[Gaddafi seems to enjoy the presence of Sri Lanka President Mahinda Rajapaksa at the celebration at the Green Square in Tripoli on September 1 to mark the 40th anniversary of his coming to power.]
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
කර්නල් මුවම්මර් අල් ගඩාෆි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ජනාධිපති රාජපක්ෂට ඉතා සමීප දේශපාලනඥයකු විය. ඔහු අත් අඩංගුවට ගෙන වධ දී පසුව ඝාතනය කිරීම පිළිබද පරීක්ෂනයක අවශ්‍යතාවය අවධාරණය කරන අතලොස්සක් රටවල් අතර ශ්‍රී ලංකාව ද එකකි. මේ අරභයා එක් වාක්‍යයක සහ වචන 21ක ප්‍රකාශනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කියා සිටියේ කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සිදුවූ අන්දම පිළිබඳව පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය බවයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඉන් අදහස් වුයේ ගඩාෆි ඝාතනය ගැන පරීක්ෂනයක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ගඩාෆි සම්බන්ධයෙන් දැක්වූයේ හිතෛශී ආකල්පයකි.
අත් අඩංඟුවට ගන්නා ලද හිටපු ලිබියානු නායකයාගේ ලේ වැකි දුක්බර මුහුණ සහ වෙඩි තබා ඝාතනය කරන ලද ඔහුගේ මළ සිරුර පැහැදිලිව කියා සිටියේ ඔහු මරා දමන ලද්දේ වධ හිංසා පැමිණවීමෙන් පසවු බවයි. ගඩාෆි වෙඩි තබා මරා දැමීමේ වගකීම පිළිගත් තරුණ කැරලිකරුවා කැමරාවක් ඉදිරියේ කියා සිටියේ අනෙක් කැරලිකරුවන් ඔහුට වධ හිංසා පැමිණවීමට උත්සාහ දැරු බැවින් තමා දෙවරක් වෙඩි තබා ඔහු මරා දැමූ බවයි. කැරලිකරුවන් තර්ක කරනු ඇත්තේ ගඩාෆි දහදහස් ගණනාවක් ලිබියානු ජනයාගේ මරණවලට වග කිවයුතු වසර 49ක් ආඥාදායකු ලෙස ලිබියාව පාලනය කළ ත්‍රස්ත රාජ්‍ය නායකයකු බැවින් ඔහු ඝාතනයවී යෑම ඉතිහාසයේ තීන්දුව බවයි. බටහිර රටවල් තර්ක කරනු ඇත්තේ ද එලෙස ය. අන්තර්කාලීන ලිබියානු ආණ්ඩුව කියා සිටියේ අවසන් වතාවත් සඳහා ඥාතීන්ට ඉඩ සැළසීමෙන් අනතුරුව ගඩාෆි දේහය කාන්තාරයේ නොදන්නා ස්ථානයක මිහිදන් කළ බවයි.
ගඩාෆි ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකාණ්ඩුව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට පෙර එම අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදුව ඇතැයි කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍ය බවට උද්ඝෝෂනයක් ගෙන යන හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යන සංවිධානයන් ය. එක්සත් ජාතින්ගේ සංවිධානය ද එවැනි පරීක්ෂනයක් අවශ්‍ය බවත් දැනටම ආරම්භ වී ඇති මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂනය විසින් ගඩාෆි ඝාතනය ද සොයා බලනු ඇතැයි ද කියා සිටියා ය. මෙම ඝාතනය අත් අඩංගුවට ගැනීමෙන් පසු කරන මෙම ඝාතනය යුද අපරාධ ඝනයට වැටිය හැකි බවද අපරාධයට දඩුවම් දිය යුතු බව ද එකී සංවිධාන කියා සිටියා ය.
