ආණ්ඩුවේ පාතාලය යැයි නොලියා රජයේ පාතාලය යැයි ලියන්නේ හිතාමතාම ය. රාජ්‍යය සාපේක්ෂ වශයෙන් ස්ථිතික යි. ස්ථාවර යි. ලංකාව රාජ්‍යයකි. ආණ්ඩුවක් යනු මේ රාජ්‍යයේ පාලනය තාවකාලිකව දරණ භාරකාර මණ්ඩලය යි. රාජපක්ෂ ආණ්ඩුව යැයි කියන විට එයින් ඇත්තටම නම් අදහස් විය යුත්තේ, ලංකා රාජ්‍යයේ භාරකරත්වය තාවකාලිකව දරණ මණ්ඩලයක් බව යි. ආණ්ඩු කලින් කලට වෙනස් වෙයි. රාජ්‍යය එසේ නොවෙයි.
එහෙත්, මේ කියන රාජ්‍ය ව්‍යුහය, එනම් පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය ඇතුළු සකල රාජ්‍ය බලාධිකාරය තනි පුද්ගලයෙකුගේ අතක ගොනු වන විට, එම පුද්ගලයාම රාජ්‍යය බවට පත්වෙයි. මෙහි අඩිතාලම 1978 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කොට තිබුණත්, එහි මතුමහල කලඑලියට ගොඩනැගූ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ යි. ඒ අනුව, අද වන විට ලංකා රාජ්‍යය යනුවෙන් අදහස් වන්නේ මහින්ද රාජපක්ෂ බවට ලංකාවේ ප්රජාතන්ත්රවාදය පල්ලම් බැස තිබේ. මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, දි. මු. ජයරත්න වැනි කැබිනට් සාමාජිකයන් අමාත්‍යාංශ මේස මත තබා ඇති මුද්‍රාවන් වන විට, මහජන නියෝජිතයෙකු නොවන ගෝඨාභය රාජපක්ෂ ‛විධායකය’ වී ඇති සැටි අපට පෙනේ. මේ වූ කලී, සමස්ත රාජ්‍යය ‛‛පෞද්ගලීකරණය’’ කිරීමකි. මෙසේ හතරවටින්ම රාජ්‍යය ‛‛පෞද්ගලීකරණය’’ වන විට, බලය අරභයා සම්භාව්‍ය රාජ්‍යය විසින් පනවා තිබූ තුලන සහ සංවරණ ක්‍රියාවලිය වල්වදී. උතුරේ නිමලරාජන් සහ දකුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙද්දීත්, එක්නැලිගොඩ අතුරුදහන් වෙද්දී සහ පෝද්දල ජයන්තගේ අඩු කඩද්දීත් රාජ්‍ය පාතාලය ඒවා පසුපස සිටි බව සැකයකින් තොරව වටහා ගැනීම සඳහා බැහැර කළ නොහැකි ප්රබලතම සාක්ෂිය වුණේ ඒ කිසි සිද්ධියක් සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම යි. එහෙත් ඒවා රාජ්‍ය පාතාලය වශයෙන් හැඳින්වීමට බොහෝ දෙනා එදා මැලි වූහ.
පොදු ජන විඥානය තුළ, මෙතෙක් කල් සිදුවූ සියලු දේශපාලන ඝාතන සිදු කරන ලද්දේ, අද දක්වාමත් ‛‛නාඳුනන’’ තුවක්කුකරුවන් වශයෙන් ‛‛අප හඳුනාගත්’’ අයවළුන් විසිනි. එහෙත් ගිය සති අන්තයේ සිට ‛‛කවුරුත් හඳුනන’’ තුවක්කුකරුවෙකු අපට මුණගැසී තිබේ. ඔහුගේ නම, දුමින්ද සිල්වා ය. ඔහු ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ බලධාරියෙකි. ඔහුගේ සෘජු නියෝගය හරහා ඝාතනයට ලක් වූ පස් දෙනෙක් වෙත්. එයින් කෙනෙක්, ආණ්ඩු පක්ෂයේම හිටපු මන්ත්‍රීවරයෙකු සේම, මැරෙන මොහොත වන තෙක් ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෙළේ උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රයි.
