[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී ලංකාණ්ඩුව නියෝජනය කරමින් හිටපු නීතිපති මොහාන් පිරීස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රබල නියෝජිත පිරිසක් සහභාගි විය. ශ්‍රී ලංකාණ්ඩුවේ වාර්තාවන්ට අමතරව මානව හිමිකම් සංවිධාන විසින් විකල්ප වාර්තා 12ක් ඉදිරිපත් කර තිබුණි. දැන් මෙම කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ. මෙම කමිටුව ස්ථාපිත කර ඇත්තේ 1987 දී බලාත්මක වූ වධහිංසා සහ අමානුෂික හා නිගරුලෙස සැළකෙන අනෙක් ආකාරයන්හි දණ්ඩනයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අනුව ය.
වධහිංසා විරෝධි කමිටුවේ සාමාජික පිරිස නොවැම්බර් 04දින එකී රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන සමඟ පැයක නිල සාකච්ජාවක් පවත්වන ලදී. එහිදී ප්‍රථමයෙන් විවිධ සංවිධාන නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ අත්අඩංඟුවට ගැනෙන පිරිස් අතුරුදහන්වීම් ඇතුළු දරුණු වධහිංසාවන්ට පැමිණවෙන බවට කරුණු ඉදිරිපත් කළහ. අනතුරුව කමිටු සාමාජික සාමාජිකාවන් විසින් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයූහ. මෙම රුස්වීම ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයිනට විවෘත නොකරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සමඟ විවෘත සාකච්ජාවක් ගෙන යාම පිණිස ය. ඒ සෑම රටක් සම්බන්ධයෙන්ම අනුගමනය කැරෙන සමාන්‍යය ක්‍රියා පරිපාටිය මිස විශේෂත්වයක් නොවේ. කමිටුවට රටවල් දහයකින් තෝරා පත් කෙරුණූ විද්වත් සාමාජික සාමජිකාවන් දස දෙනෙකු ඇතුළත් වන අතර එක් එක් රට සම්බන්ධයෙන් ඒ දස දෙනා අතුරින් අයකු ප්‍රධානියා ලෙස තෝරා පත් කරනු ලැබේ.
නොවැම්බර් 08 සහ 09 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සැසි වාරයේ දී ඉහත කී රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානයන්ට තිබුණේ නිරීක්ෂක තත්ත්වයක් පමණි. ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිත විසින් කරුණූ ඉදිරිපත් කිරීමත් කමිටු සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දීමත් එම දෙදින තුළ සිදුවිය. කමිටුව සිය අවසන් නිරීන්ෂණයන් සහ නිර්දේශයන් ඉදිරිපත් කරන ලද්දේ එම අදහස් හුවමාරුවෙන් පසු ය. මෙම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාණ්ඩුව 2012 නොවැම්බර් 25දින වන විට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.
අත්අඩංඟුවට ගැනෙන සැකකරුවනට කුරිරු වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවේ පොලීසියෙහි අටුවන් බැස ඇති දුර්ගුණයකි. අත්අඩංඟුවට ගැනෙන පිරිස් ඝාතනය කිරීම ද අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරක් දැන ගැනීමට හෝ ඉතිරි නොකර අතුරුදහන් කරවීම ද දැන් කාලයක් පුරා ශ්‍රී ලාංකික ආරක්ෂ හමුදාවන්ගේ රාජකාරියක් බවට රාජ්‍ය පාලකයින් විසින් පත් කර තිබේ. මෙම පසුබිම මත වධහිංසා විරෝධී එක්සත් ජාතින්ගේ කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ නිරික්ෂනයන් සහ නිර්දේශ ඉහළ මානව හිමිකම් අගයක් ලබා ගනී. එම නිරීක්ෂනයන් සහ නිර්දේශයන් සමහරක් හෝ දළ වශයෙන් හෝ සිංහල පාඨකයා අතට පත් කිරීම වැදගත් වන්නේ නැතහොත් මෙම ලේඛන හුදෙක් ඉංග්‍රිසි කියවන අන්තර්ජාල සමාජයේ අයිතියක් ලෙස පමණක් පවතිනු ඇති නිසා ය. එපමණක් නොව මෙම නිර්දේශ මගින් මානව හිමිකම් අපේ පා ගැටෙන ඇත්ත පොළවට ගෙන එන නිසා ය. අප මෙම නිරීක්ෂනයන් සහ නිර්දේශ රාජ්‍යයේ විවිධ මර්දනකාරී හස්තයන් කෙරෙන් වධහිංසා සහ අනෙක් අධම සැළකීම්වලට ලක්වන සියල්ලන්ගේම රැකවරණය සඳහා යොදා ගත හැක්කේ කෙසේදැයි සොයා බැලීම අත්‍යවශ්‍ය ය.
