[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතීන් සහ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම නිසා දිවි ඇති තෙක් සිරගෙට නියම වූ වෛද්‍ය බිනයාක් සෙන්ගේ කතාව ඇතුළත් ‛‛සුවපත් වෛද්‍යවරයකුගේ කතාව’’]
[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතිවාසිකම් හා සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා දිවි ඇති තෙක් සිරගෙයට නියම වූ වෛද්‍ය බිනායක් සෙන් ගේ චරිතය අළලා රචනා කළ ‘A Doctor to Defend’ කෘතියේ සිංහල පරිවර්තනය වූ ‛සුවපත් වෛද්‍යවරයෙකුගේ කතාව’ කෘතිය ප්රජාතන්ත්රීය අයිතිවාසිකමි සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමීන් අතරින් අඛණ්ඩව මානව හිමිකම් අරගලයේ නියැලෙන නීතිඥ එස්. ජී. පුංචිහේවා, එස්. සිවගුරුනාදන් සහ විමල් ප්‍රනාන්දු යන ක්‍රියාකාරීන් තිදෙනාට උපහාර පිණිස පොත පිළිගැන්වීම සඳහා ඊයේ (23) කොළඹ මහජන පුස්තකලායේදී පැවති උළෙලේ දී, එම කෘතියේ කතුවරිය වූ මිනි වෛද් විසින් පැවත් වූ දේශනය ඇසුරිනි.]
ඔබගේ මෙම සුන්දර රටට පැමිණි උත්සාහයේ සහ කැපවීමේ සහ අසාධාරණත්වය පිළිබඳ කතන්දර බෙදා හදා ගැනීමට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තෙන්ම සතුටු වෙමි. මාටින් ලූතර් කිංගේ වචන වලින් පවසන්නේ නම් “කොතැනක හෝ වන අසාධාරණය සෑම තැනකම සාධාරණත්වයට ඇති තර්ජනයකි”.
මධ්‍යම ඉන්දියාවේ ඈත ප්‍රාන්ත රාජ්‍යයක් වූ චතිස්ගාර් හි එක මිනිසෙකුගේ අත්දැකීම්, ඔහුට මුහුණ දීමට සිදු වූ දුක් ගැහැට, තාවකාලික වුවත් අවසානයේ ඔහුගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේත් දෝංකාරය නගන්නේත් එම නිසාය. වෙල්ලෝරයේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයේ ඉහළම සුදුසුකම් ලබා ගත් වෛද්‍ය බිනායක් සෙන් දශක තුනක් තිස්සේ ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රදේශයේ ආදිවාසී, නැති නම් දේශික ජනතාව අතර වැඩ කළේය.මෙම ගෝත්‍රික ජනතාව, විශේෂයෙන්ම චතිස්ගාරයේ බැස්ටාර් ප්‍රදේශයේ ජනතාව, පරම්පරා ගණනාවක්ම ජීවත් වූයේ වනාන්තරය වැනි පොදු සම්පත්වලට පිවිසීමට තිබූ අවස්ථාව නිසාය. එහෙත් අවාසනාවකට මෙන් මෙම ජනතාව පරම්පරා ගණනාවක්ම ජීවත් වූ මෙම සරු ජෛව විවිධත්වයෙන් පිරි පස, ඛනිජ සම්පත් වලින් පොහොසත්ය.