යුද්ධයේ අවසාන භාගයේ දී එවැනි ඝාතන ශ්‍රී ලංකාවේ දී සිදුවූ බවට එම සංවිධානම චෝදනා කරයි. නැගෙනහිර එල්ටීටිඊ නායකයකු වූ රමේශ්ගේ මරණය එවැනි එක් අවස්ථාවකි. ජීවග්‍රහයෙන් ගත් රමේශ්ගෙන් යුද හමුදා සෙබලුන් විසින් ප්‍රශ්ණ කරනු ලබන සහ ඔහුගේ මළසිරුර දැක්වෙන විඩියෝ දර්ශන මේ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනාවට පිළිතුරු වශයෙන් ආරක්ෂ ලේකම්වරයා කියා සිටියේ රමේශ් දරුණූ ඝනයේ ත්‍රස්තවාදියකු බවයි. එමෙන්ම එල්ටීටිඊ නායකයින් වූ සිය සැමියන් යුද හමුදාවට බාර වූ බවත් ඉන් අනතුරුව ඔවුන් අතුරුදහන්ව ඇති බවත් බිරින්දෑවරුන් ගනනාවක්ම ආණ්ඩුවේ එල්එල්ආර්සී කොමිසම හමූයේ සාක්ෂි දුන්හ. ආණ්ඩුව කියනු ඇත්තේ ඔවුන් ත්‍රස්ත නායකයින් බවත් එම මරණවලට තමන් වගනොකියන බවත් ය.
දැන් ලිබියානුවන්ට ද ගඩාෆි සම්බන්ධයෙන් එවැනිම පිළිතුරක් දිය හැකිය. නමුත් පෙනන විදියට හියුමන් රයිට්ස් වොච් සහ ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල් මෙන්ම ශ්‍රී ලංකාණ්ඩුව ද එම පිළිතුර පිළිගැනීමට සූදානම් නැත. එසේ නම් යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂනයක් අවශය නැතැයි කීමට ශ්‍රී ලංකාණ්ඩුවට ඇති අයිතිය කුමක් ද? එවැනි පිළිතුරු එම ප්‍රශ්නයට මැදිවූ දෙමළ ජනයා සහ අන්තර් ජාතික මානව හිමිනම් ප්‍රජාව විසින් පිළිගනු ඇත් ද?
ශ්‍රී ලංකාවේ මෙන්ම ගඩාෆිගේ ලිබියාවේ අංක එකේ මිතුරකු වූ චීනය මේ සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරය සහමුලින්ම වෙනස් ය. එය කියා සිටියේ දැන් ලිබියාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය උදා වෙනු ඇතියි තමන් අපේක්ෂා කරන බවත් නව ආණ්ඩුව සමඟ කටයුකු කිරීමට තමන් සූදානම් බවත් ය. ඉන්දියාව ද ප්‍රකාශ කළේ එවැනිම ස්ථාවරයකි. අප ශ්‍රී ලංකාණ්ඩුව ගත් ස්ථාවරය අගය කළ යුතු වන්නේ විශේෂයෙන්ම ගඩාෆිගේ ලිබියාවේ මිතුරන් වූ බලගතු රටවල් නිහඩව සිටිය දී ගන්නා ලද නිවැරදි ස්ථාවරයක් නිසා ය. කවර වරදකට වෝදනා ලැබ තිබුන ද අත් අඩංඟුවට පත් සතුරකු මරා දැමීම දඩුවම් ලැබිය යුතු වරදකි.
එසේ නමුත් ශ්‍රී ලංකාණ්ඩුවේ භාවිතය ගඩාෆි සම්බන්ධයෙන් දරන ලද මෙම ස්ථාවරයට සහමුලින් වෙනස් ය. එය අත් අඩංගුවට ගන්නා සැකකාර පතාල සාමාජිකයින් පවා නඩු නැතිව ඝාතනය කරයි. දේශපාලන ඝාතන පිළිබඳ පොලිස් පරීක්ෂන යටපත් කරයි. අධිකරණ තීන්දු ලැබීමට පෙරම අත් අඩංගුවේ සිටින සැකරුවන් දරුණු ඝනයේ අපරාධකරුවන් ලෙස නම් කරයි. ගඩාෆි සම්බන්ධයෙන් ඇති අනුකම්පාව සිය රටෙහි එවැනි ඝාතනයවූවන්ට දැක්වීමට නොහැකි වීම විසින් පෙනුන්ම් කරන්නේ ගඩාෆි ඝාතන පරීක්ෂනයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය මූලධාර්මික ස්ථාවරයක් නොව දේශපාලන ඥාතීත්වය මතින් පැන නැගුණු එක්ක බවයි. ඒ කෙසේ වෙතත් ගඩාෆි දේශපාලනය සහ එහි අවසානය ශ්‍රී ලකාව තේරුම් ගැනීමට ප්‍රවේශයක් වැන්න.
