පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු වෙබ් අඩවියකට ලිපියක් ලියන අමාත්‍ය වීරවංශ මෙසේ කියයි. දීර්ඝ වුවත් අදාළ ජේද උපුටා දැක්වීම වටී:
‛‛යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී ක්‍රියාත්මක වූ ජාතික බලවේගය ඒ අයුරින්ම දකින්නට නැත. දැන් එය විවිධ වූ විපර්යයාසයන්ට භාජනය වී තිබේ. සාමය දිනාගන්නා තුරු ඇස් පෙණුන, සාමය දිනාගත් පසු ඇස් වසාගත් බකමූණෙකු බවට දැන් ඒ ජාතික ව්‍යාපාරය පත්ව තිබේ. කොලොන්නාව ඛේදවාචකයෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමටද ජාතික ව්‍යාපාරයක මග පෙන්වීඹ, බලපෑම් සහගත පුරෝගාමී මැදිහත් වීම අත්‍යවශ්‍යව පවතින බවය. එබැවින් අප ඒ නව ව්‍යාපාරය බිහිකළ යුතු වෙමු. කුඩු ජාවාරම් කරැවන් දේශපාලඥයන් බවට පත්වීම වලකන කොලොන්නාවේ මැරනාටකය වැනි තවත් අත්විදින්නට සිදුනොවන අයුරින් ජාතියේ ඉදිරිගමන උසස් ප්‍රමිතියක් දක්වා ඔසවා තබන ඒ ඔස්සේ පියනැගීමට දේශපාලන ලෝකයට බලකරන නව ජාතික ව්‍යාපාරයක් අද අප බිහිකල යුතුව තිබේ.
අප එය ඉටු නොකලහොත්, පිරපාහරන් නැති රට හා පිරිපාහරන් ඇති රට අතර වෙනසක් නැත කියන අනාගතයක් කරා අපේ රට ගමන් කරනු නිසැකය. යුද්ධය මගින් සාමය දිනා ගත්තා සේ, යහපාලනය, වගවීම, විනය හා හැදියාව සහිත රටක් දිනා ගැනීම සඳහාද ජාතික ව්‍යාපාරයේ භූමිකාව අත්‍යවශ්‍ය වේ. එයට නායකත්වය නොදුනහොත් අපට අපවම හඳුන්වා ගැනීමට සිදුවන්නේ බකමූනන්ගේ ලෝකයක කොටස්කරුවන් ලෙසය.’’
වීරවංශවාදී වෙබ් අඩවියෙහි පළ කළ ඇති එම ලිපියට සටහන් ලියන පිරිස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පෙර නොවූ විරූ පරිදි දරුණු විවේචනයන්ද එල්ල කරයි.
නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය යනුවෙන් වීරවංශ මහතා අදහස් කරන්නේ කුමක්ද යන්න නොව අපට වැදගත් වන්නේ එම ලිපියෙහි එන විවේචනය යි. එම විවේචනය මගින් කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අද මෙරට යහපාලනය සහ වගවීම ඇති කිරීමට අවශ්‍ය නායකත්වය නැති බවයි. මෙම යෙදුම් දෙකම අප දන්නා පරිදි ඉතා බරපතල දේශපාලන අර්ථ නියෝජනය කරයි. ඔහු කියන්නේ යුද්දයෙන් පසු යහපාලනය සහ වගවීම ඇති වී නැති බවයි.
මෙම ලිපිය මගින් එල් කරන තවත් විවේචනයක් නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ කුඩු ජාවාරම්කරුවන් දේශපාලනඥයින් වී ඇති බවයි. එය වැළැක්වීමට ද රාජපක්ෂ නායකත්වයට බැරිය.
මෙම තත්ත්වයට පිළියම් නොයෙදුවහොත් ඉතිරිවන එකම සම නිසැක වෙනස වන්නේ ශ්‍රී ලංකාවෙහි ප්‍රභාකරන් ( සහ එල්ටීටීඊ ය) නැතිවීම පමණය. සාමය හෝ යහපාලනය සහ වගවීම විසින් ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදය හෝ නොපවතිනු ඇත.
