Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදියා සහ ලංකා සමාජය


‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි. 87 – 90 කාලය තුළ නැවත ජ.වි.පෙ. ඇතුලු ඔවුනගේ සටන් පෙරමුණද මෙලෙසම හඳුන්වනු ලබයි. ඉන් පසු අවදියේදී මුළු සිංහල සමාජයම(ඉතාම සුළුතරයක් හැර) දෙමළ ‛‛ත්‍රස්තවාදීන්’’ ගැන හඬනගයි. ලංකාවේ පවතින සියලුම පාහේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මේ හඬ සිංහල සමාජය තුළ නිදන්ගත කිරීමට පෙරමුණු ගත් අතර ත්‍රස්තවාදය = එල්.ටී.ටී.ඊ. නැතිනම් දෙමළ කොටි = ත්‍රස්තවාදීන් යන්න සිංහල සමාජ මනසට කාවද්දනු ලබයි.

මෙම ත්‍රස්තවාදය යන වචනය එල්.ටී.ටී.ඊ යට කොතරම් ගම්‍ය වී ඇත්ද යත් සිංහල සමාජය අද කෙනෙකු එල්.ටී.ටී.ඊ කාරයකුයි හඳුන්වන්නේ ඔහු හෝ ඇය ත්‍රස්තවාදියෙකුයයි පැවසීමටයි. ඒවාගේම වෘත්තීය සමිති අරගලයක්, සිසු අරගලයක් වැනි තම අයිතීන් ඉල්ලීම එල්.ටී.ටී.ඊ. යට උඩ ගෙඩි දීමක් ලෙස හඳුන්වන අතර මිනිස් අයිතීන් ගැන කතා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන. අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ගැන කතා කරන සැමට දමාගසන වචනය ත්‍රස්තවාදය වී හමාරය.

පවතින දේශපාලන බල අධිකාරය විවේචනයට ලක් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ලඝු කළ හැකි තරමට මෙම ත්‍රස්තවාදය යන වචනය සමාජ මනසට කිඳා බස්සවා ඇත. රටේ පවතින නීතිය අපක්ෂපාතී විය යුතුය පවසන කෙනෙකුට ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙතියි චෝදනා කරති. අවසාන විග්‍රහයේ දී පවතින දේශපාලන බල අධිකාරයේ උදව්කරුවන්, ආවතේවකරුවන්, වන්දිබට්ටයන් හෝ කටු ලෙවකන්නන් හැර අන් අය ත්‍රස්තයන්ට හිතවත් අය යන්න සමාජ ගත කර හමාරය. රාජපක්ෂවරු එය මෙසේ ප්‍රසිද්ධියේම පවසති. ‛‛මේ රටේ ජීවත් වන්නේ වර්ග දෙකක මිනිසුන්ය. රටට ආදරය කරන අප සමඟ එක්ව සිටින දේශප්‍රේමීන් සහ රටට එරෙහිව ත්‍රස්තයන්ට සහය දෙන දේශද්‍රෝහීන්ය.’’

කෙසේ වුවද ත්‍රස්තවාදය සහ ත්‍රස්ත්‍රවාදීන් යන වචන මෙන්ම මුලු සමාජයම ත්‍රස්ත්‍රයෙන් ඇලලී ගිය වකවානු පසුගිය වසර 40ක ඉතිහාසය පුරාම ලංකා සමාජය තුළ පිරී තිබුණි.

