[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
1993 මැයි 01දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු යුක්තිය පුවත්පතෙහි සේවය කළ අප අතර ජනප්‍රිය විහිළුවක් බිහි විය: ‛‛ජනාධිපති ප්‍රේමදාස අවසන් ගමන ගියා. මාධ්‍ය සේවකයින් 20 දෙනෙකුගේ රස්සා නැතිවුනා’’. මාධ්‍ය සේවකයින් 20 දෙනා ලෙස දක්වන ලද්දේ අපේ පුවත්පත වූ යුක්තිය සේවක පිරිස ය. ඊට හේතුව වූයේ ප්‍රේමදාස පාලනය විසින් ගෙන යන ලද මර්දනකාරි යුගය අවසන්වීමත් සමඟ යුක්තිය පුවත් පතෙහි විශේෂත්වය වූ විවේචනාත්මක ජනමාධ්‍ය සඳහා වූ අවකාශය ක්‍රමයෙන් අවසන්වනු ඇතිය යන්න ය. තවද ජනාධිපති ප්‍රේමදාස කෙරෙහි උග්‍ර විවේචනාත්මක ආකල්පය දැරීම ද අප පුවත්පතෙහි ලක්ෂනයක්ව තිබුණි. පැහැදිලිවම එම ප්‍රවෘත්ති ප්‍රවිශ්ඨය අප පුවත්පතෙහි අලෙවියට වාසිදායක ලෙස බල පෑවේ ය.
සෑම විහිළුවකම ඇත්ත ටිකක් හෝ තිබේ යන කියමන අනුව එම විහිළුවෙහි ද යම් සත්‍යයක් තිබුණි. විවේචනාත්මක පුවත් සඳහා හොඳම කාල පරිච්ජේදය නිර්මානය වූයේ ජනාධිපති ප්‍රේමදාස කාලයේ දී ය. ඊට හේතු කිහිපයක් ම තිබු නමුත් ප්‍රධාන හේතුව වූයේ ජනාධිපති ප්‍රේමදාස පාලනය ලක්ෂිත වී තිබූ මාධ්‍ය මර්දනය යි. එම මර්දනය හමූයේ ව්‍යාපාරික ජනමාධ්‍ය සියල්ල ස්වයං වාරණයක් පණවාගෙන තිබුණි. ඒ කොතෙක් වී ද යත් එකළ පාර්ලිමේන්තු මංත්‍රිවරයකු වූ මහින්ද රාජපක්ෂ සිය ලිපි පළ කරවා ගැනීම පිනිස වාමාංශික දේශපාලන පක්ෂක පුවත්පතක් සමඟ එකඟතාවයක් ගොඩ නඟාගෙන තිබුනි. විවේචනාත්මක විකල්ප ජනමාධ්‍ය ධාරාවක් ගොඩ නැගුණේ ජේ.ආර්. – ප්‍රේමදාස යුගයේ මාධ්‍ය සහ තොරතුරු මර්දනයට ප්‍රතිචාරයක් ලෙස ය.
එදා සිය දේශපාලන අදහස් පළ කරවා ගැනීමට එතරම් අලෙවියක් නොතිබූ වාමාංශික පුවත් පතක පිහිට පැතූ මහින්ද රාජපක්ෂ අද ජනාධිපති ය. ප්‍රේමදාස කාලයේ දී මෙන් නොව අද ඔහු යටතේ ඇත්තේ සමස්ත මර්දනයකි. දැැන් සමස්තයක් ලෙස රූපවාහිනී මාධ්‍ය හිමිකාරකම හෝ දේශපාලන මතවාදී බලපෑම නිසා හෝ බිය ගැන්වීම සහ ආර්ථික හේතූන් උඩ නිසා හෝ රාජපක්ෂ පාලනයේ ප්‍රචාරකයෝ බවට පත්ව සිටිති. ගුවන් විදුලියේ තත්ත්වය ද එය යි. රාජපක්ෂ පාලනයට අභියෝගයක් විය හැකි ගවේෂනාත්මක වාර්තාකරනයට අත තැබීම යම් ස්වාධීනත්වයක් සහිත නමුත් ව්‍යාපාරික (අරමුණු සහිත) මාධ්‍ය පවා සළකන්නේ පය නොතැබිය යුතු අනතුරු දායක භුමියක් ලෙස ය. තමන්ට ස්වයං වාරණයක් පණවා ගැනීමට සිදුව ඇති බව මෑත කාලයෙහි ප්‍රධාන පෙළේ කතුවරුන් ගණනාවක් විසින් ම ප්‍රසිද්ධියේ මෙන් ම අප්‍රසිද්ධියේ ද පිළිගෙන තිබුණි.
