සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights

අධිකරණය පෝරුවේ සිටුවීම


ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස නොකිරීමටත් වගබලාගනිති. ඒ ඕනෑම පුරවැසියකුට අධිකරණය ඉදිරියේ ආරක්‍ෂාවක් ඇති බව තහවුරු කිරීමටත් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය එම භූමිය තුළ ස්ථාපිත බව තහවුරු කිරීමටත්ය.

නමුත් ඒකාධිපති, අත්තනෝමතික පාලනයක් පවතින රටක ප්‍රථමයෙන්ම සිදුවන්නේ අධිකරණය දඬුකඳේ ගැසීමයි. මේ ඒකාධිපති හෝ රාජාණ්ඩු පවා කරණුයේ තමන්ට අවශ්‍ය නීති ‛‛සම්මත’’ කරගැනීමයි. පාලකයින්ගේ උවමනා අනුව සැකසුන නීති බින්ද අය නීතිය ඉදිරියේ වරදකරුවන් කර දඬුවම් පමුණුවති. උදාරහණ එමට ඇත. තාලිබාන්වරු යටතේ ඇෆ්ගනිස්තානය, පොල් පොට් යටතේ කාම්බෝජය, පිනෝ චෙට් යටතේ චිලී රට හෝ බොසාකා යටතේ මධ්‍යම අප්‍රිකන් රාජ්‍යය ගත හැක. එසේ නැතිනම් ඉඩි අමීන් යටතේ උගන්ඩාව හෝ ගඩාපි යටතේ ලිබියාව මෙන්ම මුල්ලාවරු යටතේ ඉරානය පෙන්විය හැක. තම ආධිපත්‍යය පවත්වා ගන්නා අවදියේ ඔවුන්ගේ බස ඒ රටවල නීති පද්ධතිය වූ අතර නීතියට පටහැනිවූ දහදහස් ගණනක් වධයට පත් කර මරා දමනු ලැබීය.

බටහිර අධිරාජ්‍යවාදීන්ට බැනීම අපරට තුළ පන්නයක් වී ඇත. අපරට තුළ පවතින නීති සහ අධිකරණ ක්‍රියාවලිය මෙම අධිරාජ්‍ය වාදීන්ගෙන් දායාදවූ මහඟුම වස්තුවකි. එම අධිකරණ සහ නීති පද්ධතිය තුළ යම් යම් යල්පීනූ පිළිසකර කරගත යුතුදේ ඇතුවා උවත් මුළු එකක් ලෙස ගත් කළ එය රටක ජනතාවට තම අයිතිය තහවුරු කරන තම පුද්ගලයා ආරක්ෂා කරන බවට සහතිකයක් ලබා දෙන නීති ක්‍රියා වලියකි.

නිදහසින් පසු ලංකාවේ පැවති ආණ්ඩු වරින් වර තම බලයේ ආධිපත්‍යය යටතට මෙම නීති ක්‍රමය ගැනීමට නැතිනම් බලඅධිකාරයට අවශ්‍ය ලෙස නීතිය හීලෑකරගැනීමට වෙර දරා ඇත. බටහිර නීති අධ්‍යාපනය ලද්දවුන් තම වෘත්තීය ගරුත්වය රැකගැනීම වැදගත් කොට සැලකූ බැවින් දේශපාලන අධිකාරය සහ අධිකරණය අතර සම්බන්ධය ස්වාධීනව පවත්වා ගැනීමක් දිගටම සිදුවිය. ඒනිසාම 1971 අප්‍රේල් කැරැල්ලේ දී කැරලිකරුවන්ට එරෙහිව පැවති නඩුව පවතින නීති පද්ධතිය තුළ ඔවුන්ට කැමති ආකාරයට කළ නොහැකි බව දුටු සභාග රජය (සිරිමා, ෆීලීක්ස්, කොල්වින්, ඇන්.ඇම්) තම සිතැඟි පරිදි අධිකරණය ක්‍රියාත්මක කර වීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් පනත සම්මත කරගනු ලබයි.

