”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි.
එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි. එසේ ලබාදුන්නේ මේ රක්ෂිතයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 341 දරණ අන්දරවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි, අවසාන ගම් සිතියම් අංක 663 දරණ වනාන්තරයේ අක්කර 48 කි. මේ ඉඩම් ලබා දී ඇත්තේ අනුරාධපුර, පන්ඩුලගම, කොරකහවැව, ෆාර්ම් ගාඩ්න් හෝටලයේ හිමිකරු වන බාලදුරයාගේ චන්ද්‍රසිරි යන අයට ය. මේ සඳහා වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා විසින් සම්පූර්ණ දේශපාලන සහයෝගය ලබා දී තිබේ.”
මහවැලි එච් කලාපයට අයත් අන්දරවැව මහවැලි රක්ෂිතය, මහවැලි අධිකාරිය විසින් ම කොටස් කර පෞද්ගලික අංශයේ විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඒ අවට ප්‍රදේශයේ අලි -මිනිස් සහජීවනය බිද වැටීමේ තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. 1982 වසරේ දී මහවැලි අධිකාරිය මඟින් මේ කලාපයේ ඉඩම් ලබා දීම සිදු කරන අවදියේ දී අක්කර 1050 කින් සමන්විත අන්දරවැව රක්ෂිතය, වනජීවී ආරක්ෂිත කලාපයක් හා ප්‍රධාන අලිමංකඩක් ලෙස වෙන් කර තිබේ. එම රක්ෂිතය එළි පෙහෙළි කිරීම, ඇතුළු වීම, දැව හෙළීම් යන සියල්ල ම තහනම් කර තිබූ මහවැලි අධිකාරිය ඒ පිළිබඳ ව සඳහන් දැන්වීම් පුවරු පවා ගලවා ඉවත් කර අද වන විට මේ රක්ෂිතයේ ඉඩම් කුට්ටි කර පෞද්ගලික අංශය වෙත පැවරීම සිදු කරයි.
මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි.
එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි. එසේ ලබාදුන්නේ මේ රක්ෂිතයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 341 දරණ අන්දරවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි, අවසාන ගම් සිතියම් අංක 663 දරණ වනාන්තරයේ අක්කර 48 කි. මේ ඉඩම් ලබා දී ඇත්තේ අනුරාධපුර, පන්ඩුලගම, කොරකහවැව, ෆාර්ම් ගාඩ්න් හෝටලයේ හිමිකරු වන බාලදුරයාගේ චන්ද්‍රසිරි යන අයට ය. මේ සඳහා වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා විසින් සම්පූර්ණ දේශපාලන සහයෝගය ලබා දී තිබේ.
ජාතික පාරිසරික පනතේ නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් මේ හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කෙරින. පසුව ඒ අවට ගොවි සංවිධානවල හා පරිසර සංවිධානවල කරුණු ඉදිරිපත් කිරීම මත 2010 ඔක්තෝබර් මස 14 වන දින හෝටලයේ ඉදිකිරීම් කටයුතු තහනම් කළේය. පසුව ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කිරීමට නියෝග කෙරින. ඒ සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ය. මේ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට (අක්කර 2.5 ක්) වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර ඕනෑම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.
