සිංහල, IDPs and refugees, Kurunegala, Life quips

උසාවියෙන් කතාවක්

උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක් විතර වෙන තවත් පොඩි කෙල්ලෙක් වාඩි වෙලා හිටියා.
ඇසිල්ලකින් අර පොඩි කෙල්ල එළියේ අඬමින් හිටපු පොඩි එකා ළඟට දුවගෙන ආවා. මේ දෙන්නා අක්කයි මල්ලියි. අම්මා යුද්දෙදි මිය ගිහින්. තාත්තත් එක්ක මේ දෙන්නා හිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ. කලින් දා රෑ මේ දෙන්නාගේ තාත්තා මිය ගිහින්. කකුළට වෙඩි වැදිලා ප්‍රතිකාර ගනිමින් හිටපු ඔහු මිය ගිහින් තියෙන්නේ තුවාලයට විෂබීජ ගිහින්. දැන් මේ පොඩි උන් දෙන්නා බලාගෙන ඉන්නේ තමන්ගේ ජීවිතේ අනාගතය ගෙවෙන්නේ කොතනද කියලා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුව දැන ගන්න.
අඬ අඬ හිටපු පොඩි එකා අක්කා ළඟට ආපු ගමන් ඇඬිල්ල නවත්තලා අක්කට තුරුල් වුණා. කවුදෝ කෙනෙක් මේ පොඩි උන් දෙන්නට කිරි පැකට් දෙකකුයි ඇපල් ගෙඩි දෙකකුයි ගෙනත් දුන්නා. අක්කා කිරි පැකට් එක බොන විදිය මල්ලිට කියලා දෙනවා දැකපු හැමෝගෙම ඇස් වලට කඳුලු ආවේ මේ දරුවෝ දෙන්නගේ බැඳීම දැකලා.
කොලු පැටියා නිකමට වගේ අත උස්සනවත් එක්කම අතෙන් ලේ ගලාගෙන ආවා. අත යට තිබුණ තුවාලෙට පුළුන් ඔබලා බෙහෙත් දාලා තිබුණේ. තුවාලේ පෑරිලා ලේ ගලනව එත් පොඩි එකා වේදනාව ඉවසගෙන අත පිරිමැද ගන්නවා එතන හිටපු හැමෝම දැක්කා.
අම්මයි තාත්තයි දෙන්නම අහිමි වෙලා කාත් කවුරුවත් නැති නොදන්නා භාෂාවක් කතා කරන මිනිස්සු අතරේ මේ දරුවෝ දෙන්නා බලාගෙන ඉන්නේ අද ඉඳන් ජීවිතේට තීරණයක් ලැබෙනකම්.
මේ වෙගේ සිදුවීම් සිය දහස් ගනනක් අපේ රටේ ඇති. මේ දරුවො ලොකු වෙලා තමන්ගේ දෙමව්පියන්ට ඒ ඉරණම අත් කරලා දීපු අයට වෛර බඳියි. මේ වගේ කතන්දර සිය දහස් ගනනක් එකතු වෙලා සිංහල සහ දමිල ජාතීන් අතර තව තවත් දුරස් බවක් ඇති වෙන එක නවත්තන එකයි සැබෑ ජයග්‍රහණක් වෙන්නේ.
මේ දරුවන්ට අනාගතය දිහා සුබවාදීව බලන්න ඉඩ සලසන එක අපි හැමෝගෙම වගකීම. එහෙම නැති වුණොත් සිංහල රටේ හමුදාව අපේ අම්මයි තාත්තයි මැරුවා කියලා මේ දරුවෝ මේ පොළවට සාප කරාවි.

මැණිකේ