Colombo, end of the War, Featured Articles, Features

දේශපාලන රාජාණ්ඩුව සහ සමාජයීය අරාජකත්වය එකම කාසියේ දෙපැත්තයි


රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ. තවමත් නුගේගොඩ සුපිරි වෙළඳ සැල ඉදිරිපස දැවැන්ත ප්‍රචාරක පුවරුවක අතීත රජවරුන්ගේ රූප සමග එක පෙළට ජනාධිපතිගේ රූපයද චිත්‍රණය කර තිබෙනු දැක ගත හැකිය. රාජ්‍යත්වය පිළිබඳ මෙම කාල්පනික මිථ්‍යාව දේශපාලන තර්කයක් බවට පරිණාමය වූයේ “රට එක් සේසත් කරන ශක්තිමත් පාලකයෙකු අවශ්‍ය වේ” ය යන ප්‍රකාශය අනුසාරයෙනි. විශේෂයෙන්ම යුද්ධය පැවති කාලයේදී මෙසේ ශක්තිමත් මධ්‍යගත බලයක් සහිත පාලකයෙකු පිළිබඳ ඉල්ලීමට දකුණේ සමාජයේ විශාල අනුමැතියක් හිමි විය. යුද්ධය නිමා වීමෙන් පසුව එකී ශක්තිමත් පාලකයාගේ උවමනාව යුක්ති සහගත කරන්නා වූ නව තර්කයක් ආදේශ විය. එනම් ‛සංවර්ධනය උදෙසා ශක්තිමත් මධ්‍යගත පාලනාධිකාරයක් අවශ්‍ය වේ’ ය යන්නයි.

සැබවින්ම ඉහත කර්කනය හුදෙක් දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවීය. එම දෘෂ්ටිවාදය යම් යම් ආයතනික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංවිධානයන් මාලාවක් මගින් යථාර්තයක් බවට හැරවිණ. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සඳහා කදිම නිදසුනකි. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රාශියක් ඒකාබද්ධ කරමින් ‛ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය’ ගොඩ නැගීම, නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම, ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් තිබූ සීමාව අහෝසි කිරීම, ජාතික ආර්ථිකයේ විශාල පරිමාවක් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පාලනයට යටත් කිරීම යනාදී වශයෙන් තවත් නිදසුන් රාශියක්ම ඉදිරිපත් කළ හැකිය. මේ අනුව යුද්ධය පැවති කාලය තුළදී දෘෂ්ටිවාදීමය ගොඩනැංවීමක් ලෙස ඉදිරිපත් වූ රාජාණ්ඩුව පිළිබඳ අදහස දැන් ව්‍යවස්ථාපිතව යුක්තිසහගත කළ සහ, ආයතනිකව ප්‍රතිස්ඨාපනය කළ ශක්තිමත් බලාධිකාරයක ස්වරූපයෙන් සැබෑවක් බවට පත්වී තිබේ.

නමුත් මෙම ශක්තිමත් දේශපාලන බලාධිකාරය ගොඩනැගීමට සමාන්තරව සමාජයීය තලයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? පොලීසිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම සංකේතවත් කරමින් අඟුලාන, කටුනායක සහ දොම්පෙ ඇතුළු ප්‍රදේශ කිහිපයකම පොලිස් ස්ථාන වලට කෝපයට පත් ජන සමූහ විසින් පහර දෙනු ලැබීය; ‛ග්‍රීස් යකා’ ආන්දෝලනය ආශ්‍රිතව මහජනයා පොලීසිය සමග නොව ආරක්ෂක හමුදා සමගද ගැටුම් ඇති කර ගත්හ; කින්නියා ප්‍රදේශයේ පිහිටි නාවුක හමුදා කඳවුරට කෝපයට පත් ජන සමූහයක් ප්‍රහාර එල්ල කළහ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ නවතම වර්ධනය වූයේ ජනාධිපති උපදේශකවරයෙකුගේ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් අතර මහමගදී ඇති වූ වෙඩි හුවමාරුවකි. ආණ්ඩුකරණයේ අකාර්යක්ෂමතාව පිළිබඳ එකිනෙක පරයමින් වාර්තා වූ නිදසුන් කිහිපයක් නම් බාල වර්ගයේ ඖෂධ ආනයනය කිරීම, බාල සිමෙන්ති ගෙන්වීම සහ බාල ඉන්ධන වෙළඳපලට නිකුත් කිරීමය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුවෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳ වාර්තාවල නිමක් නැත.

