සිංහල පාඨකයා ඉදිරියේ ‛බුද්ධිමතෙකු’ වීම සහ තක්කඩියෙකු වීම එක විට කළ හැකි සරළ සූත්‍රයක් තිබේ. එය අනු අංග කිහිපයකින් සමන්විතයි. එකක් මෙසේය: ඔබ ලියන ලිපියේ ඇති සිංහල වචන ඉදිරියෙන්, හැකි හැම විටකම වරහන් තුළ එහි ඉංග්‍රීසි වචනය යොදන්න. (අජබජසදන වශයෙන් එය මුද්‍රණය වී තිබුණත් කමක් නැත). උදාහරණයක් වශයෙන් ‛යහපාලනය’ යැයි ලියන විට වරහන් තුළ (ගුඩ් ගව්නන්ස්) යන ඉංග්‍රීසි යෙදුමත් බහාලන්න. එසේම, පශ්චාත්=මාක්ස්වාදය යැයි ලියන විට වරහන් තුළ ‛පෝස්ට් මාක්සිසම්’ යැයි ලියන්න. යුරෝ කොමියුනිස්ට්වාදය යැයි ලියන විට වරහන් තුළ ‛යුරෝ කොමියුනිසම්’ යැයි සඳහන් කරන්න.
‛යහගුණ’ යැයි මා ලියන විට ඕනෑම පාඨකයෙකුට ‛යහ’ යන වචනයේ අරුත වැටහෙන බව මම දනිමි. එසේම, ‛නරක පාලනයක්’ යැයි මා කියන විට ‛පාලනය’ යන්නෙන් මා අදහස් කරන්නේ කුමක් දැයි ඉලක්ක පාඨකයාට වැටහෙන බවත් දනිමි. යම් හෙයකින් කිසියම් යෙදුමක් දුරවබෝධ වෙත් නම්, (උදාහරණයක් වශයෙන් ‛‛ප්‍රපංචය’’ වැනි වචනයක්) අදාළ ලිපියේ සන්දර්භය තුළ එහි අරුත්ගැන්වීම හැකි තාක් මතු කෙරෙන බවට ලේඛකයා වගබලාගත යුතුය. එසේ නොවන ‛යහපාලනය’ වැනි යෙදුමක් ඉදිරියේ පවා අර ඉංග්‍රීසි යෙදුම දැමීමෙන් මා කරන්නේ ඔබ ඉදිරියේ ‛පොරක්’ වීමයි. එය මගේ බුද්ධිමය ප්‍රතිරූපයට අත්‍යාවශ්‍ය යි.
දැන්, අර්ථමය වශයෙන් එතරම් සරළ නැති යුරෝ කොමියුනිස්ට්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැ යි නොතේරෙන සිංහල පාඨකයාට, වරහන් තුළ ඇති ‛යුරෝ කොමියුනිසම්’ යන වචනයෙන් කුමක් අදහස් වන්නේ දැන ගැනීමට ක්‍රමයක් නැත. පශ්චාත්=මාක්ස්වාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි නොදන්නා සිංහල පාඨකයාට වරහන් තුළ ඇති ‛පෝස්ට් කොමියුනිසම්’ යන ඉංග්‍රීසි වචනයෙන් අදහස් කරන්නේ කුමක් දැ යි තේරෙන්නට පුලුවන් කමක්ද නැත. එසේ නම් මා ඉංග්‍රීසි වචනයක් මගේ සහායට ගෙනෙන්නේ ඇයි? මා බුද්ධිමය මලබද්ධයෙන් පෙළෙන නිසාය.
බුද්ධිය සහ ඉංග්‍රීසි දැනුම යනු එකක්ම යැයි ගත් සමාජයක (ඉංග්‍රීසි දන්නා එකා බුද්ධිමතෙකි, ඉංග්‍රීසි නොදන්නා එකා ගොබ්බයෙකි ආදී වශයෙන්) බුද්ධිමය මලබද්ධයෙන් පෙලෙන මෙවැන්නෝ වෙනත් කාරණාවලදී ‛යටත්විජිතවාදය’, ‛අධිරාජ්‍යවාදය’ ‛නවලිබරල්වාදය’ වැනි වචනවලට තඩිබෑමට උත්සුක වන මුත්, එම විජිතවාදියාගේ ඉංග්‍රීසි තෙල්සායම් ආලේප කරගැනීමේ පුහු අභ්‍යාසයත් යටත්විජිතවාදයේම සංස්කෘතික කරුමයක් බව, මලබද්ධය නිසා අමතක කරති. ඊළඟට මෙවැන්නෝ, පහසුවෙන් තේරුම්ගත හැකි සිංහල යෙදුම් පවා හැකි තාක් දුෂ්කර කරති. උදාහරණයක් වශයෙන්, ‛ටහිරි සතරැස’ යන්න ගන්න. මේ කියන්නේ, ‛තහිරි චතුරශ්‍රය’ යන්නයි. මා ‛නිදහස් චතුරශ්‍රය’ යැයි කී විට ඔබට එය පහසුවෙන් වැටහෙයි. එසේ තිබියදී ‛නිදහස් සතරැස’ යැයි මා කියන්නේ ඇයි? මා මලබද්ධයෙන් පෙළෙන නිසාය.