වසර 2000 දී ප්‍රාන්ත රාජ්‍යය පිහිටුවීමෙන් වසර පහකට පසු එම ආණ්ඩුව පතල් කැනීමට හා නිෂ්පාදනය සඳහා මහා සමාගම් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රජාවේ ජීවත්වීමට තීරණාත්මක වූ මෙම ක්‍රියාවලියට විරෝධය පෑම හෝ උද්ඝෝෂණය කිරීම වහාම මර්ධනය කෙරිණ.මහා සමාගම්වලට පතල් කැනීම සඳහා ආදීවාසීන්ගෙන් ඉඩම් අත් කර ගැනීමේ පුළුල් සැලැස්මේ පියවරක් වශයෙන් රජයේ අනුග්‍රහය ඇතිව, රජයෙන් පඩි ලබන සල්වා ජුඩුම් නම් සිවිල් භට කණ්ඩායමක් 2005 දී බිහිවිය. ඔවුන් විසින් ගම් 600 කින් ඉවත් කරන ලද ගෝත්‍රික ජනතාව මහ මග දෙපස අනාථ කඳවුරුවල රැඳවිණ.සල්වා ජුඩුම් මැරකම් නිසා බිය පත් වූ දහස් ගණන් ගෝත්‍රික ජනතාව යාබද ප්‍රාන්ත වලට පලා ගිය අතර තවත් (කොපමණ දැයි නොදන්නා) බොහෝ දෙනෙක් වසර හයකටත් පසුව තවමත් තාවකාලික කඳවුරු වල වෙසෙති. ඉන්දියාවේ දුප්පත්ම ජනතාව වන මොවුන්ගෙන් 500කට අධික සංඛ්‍යාවක් නඩු විභාගයක් නොමැතිව මරා දමන ලද අතර, ගණන් නැති ස්ත්‍රී දූෂණ, දේපොළ ගිනි තැබීම් සිදු විය. ආණ්ඩුව සල්වා ජුඩුම් හැඳින්වූයේ ප්‍රාන්තයේ පවතින මාවෝවාදී ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන් ජනතාවගෙන් ම මතු වූ ව්‍යාපාරයක් සේය.
සිවිල් නිදහස සඳහා වූ ජනතා සංගමයේ චතිස්ගාර් පාර්ශවයේ ප්‍රධාන ලේකම් ලෙස බිනයාක් සෙන් ඇතුළු මානව අයිතිවාසිකම් සංවිධාන පහක කණ්ඩායමක් සල්වා ජුඩුම් ගැන විමර්ශනයට කිරීමට බැස්ටාර් වලට ගියහ. චතිස්ගාර් හි සිවිල් නිදහස සඳහා වූ ජනතා සංගමය එම වාර්තාව 2006 දී ‛රජය තම ජනතාවට එරෙහිව සටන් කරන විට’ යනුවෙන් නිකුත් කළ අතර ඊට පසු වසරේ දී බිනයාක් ජනතාව කුපිත කිරීමට හා රාජ්‍යයට එරෙහිව සටන් කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගනු ලැබිණ. වසර දෙකකට වැඩි කාලයක් සිර ගත කරනු ලැබූ ඔහු ලොව පුරා සිවිල් සමාජ සංවිධාන විසින් ගෙන යන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා 2009 මැයි මාසයේ දී ඇප මත නිදහස් කොට ඉන් පසු පැවති නඩු විභාගයකින් 2010 දෙසැම්බර් මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය. දෙවන වරටත් මාස හතරක කාලයක් සිරගත සිටි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඇප මත නිදහස්ව සිටින නමුත් ඔහුගේ අභියාචනය තවමත් චතිස්ගාර් මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
“විනාශ නොවී සිටීමට නම් විරෝධය පෑ යුතුයැ” යි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කී නමුත් අද චතිස්ගාරයේ ගැටුම්වලට මැදිව සිටින අයට අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ කිසිම ආශ්වාදයක් නැත.
ඒ ඇත්තෙන්ම කිසිත් වෙනසක් සිදුව නැති නිසාය.
බිනායක් සෙන් ගේ නඩුවට අන්තර්ජාතික අවධානය යොමු වූයේ වෛද්‍ය ක්ෂේත්රයේත් සිවිල් සමාජයේත් ඔහුට තිබූ සම්බන්ධතා නිසාය. එහෙත් විරෝධය පෑම නිසා කුරිරු ලෙස නිහඬ කරවනු ලැබූ, ප්‍රදේශයෙන් පලවා හරින ලද ගාන්ධිවාදියෙකු වූ හිමාන්ෂු කුමාර්, වද හිංසා පමුණුවා තවමත් පොලිස් අත් අඩංගුවේ පසුවන ගුරුවරයෙකු වූ සෝනි සෝරි, ගැටුම් පවතින ප්‍රදේශ වලින් තොරතුරු ගලා ඒම වැළැක්වීමට සිරගත කරනු ලැබූ නවක ජනමාධ්‍යවේදියෙකු වන ලින්ගා කොඩොපි වැනි අය නැගූ විසම්මුතියේ හඬ අසන්නට ලැබෙන්නේ නැත.
