Colombo, end of the War, Featured Articles, Features

“මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?”


ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළඟා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත් වෙයි. පිටතින් අන්‍යයන් බියගන්වනසුලු රළු නපුරු පෙනුමක් තිබුණත් ඇතුළතින් ඔහු ඉතා මුදු හදවතක් ඇත්තෙකි. මිනිසුන් තමා ගැන දැන ගැනීමටත් පෙර තම බාහිර ස්වරූපයෙන් තමා ගැන පූර්ව විනිශ්චයකට එළැඹීම ගැන ඔහු තුළ ඇත්තේ කනගාටුවකි.

එරට පාලනය කරන ෆාක්වාඩ් ආදිපාදයා විසින් ශ්‍රෙක්ගේ වාසස්ථානය වූ මඩ වගුර බලයෙන් පවරාගෙන රාජධානියේ ජීවත්වූ සුරංගනා කතාවල චරිතයන් සියල්ල බලෙන් ඉවත් කර ඔවුන් එම මඩ වගුරේ නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම නිසා ශ්‍රෙක්ගේ නිහඬ ජීවිතය වෙනසකට භාජනය වෙයි. මඩ වගුර ආපසු ලබාගැනීම සඳහා ගවේෂණයක යෙදීමට ෆාක්වාඩ් ආදිපාද තැන ශ්‍රෙක්ට පවරයි. ඒ ඈත දූපතක කඳු මුදුනක් මත ඇති කුළුණක සිර කර ඇති සුන්දර ෆියෝනා කුමරිය බේරා ගෙන ඇය ෆාක්වාඩ් ආදිපාදයා වෙත ගෙනවිත් දීම පිණිසය. අනවශ්‍ය සියලු අංග ඉවත් කොට සියලු ආකාරයෙන් පිරිසිදු කරන ලද මේ බියුලොක් නැමැති පරිපූර්ණ රාජධානියේ රජවීමට බලාපොරොත්තු වන ෆාක්වාඩ් ආදිපාදයාට ඒ සඳහා ඇති බාධාව තමන් රජ පෙළපතක කෙනෙකු නොවීමයි. පළමු විමලධර්මසූරිය රජතුමා දෝන කතිරිනා කුමරිය පැහැරගෙන විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමය ලබා ගත්තා සේ, ඔහුගේ මරණින් පසු ඔහුගේ සොහොයුරෙකු වන සෙනරත් නැවතත් දෝන කතිරිනා තමන් විසින් විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමකම් ලබා ගත්තා සේ, ෆාක්වාඩ් ආදිපාදයා ද රජ කෙනෙකු බවට පත්වීම සඳහා රජ කුමරියක විවාහ කරගත යුතුය. ඒ සඳහා සුරූපී ෆියෝනා කුමරිය විවාහ කර ගැනීමට තීරණය කරන ඔහු එම ගවේෂණය සඳහා ශ්‍රෙක් යවන්නේ ෆියෝනා කුමරිය මුදා ගෙන තමන් වෙත ගෙනැවිත් භාර දුන්නොත් ඔහු පවරාගත් මඩ වගුර ඔප්පුවකින් ආපසු පවරා දෙන බව කියයි.