එක විට බුද්ධිමතෙකු සහ තක්කඩියෙකු වීමේ තවත් අත්දුටු ක්‍රමයක් තිබේ. ඒ මෙසේය: ඔබ ලියන ඕනෑම දෙයක් සනාථ කිරීම සඳහා හෝ ඔබ කියන දෙයට විදග්ධ බරක් පැටවීම සඳහා විවිධ නාමධාරීන් කැඳවන්න. උදාහරණයක් වශයෙන්, සිසැක්, ෆුකෝ, බනාජි, ලැකාන්, මූෆේ, ග්‍රාම්ෂි ආදී වශයෙනි. එසේ වන විට සිංහල පාඨකයා වෙනුවෙන් කිසිවක් ඔප්පු කොට පෙන්වීමේ වගකීම ඔබට නොපැවරේ. මන්ද යත්, සිංහල පාඨකයා නොදන්නා ඉහත සඳහන් වෙනත් කෙනෙකු ලෝකයේ වෙනත් තැනක එය දැනටමත් ඔප්පු කොට ඇති බැවිනි.
මෙවැනි උපක්‍රම මගින් තමාගේ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කළ පසු ඊළඟට මෙවැනි බුද්ධිමතුන් කරන්නේ එම හයියෙන් වාස්තවිකයට හෙවත් මහ පොළොවේ දේශපාලනයට ගුරුහරුකම් දෙන දිසපාමොක් භූමිකාව කරට ගැනීමයි. එවිට, ‛යටත්වැසියා වෙනුවට පුරුවැසියා’ යන්න තමන්ගේ ක්‍රමයට ඔවුහූ ‛විසංයෝජනය’ කරති. ඒ මෙසේය. ‛‛මා නම් ගනුදෙනු කරන්නේ පුරවැසියන් සමග නොව, යටත්වැසියන් සමගය.’’
පුරවැසියා යනු කවුද? ඉතා කෙටියෙන් සහ සංක්ෂිප්තව පවසතොත්, තමා පාලනය වන සමස්ත පරිමණ්ඩලය= එනම්, දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික අවකාශය තුළ තමා සක්‍රීය සමාජ ජීවියෙකු විය යුතු බව වටහාගත් පුද්ගලයා ය. තමා වනාහී අයිතිවාසිකම් සහ වගකීම් සහිත සමාජ සත්වයෙකු බවත්, එම අයිතිවාසිකම් ලබා ගැනීමේ ‛‛වගකීම’’ පැවරෙන්නේ තමාටම බවත් වටහාගත් පුද්ගලයා ය. මෙසේ තමාව ඥානනය නොකරන්නා යටත්වැසියෙකි. මේ අනුව බලන කල, විද්‍යාඥයන්, දාර්ශනිකයන් සහ කලාකරුවන් අතරේ යටත්වැසියන් සිටිය හැකි අතර කම්කරුවන්, ගොවියන් සහ නිර්ධනීන් අතරේ පුරවැසියන් සිටිය හැකිය.
ඊළඟට, ජන්මයෙන් කිසිවෙකු පුරවැසියෙකුවත්, යටත්වැසියෙකුවත් නොවන නිසා, අද යටත්වැසියා හෙට පුරවැසියෙකු වීමට ද පිළිවන. අනිත් අතට, එක විෂයයක දී පුරවැසියෙකු වන තැනැත්තා (පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ගොවියා හෝ වැටුප් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයා) තවත් විෂයක දී (18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ) යටත්වැසියෙකු වීමටත් පිළිවන. මෙයින් පැහැදිළි වන්නේ, පුරවැසියා යනු ‛තමාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නා කෙනෙකු නොවිය යුතු’ බවයි. එසේම, යටත්වැසියා යනු, තමාගේ අයිතීන් සහතික වන්නේ, අවසාන විග්‍රහයේ දී, අනිකාගේ අයිතීන් ද ආරක්ෂා කිරීමෙන් පමණක් බව තේරුම් නොගන්නා තැනැත්තාය.