එසේ තිබිය දීත්, විවිධ හේතු මත, එම පාලකයන්වම ජනතාව තෝරා පත්කර ගනිති. අද දුමින්ද සිල්වාගෙන් කරළියට ආ, රජයේ පාතාල දේශ්ශපාලනය වශයෙන් අප විසින් කාලයක් තිස්සේ හඳුනාගෙන සිටි තත්ත්වය ගැන අදහස් දක්වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියන පරිදි, ලංකාවේ අද දවසේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම ප්‍රශ්නයක් වීමට එක හේතුවක් වී තිබෙන්නේ, ‛‛ජනතාව එම දේශපාලඥයන්ව නැවත නැවතත් ඡන්දයෙන් බලයට පත්කිරීම’’ ලු. මේ අවාසනාවට ජනතාවගේ වගකීමකුත් ඇති බව සැබෑවක් මුත්, ජනතාව පත්කර ගන්නා එවැනි දේශපාලඥයන්ව ඔවුන්ගේ තේරීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් කරන්නේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයන් විසින් බව ආරක්ෂක ලේකම්වරයා වසං කිරීම මෙහි දී කැපී පෙනේ. එනම්, මෙතරම් මහ දවල් රජයේ පාතාලය හෙළිදරව් වී ඇති අවස්ථාවක පවා, නායක කාරකාදීන් තවමත් බලන්නේ, රාජ්‍ය බලය විසින් තම පැවැත්ම සඳහා හුරතලයට පෝෂණය කළ පාතාල සංස්කෘතිය පිළිබඳ වගකීමෙන් කරඇරීමට යි. මෙය, හුදෙක් මනාප ක්‍රමය නිසා ඇති වූ මිනිමැරුමක් වශයෙන් වැරදියට අර්ථ දක්වා ඔවුහූ අත්සෝදා ගනිති.
මෙවර පලාත් පාලන ආයතන බලය ද ආණ්ඩුව දිනාගත්තේය. එසේ වුව ද, විවිධ මැතිවරණ හරහා තමන්ගේ ‛ජයග්රහණයන්’ සහ ‛සාර්ථකත්වයන්’ වශයෙන් ජනතාව ඉදිරියේ හුවාදැක්වෙන මෙවැනි ඡන්ද ප්‍රතිඵල යටින් ඇති මායාව පාලකයන් නොදන්නවා නොවේ. (මා මේ කියන්නේ, ඇතැමුන් කියන ‛කොම්පියුටර් ජිල්මාට්’ ගැන නොවේ. වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ ජයග්රහණයන් පසු පස ඇත්තේ ඒ අර්ථයේ ‛හොර ඡන්දයක්’ නොවේ.) ඔවුන්ගේ ජයග්‍රාහී ඡන්දය, සත්‍යයකි. එහෙත්, ජයග්‍රහණය ව්‍යාජයකි. තවත් විදිහකින් කිවහොත්, බොරුව වන්නේ ඡන්ද ප්‍රතිඵලය නොව, එම ප්‍රතිඵලය තෙක් ආ මාර්ගය හෙවත් ක්‍රියාවලිය යි. ව්‍යාජ ක්‍රියාවලියක් මත ගොඩනැගෙන මොනම ජයග්රහණයක්වත් එක දිගට නඩත්තු කිරීම පහසු නැත. එවැනි ‛සාර්ථකත්වයන්’ සහ ‛ජයග්රහණයන්’ හදිසියේ අනිත් පැත්තට හැරෙන්ට පිළිවන. එය ඉතා කෙටි කාල පරාසයක සහ සුළු සිදුවීමක් පාදක කරගෙන විය හැකිය. අවුරුදු තිස් ගණනක් පාලනය හෙබැවූ අප්‍රිකානු රටක ඒකාධිපතියෙකු පෙරලා දැමීමට, එළවළු වෙළෙන්දෙකු ඇඟට ගිනි තබාගෙන දිවිනසා ගැනීම ‛‛ප්‍රමාණවත්’’ විය. මේ සිද්ධිය සහ අර ඒකාධිපතියා බලයෙන් පහවීම යන සිදුවීම් දෙක අතර ගත වූ කාලය සති කිහිපයකි. ඒ සති කිහිපය තුළ අවුරුදු තිහක ඉතිහාසයක් කණපිට පෙරැලුනි.
මේ නිසා, දේශපාලනය යනු බලය විසින් අත්පත් කරගන්නා හුදු සිදුවීම් හෝ ජයග්‍රහණ සන්තතියක් (හැම මැතිවරණයක්ම අපි දින්නා, තුනෙන් දෙකේ බලයක් ජනතාව අපිට දුන්නා ආදී) වශයෙන් නොව, ගතික ඉතිහාස ක්‍රියාවලියක් වශයෙන් වටහා ගැනීම නුවණක්කාර පාලකයෙකුගේ වගකීම යි. හැම මැතිවරණයකින්ම අප ‛ජයග්‍රහණය කෙළේ’ කෙසේ ද? තුනෙන් දෙකක බලයක් අප අත්කර ගත්තේ කෙසේ ද? එම බලය මේ දක්වා අප පාවිච්චි කර ඇත්තේ කෙසේ ද? ආදී වශයෙන් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගනිමින්, එම ජයග්රහණයන් සුජාත සන්දර්භයන් තුළ තබා අගය කිරීමට අපොහොසත් වන පාලකයාට සිය දෛනික පැවැත්ම සඳහා නැතුවම බැරි දෙයකට අවසානයේ ඉතිරි වන එකම දෙය වන්නේ, නග්න වූත්, ප්රචණ්ඩ වූත් බලය පමණි. එම බලයේ එක් අවිධිමත් හස්තයක් වන්නේ පාතාලය යි.