සාම්ප්‍රදායික යුද වීරයන් හෙවත් නයිට්වරුන්ට තම සාම්ප්‍රදායික සටන් ක්‍රම මගින් බේරා ගැනීමට නොහැකි වූ ෆියෝනා කුමරිය ඉතාම අසම්ප්‍රදායික ආකාරයෙන් බේරා ගැනීමට ශ්‍රෙක් සමත් වන්නේ ඔහුගේ මිතුරු කතා කරන බූරුවාගේ ද උපකාරයෙනි. තමා බේරාගත් වීර කුමරුවාට තම ප්‍රථම හාදුව පිරිනැමීමට බලාපොරොත්තුවෙන් පෙරුම්පුරාගෙන බලා සිටි සුන්දර ෆියෝනා කුමරියට දැන ගැනීමට ලැබෙන්නේ ශ්‍රීමත් ශ්‍රෙක් උතුමාණන් යනු ආකර්ෂණීය කුමාරයෙකු නොව නිකංම නිකං රාක්ෂයෙකු බවත්, ඔහු තමා බේරාගත්තේ තමා විවාහ කර ගැනීමට නොව තමා ෆාක්වාඩ් ආදිපාදයාට පවරා දී ඔහුගේ අහිමි වූ වාසස්ථානය ලබා ගැනීමට බවත්ය. කෙසේ වුවද ආපසු ගමන අතර මගදී ශ්‍රෙක් සහ ෆියෝනා ප්‍රේමයෙන් බැඳෙති. එහෙත් ඒ බව පිළිගැනීමට දෙදෙනාම කැමති නැත. ෆියෝනා කුමරිය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දී තම මඩ වගුරේ ඔප්පුව රැගෙන ආපසු ගියත් ශ්‍රෙක්ගේ හිතට සැනසිල්ලක් නොලැබෙන්නේ ෆියෝනා කුමරියට බැඳි ප්‍රේමය නිසා ඔහු වෙනස් පුද්ගලයෙකු බවට පත් වී ඇති නිසා හෙවත් ඔහු විසින් ‛බියජනක රාක්ෂයකු’ වූ තමා ‛අවංක පෙම්වතෙකු’ ලෙස නැවත සොයා ගනු ලැබ ඇති නිසාය.

අනපේක්ෂිත සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් වශයෙන් ෆාක්වාඩ් ආදිපාදයාගේ රජවීමේ සැලැස්ම අසාර්ථක වන අතර ෆියෝනා කුමරිය සහ ශ්‍රෙක් විවාහ වෙයි. මේ සියල්ලට උදව් වන්නේ ෆියෝනා කුමරිය ආරක්ෂා කරගෙන සිටි භයානක මකරායි. ශ්‍රෙක් කුමරිය බේරාගන්නට යන අවස්ථාවේදී ශ්‍රෙක්ගේ මිතුරු බූරුවා විසින් ස්ත්‍රියක වූ එම මකරා වසඟ කර ගැනීම නිසා මෙය සිදුවෙයි. ඇත්ත වශයෙන්ම සුරූපී ෆියෝනා කුමරියට ද අන් සියල්ලන්ටම මෙන් අඳුරු පැත්තක් ඇත. මායාකාරියකගේ ශාපයකට ලක්ව සිටින ඇය දිවා කාලයේ කුමාරියක් ලෙස සිටියත් රාත්‍රියේදී රාක්ෂියක බවට පත් වෙයි. එම ශාපය නැති කළ හැක්කේ ඇගේ සැබෑ ප්‍රේමවන්තයාගෙන් ලැබෙන ප්‍රථම හාදුවෙනි. ශ්‍රෙක් ඇය සිප ගත් පසු ඇය සදාකාලික සුරූපිනියක් වීම වෙනුවට සිදුවන්නේ ඇය සදාකාලික රාක්ෂියක් වීමයි. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට එයින් බාධාවක් නොවන අතර ඔවුහු එතැන් පටන් මඩ වගුරෙහි ඇති තම කුඩා නිවසේ සතුටින් ජීවත් වීමට පටන් ගනිති.