දැන් යම් සමාජයක, යම් මොහොතක ජීවත්වන අතිබහුතරය යටත්වැසියන් වන්නේ නම්, එම සමාජයේ අනාගතය යහපත් විය නොහැකි බව අපට අනුමාන කළ හැකිය. එසේම කිසි සමාජයක් මොන තරම් දියුණු වුවත්, පුරවැසියන්ගෙන් පමණක් සමන්විත වන්නේ නැති බවත් අප දන්නේය. එහෙත්, යටත්වැසියන්ගේ අවකාශය ගුණාත්මක වශයෙන් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් පුරවැසි භාවිතයක් එවැනි රටක ඇත්තේය.
පසු ගිය කාලයේ ‛‛පුරවැසි අයිතිය’’ සංවිධානය ‛තොරතුරු දැන ගැනීමේ අයිතිය’ සඳහා පෙනී සිටියේය. දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙනී සිටියේය. මේ වනාහී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සමස්ත අරගලය තුළ ඉතා සුළු භූමිකාවන් වීමට පිළිවන. එසේම, මේ යුගය වනාහී, මහා ආඛ්‍යාන වෙනුවට (නිර්ධන පංති ආඥාදායකත්වය) චූල ආඛ්‍යාන (තහීර් චතුරශ්‍රය) සාර්ථකත්වයෙන් යුතුව ආදේශ වන යුගයක් බවත් අප අමතක නොකළ යුතුය. ඉතිං, ‛‛යටත්වැසියන් නොවී පුරවැසියෝ වෙමු’’ යනුවෙන් උද්ඝෝෂණ කරන විට ඉහත සඳහන් ‛‛පුරවැසි අයිතිය’’ සංවිධානය ආමන්ත්‍රණය කෙළේ යටත්වැසියන්ට මිස පුරවැසියන්ට නොවන බව අදාළ සිංහල උද්ධෘතය නිවැරදිව කියැවිය හැකි ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. භාවිතයෙන් ගත්තත්, මෙය කොළඹට පමණක් සීමා නොකොට කුරුණෑගල, මීගමුව සහ මාතර වැනි ප්‍රදේශවලට ද ගෙන යන ලදි. ඉදිරියට, නුවර, බදුල්ල, අනුරාධපුරය සහ යාපනය වැනි ප්‍රදේශවලටත් එය ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතයි.
එසේ තිබිය දී මේ සිවිල් ක්‍රියාකාරීත්වයට සිනාසෙමින්, තමන් නම් ‛‛ගනුදෙනු කරන්නේ යටත්වැසියා සමග මිස පුරවැසියා සමග නොවන’’ බවට ඇනුම්පද කියන මේ ඊනියා බුද්ධිමත්තු තමන්ගේ කිසි ලේඛනයක අන්තර්ගතය සහ ආකෘතිය තුළ පුරවැසියාටම මිස යටත්වැසියාට ආමන්ත්‍රණය නොකිරීම මෙහි ඇති ලොකුම විහිළුවයි. දේශපාලනික වශයෙන් ගත් කල, එය අධි ආරක්ෂිත උපාය මාර්ගයකි. මාක්ස්වාදී සිද්ධාන්ත පිළිබඳව ප්‍රසිද්ධියේ සංවාද කිරීමට ඔබ බිය විය යුතු නැත. ඊට ‛නිදහස’ තිබේ. එහෙත්, යුද විරෝධියෙකු වීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුව තිබුණි. එබැවින්, මාක්ස්වාදී දවටනයේ ඔතා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට’ එදා මෙවැනි බුද්ධිමත්තු තමන්ට හැකි පමණින් සහාය වූහ. යුද ජයග්‍රහණයෙන් පසුව අපේක්ෂා කළ සව්සිරිය වෙනුවට අද සමස්ත සමාජය හමුදාකරණය වෙද්දී, රාජ්‍යය යන කේන්ද්‍රීය ආයතනයමත් පෞද්ගලීකරණය කෙරෙද්දී (එනම් පවුල් බලකොටුවක් බවට පත්කර ගැනෙද්දී), ‛‛මම මාක්ස්වාදී සුසමාදර්ශය තුළ පිහිටමින් පර්යේෂණ කරමි’’ යි මොවුහූ දෙසති. එසේ ‛පර්යේෂණ’ කරන අතරේ, ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කෙරුණි. එක්නැලිගොඩව අතුරුදහන් කෙරුණි. පෝද්දල ජයන්තගේ කොඳු කැඩුණි. ඒ කාලයේත් මෙවැන්නන් කෙළේ ‛පර්යේෂණ’ කිරීමයි. ඒ ‛පර්යේෂණවල’ වියදම, සිවිල් ජීවිත වශයෙන් පමණක් හතළිස් දහසකැ යි කියැවේ. ඒත් කමක් නැහැ. ‛ත්‍රස්තවාදය තුරන් විය’.