පළමු වෙන්ම ‛‛ත්‍රස්තවාදීන්’’ කළ එළිබසින 71 කැරැල්ලට එක්ව සිටියේ සිංහල බෞද්ධ පදනමක් ඇති එක්තරා උගත් බවක් ද හිමි තරුණ තරුණියන් වෙති. එමෙන්ම බෞද්ධ භික්ෂූන් විශාල ප්‍රමාණයක් ද මේ කැරලිකරුවන් අතර විය. මේ අයව ලංකා දේශපාලන සමාජය හැඳින් වූයේ ත්‍රස්තවාදීන් ලෙසිනි. මේ තරුණ තරුණියන් ‛‛ත්‍රස්තවාදීන්’’ හෝ කැරලිකරුවන් වන්නේ ඇයි? යන පැනය ඇසීම එදා ලංකා දේශපාලනය සහ ලංකා සමාජය හිතාමතාම මඟ හරිනු ලබයි. ඒ නැගිටීමට හේතු සොයා ඒවාට පිළියම් යෙදීමට තරම් ලංකා සමාජය එහි දේශපාලඥයන් සහ බුද්ධිමතුන් ඥාණවන්ත නොවූවාද? ලංකාවේ සමාජ විද්‍යාඥයන් සහ දේශපාලන විද්‍යාඥයන් පොත් කටපාඩමින් එහා නොගියාද? නැතිනම් එවැන්නක පිහිට සෙවීමට තරම් බලයේ සිටි බල අධිකාරයට(සභාග රජය) උවමනාවක් නොවුණා ද? කෙසේ වුවත් අප්‍රේල් නැගීටීම ‛ත්‍රස්තවාදයට’ ලඝු කිරීම තුළින් අමතක කරදමනු ලබයි. දහස් ගණනක් තරුණ ජීවිත විනාශකරමින් ඇති වූ කැරැල්ලක් ඇතිවීමට හේතු නොසොයා ඵලයට දෙස් දී මෙන් එහා, එදා ලංකාව ගමන් නොකරන ලදී. රෝග නිධානය නොසොයා සිටීම සහ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම ලංකා සමාජයට අවේණික ගතියකි. මෙහි ප්‍රතිඵල ලෙසින් 87-90 කාලය ලංකාවේ සිංහල සමාජයට විශාල හානි පමුණුවමින් ඇති වූ අතර දස දහස් ගණන් තරුණ තරුණියන් මෙන්ම පාසල් ළමුන් පවා ඝාතනය කරමින් සිදු වූ මෙම නැගීටීම ද සුනු විසුනු කරුණු ලැබීය.

70 ගණන්වලම උතුරේ තරුණ තරුණියන් විසින් එතෙක් එහි දේශපාලනය සාමකාමීව ඉදිරිපත් කළ දෙමළ භාෂාවට සම තැන ඇතුලු ඉල්ලීම් එතෙක් පැවති සාමකාමී අරගල මාවතින් සන්නද්ධ අරගල මාවතට මාරු කරනු ලබයි. සිංහල දේශපාලන ඔවුන්ට ද ‛ත්‍රස්තවාදී’ ලේබලය අලවනු ලබන අතර දකුණේ තරුණ බල වේගයට පිළිතුරු දුන් පිළිවෙතම උතුරටද ආදේශ කරයි. 79 දී ‛‛ත්‍රස්තවාදය වැලකීමේ පනත’’ සම්මත කරන ජේ.ආර්. රජය බ්‍රිගේඩියර් වීරතුංග යටතේ විශේෂ හමුදා ඒකකයක් යාපනයට යවන්නේ මාස තුනකින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමටයි. මෙම හමුදා ඒකකය සැබෑවටම ත්‍රස්තවාදය යනු කුමක්දැයි යාපනයට හඳුන්වා දීම අරඹයි. සිංහල හමුදාව තමන් කැමති අයුරින් මංකොල්ලකමින් ගිනිතබමින්, මිනීමරමින්, ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කරමින් මුළු නගරය ත්‍රස්තකරනු ලබයි. නගරයේ තිබූ දෙමළ ප්‍රභූන්ගේ ප්‍රතිමා බිඳ දමමින් සංස්කෘතික යටපත් කිරීම අරඹයි. මේ කරන විනාශය ඉවසනු නොහැකි වූ තරුණ කොටස් විවිධ කණ්ඩාම් ලෙසින් මතුවීම අරඹයි. මෙතෙක් කැලෑවලදී සිටි පුංචි කණ්ඩායම වෙනුවට විශාල කණ්ඩායම් ගණනාවක්ම බිහිවෙයි.