කාලය මෙසේ ගතවී යද්දී ශ්‍රෙක් යුවළට දරුවන් ගණනාවක්ම ලැබෙයි. බූරුවා, මකරිය සහ ඔවුන්ගේ දරුවන් ද, සපත්තු පූසා ද ඇතුළු මිතුරු සමාගම හා එක්ව ඔවුන්ගේ ජීවිත නිසංසලේ ගලා යයි. තවදුරටත් ශ්‍රෙක් යනු දඩබ්බරයෙකු නොවේ. ඔහු සැබෑ ලාංකික විවාහකයෙකු මෙන් දයාබර පියෙකු සහ පෙම්බර සැමියකු, හිතවත් මිතුරෙකු බවට පත්වී ඇත. තවදුරටත් කිසිවෙකු ඔහුට හෝ ඔහුගේ ගෝරනාඩු කිරීම්වලට බිය නැත. ඔහු කුඩා ළමයින්ට පවා සෙල්ලමට ගත හැකි ආකාරයේ අහිංසකයෙකු බවට පත්ව ඇත. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුමක් ලබා සිටින ඔහු ස්ත්‍රී භූමිකා සහ පුරුෂ භූමිකා යනු සමාජය විසින් ගොඩනංවන ලද ඒවා බව තේරුම් ගෙන සිටින අතර ගෙදර දොරේ වැඩ කටයුතුවලට තම බිරිඳට උදව් කරන ආදර්ශමත් ස්වාමි පුරුෂයෙකු බවට පත් ව සිටී.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් තමා ගෙවන ඒකාකාර ජීවිතය ගැන කලකිරෙන ශ්‍රෙක් තමා කලින් ගත කළ නිදහස් හුදකලා ජීවිතය ගැන සිහින මවයි. සියලු දෙනාම තමන්ට බිය වූ, තමා සැබෑ රාක්ෂයකු ලෙස ගත කළ ඒ යුගය ගැන සිතා අතීත වේදනාවකට පත්වෙයි. තම දරුවාගේ ප්‍රථම උපන් දින සාදයේදී ඇතිවන සිදුවීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ශ්‍රෙක් ෆියෝනාට කියන්නේ ‛තමා ඇයව බේරා නොගත්තා නම් වඩා හොඳ බව තමන්ට දැන් සිතෙන’ බවයි.

ඇත්ත වශයෙන්ම ශ්‍රෙක්ට තම ජීවිතය නැවත සොයා ගැනීමට අවශ්‍ය වී ඇත. එනම් ඔහු කල්පනා කරන්නේ තමා ෆියෝනා කුමරිය බේරා ගැනීමට ඉදිරිපත් නොවූවා නම් කුමක් විය හැකිව තිබුණා ද කියාය. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන්ට ද තම ජීවිතය පිළිබඳව කලකිරුණු අවස්ථාවන්හි එවැනි කල්පනා ඇතිවන්නට ඇති නමුත් අවසානයේදී ඇත්ත වශයෙන්ම තිබෙන්නේ එක තෝරා ගැනීමක් බවත් එය තෝරාගත් පසු ආපසු හැරෙන්නට බැරි බවත් ඔවුහු දැන සිටියහ.

උදාහරණයක් වශයෙන් සිද්ධාර්ථ කුමාරයාට තම බිරිඳ හා දරුවා සමඟ රජ සැප විඳිමින් ගිහි ගෙයි රැඳීම හෝ නොදන්නා, අවිනිශ්චිත අනාගතයක් සොයා අභිනිෂ්ක්‍රමණය කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය. ඊළගට ‛සක්විති සැපත ලැබෙතැයි මරු වළකද්දී’ දිගටම ඉදිරියට යෑම හෝ ආපසු යෑම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය. අප අදහන බුද්ධාගම ගොඩනැගුණේ එවැනි තෝරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් අප ජීවත් වන පශ්චාත්-නූතන යුගයෙහි මිනිසුන්ගේ ජීවිතයට විකල්ප තෝරා ගැනීම් කිහිපයක් ඇත. එක තෝරා ගැනීමක් අසාර්ථක වුවහොත්, පරිගණක ක්‍රීඩාවක මෙන් ‛ඩීල් අගේන්’ යන බොත්තම ඔබා අලුතෙන් පටන් ගත හැකිය.