ශ්‍රී ලංකාවෙහි යහපාලනය සහ වගවීම සහතික කරනු පිණිස කළකට පෙර වීරවංශ මහතා වැදගත් භූමිකාවක් රඟ දැක්වීය. ඒ ඔහු ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයකුව සිටි සහ 17වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවෙහි ය. එම වෙනස ඇති කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය ද සමඟ සහයෝගයෙන් කටයුතු කළ විරවංශ මහතා 17වන සංශෝධනය සම්මත වූ පසු පැවැති පුවත්පත් සාකච්ජාවේ දී මෙසේ කීවේ ය: ‛‛දැන් ඉතිං එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුවත් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙළෙසීමට අවස්ථාවක් නැහැ.’’ එනමුත් පාර්ලිමේන්තුව ඒකජන්දයෙන් සම්මත කළ එම 17වන සංශෝධනය රාජපක්ෂ ආණ්ඩුව විසින් කුණු කූඩයට දමා අර්ධ ඒකාධිපතිත්වයකට මඟ පෙන්වන 18වන සංශෝධනය සම්මත කරන ලද්දේ වීරවංශ මහතාගේ ද පූර්ණ සහයෝගය ඇතිවය. වන්නාට ය.
යහපාලනය සහ වගවීම ඇති කිරීම සඳහා දේශපාලන සංස්කෘතියක් ද අවශ්‍ය බව සැබෑ ය. කුඩුකාරයින් දේශපාලනඥයින් වන්නේ දේශපාලන සංස්කෘතිය දුර්වර්ණ වී ජාවාරමක් බවට පත් වී ඇති නිසා ය. එනමුත් යහපාලනය සහ වගවීම ඇති කිරීම සඳහා පළමුවෙන් තිබිය යුත්තේ ව්‍යවස්ථාමය රාමුවකි. කණගාටුවකට මෙන් අද ශ්‍රී ලංකාවේ එම ව්‍යවස්ථානුකූල රාමුව නැත. ඊට හේතුව නම් 18වන සංශෝධනය විසින් විධායක ජනාධිපතිවරයා අර්ධ ඒකාධිපතියකු බවට පත් කර තිබීම ය. වියයුතු පරිදිම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පශ්චාත් යුද්ධ කාලීන වටිනාම ජයග්‍රහණය ලෙස සළකන්නේ ද මෙම 18වන සංශෝධනයයි.
ඒ බව ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලද්දේ භාරත ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකයින් විසින් දක්වන ලද විවේචනාත්මක අදහස්වලට ප්‍රතිචාරයක් වශයෙනි. භාරත ඝාතනය හෙළා දකිමින් මෛත්‍රීපාල සිරිසේනගේ සිට සුසිල් ප්‍රේමජයන්ත දක්වා කියා සිටියේ දේශපාලනයට පැමිණ ඇති මැරයින් සහ ජාවාරම්කාරයින් ඉවත්කල යුතු බවයි. එය ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගේ අදහස බව පෙනෙන්නට තිබුණි.
එම විවේචනයට පිළිතුරු වශයෙන් ජනාධිපති රාජපක්ෂ තදින්ම කියා සිටියේ තමාට තුනෙන් දෙකේ ජන්ද බලය ලබා ගැනීමට සහාය වූ කිසිවකුට තමා අසාධාරණයක් නොකරන බවයි. එම කිසිවකුට විරුද්ධව තමා පියවර නොගන්නා බවයි.
තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ජන්ද බලයෙන් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇතිකර ගන්නා ලද වෙනස්කම් දෙකක් තිබේ. එකක් නම් විධායක ස්වාධින කොමිෂන් සභා අහෝසි කොට ජනාධිපති අර්ධ ඒකාධිපතියකු බවට පත් කිරීමයි. දෙවැන්න නම් 2016න් පසු දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුව තිබූ මහින්ද රාජපක්ෂ මහතාට කැමැතිතාක් කල් ජනාධිපතිධුරය සඳහා තරඟ වැදීමට ව්‍යවස්ථාමය බලය ලබා ගැනීමයි. මෙම වෙනස්කම් දෙකම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ජන්ද බලයක් අවශ්‍ය වූ අතර එය ලබා ගැනීමට දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා වැනි දේශපාලනඥයින් ද මහඟු දායකත්වයක් සැපැයීය.