ඉහත සිදුවීම් ජාලයෙන් ගම්‍ය වන්නේ එක් අතකින් සමාජ ආයතන පිළිබඳව ඇති මහජන විශ්වාසය බිඳ වැටීමත්, එහි ප්‍රථිපලයක් ලෙස නීතිය සහ පර්යාය සමාජයීයව අර්බුදයට ලක් වීමත්ය. අනෙක් අතින් ජනයාට තම අභිලාෂයන්, ඉල්ලීම් සහ දුක් ගැනවිලි විධිමත් ප්‍රජාතාන්ත්‍රික ආයතනික යාන්ත්‍රණයක් ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් යටතේ සමාජය පුරා පැතිර යන අතාර්කික හිංසනය යි. ‛ග්‍රීස් යකා’ ආශ්‍රිත සිදුවීම් ජාලය තුළ මෙම අතාර්කික සමාජ හිංසනය මනාව නිරීක්ෂණය කළ හැකි විය. අධිකරණය සහ ජනමාධ්‍ය පිළිබඳව ඇති මහජන විශ්වාසය කඩවන ආකාරයේ සිදුවීම් රාශියක් ද පසුගිය කාලයේදී වාර්තා වූ අතර විපක්ෂයේ දුර්වලතාව හමුවේ වෙනස් මත දරන්නන්ට ඇති දේශපාලන නියෝජනයද අඩු වී ගොස් තිබේ.

දේශපාලන තලයේ ගොඩ නැගෙන රාජාණ්ඩුවකට සමාන්තරව සහ සමකාලීනව සමාජයීය තලයේ අරාජිකත්වයක් පැන නැගෙන බවට මා තර්ක කරන්නේ, වත්මන් රාජාණ්ඩුවාදයෙන් සමාජයේ නීතිමය සහ ආයතනික පිළිවෙල බිඳ වැටීමත්, එම බිඳ වැටීම කෙරෙහි දැක්වෙන සමාජ ප්‍රතිචාරය අතාර්කික හිංසනයක් වීමත් නිසාය. පසුගිය කාලය පුරා ප්‍රවණතාවක් ලෙස වර්ධනය වූ පොලීසි වලට පහර දීම්, පොලිස් අත් අඩංගුවේදී සැකකරුවන් මිය යාම්, ගම් දනව් පුරා පැතිරෙන මිනී මැරීම්, ‛ග්‍රීස් යකා’ වැනි සමාජ හිස්ටෙරික තත්ත්වයන් යනාදියෙන් පෙන්නුම් කෙරෙන්නේ අන් කිසිවක් නොව ‛රාජාණ්ඩුවක්’ ලෙසින් දෘෂ්ටිවාදීව නාමකරණය කරන ලද ඊනියා ශක්තිමත් මධ්‍යගත පාලනයක් ගොඩ නැගීම සඳහා අපට සමාජයීයව ගෙවන්නට සිදු වී තිබෙන මිල අරාජකත්වය බවයි. ලංකාවේ චණ්ඩි දේශපාලකයෙකු විසින් පාලනය කරන එකම ප්‍රදේශය කැළණිය පමණක් නොවන බවද මෙහිදී සිහි තබා ගත යුතුය. ඒ වෙනුවට රටේ සෑම ප්‍රදේශයක්ම, සෑම හන්දියක්ම දැන් පාලනය වන්නේ බිඳ වැටුණු නීතියේ සහ ආයතනික පිළිවෙලේ තැනට ආදේශ වී අශ්ශීල නීතිය [obscene law] අතට ගත් චණ්ඩි දේශපාලකයන් විසින් බව පෙනේ. රාජාණ්ඩුවාදය විසින් සමාජයීයව අරාජකත්වයක් ව්‍යාප්ත කෙරුණු පසුව එම අරාජකත්වයට විසඳුම ලෙස පෙරලා වඩාත් ප්‍රබල රජවරුන් සහ යුවරජුන් ඉල්ලා සිටිනු ලැබේ. මේ දුෂ්ට චක්‍රයෙන් මිදෙන මගක් සෙවීම, අප රටේ ප්‍රජාතාන්ත්‍රික සහ විමුක්තිවාදී දේශපාලනයේ මේ මොහොතේ මග හැරිය නොහැකි අවශ්‍යතාවකි.

සුමිත් චාමින්ද[Sumith Chaminda]