මේ අනුව තම ජීවිතයට අතීත කාලයේ මිනිසුන්ට තිබුණාක් මෙන් ඇත්තේ එක ආඛ්‍යානයක් නොවී විකල්පයන් කීපයක් හෙවත් එකිනෙකට වෙනස් ආඛ්‍යානයන් කිහිපයක් තිබුණේ නම් කෙතරම් අගනේදැයි ‛ශ්‍රෙක්’ කල්පනා කරයි. තමා මේ ගෙවන ඒකාකාරී ගෘහස්ථ ජීවිතයෙන් මිදී නැවතත් අතීතයේ සිටි ප්‍රතාපවත් රාක්ෂයා වන්නට හැකි නම් කෙතරම් අගේද? මේ අවස්ථාවේ ඔහුට පිහිටට එන්නේ ‛ඔබගේ ඕනෑම ප්‍රශ්නයක් මොහොතින් අතුරුදහන් කරන’ බවට ඔබට සහතික වන ‛රම්පල්ස්ටිල්ට්ස්කින්’ය.

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ නායකයන් පත්තරවලට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලින් හෙළිවන කරුණු අනුව පක්ෂය තුළ මතවාදී අරගලය ආරම්භ වී තිබෙන්නේ මීට වසර 12 කට පමණ පෙර එනම් 1999 වැනි කාලයකය. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමඟ පරිවාස ආණ්ඩුවක් ඇති කර ගැනීම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට නායකත්වය දීම, 2004 දී පොදුජන එක්සත් පෙරමුණ සමඟ හවුල් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා හවුල් ආණ්ඩුවක් පිහිටුවා ඇමතිකම් ලබා ගැනීම, 2005 දී සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වීම, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා කටයුතු කිරීම මෙන්ම 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකා බලයට පත්කිරීමට මැදිහත්වීම ආදිය පක්ෂ අභ්‍යන්තරයේදී විවේචනයට ලක්ව ඇත. පක්ෂය දකුණට ගමන් කරන තත්ත්වයක් තුළ පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගතයුතුය යන යෝජනාව ඉදිරියට ගැනීමට කැරලිකාර කණ්ඩායම ක්‍රියා කොට ඇත. දැන් ඔවුන් අපේක්ෂා කරන්නේ ස්වාධීන වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා විප්ලවවාදීන් සොයා යමින් සංවිධානගත කිරීමටය.

1994 ට පෙර ජනතා විමුක්ති පෙරමුණ යනු එක්තරා ප්‍රමාණයකට අද්භූත ප්‍රපංචයක් විය. එය කුමක්දැයි යන්න හෝ එයට සම්බන්ධ විය හැක්කේ කෙසේදැයි යන්න විවෘතව කතා බහ කළ නොහැකි වූයේ වසර 10 කට ආසන්න කාලයක් එය තහනම් කරන ලද පක්ෂයක් වශයෙන් පැවතුණු නිසාය. එක්තරා ප්‍රමාණයකට එය ශ්‍රෙක්ගේ ජීවිතය වැනි හුදකලා, අවදානම් සහිත එහෙත් ගාම්හීර ජීවිතයකි. සමාජය ජ.වි.පෙ. දෙස දැක්වූයේ ගෞරවය සහ බිය මිශ්‍රිත ආකල්පයකි.

1994 න් පසු ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු 2000 දක්වා එය සතුව සිටියේ එක් මන්ත්‍රීවරයෙකි. එහෙත් දෙමළ සන්නද්ධ දේශපාලනයේ බලපෑම හෙතුවෙන් ඉන් අනතුරුව රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ජ.වි.පෙ. ට රටේ තීරණාත්මක භූමිකාවක් රඟපෑම සඳහා අවස්ථාවක් ලැබිණි. ෆාක්වාඩ් ආදිපාදයාට රජ වීම සඳහා මෙන්ම බියුලොක් රාජධානිය පරිපූර්ණ රාජධානියක් බවට පත්කිරීම සඳහා මකරා පරදවා ෆියෝනා කුමරිය බේරා ගැනීමට අත්‍යවශ්‍ය වූවා සේම ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පරිපූර්ණ ස්වෛරී, ඒකීය රාජ්‍යයක් බවට පත්කොට අතීත ශ්‍රී විභූතිය යළි ලබාගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදවා, දෙමළ ජනතාව ‛මුදා ගැනීම’ අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය හෝ සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් පාලක පන්තියේ ෆාක්වාඩ් ආදිපාදවරුන්ට නොතිබීම නිසා ඒ වෙනුවෙන් ශ්‍රෙක්ගේ හෙවත් ජ.වි.පෙ. සහයෝගය අකමැත්තෙන් හෝ ලබා ගැනීමට සිදුවිය.

