අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව හිතෙන ආණ්ඩුවටම, යාපනයේ සිවිල් ජනයාට සිදුවන මැර ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බවට අදහසක් පහළ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් උතුරු- නැගෙනහිර ග්‍රීස් යකාගේ සිදු වීම් යට ගසන්නටත්, ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නටත් ආණ්ඩුව විසින් අණ කර සිටීමෙන් පැහැදිලි වන්නේ, එකම වර, ලංකාවට එක ප්‍රජාතන්ත්‍රවාදයකුත්, ලෝකයට තවත් ප්‍රජාතන්ත්‍රවාදයකුත් ඉදිරිපත් කිරීමට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනා බවයි.
ජාත්‍යන්තර මට්ටමේ දී
ජාත්‍යන්තර මට්ටමේ දී ලංකාවේ පාලකයින්, නියෝජිතයන් තම කතාවන් අරඹන්නේ ‛අප ත්‍රස්තවාදය පරාජය කළෙමු’ යන ශීර්ෂ පාඨයෙනි. ජාතික පුවත් පත් කියන ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී ලෝකයේ වැඩියෙන්ම අවධානය යොමුව ඇත්තේ ලංකාව කෙරෙහිය. ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරුන්ට අනුව ලංකාව ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් සිටියි. වියට්නාම ජනාධිපති පැමිණ ඕනෙ උදව්වක් ඉල්ලන යැයි ලංකාවට කියයි. ලංකාවේ නියෝජිතයෝ වෙන රටකට ගිය ගමන්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ ලෝකයේ යහපාලනය ආරම්භ කරන්නේ කෙසේද යන ප්‍රශ්නයෙනි. (ලෝකයේ යහපාලනය ආරම්භ කරන්න බැරි උඹලා නිසා නිසා යැයි, ගෝලීය ධනවාදයට පින්සිදු වන්නට, ඒ කිසිදු රටක් විසින් ලංකාවට නොකියයි.) මානව හිමිකම් කවුන්සිලයට යන මහින්ද සමරසිංහ එල්.එල්.ආර්.සී නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වෙයි. දෙමළ රැඳවියන්ගේ දත්ත පවුලේ අයට ලබා ගත හැකි බවට විදේශ ඇමති ලෝකයට පවසයි. නමුත් මේ කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවෙයි. ඉතින් ලංකාවේ නියෝජිතයන් වෙන රටවල් වල ගියාට පසු හැසිරෙන පුදුම සහගත ආකාරය දුටු විට මේ අය ලංකාවෙන් ගිය පිරිස දැයි සිතෙයි. මෙම නියෝජිතයෝ ජෝන් ලොක්ට පවා ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්විය හැකි පිරිසක් බවට විදේශයන්හිදී පරිවර්තනය වෙයි. මේ ආකාරයට පාලකයාගේ සිට ඇමතිවරු, නියෝජිතයෝ, තානාපතිවරු ජාත්‍යන්තර තලයේදී ප්‍රජාතන්ත්‍රවාදී අහිංසක මුව පැටවුන් බවට පත් වෙති.
උතුරේ යහපාලනය
නමුත්, ඇමරිකාව විසින් ලිබියාව ආක්‍රමණය කරනවා යැයි කෑගසන පාලකයන්ට තමන් උතුරු- නැගෙනහිර ආක්‍රමණය කර ඇති බව නොවැටහේ. අද උතුරු නැගෙනහිර ගන්නා ඕනෑම ඡායාරූපයක හමුදා භටයෙක් දකින්නට ලැබෙන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. ඒ තරමට එම ප්‍රදේශවල හමුදාව සිටිති. මෙලෙස හමුදාව සිටින්නේ මහජනතාවගේ ආරක්ෂාවට නොවන බව පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් සාක්ෂි දරයි. උදයන් පුවත් පතේ කර්තෘට මැර ප්‍රහාරයක් එල්ල වන්නේ හමුදා චෙක් පොයින්ට් එකක සිට මීටර් 30 ඇතුළතය. මේ ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් ග්‍රීස් යකා සැරිසරන්නට