ඉතිං, ගුත්තිල අහසට වීසි කළ ගුලියේ ආනුභාවයෙන් මධුර සංගීතය රස විඳින්නට මොවුහූ හරිබරිගැහී වාඩි වූහ. සංගීතය නොපමාව ආවේය. මේ රටේ ප්‍රජාතාන්ත්‍රීය ශිෂ්ටත්වය අවම වශයෙන්වත් ආරක්ෂා කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමුණි. බලය කොල්ලකෑමේ 18 වැනි ව්‍යවස්ථාව නීතිගත කෙරුණි. රජවරු බලයට පත් කෙරුණි. ඉතිරිව තිබූ එකම ප්‍රජාතන්ත්‍රීය ආයතනය වූ අධිකරණයත් පරාධීන කෙරුණි. ඒ සියල්ල මැද්දේ, සුදු වෑන් රිය අදටත් නිරුපද්‍රිතව සැරිසරයි.
තවමත් ඔවුහූ ‛මාක්ස්වාදී සුසමාදර්ශය තුළ පර්යේෂණ’ කරති.
එවැනි ‛පර්යේෂණ’ මගින් ඔවුන් සොයාගන්නා සත්‍යයන් මෙසේය: ‛‛හෙට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමා එයට වඩා ‛හොඳ’ ආණ්ඩුවක් හදාගත හැකිය සහ යුතුය යන්න මගේ ආසන්න න්‍යාය පත්‍රයේ කොටසක් නොවේ.’’ දැන්, ‛මගේ’ යන්න වෙනුවට, අද කැබිනෙට්ටුවේ සිටින ඇමතිවරුන්ගෙන් භාගයකගේ නම් මේ ප්‍රකාශයට ආදේශ කරන්න. ඔවුන් කවුරුත් ඔබ සමග පෞද්ගලිකව කතා කළොත් එම අදහසම අනුමත කරනු ඇත. එහෙත්, ‛හෙට’ වෙනුවට ‛අනිද්දාට’ එවැනි තත්ත්වයක් ඇති වෙතොත්, ඊජිප්තුවේ මුබරක්, ටියුනීසියාවේ බෙන් අලී සහ ලිබියාවේ ගඩාෆිගේ ඇතැම් සගයන් කළා සේ, එම න්‍යාය පත්‍රය තුළ ඔවුන් ද පෙනී සිටිනු ඇත. තව දුරටත් ඔවුහූ මෙසේද කියති: ‛‛එය හෙට දවසේ මගේ න්‍යාය පත්‍රය නොවන්නේ මන්ද යත්, මා ආමන්ත්‍රණය කරන ජන කොටසෙන් වැඩි කොටසක් තවමත් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ වන බැවිනි’’. දැන්වත් ඔබට මේ බුද්ධිමතුන්ගේ තක්කඩි භූමිකාව පැහැදිළි ද? ඔබ වෙනුවෙන් යමක් කිරීමට ඔවුන් කැපවන්නේ, අද එක්සත් ජනතා සන්ධානයේ සිටින බහුතර ජන කොටස කවදා හෝ සුළුතරයක් වු දවසට ය.
දේශපාලනය යනු කුමක් ද? බහුතරය මහින්ද රාජපක්ෂට විරුද්ධ වූ පසුව එම බහුතරය සමග අත්පොලසන් දීම සහ කිරිබත් කෑමද, එසේ නැතහොත් මහින්ද රාජපක්ෂ සමග සිටින බහුතරය මගේ පැත්තට දිනා ගැනීම සඳහා අද වැඩ කිරීම ද? තවත් විදිහකින් කිවහොත්, බහුතරය මහින්ද රාජපක්ෂට විරුද්ධ වන දවසින් පසුව එය මගේ න්‍යාය පත්‍රය බවට මා පෙරලා ගන්නේ ඔබ වෙනුවෙන් එදාට පොල් ගෑමට ද? පවතින ආණ්ඩුවක් වෙනස් කර ගැනීමේ දේශපාලනය යනු ක්‍රියාවලියක් මිස ඒකල ක්‍රියාවක් නොවන්නේය. එබැවින්, මහින්ද රාජපක්ෂ පෙරලා දමා වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ උපන්‍යාසය තමාගේ වාසිය සඳහා ‛හෙටක්’ තුළ කොටු කර ගැනීමම, ‛‛බාලගිරි දෝෂය අද නොවේ හෙට’’ වැනි ස්වයං සන්තෘප්ත කියමනකි.