81දී පළාත් පාලන ඡන්ද හොරකම, 82 දී යාපනය පොත්ගුල ගිනිලෑම සහ 83 කොළඹ සහ අන් නගරයන්හි කරන දෙමළ සංහාරය වැනි කරුණු මුළු උතුරුකරයම කැරලිකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමට හේතු ඇති කරයි. මෙම කැරලිකරුවන්ව සිංහල දේශපාලනය සහ සිංහලවාදීන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා වුවත් එහි දෙමළ ජනයාටනම් ත්‍රස්තභාවය ගෙන ආයේ සිංහල හමුදා සහ පොලීසිවලින් පමණි. වසර 25ක යුද්ධයක් බවට පත් වු මෙය ලංකා සමාජයට කළ හානිය අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මෙවැනි යුද්ධයකට හේතුවූ කරුණු අදවත් ලංකා සමාජය සොයන හෝ දකින බවක් නම් පෙනෙන්නට නොමැත.

ඉතින් අප බැලිය යුත්තේ 71 දී සහ 87-90දී දකුණේත්, 2009 දක්වා උතුරු කරයේත් නැගී සිටි තරුණ තරුණියන් (ලංකා සමාජය ඔවුන්ට ත්‍රස්තවාදීන් ලෙස හැඳින් වූවා වූවත්) එසේ නැගී සිටියේ ඇයි? ඒ නැගිටීම්වලට හේතු වී ඇත්තේ කුමන කරුණු ද යන්නයි. ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නේ නම් ඔවුන් උපතින්ම ත්‍රස්තවාදීන් වී ඉපදුනාද? එසේ නැතිනම් ලංකා සමාජයේ පවතින සමාජ දේශපාලන තත්ත්වයන් ඔවුන් ඒ තැනට ගෙන ආවාද යන්න විමසිය යුතු නොවන්නේද? උතුරේත්, දකුණේත් වෙනසක් නොමැතිව මෙසේ තරුණ තරුණියන් නැගී සිටින්නේ ඇයි? මේවා විමසියයුතු නැද්ද? එසේ නොමැතිව මේ නැගිටීම් ‛‛ත්‍රස්තවාදය’’ ලෙස ලඝු කර ලංකා සමාජයට සුපුරුදු රෝග නිධානය නොසොයා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කර සිත් සතන් සනසා ගනිමුද?

ලංකා ජනගහණයෙන් 64%ක් බෞද්ධයන්ය. ගෞතම බුදුන්ගේ දහමේ මූලිකම ඉගැන්වීමකි හේතු ඵල වාදය. ඉතින් අවිහිංසාවාදය මුල්කරගත් 64% වෙසෙන රටක තරුණ කැරලි දිගින් දිගටම ඇතිවෙද්දී ඒවා මරාදැමීමෙන් සංසිඳවන අපි මේවා ඇතිවන හේතුන් නොසොයන්නේ බුදුන්ගේ ඉගැන්වීම් අප තේරුම් නොගෙන ඇති නිසා නොවේද? නමුත් මේ මූලික බුදු දහමවත් වටහා නොගත් සමාජයක් දකින දකින කෙනාට ‛‛බුදු පිහිටයි’’, ‛‛දළඳා පිහිටයි’’ කීම තුළින් සෝබන වචනවලට බුදු දහම ලඝු කරගැනීමත් ඛේදවාචකයක් යයි ඔබට නොසිතෙන්නේ ද? ඇත්තෙන්ම එය බටහිර අනුකරණ කිරීමකි. බටහිර සමාජය අපි කොතෙක් දුරට වහල් අයුරකින් අනුගමනය කරනවාද යන්නට මෙයත් හොඳම නිදසුනකි. බටහිර සමාජය කෙනෙකුට ‛‛දෙවිපිහිටයි’’, ‛‛ජේසු පිහිටයි’’ කියා දෙවි පිහිට පතති. නමුත් බුදුන්ගේ දහමට අනුව බුදු පිහිට ලැබිය හැක්කේ එම තැනැත්තා එම දහම තුළ පිහිටා කරන නිවැරදි කල්ක්‍රියාවෙන් පමණි. වෙන අයකුගේ පැතුමකින් එය සිදු නොවෙයි. නමුත් බුදු දහමේ මූලික හරයන්වන කරුණා, මෙත්තා, මුදිතා තාමත් පවතින්නේ ලංකා සමාජයෙන් ඉතා දුරස්වය.