මෙම ස්වයං වාරණය පෙන්වන අපූරු උදාහරණ දෙකක් අමාත්‍ය විමල් වීරවංශ හිතවාදී වෙබ් අඩවිය මෑත දී පෙන්වීය. එහි පලවන සෑම පුවතකට ම වාගේ පාඨකයෝ බැන වදිමින් අදහස් ලියති. එනමුත් මෑතදී එම අඩවිය පළ කල ගෝඨාභය රාජපක්ෂ කී දුමින්ද සිල්වා මහජන සේවයක් කළේ ය සහ ජනපති රාජපක්ෂ දුමින්ද සිල්වාගේ සැපදුක් බලන්නට ගියේය යන පුවත් දෙකට ම අදහස් දැක්වීමට එම වෙබ් අඩවිය ඉඩ දුන්නේ නැත. ඊට හේතුව පැහැදිලිය. එම සිදුවීම් දෙක විවේචනය කැරෙන අදහස් පළ වීම වෙබ් අඩවියට ඇඟට අගුන නිසා ය.
මෙම ස්වයං වාරණයට හොදම නිදසුනක් සැපයෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය ධාරවයැයි හැදින්වෙන ව්‍යාපාරික ජනමාධ්‍ය දක්වන ලද වාර්තාකරණ සීමා දෙස බලන කළ ය. අපි මේ සිදුවීම පෙළ ගස්වා බලමු:
ඔක්තෝබර 08දා පලාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රදේශයේ පාතාල දේශපාලනයෙන් පොදු පෙරමුණ ගලවා ගන්නා බවට භාරත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණි. එම කතාවට ඔහු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සම්බන්ධ කළේ ඔහු පාතාලයින්ගේ රුස්වීම්වලට ගිය බව කියමිනි. භාරත ඝාතනය කල පා.ම. දුමින්ද සිල්වා ඇතුළු මැර පිරිස මැතිවරණ නීති කෙළෙසමින් ප්‍රදේශයේ කරක් ගසමින් සිටි බවට සාක්ෂි තිබුණි. ප්‍රදේශයේ ඇති කලබලකාරී තත්ත්වය වැළැක්වීමට අතිරේක පොලිස් බල ඇණි යොදවන ලෙසට මැතිවරණ කොමසාරිස් කළ නියෝගය පොලීසිය ක්‍රියාත්මක කළේ නැත.
පා.ම. දුමින්ද සිල්වා සහ ආරක්ෂ ලේකම් අතර සමිප සබඳතාවයක් තිබුණි. සිල්වා ජනතාවට විශාල සේවයක් කළ යහපත් දේශපාලනඥයෙක් බව ආරක්ෂක ලේකම් කිවේ ය. භාරතට වෙඩි තැබූ මැර පිරිස සමඟ නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු සහ කොලොන්නාව පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ද විය. පා.ම. දුමින්ද, අයි.පී. නාලක සම එස්.එස්.පී. දේශබන්දු සමඟ 08 දින දවල් ආහාරයට දුමින්දගේ සොයුරු රෙනේ සිලිවාගේ නිවසේ දී ආරක්ෂ ලේකම්වරයා ද එක්වූ බවට වෙබ් මාධ්‍ය චෝදනා කළේ ය. අප එහි ඇත්ත නැත්ත නොදනිමු. පොලිීසිය ක්‍රියා කරන්නේ ආරක්ෂක ලේකම් යටතේ ය.
පා.ම. දුමින්ද රෝහල් ගතවීමෙන් පසු රටපුරා මත්ද්‍රව්‍ය හිඟයක් ඇති විය. එයට පෙර විශාල මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබා රහසේ ප්‍රවාහණය කිරීමට පා.ම. දුමින්ද සිල්වා සම්බන්ධ බවට මාධ්‍ය අඟවා තිබුනි. මත්ද්‍රව්‍ය ජාවාරමින් මුදල් උපයාගත් මුදල් නැතිවීම ද කොළඹ කොටස් වෙළද පොළ පහත වැටීමට හේතු වූ බව කියා සිටි ටීඑන්එල් අධිපති ෂාන් වික්‍රමතුංගට මරණ තර්ජන එල්ල විය. කිසිදු රැකියාවක් නොකළ පා.ම. දුමින්ද සිල්වාට එතරම් ධනස්කන්ධයක් කොයින්දැයි වෙබ් ජනමාධ්‍ය ප්‍රශ්න කළා ය.