අගවිනිසුරු එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතාගේ නායකත්වයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මෙම කොමිසමේ නියෝජතයින් වෙයි. දේශපාලන උවමනාව මත ක්‍රියාත්මකවන මෙම මඬුල්ල අප්‍රේල් කැරැල්ල ප්‍රධාන නඩුවේදී බල ගතු නීති වරදක් කරනු ලබයි. රෝහණ විජේවීර මහතාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන විට උසාවිය තුළ සිටි එස්. නඩේසන් රාජනීතිඥයා සිනාසී උසාවියෙන් පිටවී යයි. එච්.එන්.ජී. ප්‍රනාන්දුට තම වරද වැටහුනේ එවිටය. පනත අනුව ජීවිතාන්තය දක්වා දඬුවම් දිය හැක්කේ මිනීමැරුම් චෝදනාවකට පමණි. විජේවීරට එරෙහිව මිනී මැරුම් චෝදනාවක් නොවීය.

ජේ.ආර්. විසින් විධායක ජනාධිපතික්‍රමය ඇතිකිරීම තුළින් ඔහු අධිකරණය විධායකයට නතුකර ගැනීමේ ක්‍රියාවලිකයට කැසකැවු මුත් එය සාර්ථක නොවීමෙන් විනිශ්චයකරුවන් ගේ ගෙවල් ඉදිරිපිට හූ කියවීම පෙළපාලියාම ආදිය තුළින් ඔහු අධිකරණයට අපහාස කරවනු ලැබීය.

චන්ද්‍රිකාගේ කාලයේදී සරත් සිල්වා චන්ද්‍රිකා සමඟ සහයෝගයට යමින් අධිකරණයේ ස්වාධීනත්වය බාල්දු කළ අතර නඩු තීන්දු ගණනාවක්ම ප්‍රශ්ණ සහගත ඒවා වූ බව ඒ දිනවල සාකච්ඡාවට බඳුන් විය. රාවය පුවත පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් සරත් සිල්වාගේ ක්‍රියාත්මක වීම් සංවාදයක් බවට පත් කරවනු පවා ලැබීය.

මේ අතර රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ඒමත්, වසර 25ක යුද්ධය ජයග්‍රහණය කිරීමත් එතෙක් කලක් නොවූවිරු ලෙස සිංහල සමාජය උන්මාදයක ගිල්වා තෝන්තු ගන්වනු ලබන අතර දෙමළ සමාජය අනාථ බවට පත්කරනු ලබයි. යුද්ධය ජයගෙන වසර දෙකහමාරක් ගත වූ තැන සිංහල සමාජය මේ තොන්තු වීමෙන් තාමත් පූර්ණව මිදී නොමැත. ලංකා සමාජය ද්‍රවීකරණය වී හමාරය. පාලක අධිකාරය තම සිතැඟි ලෙස සියල්ල කිරිමට තොන්තු වී ඇති සිංහල සමාජයෙන් වරම් ලබති. 17වන ව්‍යවස්ථා සංශෝධනය අභිබවා 18වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වෙති. ජනාධිපති ප්‍රශ්න කළ හැකි කිසිවකු නොමැති අතර නීතිය ඔහු යටතට පත්වෙති. ජනාධිපති යනු සියල්ල අභිබවා ඇති අධිපතියා බවට පත්වෙති.

රටක රාජආණ්ඩුවක් පවතින විට එමරට තුළ මෙම රාජආණ්ඩුවට ආවේනික චාරිත්‍ර පද්ධතියක් වෙයි.

ඔටුනු පලන් රජවරු මේ ආචාර ධර්ම අනුව තම සිතැඟි අනුව රට පාලනය කරයි. නමුත් ඔටුනු නොපලන් රජවරු රටකට ඇතිවූ විට තත්ත්වය මෙයට වෙනස්ය. ආචාරධර්ම සහ චාරිත්‍ර නැති මොවුන් තමන් කැමතිදේ කරති. තමන් සිතන දෙය කිරීමේ චාරය මොවුන් සතුය. ආලින්දය මුළුතැන් ගෙය ලෙසත්, මුළුතැන් ගෙය වැසිකිලිය ලෙසත්, උද්‍යානය සුසාන භූමිය ලෙසත් ගැනීමට මොවුන් මැලිනොවෙති. ඒ තමන්ගේ අධිපති බැවින් හිස් උදුම්මාගෙන තමන්ගේම මහන්තත්ත්වයෙන් තමන්ව මෝහනය වීම තුළිනි.