යුද්ධය හමාර වී වසර දෙකක් පසු කලත් දැන් ලංකා සමාජය තුළ නැවත ‛‛කොටි ත්‍රස්ත උවදුර සහ උන්ගේ හිතවතුන්’’ යන මන්ත්‍රය ජප කිරීම අරඹා ඇත. අයිතීන් ගැන සහ යටපත් කිරීමට එරෙහි වන්නන් ගැන හැඳින්වීමට ලංකා සිංහල දේශපාලනය ‛‛ත්‍රස්තවාදය’’ යන වදනම යොදති. හරියට ලංකා දේශපාලනයට ‛‛ත්‍රස්තවාදය’’ නොමැතිව පැවතිය නොහැකිවා වැනිය.

පසුගිය වසර 20ක් තුළ දෙමළ ජනයා අතරින් මිනිසුන් ලක්ෂයක් පමණ මිය ගිය බව වාර්තාවේ. මිය ගිය අයගේ ඥාතීන් සහ හිතවතුන් මේ මිය ගිය අය සිහිකිරීම, ඔවුන් වෙනුවෙන් දුක්වීම, ඔවුන් වෙනුවෙන් ආගමික වතාවක් කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් ලංකාවේ මේ අයට දුක්වීම තහනම්ය. තම ඥාතීන් සිහිකිරීම තහනම්ය. මිනිස්සුන්ගේ මූලිකම අයිතියක් වන තම මිය ගිය අනෙකා සිහිකිරීමත් තහනම් කිරිම සිහිබුද්ධිය ඇති සමාජයක් අනුමත කරයිද?

ජයග්‍රහනයෙන් ඔද්දලව ගිය ඔළුගෙඩි ඇති සිංහල ජාතිවාදී දේශපාලනය ඔවුන් කළ ජනසංහාරයට ‛‛මානුෂික මුහුණුවර’’ දීම චිත්‍රපට තුළින් අරඹා ඇත. උතුරුකරයේ සොහොන් බිම් බිමට සමතලා කළ පොළොවමත ‛‛සිංහල රණවිරුවන්’’ දෙමළුන්ට විමුක්තිය ලබා දෙන හැටි පෙන්වන සිංහල චිත්‍රපට සෑදීමේ සෝබනය තරගවැදී ඇත. තම දරුවන්ගේ සොහොන් කොත් බිමට සමතලා කර ඔවුන්ගේ ඇටකටු වැපුරුණු පොළොව මත සිංහල සිංදු කියමින් රඟන රණවිරු වීරකතා දකින ඔවුන්ගේ හදවත් පුපුරා නොයාද?. මේවා තුළින් තවදුරටත් සිංහල සමාජය ඇන්දුවා උවත් ඔවුන් මේ දුවපැන සින්දු කියන්නේ දෙමළ මිනිසුන්ගේ කඳුළු සහ හද ගැස්ම මත බව මොවුනට නොදැනීම සහ නොපෙනීම අද ඇති මහත්ම ඛේදවචකයකි. මේ ජනයාගේ වේදනාව පුපුරා යාම තවත් ලේ ගංගාවකට පාර නොකපයිද? මේ චිත්‍රපට ‛‛කලාකරුවන්’’ ට සංවේදී බවක් නොමැති බව රටේම කරුමයක් යැයි මට සිතේ. ‛‛මාතා’’, ‛‛ගාමිනී’’, ‛‛සෙල්වම්’’ වැනි සෙල්ලම් ලෙල්ලම් වන බව වටහා ගැනීමට ලංකා සිංහල සමාජය ඥාණවන්ත නොවන්නේ ඇයි?.