මෙවැනි පාලකයෝ විවිධ තලවල, විවිධ ස්වරූපයෙන් සිය නග්න බලය අභ්‍යාස කරති. ප්‍රතිපත්තිමය පරාසයක දී එය ‛‛18 වැනි ව්‍යවස්ථා සංශෝධනය’’ නැමති ව්‍යවස්ථාමය නාමයකින් හැඳින්වුණි. රාජ්‍යය නිට්ටාවට ‛පෞද්ගලීකරණය’ කෙරුණේ ඒ හරහා ය. පොලෝ තලයේ දී, බලවත් දේශපාලඥයන් රැගෙන මහ පාරේ ඉගිලෙන රථ පෙළපාලිවල සන්දර්ශන කාමයේ සිට (මහ දවල් ලයිට් දමාගෙන, පලාත දෙවනත් කරන සයිරන් නලා හඩ, සුදෝසුදු අත්වැසුම් සහිත අත් එළියට එල්ල කරමින් ලෝකයාට ගර්ජනය පෑම සහ ඒ තුළ ගමන් ගන්නා ආරක්ෂක භටයන් පැළඳ ඉන්නා කළු අව් කණ්නාඩි ආදී සියල්ලේ සිට), මර්වින් සිල්වා සහ මුතුහෙට්ටිගම වැනි දේශපාලඥයන් රටේ සිවිල් සහ අපරාධ නීතියට ඉහළින් පිහිටුවීම දක්වා වන දීර්ඝ ක්‍රියා සන්තතියක් නිරූපණය කෙරෙයි. ඒ සකල බලය මහජාතිය ලවා සුජාත කර ගැනීම සඳහා, ‛‛භෞමික අඛණ්ඩතාව’’ සහ ‛‛දේශප්‍රේමය’’ වැනි අනුරාගී සංකල්ප තවමත් ප්‍රයෝජනයට ගැනෙයි.
දැන්, මා මෙතෙක් කියාගෙන ආ සෑම කාරණයකටම යම් තාක් දුරට හෝ එකඟ වන අයගෙන් බහුතරයක්, අවසානයේ මා කී ‛‛බලය සඳහා දේශප්‍රේමය ප්‍රයෝජනයට ගැනීමේ’ කතාව සමග එකඟ නොවන බව මම දනිමි. අවාසනාව වන්නේ, ඒ බහුතරය අනුමත නොකරන සියල්ල (මර්වින් සිල්වා සහ දුමින්ද සිල්වා වැන්නන්) බැබළෙන්නේ, එම බහුතරය එකහෙලා එදා අනුමත කළ සහ තවමත් අනුමත කරන ඒ දේශප්‍රේමය මතම බව තවමත් අපට නොවැටහීම යි.
දීර්ඝ කතාවක් කෙටියෙන් පවසන්නේ නම්, යුද්ධය යනු ලංකාවේ අද අප අත්දකින ප්රචණ්ඩත්වයේ තිඹිරිගෙය යි. සිවිල් යුද්ධයක දී, මියගිය පරාජිතයාට වඩා දිවි ගලවාගත් ජයග්‍රාහකයා පරාජිතයෙකු වීමට ඇති ඉඩකඩ වැඩි ය. අපේ සමාජය වෙන කවරදාටත් වඩා අද හමුදාකරණය වෙමින් ඇතැ යි කීම තුළ ගම්‍ය වන්නේ එම කාරණය යි. එක පැත්තකින් එක ජන කොටසක් ඝාතනය වීමත්, අනිත් පැත්තෙන් එම ඝාතනය සමරා තවත් ජන කොටසක් කිරිබත් කෑමත් යන සංසිද්ධීන් දෙකම වත්මන් පාලකයාගේ නග්න බලය එක සේ ඔප් නංවා ඇත. පොලීසිය බලා සිටිය දී පස් දෙනෙකු ඝාතනය කිරීමටත්, තවත් පිරිසකට මාරාන්තික තුවාල සිදු කිරීමටත් නියෝග දුන් බවට ඇසින් දුටු සාක්ෂි ඇති දුමින්ද සිල්වා, අඩු වශයෙන් සංකල්පීය වශයෙන්වත්, අත්අඩංගුවට පත්විය යුතු සැකකරුවෙකු වශයෙන් මේ වන තෙක් සැළකෙන්නේ නැත. එම ඝාතනයේ දී හඳුනාගත් ප්‍රධාන තුවක්කුකරුවාගේ නම දුමින්ද සිල්වා බව රජයේ කිසි නායකයෙකුගේ කටින් නිකමටවත් ප්‍රසිද්ධියේ පිටවන්නේ නැත. මෙය, කොලොන්නාවේ ප්‍රශ්නයක් නොව, රටේ සහ රටේ විධායකයේ ප්රශ්නයකි.