යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්කෝ මුගාබේ මඟ නැත්නම් මැන්ඩෙලා මඟ යන මාවත් එකෙන් දෙකක් තෝරා ගත යුතුව ඇති බව ග්‍රවුන්ඩ්විව්ස් පුරවැසි ජනමාධ්‍ය වෙඩ් අඩවියට ලිපියක් ලියන නාලක ගුණවර්ධන කියා තිබුණි.
මැන්ඩෙලා මඟ යනු යුද්ධයෙන් පසු සමාජ සාමය ඇති කිරීම පිණිස විවෘත සාකච්ජාව සහ එකඟතාව මගින් අතීත තුවාල සුවපත් කිරීමේ සහ පළි නොගැනීමේ මාවත ය. මුගාබේ මාවත යනු යුද්ධයෙන් පසු විරුද්ධවාදීන් සහ වෙනත් මත දරන්නන්ට එරෙහිව භීෂනයක් මුදා හැරීමේ සහ දීර්ඝකාලීන පළි ගැනීමේ මාවත ය. මැන්ඩෙලා ද්‍රෝහීන් සහ වීරයින් සංකල්පය මගින් ජනයා බෙදනු වෙනුවට එකඟතාව මගින් සහජීවනයට මඟ පෑදුවේ ය.
මෙම පිළිවෙත් දෙකෙහි විපාක මොනවාද යන්නත් අන්ත දරිද්‍රතාවයට සහ ලේ හැලීම් දෛනික ජීවිතය බවට පත් සිම්බාබ්වේ සහ සමාජ සාමය ද ප්‍රජාතන්ත්‍රවාදය ද ඇතිව දියුණුව කරා ගමන් ගන්නා දකුණු අප්‍රිකාවෙන් තේරුම් ගත හැකි ය.
දැන් යුද්ධාවසානයෙන් පසු ශ්‍රී ලංකාව තෝරා ගනු ඇත්තේ කුමණ මාවත ද?
ජවිපෙ විමල් විරවංශ පාර්ශවයේ මතවාදී නායකයා වන දොස්තර ගුණදාස අමරසේකර පුවත්පත් සාකච්ජාවක් කැදවා කියා සිටියේ බලය බෙදීමක් අවශ්‍ය නැති බවත් පළාත් සභා ක්‍රමය සහමුලින්ම අහෝසි කර දැමිය යුතු බවත් ය. එම බලවේග විසින්ම නායකත්වය දෙන ලද පිරිස් බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය වටලා පොලීසිය බලා සිටියදීම එහි ගේට්ටුවෙහි එල්ටීටිඊ කාර්‍යාලය යනුවෙන් පින්තාරු කළහ. සාම ක්‍රියාවලියට මැදිහත් වූ නොර්විජියානුවන් (තානාපති කාර්‍යාලය) රටින් පිට කල යුතු බවටත් එවැනිම පිරිස් උද්ඝෝෂනයක් සංවිධානය කළහ.
යුද හමුදාවේ රණවිරුවන්ට මේසා දිවිපිදීමට සිදුවූයේ එල්ටීටීඊ ය සමඟ සාම සාකච්ජා කළ නිසා බවත්, එබැවින් සාම සාකච්ජා කළ යුතු බවට කියා සිටි පිරිස් ගාලුමුවදොර පිටියට ගෙනැවිත් ප්‍රසිද්ධියේ නඩු ඇසිය යුතු බවත් ඔවුන්ට දියයුතු දඩුවම තීරණය කළ යුත්තේ යුද්ධය නිසා මිය ගිය පුද්ගලයින්ගේ සහ සොල්දාදුවන්ගේ පවුල්වල අය බවත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ඒසියා ට්‍රබියුන් අන්තර් ජාල වෙබ් අඩවියට කියා තිබුණි. එසේ කියා තිබුණේ ජාතික හෙළ උරුමයේ ප්‍රධානියා සහ පරිසර ඇමැති ද වන චම්පික රණවක ය. ( අමාත්‍ය රණවක රටෙහි නීතියට පිටින් විරුද්ධවාදීන්ට දඩුවම් දීමට සහජ කැමැත්තක් දක්වන බව පෙනේ. වරක් ඔහු ජනමාධයවේදීන් සම්බන්ධයෙන් ද නීතියෙන් බැරි නම් මර්දනය කරන හැටි තමන් දන්නා බව කීහ.)
තවද රාජ්‍ය පාලිත දිනමිණ පුවත්පතෙහි (22) කතුවැකියක් මගින් කියා තිබුණේ ද්‍රෝහී ජඩ ජනමාධ්‍යවේදින් ගල්ගසා රටින් පිටුවාහල් කළ යුතු බව ය. එම කතුවැකියට අනුව චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව ක්‍රියාත්මක කළ සුදු නෙළුම් ව්‍යාපාරය ද විවිධ ආණ්ඩු විසින් පවත්වාගෙන ගිය සටන් විරාම ගිවිසුම් ද මේ ජාති ද්‍රෝහී ක්‍රියාවන්ට අයත් ය. එම වැඩ සටහන්වලට එරෙහිව කටයුතු කළ පිරිස් සැබෑ වීරයන් ය. (එකළ සුදු නෙළුම් ව්‍යාපාරයට විරුද්ධ වූයේ එජාපය, ජවිපෙ සහ හෙළ උරුමය යි. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සාම වැඩ සටහන් වලට විරුද්ධ වූයේ ද එම බලවේග ම ය) මෙම කතුවැකියට අනුව ජනමාධ්‍ය ද්‍රෝහීන් මුවා වි සිටින්නේ උතුරට සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වැනි සංකල්පයන්ට ය. පහර දීමට තොරා ගනු ලබන පිරිස් කව්රුන්ද යන්න ඉන් පැහැදිලි ය.
