”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම යි. එහි අදහස වන්නේ, රටක ජනතාවගේ ස්වෛරීත්වයට සහ ආරක්ෂාවට වෙනත් රටකින් එල්ල විය හැකි තර්ජනවලින් තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසුන් ඝාතනය කරනවා මෙන් පස් ගුණයක්, තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීමට මේ කියන සියවස තුළ ආණ්ඩු පාලකයන් පෙළැඹී ඇති බවයි. මෙවැනි ඝාතන, එනම් තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීම, රුඩොල්ෆ් රුමෙල් හඳුන්වන්නේ, ‛පොදු ප්‍රජා සංහාර’ වශයෙනි. රාජ්‍යයක් බලයෙන් තර වෙන තරමට එම රාජ්‍යය අතින් රටේ ජනතාව හිංසාවට පත්වීමට ඇති ඉඩකඩත් වැඩි වන්නේය. ‛බලය සංකේන්ද්‍රගත වීම’ (එක අතක ගොනු වීම) තරම් භයනාක දෙයක්, දේශපාලන පොළොව මත තවත් නැති බව රුඩොල්ෆ් රුමෙල් කියයි. ”…
රුඩොල්ෆ් රුමෙල් නැමති දේශපාලන විද්‍යාඥයාගේ ඇස්තමේන්තුවලට අනුව, වර්ෂ 1900 සිට 2000 දක්වා ගත වූ සියවස තුළ ආණ්ඩු විසින් ඝාතනය කරනු ලැබ ඇති තමන්ගේම රටවල්වල ජනගහනය මිලියන 169 කි. කාම්බෝජයේ පොල්පොට්ගේ මිනීමරු පාලනය, මාඕ සේතුංගේ සංස්කෘතික විප්ලවය, හිට්ලර්ගේ යුදෙව් සංහාරය, ස්ටැලින්ගේ යුක්රේනියානු සාගත, තුර්කියේ ආර්මේනියානු සංහාර ආදී මහ පරිමාණ මිනිස් ඝාතන කෙරෙහි ඒ ඒ රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් සෘජුව යොමු වීම හෝ එම ඝාතන කෙරෙහි එම රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් ඇස්වසාගෙන් සිටීම මගින් සිදුවීමට ඉඩහැර ඇති මිනිස් ඝාතන මීට ඇතුළත් වෙයි.
අනිත් අතට, මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම යි. එහි අදහස වන්නේ, රටක ජනතාවගේ ස්වෛරීත්වයට සහ ආරක්ෂාවට වෙනත් රටකින් එල්ල විය හැකි තර්ජනවලින් තමන්ගේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසුන් ඝාතනය කරනවා මෙන් පස් ගුණයක්, තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීමට මේ කියන සියවස තුළ ආණ්ඩු පාලකයන් පෙළැඹී ඇති බවයි. මෙවැනි ඝාතන, එනම් තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීම, රුඩොල්ෆ් රුමෙල් හඳුන්වන්නේ, ‛පොදු ප්‍රජා සංහාර’ වශයෙනි. රාජ්‍යයක් බලයෙන් තර වෙන තරමට එම රාජ්‍යය අතින් රටේ ජනතාව හිංසාවට පත්වීමට ඇති ඉඩකඩත් වැඩි වන්නේය. ‛බලය සංකේන්ද්‍රගත වීම’ (එක අතක ගොනු වීම) තරම් භයනාක දෙයක්, දේශපාලන පොළොව මත තවත් නැති බව රුඩොල්ෆ් රුමෙල් කියයි.
බලය දරන්නා, තමන්ට එරෙහිව බාහිර රටකින් නැගෙන තර්ජනයට වඩා රට අභ්‍යන්තරයෙන් මතුවන තර්ජනය බරසාරව ගන්නා බවක් මෙයින් පෙනේ. යුද්ධයකට වඩා විප්ලවයකට ඕනෑම රටක පාලකයන් බිය වීමට එක හේතුවක් විය හැක්කේ ද එයයි. පාලකයාගේ බලයේ ප්රභවය මහජනතාව වන තරමටම, පාලකයාගේ බලයට එල්ල වන බරපතලම අභියෝගයත් එම මහජනතාවම වන බව පාලකයා ඉවෙන් දනී. ප්රජාතන්ත්රවාදය යනු මේ අභියෝගය මානවවාදීව ජයගැනීම සඳහා පවතින ප්රශස්ත සම්ප්රදායයි. රටේ අනාගතයේ සැබෑ අවශ්‍යතාවන් සහ ජනප්‍රිය ජනතා අපේක්ෂාවන් අතර සාධාරණ තුලනයක් පවත්වා ගැනීමේ ප්රශස්ත අවකාශ එය තුළ තිබේ. තුලන සහ සංවරණ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක වන ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතියකින් ඊට ආරක්ෂාව සැපයෙයි.