ඔහු ඉපදුනේ එඩේර ගෝත්‍රයක ගොවි පවුලක ලාබාල දරුවා ලෙස ය. සාමාන්‍ය පාසැළක ඉලෙනුම ලබා නීති උපාධිය දිනා ගැනීම දක්වා ඉහළට ගියේ ය. පාසැල් වියෙහි දී ම විප්ලවකාරී අදහසින් වෙළි ගිය ගඩාෆි නීතිය හැදැරීමෙන් අනතුරුව යුද හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ වැඩිදුර පුහුණුව ද ලැබීමට සමත් 1959 සැප්තැම්බර් 1 දා සිය පාසැල් සමයේ විප්ලවකාරි සගයන්ද හවුල්කර ගනිමින් කපිතාන් ගඩාෆි එකළ රට කරවූ ඉර්දිස් රජු බලයෙන් පහ කළේ ය. විය. එමගින් විසි නමවැනි වියෙහිදීම ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් විය.
ලිබියාව විදේශ අධිපත්‍යයෙන් නිදහස් රටක් බවට පත් කිරීම තරුණ ගඩාෆිගේ අපේක්ෂාව වු අතර ඔහු සිය ආදර්ශය ලෙස සළකා ගත්තේ ඊජිප්තුවේ පෙරළිකාරී නායකයා වූ ගමෙල් අබ්දුල් නසාර් ය. ලිබියාව ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය සම්පත් රටෙහි ආඩ්‍යව තිබුණි. ලිබියාව අද දක්වාම විදේශ ණය හෝ වෙනත් ණය බරක් හෝ නැති රටකි. බටහිර කොල්ලකාරී සමාගම් විසින් ගරාගනිමින් තිබූ තෙල් සම්පතෙහි අයිතිය යළි ලබා ගත් ප්‍රථම අරාබි රාජ්‍යය වූයේ ලිබියාවය.
ගඩාෆිගේ පාලනය යටතේ ලිබියානු ජනතාවගේ සාක්ෂරතාවය සියයට 10 සිට සියට 90 දක්වා ඉහළ නැගුණි. පරමායුෂ වයස අව්රුදු 57 සිට 77 බවට පත් විය. ස්ත්‍රින්ට සමාන අයිතීන් ලබා දීම අතින් ද ලිබියාව ඉහළ තැනක සිටි අතර අධ්‍යාපානය සහ සුව සේවා නොමිලයේ සැපයුනි. සහනදායී නිවාස ණය මහා ජනයාට විවෘත විය.
එනමුත් මේ සියළු සාධනීය පියවරයන් මකා දැමෙන නපුරක් ගඩාෆිගේ දේශපාලනයේ අන්තර්ගත වී තිබුණි. එනම් ඉරිදිස් රජු මෙන්ම තමන් ද ලිබියාවේ සදාකාලික අසාහාය නායකයා විය යුතුය යන මතය යි. බටහිර අධිපත්‍යයෙන් මිදිමට ඇති නිදහස මෙන්ම දේශීය අඥාදායකත්වයෙන් නිදහස්වීමට ලිබියානු ජනයා තුල වූ අපේක්ෂාවට ගඩාෆි එරෙහි විය.
ඔහු තමන්ගේ ම චින්තනයක් නිර්මානය කර එහි ම ගොදුරක් බවට පත් විය. නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් මහජන නියෝජිතයින් පත් කැරෙන ක්‍රමයක් වෙනුවට ඒවායේ සාමාජිකයින් රජයේ ඔත්තු සේවකයින් ලෙස සේවය කළ දේශපාලන කමිටු මගින් රට පාලනය කිරීම ගඩාෆි තෝරා ගත්තේය. කිසිදු විරුද්ධ මත දැක්වීමකට අවස්ථාවක් නැති විය. රජයේ සෑම අංශයක්ම මෙම ඔත්තුකරුවන්ගෙන් පුරවන ලදී. විදේශිකයකු සමග දේශපාලන සංවාදයක යෙදීම පවා තෙවසරක් සිරගත කැරෙන අපරාධයක් බවට පත් කරන ලදී. ඕනෑම මර්ධනකාරි පාලකයකු මෙන් ම ගඩාෆිගේ විශාලතම බිය තිබුණේ නිදහස් මාධ්‍යට ය. මාධ්‍ය මර්දනය කොතරම් වී ද යත් රටවල් 178ක මාධ්‍ය නිදහසේ දර්ශකයෙහි ගඩාෆිගේ ලිබියාව පැවැතියේ 160වන ස්ථානයේ ය. විසංවාදය රට තුළ මර්දනය කිරීමෙන් නොනැවතී ‛‛ලිබියාවේ ප්‍රතිරූපය එතෙරදී විනාශ කරන ද්‍රෝහීන් ද විනාශ කල යුතු’’ යැයි කී මුවමර් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය දිගටම ගෙන යෑම පිණිස විදේස්ගතව සිටි ක්‍රියාකාරීන් විශාල ගණනාවක් ඝාතනය කිරීමට ඝාතක කණ්ඩායම් යොදා ගත්තේ ය.
ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගැනීම පිණිස ගඩාෆි මුස්ලිම් ආගම් ප්‍රචාරය යොදා ගත්තේ ය. ලිබියානු දේශපාලනය ආගමික දේශපාලනයක් බවට පෙරළන ලද අතර එහි මුදුන් මල් කඩ බවට තමා ම පත්කර ගන්නා ලදී. පුද්ගලාභිවාදනය රටපුරා ගඩාෆි පුවරු පිහිටුවීමෙන් ලක්ෂිත විය. අනෙත් අතට බලය තහවුරු කර ගැනීම පිණිස ඥාති සංග්‍රහය දේශපාලනයේ සහ ආර්ථිකයේ සිය පිළිවෙත බවට ගඩාෆි විසින් පත්කර ගන්නා ලදී. ගඩාෆි දරුවනට සහ ඥාතීන්ට දේශපාලන බලයෙන් ද ආර්ථික බලයෙන් ද කිසිදු අඩුවක් වූයේ නැත. නමුත් සමාජ බලයක් තිබුනේ නැත.
මේ සියල්ලටම අමතරව ඔහු බටහිර ධනවත් රටවල් සමඟ නොනවතින ගැටුමකට එළඹී සිටියේ ය. ජර්මනියෙහි බෝම්බ පපුරුවන ලද අතර බ්‍රිතාන්‍යයේ මගී ගුවන් යානාවක් පුපරුවා හැරුණි. බටහිර විරෝධය කොතරම් විකාරයක් බවට පත් වූයේද යත් 1986 දී ඉංග්‍රිසි බස වෙනුවට පාසැල්හි රුසියානු බස ඉගැන්වීම ආරම්භ කෙරුණි. (පසුව එය අසාර්ථක විය)
සිය ආධිපත්‍ය ගිලිහී ඇති බවත් ජනයාට වෙනසක් අවශ්‍ය බවත් ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. එමෙන්ම යුද්ධයෙන් තමා පරදින බව ඔහු තේරුම් ගත්තේ ද නැත. අවසානයේ දී යහපත් අරමුණින් යුතුව රාජකීයත්වය පෙරළා දමා ජනයාගේ සුබසෙත පැතූ ගඩාෆි එහි ම ප්‍රතිවිරෝධය බවට පත්ව තිබුණි. බලය විසින් දූෂණය ඇති කරන පරිද්දෙන් අත්‍යන්ත බලය විසින් අත්‍යන්ත දූෂණය ඇති කර තිබුණි. සදා බලයේ සිටීමට තිබූ අභිලාෂය සහ වෙනත් මත සහ විවේචන නොඉවසීම ගඩාෆි දරුණු අඥාදායකයකු බවට පත් කරන ලදී. සදාකාලික වන්නේ යුද්ධය හෝ අඥාදායකත්වය නොව සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ය යන ඉතිහාසයේ න්‍යාය ධර්මය අවසානයේ දී ජයගත්තේ ය. ගඩාෆි ජීවිතයෙන් මණක් නොව ඉතිහාසයෙන් ද මිය ගොසිනි.
සුනන්ද දේශප්‍රිය [Sunanda Deshapriya]