71 සිට 2009 දක්වා කැරලි තුනක් ලෙයින් සහ ගින්නෙන් මර්දනය කර ඇත. උතුරේත් දකුණේත් කැරලි ගැසූ ලාංකික තරුණ තරුණියන්ට ‛‛ත්‍රස්තවාදී’’ ලේබලය අලවා මරා දමා ඇත. ඒ දසදහස් ගණනින් ඝාතනය කළ මිනීමරු හමුදා සහ පොලීසිවලට තාන්න මාන්න දී ‛‛රණවිරු’’ ලෙසින් සම්මානයට පාත්‍ර කරනු ලැබ තිබේ. නමුත් මේ කරුලි ඇති වන්නේ ඇයි? ඒවාට හේතු සාධක වී ඇත්තේ මොනවාද සෙවීමට ලංකා සමාජය, එහි දේශපාලන අධිකාරය සහ බුද්ධිමතුන් මේ වන තුරු යොමු වී නොමැත. විසඳුම ලෙස කුසගින්න තුරන් කිරීමට කුසගිනි ඇතිවුන් මරා දැමීම ආදේශකර ඇත.

සිංහල සමාජයට සහ සිංහල දේශපාලනයට අනුව සිංහල රණවිරුවන් විසින් අසරණ දෙමළුන්ව ත්‍රස්තවාදීන් අතින් නිදහස් කරගෙන ඇත. තවත් ඉතින් මේ දෙමෙල්ලුන්ට ඇති ප්‍රශ්නය කුමක්දැයි මේ මෝඩ සිංහලයන් විසින් නැවත නැවත අසමින් සිටී. මෝඩකමට බේත් නොමැති බව කොහේ හෝ තැනක ලියා තිබූ බව මට මතකය.

උතුරේත් දකුණේත් උපදින දරුවන් ‛‛ත්‍රස්තවාදීන්’’ වන්නේ ඇයි? යන ප්‍රශ්නය ඇසීමට ලංකා සමාජය යොමුවන තුරා, එසේ වීමට හේතු ලංකා සමාජය වටහා ගෙන තම දේශපාලනය තුළින් ඒවාට විසඳුම් ලබාදෙන තුරා මේ දරුවන් නැවත නැවත එසේ කැරලි ගසනු ඇත. ලංකා දේශපාලන අධිකාරිය මේ දරුවන් ‛‛ත්‍රස්තවාදීන්ය’’ කියා සමුල ඝාතනයද කරනු ඇත.

එසේ වීම වලක්වාගැනීමේ සමාජමය වගකීම හා කාර්යය ඇත්තේ ලාංකීය සමාජයටයි. වසර 40ක් පුරාවට ලාංකීය සමාජය මේ වගකීම පැහැර හැර තිබේ. එහි ප්‍රතිඵල ලෙස උතුරේත් දකුණේත් මිය ගිය ප්‍රමාණය අතිවිශාලය. තම උපන් බිමේ අනාතයන් වූ ප්‍රමාණය අතිමහත්ය. තාමත් දේශපාලන බල අධිකාරය සුපුරුදු මන්ත්‍ර ජප කරති. දැන්වත් ලංකා සමාජය තමන්ගේ නින්දෙන් අවදි නොවේ නම් ඉතිහාසය නැවත නැවත පුනර්උච්ඡාරනය වීම නම් වලකා ගත නොහැකි වනු ඇත.

එසේම, කිසිවකු ත්‍රස්තවාදියකු ලෙස නූපදින අතර පවතින සමාජ දේශපාලන දුර්දාන්තයන් කෙනෙකු ත්‍රස්තවාදයකු බවට පත් කරනු ලබයි.

රංජිත් හේනායකආරච්චි [Ranjith Hennayakaarchchi]