මෙම සියළු කතා එක්කළ විට අපට එක් දෙයක් පෙනී යයි. එනම් ආණ්ඩුවේ මතවාදය සමඟ එකඟ නොවන දේශපාලනඥයින්, සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් යනාදී පිරිස් මත ද්‍රෝහීන්, ජඩයින්, තණකොළ කන හරක් යනාදී වශයෙන් ප්‍රහාරයන් එල්ල කිරීමේ ප්‍රවණතාවයක් ඇති බව යි.
මෙම සංකල්පයන්ට අනුව දෙමළ ජනතාවගේ විශාලතම පිරිස ද වැටෙනු ඇත්තේ ද්‍රොහීන්ගේ ගොඩට ය. මන්ද යත් ඔව්න් එල්ටීටීඊ විරෝධී යුද්ධයට ක්‍රියාකාරී සහායක් පළ නොකළ නිසා ය. ආණ්ඩුවට එරෙහිව සිය ජන්දය ප්‍රකාශ කළ නිසා ය. එමෙන්ම යුද්ධ ජය සමරා පැවැත්වෙන උත්සවයන්ට ඔවුන් සහභාගි නොවන නිසා ය.
තවමත් අවසාන නිගමනයක් දීමට නොහැකි නමුත් ආණ්ඩුව තුළ ශක්තිමත් වන්නේ මෙම ප්‍රවණතාවය නම් එය මැන්ඩෙලා මඟට පටහැණිව යන බව තේරුම් ගැනීම අමාරු නැත. එමගින් ආණ්ඩුව තුළ සිටින වාමාංශික, සුලුතර වාර්ගික සහ ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් එන්න එන්නම දුර්වල වෙනවා ඇත. ශක්තිමත් වනු ඇත්තේ රණකාමී සිංහල ජාතිකවාදී බලවේගයන් ය. ශ්‍රීලනිපයේ රණකාමී පාර්ශවය, ජාතික හෙළ උරුමය, විමල් විරවංශ කණ්ඩායම මේ ධජයේ හිමිකරුවන් බවට පත්වනු ඇත.
මෙම බලවේග විසින් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා වාචික සහ ලිඛිතවූත් මානසික සහ කායිකවූත් ප්‍රහාරයන්හි ගොදුරු බවට පත් කර ගැනීමට නියමිත පිරිස් දැනටමත් නම් කැරෙමින් තිබෙන බව ඉහත දක්වන ලද කරුණු මගින් පෙනී යයි.
අනෙත් අතට මෙම විග්‍රහයන් අනුව දේශද්‍රෝහී ඝනයට වැටෙන විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළම සිටින බව අප පෙන්වා දිය යුතු ය. අමාත්‍ය චම්පික රණවකගේ විග්‍රහයට අනුව ගාලු මුවදොර පිටියට ගෙන යා යුතු ප්‍රබලයින් ගණනාවක් ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටිති. අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, ජී.එල්. පීරීස්, මිලින්ද මොරගොඩ, අනුර යාපා, ජොන් සෙනවිරත්න, සාලින්ද දිසානායක, මෛත්‍රිපාල සිරිසේන, තොන්ඩමන්, චන්ද්‍රසේකරන්, පේරියල් අෂ්රොප්, යනාදි සියළු දෙනාම පසුගිය සාම ගිවිසුම් අනුමත කරමින් රට පුරා ඒ සඳහා මහජන මතය ගොඩ නැගිමට මහත් පරිශ්‍රමයක් ගත්හ. පශ්චාත් යුද්ධ ආණ්ඩු දේශපාලනය මගින් ශක්තිමත් වන්නට යන්නේ මුගාබේවාදී බලතුලනය නම් මෙම පිරිස් අඩුම වශයෙන් ආණ්ඩුව තුළ දුර්වල කැරෙනවා ඇත. චම්පික රණවක සහ දිනමිණ කර්තෘ සහ ඒ අනුව දේශපාලනය ගොඩනගන විවිධාකාර රණකාමීන්ට අනුව මෙම පිරිස් ද්‍රෝහීන් ලෙස නම් කළයුතු ය. ගාලු මුවදොරට කැඳවා දඩුවම් දිය යුතු ය.
ඉතිහාසයේ පාඩම නම් පළිගැනීමේ රණකාමී දේශපාලනය ප්‍රධානත්වය ගත කළ එහි අවසානය කුමක්දැයි පූරෝකථනය කිරීම දුෂ්කර බව යි. එය පටන් ගන්නේ මාධ්‍ය නිදහසට පහර දීමෙන් විය හැකිය. එය ශක්තිය ලබා ගන්නේ විදේශ විරෝධි ව්‍යාජ දේශප්‍රේමයකින් විය හැකි ය. එය අවසන් වන්නේ ජී.එල්. පීරිස් සහ තිස්ස විතාරණ යනාදීන් දේශපාලනයෙන් පලවා හැරීමෙන් විය හැකිය. මුගාබේ නම් ඊටත් වඩා දුර ගියේ ය.
ශ්‍රී ලංකාව මුගාබේ මඟ නොගත යුතුබව සාමූහික හඩක් විය යුත්තේ එනිසා ය.
සුනන්ද දේශප්‍රිය