ඒ අනුව සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව එක් දිනක් පමණක් ක්ෂේත්‍ර නිරීක්ෂණයන් සිදු කර සකස් කළ ඉතා ම දුර්වල වාර්තාවකි. එම වාර්තාවේ මේ වනාන්තරයේ අලින් වාර්තා වන බවක් හෝ දක්වා නොමැත. ඊට අමතර ව නිවැරැදි විකල්ප අධ්‍යනයක් ද සිදු කර නොමැත. මේ දුර්වල වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් රජයේ වැඩකරන දින 30 ක කාලයක් මහජන අදහස් ලබා ගැනීම සඳහා විවෘත ව තැබින. ඒ සඳහා මහජන අදහස් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබුණු නමුත් දින දෙකක් ප්‍රමාද වීම හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කෙරින. එසේ කිරීමෙන් අනතුරු ව සාවද්‍ය හා ප්‍රමාණවත් දත්ත නොමැති ඉතා ම දුර්වල ව්‍යාපෘති වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් කොන්දේසි සහිත අනුමැතිය ලබාදීම සිදු කෙරින. මධ්‍යම පරිසර අධිකාරියේ මේ අඥාන තීරණ හේතුවෙන් අද වන විට වනාන්තර එළි කරමින් ෆොරස්ට් රොක් ගාඩ්න් හෝටලය ඉදිකරමින් පවතී. ඒ සඳහා ඉතාලි ජාතිකයකු ආයෝජනය කරන අතර රුපියල් කෝටි 30 ක් පළමු අදියරේ දී ආයෝජනය කර තිබේ.
මීට අමතර මේ වනාන්තරයේ තවත් අක්කර 20 ක් මහා පරිමාණ ගල් කොරි පවත්වා ගෙන යෑම සඳහා ඇක්සස් ඉංජිනේරු සමාගම වෙත ලබා දී තිබේ. මේ රක්ෂිත වනාන්තර ඉඩම් මහවැලි අධිකාරියෙන් ලබා ගෙන ඇත්තේ වාරි මාර්ග හා ජලකළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා ගේ පුතනුවන් වන මධ්‍යම නුවර පළාත ප්‍රාදේශීය සභාවේ (මනුප ප්‍රාදේශීය සභාව) පොදු පෙරමුණු මන්ත්‍රී රසික ඒකනායක මහතා විසිනි. ඔහු විසින් අදාළ සමාගම වෙත මේ වනාන්තර ඉඩම් ගල් කොරි පවත්වා ගෙන යෑම සඳහා ලබා දී තිබේ. දැනට කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කරමින් යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කරමින් පවතී.
මේ අතරතුර තවත් රක්ෂිත වනාන්තර අක්කර 5 ක් මාතලේ, කාන්තා සංවර්ධන පදනමට ලබා දී ඇති අතර අනුරාධපුර, ශ්‍රී මහා බෝධියේ උඩමළුවේ මහ නාහිමිට ද වනාන්තර අක්කර 20 ක් ලබාදීමට මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු විසින් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
මේ අයුරින් 1982 වසරේ සිට 2010 වසර දක්වා වසර 28 ක කාලයක් රක්ෂිත වනාන්තරයක් ලෙස මහවැලි අධිකාරිය යටතේ පාලනය වූ හා ඊට ඇතුළු වී දැව කැපූවන්ට පවා නීතිය ක්‍රියාත්මක කළ මහවැලි අධිකාරිය විසින් ම මෙලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ රක්ෂිත වනාන්තරය පැවරීම ඉතා ඛේදනීය තත්ත්වයකි.