නග්න සත්‍යය වන්නේ, තමන් ගනුදෙනු කරන්නේ යටත්වැසියා සමග යැයි කියන විට මෙවැන්නන් එයින් අදහස් කරන්නේ වෙනම කාරණයක් වීමයි. ‛සංස්කෘතික සාපේක්ෂතාවාදය’ නමින් ගැනෙන සංකල්පය මෙහි දී අදාළ වෙතත් ඒ ගැන ලියා පාඨකයා වෙහෙස කිරීමට මම නොවෙහෙසෙමි. ඒ වෙනුවට අපි මෙසේ කියමු. දෙමළාගේ ලෝකයට ප්‍රවිශ්ඨ විය යුත්තේ සිංහලයාගේ සහ බෞද්ධයාගේ පර්යාය ලෝකය මාලිමාව කර ගැනීමෙනි. මහින්ද රාජපක්ෂගේ පාලනය දෙස බැලිය යුත්තේ, මේ මොහොතේ පොදු ජනතාවට ඉදිරියෙන් සිට ගැනීමෙන් නොව ඊට පසෙකින් සිට ගැනීමෙනි. (හරියට, පැත්තක සිට නුවර පෙරහැර නරඹන්නා සේ ය). එනම්, එක විට ජාතිකවාදී සහ ජනතාවාදී වීමෙනි. මෙවැනි බුද්ධිමතුන් නලින් ද සිල්වා වැන්නන්ගෙන් සපුරා වෙනස් ය. නලින් ද සිල්වා සිංහල බෞද්ධයාව ව්‍යාකූල කරන්නේ නැත. ඒ සඳහා ඔහු නාථ දෙවියන් දක්වාම යයි. සැබෑ වර්ගෝත්තමවාදයක් වෙනුවෙන් නාථ දෙවියන් සරණ යාම, වර්ගෝත්තමවාදයට එරෙහි ව්‍යාජ විරෝධයක් වෙනුවෙන් මාක්ස්වාදය පස්සේ හැංගීම තරම් කුහක නැත. මන්ද යත්, මෙවැනි බුද්ධිමත්තු මෙසේද කියන බැවිනි: ‛‛සිංහල වර්ගෝත්තමවාදය හරහා පමණක් මෙරට හෙජමොනියක් ගොඩනැගිය නොහැකි බව 1994 සහ 2002 මැතිවරණ මගින් සනාථ කෙරිණ.’’ මෙය වර්තමානයට අදාළව, හුළං ගිය බැලුමකි. මන්ද යත්, මේ ප්‍රකාශයේ තාර්කික වලංගු භාවය කල්පිරෙන දිනයක් තිබුණු බැවිනි. ඒ, 2009 මැයි 19 වැනි දා ය. මේ දිනයෙන් පසු ගොඩනැගුණේ වෙන කිසිවක් නොව සිංහල වර්ගෝත්තමවාදයේ හෙජමොනියයි. ජරමානු ආර්ය හෙජමොනිය පරාජය කිරීමට සාර්ථක (ලෝක) යුද්ධයක් අවශ්‍ය කළා සේම අනිත් පැත්තට ලංකාවට ද ‛සාර්ථක’ යුද්ධයක් අවශ්‍ය කෙළේය. ඒ, ආර්ය සිංහල හෙජමොනික අභිප්‍රායයන් පරාජය කිරීමට නොව, එය සංයුක්තව ස්ථාපිත කිරීමටයි. එසේ තිබිය දී, 1994 සහ 2002 මැතිවරණ වෙත තවමත් ඇඟිල්ල දිගු කිරීමෙන් කෙනෙකුට කළ හැක්කේ, වර්ගෝත්තමවාදී හෙජමොනියක අදටත් අප ජීවත්වන්නේය යන කටුක යථාර්ථය වසං කිරීම පමණි.
ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]