සිය සැමියාගේ මරනය පිළිබඳව පොලිස් පරීක්ෂන කෙරෙහි විශ්වාසයක් නැතැයි භාරත බිරිද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. භාරත සහෝදර සහෝදරියන් කියා සිටියේ සිය සහෝදරයාට මරණ තර්ජන ඇති බැවින් වැඩි ආරක්ෂාවක් සපයන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට පිළිතුරක් හෝ නොලැබුණ බවයි. භාරතට වෙඩි තියපන් යැයි කී බවට ඇසින් දුටු සාක්ෂි කියැවුණූ පා.ම. දුමින්ද සිල්වා භාරත ඝාතනයේ සැකකරුවකු නොවන බව ආණ්ඩුව කියා සිටි අතර පොලිස් වගකීමක් නොමැතිව ඔහුට විදේශගතවීමට අවස්ථාව සළසා දෙන ලදී. මේ අතර ජිවිතාරක්ෂාව සදහා රටින් පැන ගිය භාරත දියණිය හිරුණිකා වෙබ් ජනමාධ්‍යට කියා සිටියේ භාරත ඝාතනයට සම්බන්ධ තිදෙනක් ම දැනටමත් මරා දමා ඇතැයි තමාට කී ජනාධිපතිතුමා ආණ්ඩුව පෙරළන්න හදන්න එපා යැයි ද කී බවයි.
මෙම සිදුවීම් පෙළ ජනමාධ්‍යයෙහි කොතරම් බරපතල සාකච්ජාවකට පාදක විය යුතුව තිබුණි ද? මේ වනාහි ආණ්ඩුවක් පෙරළෙන තරමේ දේශපාලන කුණාටුවකට පාදක විය හැකිව තිබූ සිදුවීම් පෙළකි. සමහර විට ඉහත සදහන් කරුණු ව්‍යාජ ඒවා විය හැකිය. ජනමාධ්‍ය විසින් නිදහස්ව සහ නොබියව සාකච්ජාවට නොගන්නේ නම් මහා ජනයා මෙම සිදුවීම් ජාලයේ ඇත්ත නැත්ත දැන ගන්නේ කෙසේ ද? භාරත ඝාතනය විසින් රාජපක්ෂ පාලනය අභ්‍යන්තරයෙහි ඇති කරන ලද වා සුළි ද ප්‍රධාන ධාරවේ ව්‍යාපාරික ජනමාධ්‍ය විසින් ආවරණය කළේ නැත.
අද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් අත හරිනු ලබන හෝ නිසි වටිනාකම ලබා දී සාකච්ජාවට නොගන්නා හෝ එවැනි සිදුවීම් බොහෝ ය.
විවේචනාත්මක ජනමාධ්‍ය භාවිතයක් තිබුනේ නම් උණුසුම් ශීර්ෂපාඨ පුවත් බවට පත්ව සමාජය තිගැස්මකට ලක් කල හැකිව තිබූ, දේශපාලන අවශ්‍යතාවයන් මත නීතිපති දෙපාර්ථමේනතුව ගත් මෙම පියවරයන් දෙස බලමු. පාලක පක්ෂයේ දේශපාලනඥයකු වන කත්‍රිආරච්චි මිනීමැරුම් චෝදනාවලින් නිදහස් කිරීම, පා.ම. දුමින්ද සිලිවා ස්ත්‍රී දූෂන චෝදනාවලින් නිදහස් කිරීම, පා.ම. එරල් ගූණසේකර අනවසර ඉදිකිරීම් පිළිබඳ චෝදනාවලින් නිදහස් කිරීම, මිනීමරුමකට වරදකරුවූ ආමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු බිරිඳට, දඩුවම් ලබා සිටි හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන්ට සහ හිටපු මහනුවර නගරාධිපතිට සමාව දීම යනාදිය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් සහ ජනමාධ්‍ය නිදහසක් තිබුණි නම් ඉහත දැක්වූ කරුණු යනාදිය පමණක් නොව රාජපක්ෂ පවුල විසින් වත්මන් රාජ්‍ය පාලනය ග්‍රහණයට ගෙන ඇති ආකාරය, කෙළඹ විහාරමහා දේවී උද්‍යානය පාලනය කිරීමේ සිට සංචාරක හෝටල් ගොඩනගමින් ඉඩ කඩම් අල්ලා ගනිමින් ක්‍රිකට් ක්‍රිඩාංගන පාලනය දක්වා සිදුවෙමින් ඇති මිලිටරිකරණය ජනමාධ්‍යයේ නිත්‍ය සහ ගැඹුරු සාකච්ජාවකට විෂය වන්නට තිබූ බවට සැකයක් නැත.