මේ වනාන්තර එළි කිරීම හේතුවෙන් අලින් ගම් වැදීම මේ වන විට උග්‍ර තත්ත්වයකට පත් වී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට අන්දරවැව රක්ෂිතය හරහා තලාව මහමූකලානටත් ගල්ගමුව ප්‍රදේශයටත් අලි සංක්‍රමණය වීම සිදු වේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අලි – ඇතුන් කුකුල්කටුව, ඊට්ටිකුලම, රණවරාව, මහලිදවැව, පෙරියනාංකල්ලි, අඩම්පනේ හරහා අන්දරවැව රක්ෂිතයට අලි පැමිණීම සිදු වේ. මෙලෙස බහුල ව අලි පැමිණෙන්නේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තොම්බර් මාසවල දැඩි නියං සමය තුළ ය. එසේ පැමිණෙන අලි මේ රක්ෂිතය තුළ රැදී සිටින අතර අන්දරවැව, සීරම්බාගමවැව, පහමුනේගම වැව,හැලඹ වැව, ඉලන්දක්කුලම වැව යන වැව් වලින් ජල අවශ්‍යතාවය සපුරා ගනී. මේ වැව් සියල්ලම පෝෂණය වන්නේ මේ රක්ෂිතයෙනි. එය මෙලෙස වනසා දැමීමත් සමඟ ම වියළි ඍතුවේ දී වැව් සියල්ල සිදී යයි. ඒ හේතුවෙන් අලින්ට ජල අවශ්‍යතාවය සපුරාගැනීමට හා ආහාර සපයා ගැනීමට තිබෙන ප්‍රභවයන් සියල්ල අහිමි වේ. එහි අවසන් ප්‍රතිඵලය අලි ගම් වැදීම යි. දැනට ද ඒ තත්ත්වය දරුණු ලෙස උද්ගතවෙමින් පවතී. මෙතෙක් අලි ගම්වැදීමේ ගැටළු නොපැවති අන්දරවැව පුරාණ ගම, මාදුරුවාගම සහ මහවැලි ගම්මානවන නව හඟුරන්කෙත, නව හාරිස්පත්තුව ගම්මානවලට අලි පැමිණෙමින් තිබේ. මීට අමතර ව ගොවි පවුල් 274 කින් සමන්විත 419 D1 කුඹුරු යාය, ගොවි පවුල් 164 කින් යුක්ත 419 D2 කුඹුරු යාය හා 411 කුඹුරු යායට අද වන විට අලින් පැමිණෙමින් තිබේ.
අලි මිනිස් සහජීවනය බිඳ වැටීමෙන් වියළි කලාපය පුරා උද්ගත වී ඇති ගැටළු සඳහා පිළියම් යෙදීමට රුපියල් බිලියන ගණනක් වැය කරමින් සිටිය දී අලින් ගේ සංක්‍රමණික මාර්ග හා ගැවසුම් වනාන්තර මෙලෙස එළි කරමින් නැවත එවන් තත්ත්වයන් ඇති කිරීමට රාජ්‍ය අංශ විසින් ම ගනු ලබන ක්‍රියාමාර්ග අපි තරයේ හෙළා දකිමු. මින් සිදු වන්නේ අලි – මිනිස් ගැටුමක් නිර්මාණය කිරීම ය. එහි අවසන් ප්‍රතිඵලය ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඉවත් කිරීම පමණක් නොව ඔවුන් ගේ ජීවන තත්ත්වය පහළ හෙළා මේ මහා පරිමාණ සමාගම්වල කම්කරුවන් බවට අවසන පත් කිරීමයි.
අන්දරවැව වනාන්තරය අලි – ඇතුන්ට පමණක් නො ව කබල්ලෑවා, ඉත්තෑවා, තිත්මුවා, ගෝනා, වැනි විශාල ක්ෂීරපායී සතුන් බහුතරයකටත් වළිකුකුලා, අලු කෑදැත්තා, වන කොවුල ඇස්පටියා වැනි ලංකාවට ආවේණික, නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ බොහොමයකටත් වාසස්ථාන සපයන වනාන්තරයකි. මෙහි කළුවර, කළුමැදිරිය, පලු, වීර, බුරුත, කුණුමැල්ල, වෑවරණ, කීරිය, බෝල්පනා වැනි ශාක බහුතරයකින් සමන්විත වියළිමිශ්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත ප්‍රදේශයකි.
මේ වනාන්තරයේ පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් අප ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමන් ගෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ අන්දරවැව අලිමංකඩ අලි – ඇතුන් ඇතුළු සියලු ජීවීන් වෙනුවෙන් පමණක් නො ව ඉන් පෝෂණය වන වැව් පහේ පැවැත්ම වෙනුවෙන් හා ඒ අවට ජනතාව ගේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කර දෙන ලෙස ය. එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත් අක්කර 1050 ක් වන මේ සමස්ත වනාන්තරය ම අරමුණක් නැති මහවැලි අධිකාරිය විසින් ව්‍යාපාරිකයන්ට බදු දී අද හෙටම වනසා දමනු ඇත.
සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය