[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
පසුගිය නොවැම්බර් මාසයේ මුහුණ දුන් වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙහි ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී හිටපු නීතිපති සහ වත්මන් ජනාධිපති උපදේශක මොහාන් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සමහරක් අදාළ දෙස් විදෙස් ක්ෂෙත්‍රයන්හි තවමක් දෝංකාර දෙයි.
අඩුම වශයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණූ හතරක් එවායේ සත්‍යතාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්ව තිබේ.
ජනමාධ්‍යවේදී තිස්සනායගම් ජනාධිපති සමාව ලබා ගත්තේ කළ වැරදි පිළිගැනීමෙනැයි ඔහු එහිදී කළ ප්‍රකාශය අසත්‍යක් බව තමා ජනාධිපතිවරයාට යැවු ලිපිය ප්‍රසිද්ධ කිරීම මගින් තිස්සනායගම් කියා සිටියේ ය. කමිටුවෙහි ලේකම්වරයාට එවු ලිපියක් මගින් ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්ත කියා සිටියේ තමා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණූ සාවද්‍ය බවය. එනම් පොද්දල ජයන්ත පැහැර ගැනීම සම්බන්ධ සැකකරුවන් පෝද්දල ජයන්තගේම ඉල්ලීම මත නිදහස් කරන ලදැයි යන ප්‍රකාශය යි. දෙවසරකට පෙර අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදෙස් රටක සරණාගත රැකවරණ ලබා ජීවත්වන්නේය යනුවෙන් ඔහු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියේ මෙම තොරතුර මේ තාක් පොලීසියට නොදීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ යුතු බවයි. නීතිඥ අමිත ආරියරත්නට මීගමු පොලීසිය තුළදී පහරදීම සහ ඔහුගේ කාර්යාලය ගිනි තැබීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි මොහාන් පීරිස් කළ ප්‍රකාශය සිතාමතා ගොතන ලද අසත්‍යක් බව දන්වමින් ජීවිතයට අයිතිය ව්‍යාපාරය කම්ටුවේ ලේකම්වරයාට ලිපියක් යැවීය. එම සිදුවීම් සම්බන්ධයෙන් ලිඛිත පැමිණිළි පොලිස්පති, පොලිස් කොමිසම සහ නීතිඥ සංගමය වෙත දැන්වු දින වකවානුද එම ලිපියෙහි ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වීම නිසා මින් පසු ශ්‍රී ලංකික දේශපාලන සරණාගතයින් බාර නොගැනීමට ස්විස්ටර්ලන්තය තීරණය කර ඇතියි යනුවෙන් කළ ප්‍රකාශය ද සත්‍යයෙන් තොර ය.
එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවෙහි අතේ පැලවෙන බොරුකීම මගින් වාර්තාවක් තැබීමට වධහිංසා විරෝධී කමිටුව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමත් වූයේ එසේ ය.
තවද වධහිංසා විරෝධී එ.ජා. කමිටුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරනු ලැබ ඇති සිය නිරීක්ෂනයන් සහ නිර්දේශයන්ගෙන් පෙනී යන්නේ එම කමිටුව හමුවෙහි ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිත පිරිස දැක්වූ බොහෝ අදහස් පිළිගැනීමට කමිටුව දක්වා ඇති අකමැත්තය. එය හරියට රටක චරිත සහතිකය නරකට ලියවුණා වැන්න.
වැදගත් යැයි සැළකිය හැකි එවැනි නිර්දේශ ගණනාවක් පහත දක්වන්නේ වධහිංසා පැමිණවීම සහ එවැනි අනෙක් කුරිරු දඩුවම් පැමිණවීම අප රටෙහි අවම කර ගත හැක්කේ උනන්දුමත් පුරවැසියන් විසින් මෙම කරුණු කාරණ පිළිබදව දක්වන සැළකිල්ල මත පමණක් නිසා ය.
10. ත්‍රස්තවාදයට විරුද්ධ ක්‍රියාමාර්ග නිරීක්ෂණය:
2011 අගෝස්තු 31දින හදිසි නීතිය ඉවත් කිරීමට රජය ගත් තීරණය සටහන් කරමින් එය අවසන් කිරීමට පැය 24කට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නව රෙගුලාසි ගෙන ඒම පිළිබඳව කමිටුව සිය කණස්සල්ල ප්‍රකාශ කරයි. මෙම නව රෙගුලාසි පුළුල් පරාසයක් හසු කරගන්නා අතර ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරෙන චූදිතයන්ගේ නීතිමය රැකවරණයන් අනවශ්‍ය ලෙස සීමා කරයි. දිසා 25හි ම සන්නද්ධ හමුදාවන්ට පොලිස් බලතල පැවරීමේ අධිකාරය ජනාධිපති අත තවදුරටත් තබා ගැනීම සම්බන්ධයෙන් ද කමිටුව කණස්සල්ල පළ කරයි. හදිසි නීතිය යටතේ පවා සැකකරුවනට තිබූ සීමා සහිත රැකවරණයක් වූ සන්නද්ධ හමුදා විසින් අත් අඩංගුවට ගතකළ පැය 24ක් ඇතුළත පොලීසියට බාරදිය යුතු නියමය මෙම නව රෙගුලාසි මගින් අහෝසි වී තිබීම ද කණස්සල්ලට කරුණකි.
නිර්දේශය:
රාජ්‍ය පාර්ශවය විසින් මූලික නීතිමය රැකවරණයන්ට ගරු කළ යුතු අතර ව්‍යවස්ථාදායක පරිපාලනමය සහ අනෙක් ත්‍රස්තවාදී විරෝධී පියවරයන් වධහිංසා විරෝධී ප්‍රඥාප්තියට අනුකූළ වන බවට වගබලා ගත යුතු ය.
11.බලහත්කාර පාපෝච්චාරණ නිරීක්ෂණය:
1985 සාක්ෂි අඥාපනත යටතේ වධහිංසා පැමිණවීම මගින් ලබා ගන්නා ලද පාපෝච්චාරණ පිළිනොගැනෙන බවට රාජ්‍ය පාර්ශවය විසින් කරන ලද පැහැදිලි කිරීම සටහන් කරමින්ම ත්‍ර.වැ.ප. යටතේ උප පොලිස් අධිකාරීවරයකු හෝ ඊට ඉහළ නිලයක් දරන නිලධාරියකු විසින් ලබා ගන්නා ලද පාපෝච්චාරණ පිළිගැනීමට ඉඩ සළසා තිබීමත් පාපෝච්චාරණය ලබා ගන්නා ලද්දේ බලහත්කාරය යටතේ බව ඔප්පු කිරීම චූදිකයාට පවරා තිබීමත් කමිටුවේ කණස්සල්ලට හේතුවෙයි.
එමෙන්ම ත්‍ර.වැ.ප. යටතේ පවරන ලද බොහෝ නඩුවලදී එකම සාක්ෂිය එළෙස ලබා ගන්නා ලද පාපෝච්චාරණ බවට ඇති වාර්තා ද කමිටුව කණස්සල්ලට පත් කරයි. තහවුරු නොවූ චෝදනා මත පුද්ලගයින් අත් අඩංගුවට ගෙන එම චෝදනා සනාථ කිරීම පිණිස වධහිංසා පමුණුවා පාපොච්චාරණ ලබා ගත් බවට ලියැවිලි ගතකර ඇති වාර්තා සම්බන්ධයෙන්ද කමිටුව සිය සැළකිල්ල සටහන් කරයි.
නිර්දේශය:
වධහිංසා යටතේ ලබා ගන්නා ලද කවර හෝ සාක්ෂියක් බැහැර කළ යුතු අතර අධිකරණ ක්‍රියාවලියක දී යොදා ගැනෙන සාක්ෂි වධහිංසා විරෝධී ප්‍රඥාප්තියට අනුකූළ කළ යුතු ය.
විනිසුරුවරයා විසින් චුදිතයා වධහිංසාවන්ට ලක්කරන ලද්දේදැයි සෑම සැකකරුවකුගෙන් ම විමසන බව තහවුරු කිරීමට රාජ්‍ය පාර්ශවය කටයුතු කළ යුතුය. සැකකරුවකු විසින් තමා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලෙස ඉල්ලා සිටින අවස්ථාවකදී විනිසුරුවරයා විසින් ස්වාධීන වෛද්‍ය පරීක්ෂනයක් ලබා දෙන බව ද සහතික කළ යුතු ය. පාපෝච්චාරනය පමණක් සාක්ෂිය වන අවස්ථාවේදී මෙම ක්‍රියාවලිය විශේෂ කොට අනුගමනය කළ යුතු ය.
12. රැදවියන් ලියාපදිංචි කිරීම
නිරීක්ෂනය:
2000- 2005 අතරතුර වසරකට 80.000ක් සිරගත කරන ලද බවටත් ඉන් 60000ක් වරදකරුවන් බවට පත් නොවූ බවටත් රාජ්‍යය පාර්ශයේ මුලික වාර්තාවේ ඇත. තවද රැදවුම් නියෝග යටතේ තවත් 765ත් රඳවා සිටිති. ත්‍ර.වැ.ප. යටතේ රඳවා සිටින්නන්ගේ එක් ලැයිස්තුවක් නැත. කමිටුවේ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් රැඳවුම්කරුවන් ගේ පරිඝනක ගත කරන ලද මධ්‍යම ලැයිස්තුවක් සකස්කර ඇතැයි රාජ්‍ය පාර්ශවය කලින් අවස්ථාවකදී දන්වා සිටිය ද දැන් පෙනී යන්නේ එවැනි ලැයිස්තුවක් සකස් කර නොමැති බවයි.
