චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලද චාලි චැප්ලීන් – මගේ දිවිසැරිය නම් කෘතිය පසුගිය වනදා 08දා මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩි අවස්ථාවේ, විදර්ශණ කන්නන්ගර විසින් දැක්වූ අදහස්වල සංක්ෂිප්ත සටහනක් මෙසේ සටහන් කරමු.
‛‛අපි චාලි චැප්ලීන් ගැන කතාකලාට විශාල ගැටලුවත් තිබෙනවා. මේ මොහොතේ චාලි චැප්ලීන් අහසින් ගෙනල්ලා වගේ කතා කරන්න බැරි නිමේශයක තමයි අපි දැන් ඉන්නේ. විශේෂයෙන්ම අපි ගෙවමින් ඉන්නේ ලංකාවේ සිනමාව ‛යුද වින්දන සිනමාවක්’ බවට පත් වෙමින් තිබෙන නිමේශයක තමයි අපි ඉන්නේ. මේක ලංකාවේ සිනමා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂ සිද්ධියක්. මේ සුවිශේෂ සිද්ධිය එළියෙ වෙන අතරේ තමයි අපි චාලි චැප්ලීන් ගැන සාකච්ඡාවක් ආරම්භ කරන්නේ.
මේ සිනමාව ගැන කියනවා නම් යුද්ධය අවසානයෙන් පස්සෙ ලංකාවේ සිද්ධ වුණු දේශපාලනික දෘෂ්ඨිවාදී සහ සංස්කෘතික වෙනස, විශේෂයෙන් ප්රභාකරන්ගේ මරණයත් එක්ක සිදු වුණු ලංකා ඉතිහාසයේ මේ කණ්ඩනය උපමාරූපිකව, විශේෂයෙන් නන්දිකඩාල්වලින් පසු මොහොත ඒ මොහොතෙන් පස්සේ ඊට කලින් තිබුණු ලෝකය නෙවෙයි තව දුරටත් තිබෙන්නේ. ඊට කලින් තිබුණු සියලු පරාමීතීන් ලෝකය තේරුම් ගත්ත සියලු සංකල්පයන්, සිනමාව, කලාව තේරුම් ගත්ත පදනම් ව්‍යුහයන් ඊට කිලින් නොතිබුණු අන්තයකට අවිල්ලා තිබෙනවා. ඒ නිසාම අපි දැන් ඉන්නේ ‛පශ්චාත් නන්දිකඩාල් සංස්කෘතික මොහොතක’. එමගින් ලංකාවේ සිනමාව මේ වනවිට ‛යුද වින්දන සිනමාවක්’ බවට පත්වෙලා තිබෙනවා.
සිනමාව විතරක් නෙවෙයි විශේෂයෙන් දරුණු යුද්ධයකින් පස්සේ යම් සමාජයක සිද්ධ වෙන දේ තමයි, යුද්ධයේදී සිදු වෙච්ච දේවල් පිළිබදව වරදකාරී හැඟීමක් ඒ සමාජය තුළ ඇති වෙනවා. අපේ රටේ සුවිශේෂී විදිහට ඒකේ අනෙක් පැත්ත සිදුවෙලා තිබෙනවා. වෙනත් සමාජයක නම් යුද්ධයෙන් පස්සේ කලාව හෝ සංස්කෘතික දේශපාලනය තීරණය වෙන්නේ යුද්ධයෙදී සිදු වුණු විශාල මනුෂ්‍ය ඝාතනයන් පිළිබදව නැවත වරක් සමාජ ජීවිතයට දාගෙන එයින් වුනු මනුෂ්‍ය පැවැත්ම සහ සාරය පිළිබදබ ගැටලුව නැවත වරක් අර්ථකතනය කරගන්නා වූ ක්‍රමවේදයක් ඇතුලේ. නමුත් ලංකාවේ අබා වගේ චිත්‍රපටයක්, එසේත් නැතිනම් සෝමරත්න දිසානායක වැනි අය යුදමය තත්වයක තුල නොවුනත් දෘෂ්ඨීවාදී සහ යම් විදිහක අගතීන් තුළ සිටිමින් නිර්මාණ කළත් දැන් අපි පැමිණෙමින් සිටින්නේ ඉතා සංකීර්ණ අවස්ථාවක. සෙල්වම්, ගාමීණී වගේ චිත්‍රපටි වලින් එය තීව්ර වෙමින් තිබෙනවා. එය කාගේවත් විශේෂ විචාරයන්වලට තවමත් ලක් වෙලා නැහැ. එය විශාල ඛේදවාචකයක් ලංකාවේ සිනමාව තුළ, එය කවුරුත් නොසිතූ මොහොතක්. විශේෂයෙන් උදාහරණයක් විදිහට 2000 සහ 2008 දක්වා කාලය යම් විදිහකට අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි සිනමා කරුවන් තමන්ගේ පරීකල්පනීය තත්ත්වයක් ඇතුළේ කටයුතු කරමින් ඉන්නකොට එයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ නිමේශයකට අපි ඇවිල්ලා තිබෙනවා.
මෙම යුද සිනමාව සාමූහික ජන විඥානය ඇතුළේ යම් විදිහක බෙදා ගැනීමකුත් දක්නට ලැබෙනවා. අපි දන්නවා මේ යුද්ධය විසින් ඇති කලේ විශාල අවපාතයක්. මේ අවපාතය උතුරේ, නැගෙණහිර සහ දකුණේ අපෙන් භාහිර අනෙකාව විනාශ කරා කියලා අපි හොදාකාරවම දන්නවා. මේ බියකරු සත්‍යය අපි සඟවනවා. මේ බියකරු සත්‍යය ක්‍රෝමා එකක්. යම් විදිහකට ක්ෂතිමය තත්වයක්. අපි දන්නවා දරුණු අපරාධයක් කරලා තමයි අපි ඉන්නේ කියලා. මුලු සාමූහික සමාජයම දරුණු අපරාධයකින් තමයි මේ කියන ඊනියා නිදහස ලබලා තියෙන්නේ. මේ අපරාධය විටින් විට මතක් වෙනකොට ඇතිවන කම්පනය යම් විදිහකට සමනය කර ගැනීමට අපට අවශ්‍ය වෙනවා දෘෂ්ඨීවාදී අදහසක්. ඒක තමයි මේ සිනමාව විසින් කරමින් සිටින්නේ. මේක පැහැදිලිවම ලාංකීය ජනවිඥානය විසින් මෙහෙයවපු ඊනියා සිනමාවක්.’’
විදර්ශණ කන්නන්ගර[Vidarshana Kannangara]