ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්‍ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවක) ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්‍යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට වැටබැඳීමක් වනවා සේම රාජ්‍යයයේ කාර්යක්‍ෂමතාවය ද වඩවන්නකි. විශේෂයෙන්ම ජනතා බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේද? යන්න පිළිබඳව පාරදෘෂ්‍යභාවයක් තිබීම සහ මූල්‍ය ගනුදෙනු, ටෙන්ඩර් පටිපාටි පිළිබඳව නිල තොරතුරු දැනගැනිමේ හා ලියවිලි පරීක්‍ෂා කිරීමේ අයිතිය පුරවැසියා සතුව තිබීම රටට යහපතකි.
එමෙන්ම, ආණ්ඩුව විසින් ජනතාවට නොපමාව ඉටු කළ සේවාවන් රාශියක් පවතින අතර ඒවා සිදු නොවන්නේ නම්, සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ද තිබිය යුතුය. උදාහරණයක් ලෙස, පුරවැසියන්ට අදාල රාජ්‍ය සේවාව, රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකරන ලද්දේ නම්, ඒවා කඩිනමින් ඉටුකර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට නිත්‍යනුකූල හිමිකමක් ජනතාවට තිබිය යුතුය. එවැනි අවස්ථාවලදී රාජ්‍ය ආයතන වලින් නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය මතු වන අතර ඒ සඳහා ගත යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව රටක නීතිය තුළ නිශ්චිතව සඳහන් විය යුතුය.
මෙම සමස්තය තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සරළව හැඳින්විය හැකි අතර මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති මෙම අයිතිය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් පවතී.
ජාත්‍යන්තර ආදර්ශ
තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ලෙව ප්‍රථම වරට සම්මතකරගෙන ඇත්තේ 1766 වසරේ ස්වීඩනයේදී යhttp://www.access-info.org/documents/Access_Docs/Thinking/Get_Connected/worlds_first_foia.pdf. මෙය පුවත්පත් නිදහස පිළිබඳ පනත වන අතර මෙමගින් ජනතාවට රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කර තිබේ (http://www.riksdagen.se/templates/R_Page____6313.aspx – C apter 2 ). 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගෙන තිබෙන අතර ඒ අනුව යමින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (1948) සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (1966) 19 වැනි වගන්ති දෙක යටතේ දේශසීමාවකින් තොරව අපක්‍ෂපාතීව තොරතුරු සෙවීමේ සහ ලබාගැනීමේ අයිතිය තහවුරු කර දී ඇත. ආසියාවේ පමණක් රටවල් 19ක පාර්ලිමේන්තු පනත් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගෙන ඇත. දකුණු ආසියාව තුළ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල්වල තම ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කර දී තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් ජනතා ප්‍රසාදය හිමිකරගෙන ඇති රටක් ලෙස ඉන්දියාව හඳුනාගත හැකි වේ. මෙම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගනු ලැබුවේ 2005 දී වන අතර දැනුවත් පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදයට අනිවාර්යයෙන්ම අවැසි බව එහි පූර්විකාවේ සඳහන් කර ඇත. ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන (ප්‍රතික්‍ෂේප කරන), තොරතුරු දීම ප්‍රමාද කරන සහ සාවද්‍ය තොරතුරු ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල පැහැදිලිවම සඳහන් වන්නේ ද ඉන්දියානු නීතිය තුළ ය. මෙම නීතියට අනුව ඉන්දියාවේ සෑම රාජ්‍ය ආයතනයක්ම මහජන තොරතුරු නිලධාරියෙකු පත්කර ගත යුතු අතර ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය හේතු කාරණා නොදක්වා රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීමට අයිතියක් ඇත (http://www.youtube.com/vikalpasl#p/u/13/ttKeTSFq5ME).
ශ්‍රී ලංකාවේ තත්ත්වය
පහත සඳහන් ප්‍රශ්න කිහිපය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න,
– බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත්තේ කවුද? එම පුරප්පාඩු සඳහා බඳවාගත් ගුරුවරුන් කවුද? බඳවා ගත් අය සියල්ලෝම වැඩි ලකුණු ගෙන ඉහළින්ම සුදුසුකම් සපුරපු අයවලුන්ද? බඳවා ගත් අයගේ ලකුණු මොනවද? යන කරුනු පිළිබඳව බස්නාහිර පළාත් සභාවෙන් නිල ලේඛනයක පිටපතක් ලබාගැනීමට එම විභාගයට පෙනී සිටී අපේක්‍ෂකයෙකු වූ ඔබට හැකියාවක් තිබේද?
– තම නිවස ඉදිරිපිට පාරේ කුණු ඉවත් නොකිරීම, ළමයව පාසලට දමා ගැනීමට නොහැකි වීම, විදුලිය ලබා ගැනීමට නොහැකි වීම, ජලය ලබා ගැනීමට නොහැකි වීම යනාදී පුද්ගලික ගැටලු සඳහා සාධාරණය ඉටු කර ගැනීමට අවශ්‍ය වූ විට, අදාල රාජ්‍ය ආයතන වලින් නිල තොරතුරක් ලබා ගැනීමට මෙරට පුරවැසියෙකු වශයෙන් ඔබට හිමිකමක් තිබේද?
– ගමේ ප්‍රජා ශාලාව, කොන්ක්‍රීට් පාර, පාසල් ගොඩනැගිල්ල, ඩිස්පැන්සරියේ ගොඩනැගිල්ල, ඇලේ වේල්ල යනාදිය ඉදි කිරීම සඳහා කොපමණ මුදලක් වැය වීද? මේ සඳහා ටෙන්ඩර් දැමූවන් කවුරුන්ද? අඩුවෙන්ම ටෙන්ඩරේ දැමුවේ කවුද? ඔහුටම ටෙන්ඩරය හිමි වීද? මෙම ඉදිකිරීම් වල ප්‍රමිතිය කුමක්ද? යනාදී පොදු කරුණු පිළිබඳව අදාල රජයේ ආයතන වලින් නීත්‍යනුකූල ලිපි ලේඛනවල පිටපත් ලබා ගැනීමට රටට බදුගෙවන පුරවැසියෙකු ලෙස ඔබට හැකියාවක් තිබේද?
මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුර වන්නේ ‛නැත’ යන්නයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුරවැසියන්ගේ භාෂණයේ නිදහස, කැමති මතයක් දැරිමේ නිදහස හා ලිවීමේ නිදහස තහවුරු කර ඇති මුත්, රාජ්‍ය ආයතන වලින් තොරතුරු ලබා ගැනීම සඳහා වූ අයිතිය තහවුරුකර දී නැත.
යමෙකුට, යම් කිසි සිදුවීමක් පිළිබඳව ගවේෂණය කර යමක් ලියන්නට හෝ ප්‍රකාශ කරන්නට අවශ්‍ය වන්නේ නම්, ඔහු හෝ ඇය ඒ පිළිබඳව තොරතුර දැන සිටිය යුතු ය. උදාහරණයක් ලෙස පසුගිය (2011) ජුනි මාසයේ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කර තිබූ බාල පෙට්ට්‍රල් ගනුදෙනුව පිළිබඳව පුවත්පතකට ලිපියක් ලිවීමට සිත් වේ නම්, ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඔහුට හෝ ඇයට සිදු වේ. එනම්, මෙම ගනුදෙනුව නිසා සිදු වූ අලාභය කොපමණ ද? එයට ඍජුවම වගකිවයුතු පුද්ගලයින් කවුද? මෙම බාල පෙට්ට්‍රල් භාවිතය නිසා ඛනිජ තෙල් සංස්ථාවේ යන්ත්‍රෝපකරණ වලට සිදු වූ හානිය කුමක් ද? එම යන්ත්‍රේපකරණ අලුත්වැඩියා කිරීමට වැය වන අමතර ජනතා මුදල්වල වටිනාකම කීය ද? මෙම තෙල් ගනුදෙනුව පිළිබඳ ටෙන්ඩර් පටිපාටිය කුමක් ද? මෙම පෙට්ට්‍රල් භාවිතය නිසා විනාශ වූ පාරිභෝගික යාන වාහන සඳහා ගනු ලබන සාධාරණ පියවර කුමක් ද? වැනි කරුණු පිළිබඳව සත්‍ය තොරතුරු සහිත නිල පරීක්‍ෂණ වාර්තාවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගත යුතු ය.
නමුත්, තොරතුරු ලබා ගැනීම සඳහා මෙවැනි ඉල්ලීමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉදිරිපත් කරනු ලැබුව හොත්, කුමක් සිදු විය හැකිද?
එවැනි නිල තොරතුරු පිටපතක් පුරවැසියෙකු වෙත ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම, අනෙකුත් රාජ්‍ය ආයතන ද නෛතිකව බැඳී නැත. එම නිසා මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳව නිල තොරතුරක් ලබා ගැනීමට ද ස්වාධීන පුරවැසියෙකුට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ වගේම හෙජින් ගිවිසුම පිලිබඳව, බාල සිමෙන්ති ගනුදෙනු පිළිබඳව සහ බාල ඖෂධ ගනුදෙනු පිළිබඳව ද නිල වශයෙන් තොරතුරු ලබා ගැනීමට කිසිම සිවිල් පුරවැසියෙකුට හිමිකමක් ඇත්තේ නැත. බොහෝවිට මෙවැනි වංචා, දූෂණ සම්බන්ධයෙන් ලිපි සම්පාදනයේදී නිල නොවන මාර්ගයන්හි (දැන හැඳුනුම්කම්වල) පිහිට පැතීමට බොහෝ ජනමාධ්‍යවේදීන්ට සිදුව තිබෙන්නේ මෙම පසුබිම නිසා ය.
ඒ අනුව, භාෂණයේ අයිතිය සහ ප්‍රකාශනයේ අයිතිය ශ්‍රී ලංකාවේ නීතියක් වුවද, කැමති අදහසක් ලිවීමට අවශ්‍යවන්නා වූ තොරතුරු ලබා ගැනීමේදී ඒ සඳහා නෛතිකභාවයක් නොමැතිකම නිසා එම අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වා දිය හැකි වේ.
අයිතිය ලබා ගැනීම
තත්ත්වය එසේ නම්, පුරවැසියන් සිදු කළ යුත්තේ කුමක්ද? මේ සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දෙන ලෙස ජනතා නියෝජිතයින්ට බල කිරීම සිදු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ වලදී තීරණ ගත යුතු ය. ජනතා නියෝජිතයින් ලවා පාර්ලිමේන්තු පනතක් මගින් එම අයිතිය තහවුරු කර ගත හැකිය. එවැනි උත්සාහයන් කිහිපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තිබූ මුත් එම සියළුම උත්සාහයන් පරාජයට පත් විය.
මෙවැනි පරිසරයක් තුළ, තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වැනි දින එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ද වැඩි ඡන්ද 63කින් සන්ධාන ආණ්ඩුව පරාජයට පත් කරනු ලැබුවේ ය.
මෙම පරාජය කිරීමෙන් අනතුරුව, නැවතත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියරේ දී ආණ්ඩුවේ කොළඹ පුරපති අපේක්‍ෂක මිලින්ද මොරගොඩ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් එහි ‛දෙවැනි ප්‍රතිපත්තිය’ හරහා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දෙන බවට ලිකිතව පොරොන්දු විය. එනම්, මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව ‛‛මිලින්ද චින්තනය’’ යටතේ මහ නගර සභාවට ඉදිරිපත් කරන යෝජනාවක් තුළින් ඉදිරියේ දී මෙම අයිතිය නීති ගත කරන බවට මොරගොඩ මහතා ප්‍රතිඥාවක් ලබා දුනි. එය ආණ්ඩුව ද පිළිගනු ලැබුවේ ය.
