Colombo, end of the War, Featured Articles, Features

සමනල මරණය


[සමනල මරණය – තිලිනා වීරසිංහ – විචාරය]

“සමනල මරණය”
“මානුෂ්‍යත්වය සමඟ ජීවිතය
ජීවිතය සොයා යෑමට තල්ලුවක්”

“මිනිසුන් එකිනෙකාට එරෙහිව
යුධ වැදුනු දේශයක
පැතිර ඇති නිහැඬ්යාව තුළ
මිය යමින් සිටිය දී
අපගේ මානුෂිකත්වය සමඟ ජීවිතය
යළි සොයා යාමට
සමනල මරණය සමඟ
ඔබ හා එක්වීමට වෙරදරමි”

තිලිනා වීරසිංහ ලේඛිකාව මෑතක දී නිකුත් කළ “සමනල මරණය” පිළිබඳව දොරකඩ සිට කෙටි පැදියකින් අපට හඳුන්වා දෙන සැටිය ඒ. ස්වකීය අත්දැකීම් හයකින්, තිලිනා අප වෙත ගෙනෙන තොරතුරු අංශු මාන්ත්‍රයකුදු රසයෙන් හෙබි වූවක් නොවේ. කටුක, නීිරස, දුක්ඛිත, අසංවේ දී ලකුණින් හෙබි ඒවා ඉතා පහසුවෙන් ම පාඨකයා බලවත් ප්‍රකම්පනයකට පත්කරවන සුළු ය.

තිලිනා තමන්ට අනන්‍ය වූ විකල්ප දෘෂ්ටියකින් හෙබි ලේඛිකාවකි. එසේම මෙවර ඈ යොදා ගන්නා බස් වහර “සමනල මරණය” තුළින් පියවර කිහිපයක් ඉදිරියට තබා ඇති සතුටට කරුණකි.

“සමනල මරණය” කාලීන තේමාවලින් හෙබි වූවකි. අද තරුණයන් යුධ හමුදාවට බැඳෙන්නේ සැබැවින්ම ආර්ථික ගැටළු, සේවා වියුක්තිය, අඩු අධ්‍යාපනය වැනි හේතු සාධක පදනම් කරගෙන ය. එහෙත් පාලක පන්තිය හා ඔවුන්ට කඩේ යන ජන මාධ්‍ය කට්ටිය පොදු ජනතාවගේ ඔලුවලට බලහත්කාරයෙන් ඔබ්බවා ඇත්තේ වෙනත් මතවාදයකි. එනම් රට බේරා ගැනීම සඳහා හෙළ රුහිරු මඟින් කැස කවන වීරත්වයේ මානසිකත්වය හා නිවන දැකීමට තරම් පුන්‍ය කර්මයක් වී ඇති බවට කරන ඇන්දීම යි. මෙකී බින්නය සී සීකඩ කිරීමට තිලිනා ගේ “සමනල මරණය” සමත් වී තිබේ.
“රැකියා තිබුණ ද සුදුසුකම් බොහොමයක්
ඔහු වෙත නොතිබුණි.” (55 පිට)
“වීරයෙකුව මිය යාමට නොව, ජීවිතය විඳ ගැනීමට,
ගැහැනියකට ආදරය කිරීමට ඔහුට බෙහෙවින්
ඕනෑකර තිබුණි.” (එම)

සෙබලා ද මනුෂ්‍යයයෙකි. ජීවිතයට ආදරය නැත්තේ කවරහු ද? එබැවින් මරණයට සෙබලු ද බිය වෙත්. අධිපති මතවාදය යුධකාමීවන විට සියලු මාධ්‍යයන්ගේ ප්‍රතිචාරයවන්නේ ද හාම් පුතාගේ හඬයි. (His Master’s Voice) යුදකාමී සමාජ රටාවක් පෝෂණයවන්නේ ද ඊට පිං සිදුවන්නට ය.
“ඔහු නිරන්තරව ජීවිතය ප්‍රාර්ථනා කළේ ය.
ජීවිතය ……. ජීවිතය ……….
ඔහු ජීවිතයට ආදරය කළේය.
ජීවත්වීමට ආශා කළේ ය. …….” (55 පිට)

මේ වදන් තුළින් ඉහත ව්‍යාජත්වයේ සැබෑ නිරුවත නොපෙනේ ද?

සමනල්ලු, සමනල කන්ද තරණය කර, වැඳ පුදා ඉනික්බිති මරණයට පත්වීමේ පරිවාර කතාව ගෙන හැර දක්වන ලේඛිකාව, ඊට “සමනල මරණය” යැයි නම් තබන ලද්දේ සංකේතාත්මකව ය; සැබැවින්ම යථාර්තවාදීව ය. සමනලුන්, … සෙබලුන් …. තුළින් මේ විග්‍රහය මැන බැලිය හැකිය.