අවසානයේදී ශ්‍රෙක් විසින් ෆියෝනා කුමරිය බේරාගත්තා සේම ජ.වි.පෙ. විසින් ඉදිරියට තල්ලු කරන ලද ජාතිවාදී මතවාදයේ බලයෙන් ජනතාව බලමුළු ගන්වා ගෙන එතෙක් පරාජය කළ නොහැකි යයි විශ්වාස කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සාම්ප්‍රදායික නොවන ක්‍රම මගින් පරාජය කිරීමට හැකිවිය. නමුත් ජයග්‍රහණය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දීම වෙනුවට තමන්ම හිමිකර ගැනීමට හෙවත් තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තම නායකත්වය යටතේ ෆියෝනා කුමරිය බේරාගෙන රාජධානිය, රජකම සහ කුමරිය යන ත්‍රිත්වයම තමන් සතු කර ගැනීමට ඔවුන් උත්සාහ කළ අතර, අනපේක්ෂිත ලෙස ෆාක්වාඩ් විසින් ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟ ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ අවුල් විය. මීළඟට යුද්ධයේ සැබෑ උරුමක්කාරයා වශයෙන් ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී ඉදිරියට ගැනීමෙන් ද ජයග්‍රහණයක් ලබා ගත නොහැකිවූ තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ඊළඟ තුරුම්පුව වූයේ ආණ්ඩුව බලය බෙදීමේ ක්‍රියාදාමයකට එළඹුණු අවස්ථාවක ඊට එරෙහිව ජනතාව බලමුළු ගැන්වීමටය යනු අපගේ අදහසයි. එහෙත් ආණ්ඩුව යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවනතුරුත් එවැනි පියවරක් නොතැබීම නිසා නැවතත් ඇති වූයේ අර්බුදයකි.

ආණ්ඩුව අර්බුදයට ගමන් කරන තුරු බලා සිටි ජ.වි.පෙ. ට ආණ්ඩුවේ කල් ඇල්ලීම නිසා සිදු වූවේ තමන් අර්බුදයට යාමටය. ඔවුන්ගේම යෙදුමකින් ප්‍රකාශ කළොත් ‛රට අවුලක – පෙරට එන්න’ කියමින් උද්ඝෝෂණයක් ඇරඹූ ජ.වි.පෙ. ට සිදුවූවේ පක්ෂය අවුලක පෙරට එන්න යන කැරලිකරුවන්ගේ ඉල්ලීමට උත්තර සපයන්නටය. කැරලිකරුවන් විසින් කළේ මහින්ද රාජපක්ෂ පාලනය තව වසර දෙකකට දීර්ඝ කර දීම බව ජ.වි.පෙ. පවසන විට එහි අර්ථය අප තේරුම්ගත යුත්තේ ඒ ආකාරයෙනි.

ෆාක්වාඩ් විසින් ෆියෝනා කුමරිය බේරා ගැනීම සඳහා තමන් යැවීමට යෝජනා කරන ලද අවස්ථාවේදී ශ්‍රෙක් හමුවේ තෝරා ගැනීම් තුනක් පැවතුණි:

1. ෆාක්වාඩ් තමාගෙන් පැහැරගත් තමා අනවසරයෙන් හෙවත් නීත්‍යනුකූල නොවන ආකාරයට ජීවත්වූ මඩ වගුර ආපසු නිත්‍යනුකූලව ලබා ගැනීම සඳහා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා කුමරිය බේරා ගැනීමේ ගවේෂණයට ගොස් කුමරිය බේරාගෙන පැමිණ ඇය ෆාක්වාඩ්ට භාර දී ඔහුට රජෙකු වීමට අවස්ථාව ලබා දී ඔහු යටතේ වැදගත් නීත්‍යනුකූල පුද්ගලයෙකු ලෙස ජීවත් වීම.

2. ෆාක්වාඩ්ට බම්බු ගහ ගන්නට කියා තම මඩ වගුර ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවගේ බිය සහ ගෞරවය උපදවන ආකාරයේ නීත්‍යනුකූල නොවන කැරලිකරුවෙකු ලෙස සටන් වැදීම.

3. ෆාක්වාඩ්ගේ ඉල්ලීමට එකඟ වී ෆියෝනා කුමරිය බේරා ගැනීමේ මෙහෙයුමට හවුල් වී ඇය බේරා ගෙන පසුව ඇයට බැදි ආදරය නිසා ෆාක්වාඩ්ට ඇය භාර නොදී ඈ හා විවාහ වී රජකමට උරුමය ලබා ගැනීම.

ශ්‍රෙක් තෝරා ගත්තේ තුන්වන විකල්පය වන අතර ඉන්පසු ඔවුහු සතුටින් ජීවත් වෙති. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ශ්‍රෙක් තම වර්තමාන ජීවිතය ගැන කලකිරී අතීත රැඩිකල්, නීත්‍යනුකූල නොවන ජීවිතය ගැන අතීත වේදනාවක් ඇති කර ගනී. ඒ නිසා ඔහු සිහින දකින්නේ අතීත ජීවිතය ගැනය. එනම් ඔහු ‛අපරාධෙ මම පළමුවන විකල්පය තෝරාගත්තෙ නැත්තෙ, එහෙම වුණානම් මට දඩබ්බර කැරලිකරුවෙකු හැටියට සමාජයේ ගෞරවයක් ඇතිව ජීවත් වෙන්න තිබුණා’ යයි සිතයි.

ජ.වි.පෙ. ට ද ශ්‍රෙක්ට හමු වූ අභියෝගයම මුණ ගැසෙයි.

1. තමා ජීවත්වන නීත්‍යනුකූල නොවන තත්ත්වය ඉවත් කරගෙන සිංහල බෞද්ධ බහුතර සමාජයේ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරගෙන, ඉන්පසු ඒ මගින් ලැබෙන ජන බලය හරහා තම ශක්තිය වැඩි කරගෙන, තමන්ගේ මතවාදී ආධිපත්‍යය යටතේ හැසිරෙන ආණ්ඩුවක් බලයට පත් කරගෙන එය සමඟ එක්ව යුද්ධය සඳහා ජනතාව බලමුළු ගන්වා ජයග්‍රහණය ලබා ගෙන එම ආණ්ඩුවේ පාලකයන් වන ෆාක්වාඩ්ලා යටතේ වැදගත් පුද්ගලයන් ලෙස ජීවත් වීම. (විමල් වීරවංශ ඇතුළු පිරිස තර්ක කරන්නේ කළ යුතුව තිබුණේ එය බවයි.)

2. මේ යුද්ධය ධනපති පන්තියේ යුද්ධයක් ලෙස සලකා, උන්ගේ යුද්ධය උන්ට ඕන විදියකට කරගන්නැයි කියා පාලක පන්තියට බම්බු ගහ ගන්නැයි යෝජනා කරමින් සියලු පීඩිත බලවේගවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් පන්ති අරගලය සඳහා බලවේග පෙළගැස්වීම සඳහා ක්‍රියා කිරීම.
(පුබුදු ජයගොඩ ඇතුළු කැරලිකාර කණ්ඩායම කියන්නේ තමන් දිගටම යෝජනා කළේ මෙය බවයි.)

3. පළමු පියවර අනුගමනය කරමින් යුද්ධය සඳහා ජාතිවාදී පදනමක් මත ජනතාව බලමුළු ගන්වා එමගින් සුළු ජාතියේ විමුක්ති අරගලය මර්දනය කිරීමට යන පාලක පන්තියේ හමුදාව ශක්තිමත් කොට එම යුද්ධය අසම්ප්‍රදායික ආකාරයෙන් මෙහෙයවා ජයග්‍රහණය ලැබීමට අපොහොසත් වන විට තමා නායකත්වය ලබා ගෙන යුද්ධය මෙහෙයවා ජයග්‍රහණය කොට ජයග්‍රහණයේ අයිතිය සහ කීර්තිය තමන් විසින් ලබා ගැනීම හෝ එම විකල්පය අවසන්වී ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කළහොත්, ඊළඟට ඉන්දියානු මෙහෙයවීම මත ආණ්ඩුව් බලය බෙදීමට සැරසෙන විට එයට විරුද්ධව බලවේග මෙහෙයවා ජයග්‍රහණය ලබා ගැනීම. (ජවිපෙ නිල නායකත්වය නොකියන නමුත් ඔවුන්ගේ ස්ථාවරය පක්ෂ සාමාජිකත්වයට සාධාරණීයකරණය කරන ස්ථාවරය මෙයයි.)

ශ්‍රෙක්ට මෙන්ම ජ.වි.පෙ. ට ද අදාළව මෙම විකල්ප තුනෙන් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වූයේ එක් විකල්පයක් පමණකි. එනම් තුන්වන විකල්පයයි. එය අපට ‛යථාර්ථය’ ලෙස හැඳින්විය හැකිය. විකල්පයන් 3 පැවතිය හැක්කේ යථාර්ථයට පෙර පැවති ප්‍රාග්-යථාර්ථය තුළ පමණකි. එබැවින් විමල් වීරවංශ සහ තවත් අය කියන ආකාරයට ජ.වි.පෙ. ට 1 වන විකල්පය හෙවත් දේශප්‍රේමී විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන්න මතයද, ජ.වි.පෙ. කැරලිකරුවන් පවසන ආකාරයට ජ.වි.පෙ. ට 2 වන විකල්පය හෙවත් වාමාංශික විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන මතය ද අයත් වන්නේ ප්‍රාග්-යථාර්ථයට මිස යථාර්ථයට නොවේ. යථාර්ථය වන්නේ තුන්වන විකල්පය වන අතර එම විකල්පය ක්‍රියාත්මක කිරීමේදී අසම්ප්‍රදායික සටනකින් පසු ෆියෝනා කුමරිය බේරාගත් ශ්‍රෙක් මෙන් දෙමළ මිනිසුන් මත අතිමහත් විනාශයක් පතිත කරන ලද සාම්ප්‍රදායික නොවන යුද්ධයකින් පසු ජයග්‍රහණය ෆාක්වාඩ්ලා විසින් පැහැර ගැනීමට ලක්වීම බලා සිටීමට සිදුවීමයි.

පීඩිත ජනතා අරගලයක් විනාශ කිරීම සඳහා තම පක්ෂය සතු සියලු හැකියාවන් යොදවන ආකාරය හෘදය සාක්ෂියේ කිසිදු සෙලවීමක් නොමැතිව ඉවසා වදාරා සිටි, ඒ නමුත් එදා වෙනත් විකල්පයක් අනුගමනය කළ හැකිව තිබුණා යැයි දැන් කියන කැරලිකාරී කණ්ඩායමට අප කිව යුත්තේ එම සිදුවීම සිදුවී අවසන් බවත්, අසරණ මිනිසුන්ගේ රුධිරය ඔබගේ දෑතේ ද ගෑවී ඇති බවත්ය. දැන් තමා නැවත සොයා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට සිදුවන්නේ ‛ඔබගේ සියලු ප්‍රශ්න අතුරුදහන් කරවන’ රම්පල්ස්ටිල්ට්ස්කින් කෙනෙක් සොයා ගැනීමටය.

රම්පල්ස්ටිල්ට්ස්කින්ගෙන් තම පැරණි ජීවිතයෙන් දවසක් ඉල්ලා සිටින ශ්‍රෙක් ඒ වෙනුවට තම ජීවිතයෙන් එක දවසක් ඔහුට දීමට එකඟ වෙයි. ඒ අනුව රම්පල්ස්ටිල්ට්ස්කින් ලබා ගන්නේ ශ්‍රෙක් ඉපදුණු දිනයයි. ශ්‍රෙක්ට තම පැරණි ජීවිතය ලැබෙන අතර අතීතයේදී මෙන් සියලු දෙනාම ඔහුට බිය වෙති. එහෙත් දවස අවසානයේ නිවස බලා යන ඔහුට දකින්නට ලැබෙන්නේ තමන්ගේ ඡායාරූපය සහිතව ‛දුටු තැන අල්ලනු’ යනුවෙන් දැන්වීම් අලවා ඇති බවයි. නැවතත් තහනම් පුද්ගලයෙකු බවට පත්වීම නිසා (එක දිනකට) සතුටට පත්වන ඔහුට තරු විසි වෙන්නේ තම බිරිඳ වන ෆියෝනා කුමරිය රාක්ෂියක වශයෙන් සිටින අවස්ථාවක ඡායාරූපයක් ද දුටු තැන අල්ලනු තේමාව යටතේ අලවා ඇති බව දකින විටයි. මෙහිදී ඔහුට දැන ගැනීමට ලැබෙන්නේ තවමත් ඔහු විසින් ෆියෝනා බේරාගෙන නැති බවයි. අතීතයේදී තමා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා සොයා යද්දී තමාගේ සහයට සිටි මිත්‍රයා වන කතා කරන බූරුවා පවා දැන් ඔහු නොහඳුනයි. ඔහු ෆියෝනා සොයා ඇය රඳවා සිටි මකරා විසින් ආරක්ෂා කරනු ලබන කුළුණ වෙත ගිය ද ඔහුට ෆියෝනා හමු නොවේ. තම ගැලවුම්කරුවා එනතුරු කුළුණට වී දින ගනිමින් සිටි ෆියෝනා ස්වෝත්සාහයෙන්ම කුළුණෙන් පැන ගොස් යටි බිම් ගත් වී හෙවත් අන්ඩර්ග්‍රවුන්ඩ් ගොස් අනෙකුත් රාක්ෂයන්ට නායකත්වය දෙමින් රම්පල්ස්ටිල්ට්ස්කින් ගෙන් නගරය බේරා ගැනීම සඳහා විප්ලවයක් සූදානම් කරයි. මෙහිදී ඇය සොයා ගොස් තමා ඇගේ නැතිවූ ස්වාමිපුරුෂයා බව පවසා ඇයට තම සැබෑ ආදරයේ ප්‍රථම හාදුව දීමට ශ්‍රෙක් උත්සාහ කරන්නේ එසේ කළ විට සියල්ල නැවත පෙර තිබූ තත්ත්වයට පත්වන හෙයිනි. ඒ අවස්ථාවේ ශ්‍රෙක් මෙසේ කියයි.

“නමුත් මම ඔබේ සැබෑ ආදරවන්තයා!”

එවිට ඔහුගේ ආදරය සහ හාදුව ප්‍රතික්ෂේප කරන ෆියෝනා කුමරිය කියන්නේ මෙයයි:
“මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?”

දෙමළ ජනතාවගේ සහ අනෙකුත් පීඩිත ජන කොටස් සමාජවාදය කරා කැඳවා ගෙන යාමට දෛවය විසින් වරම් ලබා ඇතැයි සිතන ජ.වි.පෙ. කැරලිකරුවන් තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබ ඇති දෙමළ ජනතාව ඇතුළු අනෙකුත් පීඩිත ජන කොටස් වෙත ගොස් “අපි ඔබේ සැබෑ ගැලවුම්කරුවන්” යැයි කියන විට මෙසේ පෙරළා විමසනු ඇත.

“මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?”

සුදර්ශන ගුණවර්ධන[Sudarshana Gunawardena]

by- http://www.samabima.info/?p=981