ජනමාධ්‍යවේදීන්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තවමත් ප්‍රාන්තයේ කලබල පවතින ප්‍රදේශ වලට පිවිසීම අසීරුය. බිනයාක් සෙන් ජීවිතාන්තය දක්වා සිරගත කළ, කල් පිනූ, අසාධාරණ නීති හා අධිකරණ ක්‍රියාමාර්ග තවමත් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට යොදා ගනී. සල්වා ජුඩුම් සහ එහි ක්‍රියා මාර්ග ව්‍යවස්ථා විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ දී තීරණය කළ ද බැස්ටාර් තවමත් යථා තත්වයට පැමිණ නැත.මෙවැනි පසුබිමක් යටතේ බිනයාක් සෙන් ගේ වදන් හා දර්ශනය ලොව කොතැනක හෝ අසාධාරණයට හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නගන හඬක් නිසා එහි විශේෂ අර්ථයක් පවතී.ඇප ලැබුණ දා සිට බිනයාක් සෙන් මටත්, ජනමාධ්‍යටත්, ශිෂ්‍යයන්ටත්, ඔහුට සවන් දෙන සෑම කෙනෙකුටමත් කියන දේ හරය වන්නේ,
සාමයට ඉඩක් දෙන්න යන්නයි.
මා පළමුවෙන්ම ඔහු සමග සාකච්ඡා කෙළේ ඔහුට නිදහස ලැබීමෙන් මසෙ දෙකකට පසුව 2009 ජූලි මාසයේ දීය. ඔහු සාමය, සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වැඩ පිළිවෙළක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන කතා කෙළේය.ඉන් පසු අවසන් වරට, දඬුවම් නියම වීමට පෙර නැවතත් 2010 දෙසැම්බර් මාසයේ දී හමු වූ විට ද පැවසුවේ ඒ දෙයමය.ඔහුගේ හඬට සවන් දෙන මිනිසුන් සිටින්නේ කොතනදැයි මා දිගින් දිගට අසන විට ඔහුගේ පිළිතුර වූයේ කිසියම් දිනක එය සිදු වන්නේය යන්නයි. ජීවත්වීම සඳහා එම බලාපොරොත්තුව රඳවා ගත යුතු බවයි.
මා මේ පොත ලිව්වේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුර පහසුවෙන් දිය හැක. මෙම මාධ්‍යය මට අළුත් වුවත් ඒ ලෝකය මට අලුත් නොවේ.එම නිසා බිනායක් සෙන් ගේ කතාව සඟරාවක පළ වී තිබෙනු දුටු වහාම මගේ අවධානය ඊට යොමු විය. ඒ වන විට බිනායක් වසරක සිර ගෙදර ගත කර තිබිණ.ඊට වසරකට පසුව 2009 මැයි මාසයේ 14 වැනි දින බිනායක් අත් අඩංගුවට ගෙන වසර දෙකක් සිර ගත කිරීමේ දෙවන සංවත්සරයේ දී රායිපූර් හි සත්‍යග්‍රහයක් පැවැත් වූ 650 ක පිරිසට මම ද එක් වූයෙමි.එහි සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ මිතුරන් එහෙත් ඒ සියල්ලන්ටම වඩා සිටියේ බග්රම්නලා, දම්තේරි, සයිල්බෙහෙරා, දල්ලි රාජ්හාරා යන ප්‍රදේශ වලින් පැමිණි ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන් සහ ගොවීන්ය. ඒ සියල්ලන්ටම ඔහු අවශ්‍ය විය. ඒ ඔහු ඔවුන්ගේ වෛද්යවරයාවීම නිසාය. කිසියම් ගාස්තුවක් අය නොකළ වෛද්‍යවරයෙක්, රෝගියෙකුගේ තුවාලයකින් ගලන සැරව ඉවත් කිරීමට මැලි නොවන වෛද්‍යවරයෙක්, ඔවුන්ට කරුණාවෙන් කතා කරන වෛද්‍යවරයෙක්, සෞඛ්‍ය රැකවරණය ගැන සමස්ත දැක්මක් ඇති වෛද්‍යවරයෙක්…. මේ මට ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගත් බොහෝ ගැමියන්ගෙන් නිතර ඇසුණු දේය. ඔවුන්ගෙන් කෙනෙකු මට මෙසේ කීවේය. “සර්කාර් ජෝ බොලේ සො බෝලේ, හමාරේ ලියෙ වොහ් භග්වාන් හායි”
“ක්ලිනික් බාන්ද් හො ගයා ආද්මි භටක් රහා හායි…. තවත් කෙනෙකු කීවේය.