අවාසනාවකට, මේ ආයතන පද්ධතිය අද අපේ රටේ දකින්නට නැත. රටේ සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙන් සිදුවන ඕනෑම අපරාධයක් ඉතා ඉක්මණින් සොයා ගැනීමටත්, එම සිද්ධියට අදාළ අයවළුන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අපේ පොලීසිය සමත් වන බව මාධ්‍ය වාර්තාවලින් පෙන්නුම් කරයි. (මෑතක සිට ඒ සැකකරුවන් පවා නීතියට පිටින් ‛ඉවරයක් කර දැමීමට’ පොලීසිය පෙළඹී ඇත්තේ ද, සාර්ථක ආයතන පද්ධතියක් ක්‍රියාත්මක නොවන තත්ත්වය නිසා බව පෙනේ). එහෙත්, අනිත් අතට, දේශපාලනයට සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී, පොලීසිය කියා ආයතනයක් මොන අර්ථයකින්වත් මේ රටේ නොපවතින බවත් හැමෝම දනිති. සිවිල් වැසියන්ගේ නඩුහබ සම්බන්ධයෙන් බොහෝ විට සාධාරණත්වය ඉටු කර දෙන අධිකරණ ක්‍රියාවලිය, දේශපාලඥයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් හැම විටකම අවාසනාවන්ත සේ අකර්මණ්‍ය වෙයි. දුර්මුඛ වෙයි. කොටින් කිවහොත්, අද ලංකාවේ අධිකරණ පද්ධතියේ සිට මහපාරේ කසල ශෝධනය දක්වා වන සමාජ පැවැත්ම තුළ ‛ස්වාධීන’ යැයි කිව හැකි රාජ්‍ය ආයතන පද්ධතියක් නැත. සියලු ආයතන සහ සියලු බලය එක පුද්ගලයෙකුගේ අභිප්‍රාය තුළින් පමණක්ම ව්‍යුත්පන්න වෙයි.
මෙසේ වන විට, ඔහුගේ ‛‛හොඳ හිත’’ තමන්ගේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති එකම මාවත බවට මුල්බැසගත් විශ්වාසයක්, කැබිනට් ඇමතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා, විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර, ආර්ථික සංවර්ධනය, පොදුවේ රාජ්‍ය සේවය සහ අවසානයේ යුක්තිය පසිඳලීම දක්වා වන සමස්ත සමාජ ක්‍රියාකාරීත්වය තුළ නිදන්ගත වෙයි.
මෙසේ, රාජ්‍යයක ආයතනගත සුගම ක්‍රියාකාරීත්වය තුළ නොව, පරම නායකයෙකුගේ හොඳහිත සහ අනුග්‍රහය මත තම පැවැත්ම තීරණය වෙතැ යි සියලු රටවැසියන්ට විශ්වාස කිරීමට සිදුවන සමාජයක, වඩාත්ම අසරණ තත්ත්වයට පත්වන්නේ, නැවත වරක්, බලවතාට වඩා දුබලයා ය. උදාහරණයක් වශයෙන්, එක පවුලක සාමාජිකයන් විසින් සමස්තයේ මර්මස්ථාන හසුරුවන වර්තමාන ආණ්ඩුවේ බල ධූරාවලිය තුළ, යම් ඇමතිවරයෙකු ‛‛නිකම්ම ජ්‍යෙෂ්ඨයෙකු’’ වී පිළිකන්නට වීසි වීමේ දී අත්විඳින නිග්‍රහයට වඩා, නිදහස් වෙළඳ කලාපයේ අරගලයක දී ජීවිතය නැති කරගත් කම්කරුවෙකුගේ පවුලක් අවාසනාවන්ත වීමට ඇති ඉඩකඩ වැඩියි. ජ්‍යෙෂ්ඨ ඇමතිවරයාගේ ‛‛සෙවනැල්ල’’ යම් කාලයක් නොමැකී පවතින අතර, (සහ ඒ තාක් කල් ඔහුට ‛ජ්‍යෙෂ්ඨයෙකු’ වශයෙන් සිටීමට ඉඩදීම සිදුවිය හැකි අතර) අර කම්කරුවාගේ මරණය, සෙවනැල්ලක්වත් නැති නොපැවැත්මක් බවට පත්වීමට වැඩි කාලයක් නොයයි. කන්දසාමි මියයාමෙන් පසු ශත වර්ෂ භාගයකටත් වැඩි කාලයක් ලංකාවේ සමාජ දේශපාලනික දේහය තුළ ඔහුගේ මතකය ජයග්‍රාහීව ජීවත් වුණ බව අපි දනිමු. එය, කම්කරු පංතිය කෙරෙහි ආශ්වාදය සපයන උල්පතක් වුණි. එහෙත්, මීට මාස කිහිපයකට පෙර මියගිය කටුනායක තරුණයාගේ මරණයේ දේශපාලනික බර, මාස කිහිපයක් තුළ, මේ වන විට මැකී ගොස් ඇත.