රාජපක්ෂ බල අධිකාරය මෙතෙක් ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් අධිකරණය කෙලෙසීම අරඹයි. මහාධිකරණයෙන් දඬුවම් ලබන අයට වහාම ජනාධිපති සමාව දී නිදහස් කරයි. මිනීමැරුම් සහ බලහත්කාරකම් ගැන චූදිතයන් චෝදනා ඉවත්කර නිදහස් කරති. පැරණි නඩු තීන්දු ආපස්සට හරවති. වංචා ගැන දඬුවම් ලද නිලධාරීන් ඒ චෝදනාවලින් නිදහස්කර ඔවුන්ට නැවත රටේ ඉහළම තනතුරු ප්‍රධානය කරති. ජීවිතාන්තය දක්වා සහ මරණ දඬුවම් ලද අය එසැනින් ජනාධිපති සමාව ලැබ ගෙදර යවති. මෙසේ එකක් පසුපස එකක් ලෙස අධිකරණ ක්‍රියාවලිය කෙලෙසීම අරඹති.

අධිකරණය යනු ජනතා පරමාධිපත්‍යය නම් මේ සිදුවෙමින් පවතින්නේ ජනාධිපති බල අධිකාරය විසින් ජනතා පරමාධිපත්‍යය දූෂණය කිරීමයි. එවිට ජනයාට අධිකරණය ගැන විශ්වාසයක් නැතිවන අතර ඔවුන් නීතිය තම අතට ගන්නා තත්ත්වයක් ඇතිවෙයි. මේ තත්ත්වය වරින් වර දොම්පෙ, රත්නපුරය, අඟුලාන, කරන්දෙනිය ආදී ලෙස විද්‍යාමාන වෙයි.

සරත් ෆොන්සේකාට එරෙහිව අසන නඩුවලින් නීතියට සිදුවී ඇති දෙය ලොවටම පෙන්නුම් කරයි. නීතිමය ගැටලු මැද හමුදා අධිකරණයකින් වරක් දඬුවම් ලද ඔහුට දැන් ඉතා පක්ෂපතී සහ පරස්පර සහිත නඩු විභාගයකින් දඬුවම් කරනු ලබයි.

වරින් වර පාලකයන් අධිකරණයට බලපෑම් කර ඇත්තේ වෙනත් වෙනත් ආකාරයන්ගෙනි. වරෙක ඔවුන් අධිකරණය දඬුකඳේ ගසා ඇත. තවත් තැනක තෑගිබෝග සහ තාන්න මාන්නයෙන් පිදුම්දී බලපෑම් කර ඇත. තවත් තැනක බලය යොදවා බිය ගන්වා ඇත. නමුත් මේ සියල්ලටම වඩා අද අලුත්ම ක්‍රමයක් රාජපක්ෂ බල අධිකාරය සොයාගෙන ඇත. ඔවුන් අධිකරණය පෝරුවේ සිටුවා තිබේ. මනමාලිය ඇතුලු පිරිවරට හනිමූන් සඳහා විදෙස් සංචාරයක්දී නැවත රටට එනවිට මනමාලියට උසස් වීමක්ද පිදුම් දෙයි.

ඉතින් නීතිඥ මහත්වරුනි, විනිශ්චකාරවරුනි, වරියනි, ඔබගේ වෘත්තියේ ගරුත්වය, සදාචාරය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගැනීමට දැන් ඔබට වාරය පැමිණ ඇත. එසේ නොමැති නම් ස්වාධීන අධිකරණයකට ජනතා පරමාධිපත්‍යයකට ලංකා භූමිය තුළ ඉඩක් නොමැති වනු ඇත.

එවිට ජනතාව සිදුවන්නේ හැබෑවටම උසාවිවලට ගල් ගැසීමට සහ නීතිය තමන් විසින්ම තමන් අතට ගැනීමටයි. එය සමාජයකට සෞඛ්‍යය දායක දෙයක් නම් නොවෙති.

රංජිත් හේනායකආරච්චි[Ranjith Hennayakaarchchi]