නිර්දේශය:
අපරාධ පරීක්ෂණ යටතේ අත් අඩංගුවට ගැනෙන සියල්ලන්ම නඩු පවරන තුරු නොසිට ලැයිස්තු ගත කළ යුතු ය.
බන්ධනාගාරයන්හි පොලිස් ස්ථානයන්හි ”පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්” හි මෙන්ම ත්‍ර.වැ.ප. යටතේ රඳවා සිටින සියල්ලන්ගේම මධ්‍යම ලැයිස්තුවක් වහාම පිළියෙළ කළ යුතු ය.
සියළුම රුඳවුම්කරුවන්ගේ සහ සියළුම රුඳවුම් මධ්‍යස්ථානයන්හි ලැයිස්තුවක් ප්‍රසිද්ධ කල යුතු ය.
13. අවදානමට මුහණ දී සිටින මානව හිමිකම් ආරක්ෂකයින්, විත්තියේ නීතිඥයින්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයින්
නිරීක්ෂනය:
මානව හිමිකම් ආරක්ෂකයින්, විත්තියේ නීතිඥයින්, ජනමාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරීන් වෘත්තීය සමිති ක්‍රියාධරයින් සහ ස්වාධීන ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාධරයින් මරණ තර්ජන කායික පහරදීම් සහ දේශපාලන හේතූන් මත නඩු පැවරීම් ඇතුළු බිය ගැන්වීමේ හිරිහැර පැමිණවීමේ ඉලක්ක බවට පමුණුවා ඇති බවට ඇති වාර්තා විසින් කමිටුව කණස්සල්ලට පත් කරයි. එවැනි අපරාධ සම්බන්ධයෙන් සැක කැරෙන පිරිස් දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය භුක්ති විදින බව පෙනෙන්නට තිබේ.
පහත සදහන් නිශ්චිත සිදුවීම් වැනි කරුනු සම්බන්ධයෙන් කමිටුව ඉල්ලා සිටි තොරතුරු සැපයීමට රාජ්‍ය පාර්ශවය අසමත්වීම සම්බන්ධයෙන් කමිටුව කණස්සල්ල පළ කරයි: ජනමාධ්‍යවේදීන් වන පොද්දල ජයන්ත ප්‍රගීත් එක්නැළිගොඩ ජේ. එස්. තිස්සනායගම් සහ නීතිඥ ජේ.සී. වැලිඅමුණ සහ අමිත ආරයරත්න. ආරක්ෂ අමාත්‍යාංශය සිය වෙබ් අඩවියෙහි යම් යම් චූදිතයින් වෙනුවෙන් පෙනී සිට විත්තියේ නිතිඥයින් ජාතියේ ” ද්‍රෝහීන්” ලෙස හදුන්වම්න් ලිපියක් පළ කිරීමද එහි නීතිඥයින් 05 දෙනෙකුගේ නම් සදහන් කරමින් ඔවුන් අවදානමට හෙළිම ද කමිටුවේ කණස්සල්ලට හේතු වෙයි.
නිර්දේශය:
මානව හිමිකම් නිරීක්ෂකයින් මෙන්ම වධහිංසා පැමිණවීම සහ දුර්විපාක නොලැබීමේ රාජ්‍ය සංස්කෘතියට එරෙහිව ක්‍රියාකරන්නන් ඇතුළු සියළු දෙනා ඔවුන්ගේ එම ක්‍රියාකාරිත්වය හේතු කොටගෙන බිය වැද්දවීම් සහ ප්‍රචණ්ඩත්වයන්ට ලක් නොවන බව සහතික කරන්න.
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, නීතිඥයින්, ජනමාධ්‍යවේදීන් සහ අනෙක් සිවිල් සමාජ ක්‍රියාධරයින් මුහුණ දෙන අතිශය විරුද්ධවාදී වටපිටාව වෙනස් කිරීම පිණිස පරීක්ෂන සහ නඩු පැවරීම් ද ඇතුළුව ක්ෂනික සහ ඵලදායී පියවර ගන්න.
(කරුණාකර මෙය කමිටු වාර්තාවෙහි ඍජු පරිවර්තනයක් නොව අනුවාදයක් බව සළකන්න)
(අවසාන කොටස ලබන සතියේ)
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]