නමුත්, පාර්ලිමේන්තුවේදී තොරතුරු පනත පරාජය කිරීම සහ කොළඹ මහ නගර සභාවට තොරතුරු පනතක් ගෙන ඒමට කැමැත්ත පළ කිරීම යන ආණ්ඩුවේ ද්විත්ත්ව ක්‍රියාකාරීත්වය පිළිබඳව තර්කානුකූලව සිතා බැලීමට කොළඹ ජනතාව (යම් අයුරකින්) තල්ලු වී තිබූ බව මැතිවරණ ප්‍රතිඵලයෙන් දැකගත හැකි විය. මධ්‍යම ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රතික්‍ෂේප කරන විට, එම ආණ්ඩුව වෙනුවෙන්ම පෙනී සිටින මහ නගර සභා අපේක්‍ෂකයෙකු නැවතත් රටේ එක් බල ප්‍රදේශයකට පමණක් තොරතුරු නිදහස ලබා දෙනවා යැයි කීම පරස්පර විරෝධී මෙන්ම සිදුවිය නොහැක්කක් බවද ජනතාව අවබෝධ කර ගත්තා ද විය හැකි ය.
ඵල විපාක
තොරතුරු දැනගැනීමේ අයිතිය නොමැති වීම නිසා පාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තමන්ට හිතුමතේ ඕනෑ දෙයක් සිදු කිරීමට අවශ්‍ය දිරි දීම හා අවකාශය ලැබේ. මෙයින් බරපතලම හානිය සිදු වන්නේ මහජන මුදල් හා දේපළ වලට ය. මුදල් ගනුදෙනු වලදී වංචා හා දූෂණ සිදු කිරීම පාලකයින්ගේ හා නිලධාරීන්ගේ අනියම් හිමිකමක් බවට පත් වීමට මෙයින් ඉඩ ලැබේ. ගනුදෙනු පිළිබඳව පාරදෘශ්‍යභාවයක් නොමැති වීම නිසා ප්‍රශ්න කිරීමේ ඉඩ කඩ ද ඇහිරී යයි.
එමෙන්ම, රාජ්‍ය සේවාවන් වලදී නොයෙකුත් තාඩන පීඩන වලට සහ රස්තියාදුවීම් වලට ලක්වීමට පොදු ජනතාවට සිදු වේ. රාජකාරී ඉටු කර ගැනීමෙදී ‛පගාව’ පෙරට පැමිණෙනු ඇත. සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමේ දුර්භාග්‍ය අත් විඳීමට සිදු වන අතර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සිදු වන දේශපාලන හා ඥාති සංග්‍රහ නිසා සුවිශාල සාමාජ අසාධාරණයකට ද මුහුණපාන්නට සිදු වෙයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය නොතිබීම රාජ්‍ය සේවයේ අකාර්යක්ක්‍ෂමතාවයට ප්‍රබල හේතුවක් වන අතර නිලධාරීවාදයට සහ රාජ්‍ය සේවකයින්ගේ පුහු අහංකායට ද ප්‍රබල රුකුලක් ලබා දේ.
තොරතුරු ලබැගැනීමට නීතියක් නොතිබීමෙන් ඇතිවන සියලු උපද්‍රවයන් නිසා අවසානයේ දී රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ජනමාධ්‍ය නිදහසට, ආර්ථික සංවර්ධනයට හා රටේ ප්‍රගමනයට ද ප්‍රබල තර්ජනයන් එල්ල කරන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතු ය.
එච්. ජේ. සම්පත් රෝහණ කුමාර
[email protected]