අංක 6. වධහිංසා සහ අධම සැළකීම් පෘතුලව කැරෙන බවට ඇති චෝදනා
නිරීක්ෂණය: සිය රජය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික වශයෙන් වධහිංසා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අශුමාත්‍රයකින්වත් ඉඩ නොදෙන පිළිවෙතක් යැයි ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටිය ද එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් සහ යුද ගැටුම අවසන් වීමෙන් පසු ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේත් පොලිස් අත්අඩංඟුවෙහි දී දරුණු වධහිංසා පැමිණවෙන බවට කැරෙන චෝදනා කමිටුව බරපතල ලෙස සැළකිල්ලට ගනී. තවද 2009 දී යුද ගැටුම අවසන් වීමෙන් පසු තවමත් 2011 දක්වාම පොලීසිය සහ යුද හමුදාව රටේ බෙහෝ පළාත්හිදී වධහිංසා සහ වෙනත් අධම සැළකීම් ක්‍රියාත්මක කරන බවට ඇති වාර්තා සම්බන්ධයෙන් ද කමිටුව සැළකිළිමත් වෙයි.
නිර්දේශය: වධහිංසා පැමිණවීම පිළිබඳ ඇති සියළූ චෝදනා වහාම පරීක්ෂා කිරීම, වරදට සමානුපාතික වන දඩුවම් වරදකරුවන්ට පැමිණවීම, නීතිය ක්‍රියාත්මක කරන රජයේ ආරක්ෂ සේවාවන් විසින් වධහංසා පැමිණවීම වහාම නතර කිරීම සහ වධහිංසා පැමිණවීම ප්‍රසිද්ධියේ හෙළා දැක එවැනි හිංසාකාරි ක්‍රියාවන්හි යෙදෙන නිලධරයන් පුද්ගලිකව වගකිය යුතු බවට අනතුරු හැඟවීම.
අංක 7. මූලික නීතිමය රැකවරණ
නිරීක්ෂනය: අත්අඩංඟුවෙහි සටින සියළු සැකකරුවනට, ත්‍රස්ත විරෝධී නීති යටතේ රඳවා සිටින්නන්ටත් ඇතුළුව අත්අඩංඟුවට ගත් අවස්ථාවේ සිටම මූලික රැකවරණයන් සැපයිමට රාජ්‍ය පාර්ශවය අසමත් වීම ගැන කමිටුව සැළකිල්ල යොමු කරයි. අපරාද විධිවිධාන සංග්‍රහයෙහි සැකකරුගෙන් ප්‍රශ්ණ කැරෙන අවසථාවේ දී නීතිවේදියකු ලබා ගැනීමට ඇති අයිතිය වැනි මූලික ආරක්ෂනයක් සහතික කර නැත. සැකකරුවනට වෛද්‍යවරයකු හමුවීමට අවස්ථාව ලබා දීම පොලිස් ස්ථාන භාර නිලධාරියාට පවරා ඇති අතර අත්අඩංඟුවට ගැනෙන පුද්ගලයිනට ඔවුන්ට ඇති අයිතීන් පැහැදිලි කරදෙනු නොලැබේ. නීතියෙන් ස්ථාපිත කර ඇති කාල සීමාව තුළ විනිසුරුවරයකු හමුවට නොපමුණුවන බවට ඇති චෝදනා ද ද කමිටුවේ සැළකිල්ලට ලක්වෙයි.