බලලෝභිත්වය, බඩගෝස්තරවාදය හා අවස්ථාවාදය කරපින්නා ගත් රටක ජනතාව නිද්‍රෝපගතව සිටින තාක් කල් එම යථාර්තය තේරුම් නොගන්නාතාක් යුද්ධය, දරිද්‍රතාවය, වැන්දඹු යෝග ද දෛවයට පමණක් සින්නවනු ඇත. මේ පණිවුඩය සමනල දඩයම තුළ යථාර්තවත් කෙරෙන බව පැහැදිලි ය.

ඇයගේ අත්දැකීම් පෙළ ගැස්මෙහි ප්‍රමුඛයා වූ “නගරයේ ආදරවන්තයා” හමුවීම දක්වා අපර්ණා, රාගම නගරය සිසාරා යන සේ රූපලාවන්‍යාගාරය කරා ඇවිදගෙන යන ආකාරය පිළිබඳ කතුවරිය කරන “මග වැනුම” හැබෑවට ම සිතුවම් පටයක් සේ පාඨකයා තුළ සංකල්ප රූ මවාල යි. එදා සංදේශ කවියා මග වැනුමට ලක් කළ අව්‍යාජ සොඳුරු පරිසරය වෙනුවට නූතන මග වැනුමට ව්‍යාජ – කෘතිම – කටුක පරිසරයක් ගැන වත්මන් නිර්මාණකරුවන්ට දැක්වීමට සිදු වී තිබේ. මෙහි දී කතා නායිකාව පසුකර ගෙන යන සජීවී – අජීවී වස්තූන් පාඨකයා වෙත කරන යම් යම් සංකේතාර්ථ ලෙස ගිනිය හැක. එහෙත් ඒ හැම යෙදුමක් පාසාම උපහාස රසය සම්මිශ්‍රණය වී තිබීම කැපී පෙනේ.
“විධායක රාජ්‍ය නායකයෙකු, රාජ්‍ය ආරක්‍ෂක ප්‍රධානියා ද
ඔහුම වී …..” (11 පිට)
“දැයේ ගෞරවනීය විවේක නොදෙවීම ………. රණවිරු සෙවන, ගුවන් පාලමට දකුණු දෙසින් …………” (12 පිට)

“හිමිදිරි පිනිබර සිසිලස, දහවල වෙහෙසකර ග්‍රීස්මය,
නිශා කල සත් දුර නොතකා තුන් කල්හිම දොරගුළු ව්වර වූ බලපත් ලද මත්පැන් අලෙවිහල් හි මත් පැනින් නොමඳව මත් වූ නගරය ……….,” (12-13 පිටු)

යනා දී ලෙස සියුම් උපහාසය මුසු මෙවන් යෙදුම් එහි සුලබ ය. එසේම අපර්ණා යන මඟ පිළිබඳව පාඨකයා තුළ ඇතිවන්නේ ඉවසුම් නොදෙන කුහුලකි. මෙය ද සාහිතරසයක් බැව් කුමරතුඟුවෝ කී හ. අපර්ණා යනු කවු ද? රාගම නගරය පිළිබඳ මෙතරම් අටුවා – ටීකා ගෙන හැර දක්වන්නේ ඇයි? අවසානයේ කුමක් සිදුවේ ද? මේ ආදී බොහෝ් ප්‍රශ්න පාඨක මනස තුළ ඇතිවීම නොවැළැක්විය හැක්කකි.

අවසානයේ අපර්ණා තම ගමනට නැවතීම තබනු ලබන්නේ, සනුජාගේ රූපලාවන්‍යාගාරයට ඇතුළුවීමෙන් පසුවයි. ඈ තම රූ සපුව වඩවා ගැනීම සඳහා නිතර නිතර එහි ආ ගිය බව කතුවරිය පවසයි. එක් දිනක සනුජා, ඇගේ කොණ්ඩය සකසමින් සිටි අවස්ථාවක සනුජාගේ දැනහැඳුනුම්කමමත තරුණයෙක් පැමිණෙයි. ඔහු පෙරටත් වඩා දෙදෙනා ම සමඟ හිතවත් වෙයි.

තමන්ගේම මුවින් පිටවන ආකාරයට,
“මාව වරදවා තේරුම් ගන්න එපා. මං කතා කරන්නේ
ගෑනියෙක්ට තුරුලුවෙලා විඳින ලිංගික සතුටක් ගැන නෙවෙයි. ජීවිතයම තුරුලු කර ගන්නා බලාපොරොත්තුවක් …… ආදරයක් ……”

ඔහු කටින් බතල හිටවන නොම්මර එකේ, නගරයේ හොඳට තෙම්පරාදු වූ අවස්ථාවාදියෙකි. හේ නගරයේ දකින දකින තරුණියන්ට ආදරය කරන්නෙකි. තරුණියන් රවටන සුළු පැණි වෑහෙන නරි වර්ණනාවලට ඔහු දක්‍ෂයෙකි. තක්කාලීන සමාජයේ මෙවන් තරුණයන් කෙතරම් සුලබ ද?

අවසානයේ තම කූට පහත් අරමුණ සනුජා ලවා ඉෂ්ට කරගන්නා ඔහු ඈ අත්හැර යයි. බොහෝ විට මෙවන් අවස්ථාවක කදුළු බොන ගැහැනුන් අතරට සනුජා ආත්මශක්තිය ඇති ගැහැනියක් බව පාඨකයා ඒත්තුගන්වන්නේ ඇගේ උපහාසය මුසු හැසිරීමෙනි.

“ඇත්තටම එයා හොඳ ආදරවන්තයෙකි. ඒ ආදරේ
දැන් වෙන කෙනෙක් විඳිනවා ඇති……..”
කූට අවස්ථාවාදී ආලයේ නිරුවත දෙස ඈ එලෙස උපහාසයෙන් බලන්නී ය.

තිලිනා මෙහි ගොනු කරන පරිසර වැනුම් ගැන පුන – පුනා කියයි. ඒ සියල්ල ඈ අපුරු ලෙස චරිත හා බද්ධ කරගනී. නගරයේ රාත්‍රිය නිසල නැත. එය බොහෝ විට බියකරු ය.

“නිදිකිරණ බිළිඳුන් තනමත්තේ උණුසුමට සැතපීම වෑයම්
කරන, ඒ රාත්‍රියේ දුම්රියක ඇදී යන හූ හඬට ඔබ්බෙන්
තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගෙනයාමට ලක්ව
සිටිනවා ද වියහැකි අඳුරු රාත්‍රියක ……….” (22පිට)
සියුම් උපහාස රසයෙන් යුත් දිගු පරිසර වැනුමකින් අනතුරුව කියැවෙන කෙටි ප්‍රේම වෘතාන්තය පාඨකයා අනපේක්‍ෂිතභාවයකට ලක් කිරීමට සමත් ය. ඇගේ විකල්ප සමාජ දෘෂ්ටිය “නගරයේ ආදාරවන්තයා ” තුළින් සක් සුදක් සේ වඩාත් පැහැදිලිව පෙනේ.

තිලිනා ගේ දෙවැනි අත්දැකීම වූ කලී “මම සහ අපි – 2” යනුවෙන් නම්කර තිබේ. සම්මත සමාජයෙන් බැහැරව, බුද්ධිමත්ව හා උපේක්‍ෂාවෙන් වඩාත්ම විකල්පී චින්තනයක් ඇති තරණියක් සෙසු බහුජන මතවාදයන් සමඟ ගැටෙන ආකාරය තාත්විකව නිරූපනය කර තිබේ. මෙහි දී මට ඇයගේ සහෘදියනියක් ලෙස ඉවෙන් මෙන් දැනෙන දෙයක් තිබේ. එනම් මේ කතා නායිකාවගේ භූමිකාව තුළ හොල්මන් කරන්නී ලේඛිකාව ම බව ය.

පාඨක රැඳියාව මනාව ග්‍රහනය කරන මේ පබැඳුමේ වැකියක්, වැකියක් පාසා උපහාස රසය වෑහෙන බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒ අනුව ජනාධිපති ඇතුළු මැති ඇමතිගොල්ල විරාජමාන වූ රජය, මිලිටරිය, විශ්ව විද්‍යාල, උපාධිධාරීහු, සංඝයා වහන්සේලා, උපාසිකාවෝ පමණක් නොවේ ස්වකීය දෙගුරුන් පවා ඇගේ නිර්දය විවේචනයට හසු වේ. මෙහි දී ඈ ව්‍යංගයෙන් බස හසුරුවාලීමට දක්වන දස්කම කැපී පෙනේ.

පාලක පන්තියට පමණක් කඩේ යන ජන මාධ්‍යයයන් ඇගේ උපහාසයට ලක්වන්නේ මෙසේ ය.
“ජනතාවට තොරතුරු දැනගැනිමට ඇති අයිතිය ආරක්‍ෂා
කිරීම අතින් ශ්‍රී ලංකාව ඉන්නෙ ප්‍රථම ස්ථානයේ කියල
මාධ්‍යය ආයතන තම තමන් ම ස්වයං සම්මාන ප්‍රදානය
කර ගන්නවා ………..” (48 පිට)
පාඨක මනස ගැඹුරින් කලම්බනය කිරීමට සමත් මෙවන් කියුම් උපහාසය හා ව්‍යංගය මුසු වූ යෙදුම් එහි සුලබයි.

දෙගුරුන් සමඟ නිතර නිතර මතවාදීව ගැටෙන ඈ ඒවා තියුණු උපහාසයට ලක් කරමින් ම තමාගේ මතය හා අංශු මාත්‍රයකවත් ඉඩක් නැති බව තේරුම් ගන්න ඈ, අවසානයේ ඊට අවනතවන ස්වරූපයක් පෙන්වන්නේ ව්‍යාජ ලෙස නිහඬවන හැටි ද තව තවත් උපහාස රසය තීව්‍ර කරන්නක් වේ.

මං හිතන්නේ මානව අයිතීන් කතා කරනවාට වඩා පහසුයි, කාට කාට වුනත් සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එක, අම්මා වුනත් ……… තාත්තා වුනත් සතුටු වේවි. ඕනෑම ආණ්ඩුවක් වුවත් සතුටු වේවි. පුරවැසියෝ තමන්ගේ අයිතිවාසිකම් ගැන අඳෝනා නගන්නෙ නැතුව වෙන වෙන පුංචි දේවල් හිත හිතා ඉන්නවනම්………..” (49 පිට)
ඉඩකඩ අවහිරතාවය මත සමස්ථ ග්‍රන්ථය ම දීර්ඝ වශයෙන් විවරණය කළ නොහැකි වුවත්, සෙසු පරිවාර අත්දැකීම් ගැන සංක්‍ෂිප්තව යමක් නොකිවහොත් එය ඌනතාවයක්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

මෙහි එන “වැන්දඹුවකගේ සංවාදය” තුළ එන කතා නායිකාව වූ මේනකා පරමේශ්වරී යුද්ධයෙන් රුදුරු ලෙස බැට කෑ තැනැත්තියකි. ඇගේ පවුලේ සියළුදෙනාත් (පියා, සහෝදරයන් දෙදෙනා,සැමියා) යුද්ධයේ ගොඳුරු බවට පත්වීම තුළ ඈ මුහුණදෙන අනේකවිධ දුක්පීඩාවෝ කතාව පුරාම කතා බහට ලක් කෙරේ. කතුවරිය ඇගේ වේදනාව පිටකරන බස්වහර කියවාගෙන යනවිට එහි ඇති අතිසංවේදනයන් ද සමඟ “සියැටල්”ගේ උච්චාරණ ශෛලිය පුනරාගමනය මවන්නේ යැයි මට හැඟුණු වාර අනන්ත ය.

“රාජේශ්වරී මෙනවිය ගේ උරුමය” නමැති අත්දැකීම උතුරේ යුද්ධයෙන් බැට කා කොළඹ පදිංචිවන තනිකඩ මැදිවියේ කතකගේ වියවුල් මනසක තාත්ත්වික නිරූපනය ද්වනිත කරන්නකි.

“ඇගේ සිහිනය අද්දර ……මම” යනු අපුරු සංකල්පයක තේමාව රැගත් කතා පුවතකි. යෞවනයේ පසුවන තරුණ යුවලක් තුළ රාගයෙන් තොරව ඇතිවන අතිජාත ප්‍රේමයක් (උත්තරීතර බැඳීමක්) ගැන කියැවෙන කතා පුවතකි. කායික බැඳීමකින් තොර වූ ගැඹුරු මිත්‍රත්වයන් ව්රුද්ධ ලිංගිකයන් අතර තිබුණ ද සම්මත, සම්ප්‍රදායික, හණ මිටි කරගත් සමාජයක ඒවාට හිමිවන්නේ උසස් තැනක් නම් නොවේමැ යි.

මෙලෙස තිලිනා ගේ “සමනල මරණය” තුළින් පාඨකයා වෙත ගෙනෙන අත්දැකීම් සම්භාරය සුළුපටු නොවේ. අත්දැකීම් 6 ක් වුවත් ඒවා සැබැවින්ම 6 හි ගුණාකාර ලෙස හැඳින්වීම නිවැරැදි ය.

සම්මතයෙන්, අධිපතිමතවාදයෙන්, පටු ආකල්පයෙන්, මිසදුටු දැක්මෙන් හා ස්වයං සිපිරි ගෙවලින් මිදී විවෘත ලොව දෙස බැලීමට තිලානා ගේ “සමනල මරණය” සැබෑ මානව සිත් පිළිබඳව කරන දඩයමක් වැන්න.

වයලා අබේගුණවර්ධන[Vayala Abegunawardhana]