හම්බන්තොට එල්ල කරගත් දැවැන්ත අධෝ වි්‍යුහ සංවර්ධනය තවත් එවැනි මැයකි. එහි තනන ලද අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයට වූ කෝටි ගණනක වැය තවම පියවා ගැනීමට බැරිව සිටියදී කෝටි ප්‍රකෝටි ගනනින් වැය කල යුතු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෝ 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව එම නගරයේ ම පැවැත්වීමට අධෝව්‍යුහයක් ගොඩ නැගීමෙන් ඇති ඵලය ප්‍රශ්න කරමින් සාකච්ජාවක් ගොඩ නගන ජනමාධ්‍යක් නැති තරම් ය. හම්බන්තොට ගොඩ නැගූ රන්මිණිතැන්න එළි මහන් චිත්‍රාගාරයට සිදුව ඇත්තේ කුමක්ද? එම නගරයේ ම ගොඩ නැගුණු වරාය තවම පාලු ඇයි? හම්බන්තොටට අන්තර් ජාතික ගුවන් තොටුපොළක් අවශ්‍ය කරන්නේ කුමන හේතුවක් නිසා ද? එහිම අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් ද ගොඩ නගා නොතිබෙන්නේ ද? අවම ජනගහණයක් ඇති හම්බන්තොට කැරෙන මෙම අධෝව්‍යුහ සංවර්ධනයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයන් ජීවත්වන නුවර, කුරුණැගල සහ යාපන දිසාවන් හි කැරෙන සංවර්ධනය කුමක් ද?
මෙවැනි කරුණු යම් පමණකට හෝ අද ආවරණය වන්නේ අන්තර් ජාලය මත පදනම් වූ විවිධාකාර ජනමාධ්‍ය මගින් පමණි. එය මහජන අවශ්‍යතාවයේ පිළිබිඹුවකි. මෙම වෙබ් ජනමාධ්‍ය ජනප්‍රිය වන්නේ ද ඒ නිසා ය. අන්තර් ජාලය නීති මගින් වසා දැමිය හැකි අවකාශයක් නොවේ. ඕනෑම වෙබ් අඩවියකට සිය ලිපි පළ වන මුහුණු පොතේ පිටුවක් නිමවා ගැනීමට යන්නේ විනාඩි ගනනාවකි. ටුව්ටර් වෙබ් පණිඩිඩ ජාලය ද තහනම් කල නොහැකි තරම් ය. ඊ මේල් මගින් ලිපි දහස් ගණනාවකට යැවීම තවත් ක්‍රමයකි. තහනම් වෙබ් අඩවි කරා පිවිසිය හැකි විකල්ප අඩවි ඕනෑ තරම් තිබේ. තහනමට ස්තුති කළ පපරාසි වෙබ් අඩවිය ආණ්ඩුවට ස්තුතියි කියා ලීවේ තහනම ඔවුනට ජනප්‍රියත්වයක් ගෙන ආ නිසා ය. දෙමළ බසින් පළ වන පුවත් වෙබ් අඩවි සිය ගණනාවක් තරම් ය. වෙබ් දිනපොත් ලියන බ්ලොග්කරුවන් ද පුවත් වාර්තාකරුවන් බවට පත් වෙති. වෙබ් ජනමාධ්‍ය යනු කපන කපන තැනින් අලුත් මුහුණවරක් ඇතිව පැටවු ගසමින් නැගි සිටින මැඩලිය නොහැකි අලු මතින් නැගී සිටින පීනික්ස් කුරුල්ලෙකි.
වෙබ් අඩවි තහනම පෙන්වන්නේ රාජපක්ෂ පාලනයේ හයිය නොව හෙළුවය. වඩා නිදහස් විවෘත දේශපාලන පරිසරයක් නිර්මානය කිරීම මගින් ජනමාධ්‍ය සහ පුවත් සඳහා සමාන විවෘත තරඟ බිමක් ඇති කිරීම මගින් මිස මර්දනයේ බිය ගැන්වීම මගින් ජනමාධ්‍යයේ වගවීම සහ විශ්වසනීයත්වය ඇති කල නොහැකි ය. අපේ ආයුධ තීරණය කරන්නේ සතුරා විසින් යැයි වීන විප්ලවයේ නායක මාඕ කී බව ලඟදී දිනෙක සගයකු ලියා එවා තිබුනි. එනයින් වෙබ් මර්දනය පැරදවීමට අවශ්‍ය අවි සොයා ගැනීම අප සතු වගකීම යි.