්වලා යම් යම් දේවල් ක්‍රියාත්මක කරන කොට තමන්ගේ ක්රියාකාරිකයින්ට ඇත්තටම ඒවා ක්‍රියාත්මක කරන්න වෙනවා. හමුදා භටයින්ට මානෙල් මල් පළන්දන්න වෙනවා. මේ ක්‍රියාකාරකම් වල යෙදෙන විට ඒ ක්‍රියාකාරකම් විසින් තමන්වත් පරිවර්තනයට ලක්කරනවා. මේක තමයි ඔවුන් නොසලකා හරින කාරණය. මේක නිසා සමාජවාදී ක්‍රියාධරයෙක් කියලා තමන්වම හඳුන්වාගත්තත් උපක්රමශීලි තලයෙදි ඔවුන් ඔවුන්ටම නොදැනී ජාතිකවාදීන් බවට පත්වෙනවා. මේක ජයගැනීම සඳහා මම හිතන්නෙ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා කුමන උපක්‍රමයක් හෝ භාවිතා කරනවා කියන ප්‍රවේශයෙන් වෙනස් වෙන්න ඔවුන්ට වෙනවා. ඒ වෙනුවට අළුත් අදහස් ඉදිරිපත් කරන කණ්ඩායම විසින් නැවත වරක් තමන්ගේ පරමාදර්ශ වෙනුවෙන් පෙනීසිටින්නට ගන්නා උත්සාහය මේ සඳහා හොඳ ප්‍රවේශයක් කියලා මම හිතනවා.
මෙය කොයිතරම් දුරට සාර්ථක වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නෙ හුදෙක් ජවිපෙ ඇතුළෙ ඉන්න ක්‍රියාධරයින්ගෙ ක්රියාකාරීත්වයන්ගෙන් විතරක් නෙමෙයි. පොදුවේ ඊට පරිබාහිර සමාජය ඊට ප්‍රතිචාර දක්වන ආකාරයත් මෙහි සාර්ථක අසාර්ථකත්වය, මෙහි අනාගත දිශානතිය, මෙහි ස්වරූපය කොහොම වෙයිද කියලා තීරණය වෙන්න බලපානවා.
(සාකච්ඡාවක් ඇසුරෙනි)
Sumith Chaminda[සුමිත් චාමින්ද]
දේශපාලන විශ්ලේෂක