වීරවංශ මහතා සිය ලිපියෙහි කියා සිටින්නේ ජාවාරම්කාර දේශපාලනඥයින්ට විරුද්ධව සහ යහපාලනය සහ වගවීම ඇති කිරීම පිනිස නව නායකතවයක් ගොඩ නැගීමට නොහැකිවුව හොත් සියළු දෙනාටම බකමූනන් ලෙස සිටින්නට සිදුවනු ඇති බවය. බකමූනන් ලෙස සිටීමට සිදුවනු ඇතැයි යන්නේ තේරුම නම් ‛හ්ම් හ්ම්’ කියනවා හැර විවේචනාත්මක අදහසක් දැරීමට ඉඩක් නොමැතිවන බවයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ‛එහෙමයි දේවයන් වහන්ස’ කියනවා හැර එසේ නොව මෙසේ විය යුතුය කීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් අවකාශයක් ඉතිරි නොකරනු ඇති බවයි. එමෙන්ම එම වීරවංශ මහතා කියන්නේ යුද්ධාවසානයෙන් පසු මේතාක් සිය බලවේග සිට ඇත්තේ බකමූනන් ලෙස බවයි.
මෙම ලිපියේ කලින් ද කී පරිදි අපට වැදගත් වන්නේ වීරවංශ මහතා අවශ්‍යයැයි ජාතිකවාදී නායකත්වය නොව එය අවශ්‍ය කරන්නේ කුමකටද යන ප්‍රශ්ණයයි. මන්ද යත් මේ වනාහී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම දේශපාලන ගැටළුවක් වන නිසා ය. එමෙන්ම මෙම විවේචනය එල්ල වන්නේ රාජපක්ෂ පාලනයේ සහකරුවන්වෙතින් වීම ද ඒ තරමට ම වැදගත් ය. තවද එවැනි විවේචකයිනට හිමිවනු ඇති ඉරණම ද වැදගත්කමින් අඩුවක් නොපෙන්වයි.
නිදසුනක් වශයෙන් රජරට ආසනික් විශවීම අළලා රාජපක්ෂ පාලනයට එවැනි උග්‍ර විවේචනයක් ඉදිරිපත් කළ හෙළ උරුමයේ රතනහිමියන් දැන් සිය මුඛය විවාත කරනවා ඇත්තේ දානය වැළදීමට පමණක් විය යුතු ය. දැන් ආසනික් ඝාතකයිනට එරෙහිව සීනිගම දේවාලයේ ගම් මිරිස් ඇඹරෙන්නේ නැත. ඊට හේතුව රජරට ජනයා ආසනික් විශවීමෙන් මිය යාම නතර වී ඇති නිසා නොවන බව පමණක් අපි දනිමු. භාරත ඝාතනය සම්බන්දයෙන් හෙළ උරුමය හෝ රතන හිමි ගත් ස්ථාවරයක් ද දැන ගන්නට නැත. වීරවංශ මහතාට එසේ නොවේවා යැයි පතමු.
යුද්ධ ජයග්‍රහණය ධර්ම ජයග්‍රහණයක් බවට පත් කිරීමට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ යුද්ධයේ අදීනව ප්‍රසිද්ධියේ පිළිගැනීම ය. ඒ බව පෙන්වන ලද අපට සමීපතම උදාහරණය නම් ධර්මාශෝක රජු ය. යුද්ධ ජයග්‍රහනය මත රඳා පවතිමින් යුද්ධයටම ආවඩන පාලනයකින් යහපාලනය හෝ වගවීම ලැබෙන්නේ නැත. මන්ද යත් තමන් විසින් විනාශයට පමුණුවන ලද ජනයාට සාධාරණත්වය ඉටු කිරීමට යුද්ධවාදී පාලනයකට නොහැකි නිසා ය. එමෙන්ම එක් ජන කොටසක් මර්දනය කරන රාජ්‍යක් අනෙක් ජන කොටසට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ලබා නොදෙන නිසා ය. අද දකුණේ පෙනෙන්නේ උතුරේ දක්නට ඇති අධර්මිශ්ඨ පාලනයේ පිළිඹිබුවය. පසුගිය මාස කිහිපය තුළ තැන තැන උතුරේ අහිසංක ජන පිරිස් කුදළා පහරදී අතපය කඩා දමන ලද්දේ යුද්ධවාදය ප්‍රයෝගිකව පවත්වා ගනු පිනිසය. කළක් රාජපක්ෂ යුද පාලනයේ සහකරුවන් වූ සිටියා වූද එල්ටීටීඊ මරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටියා වූ ද දෙමළ දේශපාලනඥයින් ද අද එම යුදවාදයෙන් පීඩා විදිත්. රාජපක්ෂ පාලනය යුද්ධවාදී එකක් යැයිද දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලැබී නැතැයි ද ඔව්හු ප්‍රසිද්ධියේම කියති.
වීරවංශ මහතා කියන්නේත් එයම නොවේ ද?
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]