ප්‍රබලම ප්‍රකාශයක් කෙළේ බිනයාක් නිතිපතා සායනයක් පැවැත් වූ බග්රම්නලාවේ ගැමියෙකුය. සෑහෙන වයස්ගත පුද්ගලයෙකු වූ ඔහු මෙසේ කීවේය. “හමාරිසින්දාගි ටෝ චාල් ගයී හමාරේ බච්චෝන් කා භවිෂ්යා වො හි බනයෙගා”
ඔහුට ලැබුණේ මෙවැනි ප්‍රතිචාරය. එය මට සෑම තැනකින්ම අසන්නට ලැබිණ.
මෙම පොත ලිවීම සඳහා කරුණු සෙවීමට බොහෝ දුර බැහැර ගෙවීමට හා වෙහෙස මහන්සි වීමට සිදු වුවද ජනතාවගෙන් ලැබුණු සහාය ඉමහත්ය. බිනයාක් සෙන් යන වදන් දොරගුළු විවර කළ සහෝදරත්වය උතුරා යන මන්ත්‍රයක් විය.මේ ආකාරයට වෛද්‍යවරයෙකු වශයෙන් ඔහුගේ වෘත්තිය ජීවිතයත්, ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීත්වයත් යා කෙරෙන සිද්ධීන් පිළිබඳ තොරතුරු හා පුද්ගල කතන්දර එකතු කිරීමෙන් බිනයාක් සෙන් චිත්‍රය විද්‍යාමාන විය.වචනාර්ථයෙන් මෙන්ම උපමාරූපකයක් වශයෙන් වෙල්ලෝර්, බිලාස්පූර්, ගන්යාරි, බග්රම්නලා, දල්ලි, රාජ්හරා, දන්තේවාද, ඩොර්නා පාල් හරහා ගොස් රායිපූර් හි දී නැවත වෛද්‍ය සෙන් හමු වූ විට ඔහුට පළමුවෙන්ම කීවේ මා ගිය තැන් වල ජනතාව ඔහුට දැක් වූ ගරුත්වයෙන් අඩක් හෝ මට ලැබෙන්නේ නම් මට අද වුවත් සිත සතුටෙන් මිය යා හැකිය යන්නයි. එහෙත් ඔහු එම වර්ණනාව සුපුරුදු අහිංසක සිනහවෙන් ප්‍රතික්ෂේප කළේය.
මෙම පොත බිනයාක් සෙන් ගේ කතාව වුවත් එය චරිත කතාවක් නොවන නිසා ඔහු ගැන සියලු දේ දැන ගැනීමේ අදහසින් එය නොකිය විය යුත්තේ එහි එවැන්නක් නොවන නිසාය.එය ඔහුගේ ජීවිතයට, ඔහුගේ වැඩ වලට, පමණක් නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑ සහ තවමත් බලපාන තීරණාත්මක පුද්ගලයන් කී කතාවකි.ඔවුන් සියලු දෙනාම පැහැදිලිවම තමන්ගේ ක්‍රියාකාරීත්වය නිසා කැපී පෙනෙන පුද්ගලයින්ය. සමාන වැඩ, අසාධාරණයට එරෙහිව කතා කිරීම, අසීරු තීරණ ගැනීමට නොපැකිළෙණ, වසර දෙකකට හෝ ජීවිතාන්තය දක්වාම හෝ හිර ගෙට යාමට සිදු වුවත් අවසානය දක්වාම තම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන අනාගත බිනයාක් සෙන්ලාය.මම ඔවුන්ට බිනයාක් ගේ කතා කීමට ඉඩ හැරියෙමි. ඒ සියල්ල යුක්තිය, අවතැන්වීම, මූලික සෞඛ්‍ය හා මානව අයිතීන් පිළිබඳ මානව ප්‍රශ්න හා ගැට ගැසෙන බැවින් මම ඒවා නැවත කීවෙමි.බිනයාක් සෙන් කළ ආකාරයට ඔබ ද හෘද සාක්ෂියේ ධෛර්යෙන් නැගී සිටිය යුතු නිසා මම එය කීවෙමි.
ඔහුගේ නඩු තීන්දු දීමට හරියටම දින දහයක් තිබියදී මගේ වාර්තා චිත්‍රපටයට ඇතුළු කිරීමට ඇසූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුරෙන් අවසන් කිරීමට කැමැත්තෙමි.
“ඔබට සමාජ ක්‍රියාකාරිකයෙකු වීමට අවශ්‍ය නම් ඔබගේ ජීවිතය ඔබ අසල සිටින පුද්ගලයාගේ ජීවිතයට වඩා වැදගත් නොවන්නේ ය යන මූලධර්මය පිළිගත යුතුය. ඔබ ඔහුට වඩා වැදගත්යැයි සිතන්නේ නම් සාමානත්වය පිළිබඳ සමස්ත පදනම ම බිඳ වැටේ.”
වෛද්‍ය බිනයාක් සෙන් ගැනත් ඔහුගේ වැඩ හා පෞද්ගලිකත්වය ගැනත් වඩාත් විස්තර දැන ගැනීමට මෙම පොත කියවන මෙන් මම ඔබගෙන් ඉල්ලමි.
මම ඔහුගේ පණිවිඩයෙන් අවසන් කරමි.
දකුණු ආසියාවේ ජනතාව- මානව වර්ගයාගෙන් හතරෙන් එකක් – යටත්විජිත වාදයට එරෙහිව කරන ලද දීර්ඝ වූ ද දුෂ්කර වූද අරගලයකින් පසුව දැන් නව අධිරාජ්‍යවාදී ගෝලීයකරණ යුගයක අලුත් අභියෝගවලට මුහුණ දී සිටිති. කලාපය පුරාම ධනවතුන් වඩාත් ධනවත් වෙත්ම, මුළු මහත් ප්රජාවන්ගේම ජීවත්වීමේ අයිතිය, කෑමට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමේ අයිතිය ඇතුළත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කරනු ලැබ සිටිති. සෑම තැනකම ජනතාව සාමය පතන නමුත් සාමය ළඟා කර ගත හැක්කේ යුක්තිය හා සමානාත්මතාවය සමග පමණි. මෙම අවස්ථාවේ දී මම ශ්‍රී ලංකාව් සිංහල, දෙමළ සහ අනෙකුත් වාර්ගික අනන්‍යතාවයෙන් යුත් සහෝදර සහෝදරියන් වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට මගේ හස්තය දිගු කරමි.
මිනි වෛද්[Minnie Vaid]
‘A Doctor to Defend’ කෘතියේ කතුවරිය
[මෙම පොතේ සිංහල කෘතිය වන ‛සුවපත් වෛද්‍යවරයෙකුගේ කතාව’ ලෙස පරිවර්තනය මහින්ද හත්තක විසිනි.]