අද ඔහුගේ පවුලේ සාමාජිකයෝ මාස්පතා එක වරුවක උපවාසයක් කරති. ඒ මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ, එදා අර නායකයාගේ බලාධිකාරයෙන් පොරොන්දු වූ වාසස්ථාන සහ රැකියා ආදී මාහැඟි ප්රතිලාභ, මරණයට හිලව්වක් වශයෙන් තමන්ට ලබා දෙන ලෙසයි. එදා, කම්කරු පංතිය විසින් මේ රජයේ කොල්ලකාරී වැඩපිළිවෙලක් දණගැස්සූ අවස්ථාවේ මේ කියන පවුලේ සාමාජිකයෝ එම ජයග්‍රහණය නොතකා, තමන්ගේ මළකඳ හැකිතාක් අදේශපාලනික කොට, රාජ්‍ය නායකයාගේ බලඅධිකාරය සමග පෞද්ගලිකව සහ රහසින් හෙට්ටු කරන කුණපයක් බවට පත්කර ගත්හ. මියගිය තරුණයාගේ සහෝදරයෙකු වූ වෛද්‍ය ශිෂ්‍යයෙක්, තම සහෝදරයාගේ අවමගුල, දේශපාලනයේ බළල් අතක් වශයෙන් යොදා නොගන්නැ යි අවලාද නගමින් කම්කරු පංතියට නිග්‍රහ කෙළේය. ඔහුගේ එකී අර්ථ දැක්වීම තුළ අවමගුලේ ‛තහනම් දේශපාලනය’ වශයෙන් එදා ඔහු අදහස් කෙළේ කම්කරු පංති දේශපාලනයයි. ඒ වෙනුවට, ඔහු සහ පවුලේ අයවළුන් අර කී පුද්ගල දේශපාලනයේ ආකර්ශණයට නතු විය.
අද වන විට එහි ප්‍රතිඵලය වී ඇත්තේ උපවාස හරහා එළියට එන අපේක්ෂා භංගත්වයයි.
කොලොන්නාවේ ප්‍රතිඵලය මීට වෙනස් ආකාරයක් ගනිති යි සිතීමට ඉඩක් නැත. කොලොන්නාවේ ප්රචණ්ඩත්වය රජ කෙළේ මැතිවරණ දවසේ පමණක් නොවේ. දේශපාලනික ප්රචණ්ඩත්වය සමග බලවත් දේශපාලනයක අනුග්‍රහය ලත් මත්ද්‍රව්‍ය ජාවාරම කොලොන්නාව ආක්‍රමණය කොට දැන් බොහෝ කලක් ගතවෙයි. එම ප්‍රදේශයේ ජනතාව මේ ප්‍රවණතාව යම් ආකාරයකින් පරාජය කිරීමේ පියවරක් ගෙන ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් අපට හඳුනාගත හැක. දුමින්ද සිල්වාගේ පාතාලය පරාජය කොට, සෝලංගආරච්චි පෙරමුණට ගැනීමට කොලොන්නාවේ ජනතාව තීන්දු කොට ඇත්තේ එබැවිනි. මේ ජනතාව ‛පවුලක්’ වශයෙන් ගත් කල, ඒ අර්ථයෙන්, කටුනායක පවුලට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. එහෙත්, අර කලින් කී රාජ්‍ය මර්මස්ථානයේ පුද්ගල බලය කෙතෙක් තීරණාත්මක වන්නේ ද යත්, මේ ඉදිරිගාමි ප්‍රතිඵලය පවා හෙට අනිද්දා වන විට පුස්සක් වීමට ඇති ඉඩකඩ සුළුපටු නොවේ.
කටුනායක වන්දි ඉල්ලා සිටීමේ උපවාසත්, කොලොන්නාවේ ‛සාධාරණත්වය ඉෂ්ට කර ගැනීමේ’ ව්යායාමයනුත් මහජන ක්රියාකාරීත්වයන් වශයෙන් තව තවත් ශක්තිමත් කර ගැනීම නරක නැත. එහෙත්, රාජ්‍ය බලය පුද්ගලීකරණය වන තරමට, මේ පිළිලය අසාධ්‍ය වන්නේය. ඊයේ කටුනායක දී, අද කොලොන්නාවේ දී මෙන් හෙට තවත් තැනක දී එය සිදු විය හැකිය. එබැවින් කළ යුතුව ඇත්තේ, බලය යන්න නැවත වරක් ප්රජාතාන්ත්රීය වශයෙන් ආයතනගත කිරීමයි. පොලීසිය සහ අධිකරණය වැනි සියලු ආයතන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන කොට, ශක්තිමත් කිරීම එහි එක් පියවරක් විය හැකිය. ඒ සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවිය යුතුව තිබේ. ඊටත් වඩා, තනි පුද්ගලයෙකුගේ හිතුවක්කාරී අභිලාෂය රටේ සමස්ත බලයේ ප්රභවය වීමට ඉඩ නොදී, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පලාත්පාලන ආයතන වැනි මහජන බලය නියෝජනය වන තැන්, ජනතා ස්වාධිපත්‍යයේ ශුද්ධ වූ දෙවොල් වශයෙන් නැවත භෞතීස්ම කළ යුතුව තිබේ.
ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]