නිර්දේශය: සැකකරුවකු අත්අඩංඟුවට ගැනෙන අවස්ථාවේ සිටම සියළු රුදවුම්කරුවනට සියළු නීතිමය රැකවරණ සැපයිය යුතු ය. වහාම නීතිවේදියකු ලබා ගැනීමටත් වෛද්‍ය පරීක්ෂණයක් ලබා ගැනීමටත් ඉඩ සැළසිය යුතු ය. සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාවේදීම අත්අඩංඟුවෙහි දී වධහිංසා පමුණුවන ලද්දේ ද නපුරු ලෙස සළකන ලද්දේ ද යන්න මහේස්ත්‍රාත්වරයා විසින් විමසන බවට රජය සහතික කළ යුතු ය. අදාල නිලධාරින් එනම් අධිකරන වෛද්‍ය නිලධාරින්, බන්ධනාගාර වෛද්‍යවරුන්, බන්ධනාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත්වරුන් විසින් වධහිංසා පමුණුවන ලදැයි සිතීමට ඉඩක් ඇති සෑම අවස්ථාවකදීම ඒව සටහන් කොට නිසි බලධාරින්ට වාර්තා කරන බවට රජය වගබලා ගත යුතු ය.
8. රහසිගත රැදවුම් කඳවුරු
නිරීක්ෂනය: ශ්‍රී ලංකා නියෝජිත පිරිස රහසිගත රැදවුම් කඳවුරු පිළිබඳ චෝදනාව සහමුලින්ම ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සහ සමාන්තර හමුදා විසින් පවත්වාගෙන යමින් අතුරුදහන් කරවීම්, නීතියට පිටින් කරන මරා දැමීම් සහ වධහිංසා පැමිණවීම් සිදු කරන එවැනි කදවුරු ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබාදෙන ලද වාර්තා කමිටුව බරපතල ලෙස සැළකිල්ලට ගනියි.
නිර්දේශය: කිසිවකු රහසිගත කදවුරුහි රඳවා නොතැබිය යුතු ය. එවැනි කඳවුරු ඇතොත් පරීක්ෂා කොට ඒවා ප්‍රසිද්ධියට පත් කළ යුතු ය. එවැනි කදවුරු පවත්වා ගෙන යන කවරකු වුවත් ඊට වගකීමට සැළසිය යුතු ය.
9. බලහත්කාර අතුරුදහන් කරවීම්
නිරීක්ෂනය: බලහත්කාර අතුරුදහන් කරවීම් ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වෙනම ගැනෙන අපරාධයක් නොවේ. ඉට නඩු පවරනු ලබන්නේ වෙනත් නීති යටතේ ය. 2006 – 2010 කාලය තුළ සිදුවූ බවට අතුරුදහන්කරවීම් 475ක් අතුරුදහන් කරවීම් පිළිබඳ ක්‍රියාකාරි කණ්ඩායමට වාර්තා වී ඇති අතර ඊට වගකිය යුතු බවට චොදනා ලැබ තිබෙන්ෙන යුද හමුදාව, පොලීසිය, රහස් පොලීසිය,සහ සමාන්තර හමුදාවන් ය.
නිර්දේශය: දේශීය නීතිය යටතේ අතුරුදහන් කරවීම් වරදක් ලෙස ස්ථාපිත කිරීම, අතුරුදහන් කරවීම් පිළිබඳ එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමට අවසර දීම, අතුරු දහන්කරවීම් පිළිබඳ සියළු පැමිණිළි විභාග කිරීම, …
මතු සම්බන්ධයි.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]