ගන්නේ දහසකුත් හමුදාව අවි අත දරා සිටිත්දීය. යාපනයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් දෙදෙනෙක්ට මැර ප්‍රහාර එල්ල වන්නේ මේ හමුදා චෙක් පොයින්ට් මධ්‍යයේය. යුද්ධයේදී මිනිසුන් දහස් ගණනක් මිය ගියේ යහපාලනය වෙනුවෙන් නම් ඒ මරණයන්ට යම් සාධාරණත්වයක් ඉටු වීමට ඉඩ තිබිණ. නමුත් අද උතුරු නැගෙනහිරෙන් ඈත්වන යහපාලනය පවසන්නේ යුධ සමයේ මිනිස් ඝාතන හුදෙක් බලය උදෙසා කරනු ලැබූ අපරාධ පමණක් බවයි. එදා යුද්ධය වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ දේශපාලකයන්, එල්.ටී.ටී.ඊ සමය මීට වඩා හොඳ යැයි පවසන්නේ බලාපොරොත්තු වූ යහපාලනය තවමත් ආණ්ඩුවට ලබා දීමට නොහැකි වී ඇති බවයි. ආණ්ඩුවට අද ඇති ගැටළුව වන්නේ යහපාලනය නොව තමන්ට එරෙහිව දෙමළ ජනතාව නැගී සිටියිද යන්නයි. එබැවින් හැකි තරම් හමුදාවේ මර්ධනය යොදා එබඳු අවකාශයන් මර්ධනය කිරීමට උත්සාහ දරයි. උතුරේ සිදුවන ඕනෑම මරණයක්, මගුලක්, උත්සවයක් හමුදාවට දැන්විය යුතු බවට නීති ගෙන එන්නේ එබැවිනි. පසුගිය කාලයේ නාවන්තුරෙයිහිදී සාමාන්‍ය සිවිල් වැසියන්ට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කලේ එබැවිනි.
දේශපාලන විසඳුමක් නොමැති ත්‍රස්තවාදය
ත්‍රස්තවාදය පරාජය කළා යැයි ඇත්තටම පිළිගත හැක්කේ ඒ ප්‍රදේශ වල ත්‍රස්තවාදයක් තිබුණා යැයි වැටහුනොත් පමණි. එම ප්‍රදේශ වල ත්‍රස්තවාදයක් තිබුණා යැයි විශ්වාස කළ හැක්කේ එදාට වඩා අද එම ප්‍රදේශ වල යහපාලනයක් ක්‍රියාත්මක වෙනවා නම් පමණි. නමුත් තවමත් එම ප්‍රදේශවල එබඳු යහපාලනයක් දකින්නට නොලැබෙනවා යනු ආණ්ඩුව තවම ත්‍රස්තවාදය පරාජය කර නොමැති බවයි. තමන් දෙමළ ජනතාව සඳහා ගෙන ආ යෝජනා කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය නිසා බව එදා ආණ්ඩුව පැවසීය. නමුත් අද එල්.ටී.ටී.ඊ සංවිධානය නොමැති තත්වයක් තුළ ආණ්ඩුවට සැබෑ දේශපාලන විසඳුමක් ගෙන ඒමට ඕනෑ තරම් නිදහසක් ඇත. නමුත් ආණ්ඩුව එම නිදහසින් අයුතු ප්‍රයෝජන ගනිමින් සිටියි. දෙමළ ජනතාවගේ සැබෑ ගැටළුව යට ගසමින් සිටියි. අද ආණ්ඩුව විසින්, මිනිස් ජීවිත බොහෝ ගණනක් අනාථ වූ හේතු සාධකය මුලිනුපුටා දැමීමට හමුදාවේ මර්ධනයත්, වෙළඳ පොළේ ප්‍රාතිහාර්යයත් භාවිතා කරමින් සිටියි. නමුත් යථාර්තය පවසන්නේ අප නැවතත් 1960 දශකයට ගොස් ඇති බවයි. නැවත ගැටළුව මුල සිට ආරම්භ වී ඇත. ඉතිහාසයට අනුව සිතුවොත් දේශපාලන විසඳුම් විශ්වාස නොකරන සන්නද්ධ නැගිටීම් ඇති වීමට තවත් දශකයක් ඇත. එබැවින් ලංකාවේ අනාගතය වෙනස් කිරීමට තවමත් ආණ්ඩුවට කාලය තිබේ. ජාත්‍යන්තරය ඉදිරිපිට දී පමණක් සැරසෙන ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සළුව ගලවා ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම වැදගත් බව මතක්කර සිටින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුත්තේ මෙතන මිස ලිබියාවේ නොවේ. මන්ද මෙතන ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවීමෙන් සිදු වන හානිවලට වෙනතැනක පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් වග නොකියන බැවිනි.