මන්නාරම් වෙරළ තීරයට වැටුනු හිරු රැසින් වෙරළ තීරයේ මවන්නේ අපූරු චමත්කාර දසුන් පෙළකි. කලකට ඉහතදී මේ වෙරළත්, මේ භූමියත් ලෙයින්, කඳුළින් තෙමුනත් අද හිරු රැසින් විචිත්‍රවත් වීම ලේ සුවඳ වෙනුවට ජීවිතය ඉල්ලා සිටි සුවහසක් මිනිසුන්ට එක් පසෙකින් සැනසීමකි. ‛‛මෙතැනට කියන්නේ තාල්වාඩු වෙරළ.’’ වෙරළේ කුඩා පොල් අතු මඩුවක සිටි ධීවරයෙක් අප සමඟ පැවසීය. වෙරළේ තැනින් තැන ඉදිකළ කුඩා පොළ් අතු මඩුවල ධීවරයින් කිහිප දෙනකු තම දැල් ආම්පන්න සකසමින් සිටින්නේ ඉතාමත් යුහුසුලුවය. මන්නාරම් මුහුද ඉතා සීරුවෙන් වෙරළ සිප ගනී. එය එතරම් සොඳුරු දසුනකි. මගේ කැමරාව, ‛ඒ මොහොත’ සටහන් කර ගත්තේ ඒ සොඳුරු බවම නිසා වෙනි.
‛‛පොටෝ ගන්න එපා’’ තිගැස්සී පිටුපස බැලු මට දිස්වූයේ නාවික හමුදා සෙබලෙකු මා වෙතට එමින් සිටි බවය. ‛‛මොනවද පොටෝ ගන්නේ’’ අසමින් මා වෙත වේගයෙන් ආවේ ය.
‛‛මුහුද’’.. මා පැවසීය. ඒ සත්‍ය වශයෙන්ම මා ඡායාරූපයට නැගුවේ මහ මුහුදය. මා දන්නා තරමින් නාවික හමුදාවට හෝ ලෝකයේ කුමන හෝ අධිපතිවාදියෙකුටවත් මහ මුහුදේ ඡායාරූපයක් ගැනීම හෝ එය සිතුවම්කිරීමට බාධා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. කුමන හෝ පරමාර්ථයකින් එය කළ හැක්කේ දූපත් මානසිකත්වයකින් හෙබි දේශපාලනික අඟුටු මිට්ටෙකුට පමණි.
‛ඔය පැත්ත පොටෝ ගන්න එපා’ නාවික සෙබලා නැවත පැවසීය.
‛ඇයි…..?’ මම නැවත වරක් ඇසීමි.
‛ඔය පැත්ත අධිආරක්ෂිත කළාප’ ඔහු නැවත වරක් පැවසීය.
‛දැන් අධි ආරක්ෂිත කලාප නෑ කියලා නේ ආණ්ඩුවයි, හමුදාවයි කියන්නේ’..අනිත් එක දැන් යුද්ධයත් ඉවරයි…යළිත් මා පවසනවාත් සමඟ ඔහුගේ ස්වරය වෙනස් විය.
‛ඔයා කවුද…?’ අනිත් එක, අපි ඔවා දන්නෑ.. අපිට කියලා තියන දේ තමයි අපි කියන්නේ. පොටෝ ගන්න එපා..’’ දැඩි ස්වරයෙන් කී ඔහු මා අසලින් පිට වී ගියේ ය.
ඇති තරම් මුහුදේ මතකයන් කැමරාවේ සටහන් කර ගත් මා අසල පොල් අතු මඩුවේ ධීවරයෙක් අසලින් ඉද ගත්තේ දැඩි තිබහකින් ය. ‛බොන්න…’ වතුර බෝතලය මා දෙසට දිගු කරමින් ඔහු කියයි. ‛ඔයාලා සිංහල ද..’ ඔහු කැඩුනු සිංහලෙන් අසයි.
‛‛පේනවා නේද තත්ත්වේ…’ පොටෝ ගන්නත් එපා කිව්වා නේද? ඔන්න අපි ජිවත් වෙන හැටි. ඔහු දෙමළෙන් කියාගෙන යන අතර මා මිතුරා අසීරුවෙන් එය සිංහලට නැගීමට වෙර දරයි.
‛එයාලා හැමදාම ඔහොම තමා. අපි මොනවද කරන්නේ කියලා බලාගෙන ඉන්නේ. හරියට අපි හොරු වගේ…ඔන්න අපේ සාමය’’ ඔහු කියාගෙන ගියේ දුක මුසු වූ තරහකින් දැයි සිතෙයි.
අපි ඔහුත් සමඟ කතා කරන්නට පෙර ඔහු වේගයෙන් කතා කරගෙන යයි. තවමත් නාවික සෙබලුන්ගේ ඇස් අප වෙත එල්ල වී තිබෙනු දක්නට විය. මුහුදේ තිබෙන විශාල නොවූ ඝෝෂාවත් පරයා මේ ධීවරයා කතා කරගෙන යයි. වසර ගණනාවකින් හමු වූ දන්නා හඳුනන අයෙකු මෙන් ඔහු ඔහුගේ කතාව කියන්නට පටන් ගත්තත් ඔහු කරමින් සිටි, දැල අලුත්වැඩියා කිරීම නම් නතර කළේ නැත.
කොහොමද යුද්ධෙන් පස්සේ ජීවිතේ අපි විමසූවෙමු..
‛‛යුද්ධයෙන් පස්සෙ උතුරු නැගෙනහිර කියන්න තරම් සංවර්ධනයක් සිදුවෙලා නැහැ. නමුත් අපේ රස්සාවට හානියක් සිදුවන විදිහට තමයි සමහර දේවල් සිදුවෙන්නෙ. ‛පාස්’ ප්‍රශ්නෙ තාම තියෙනවා. රෑට ගියත්, දවල්ට ගියත් අනිවාර්යයෙන්ම අපි පාස් එක පෙන්වන්න ඕනෙ. පාස් එකේ සඳහන් වී තිබෙන දිනය එක දවසකින් හරි අවලංගු වුණොත් මාළු අල්ලන්න යන්න දෙන්නෙ නැහැ. නමුත් උතුරේ, යාපනයේ වගේ ප්‍රදේශවල මේ ‛පාස්’ ක්‍රියාවලිය අත්හිටුවලා තියෙනවා කියලා ආරංචි වෙනවා. මන්නාරමේ විතරයි තාම තියෙන්නෙ. ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පැමිණෙන නිසා සතියෙ දවස් 6න් දවස් 3 ක් විතරයි අපිට අනුමැතිය ලැබෙන්නෙ. උතුර හෝ නැගෙණහිර ප්‍රදේශවල ට්‍රෝලර් යාත්‍රාවලට දවස් 3ක් වෙන් කරලා තියෙනවා. මේ රජය බලයට පත්වුණාට පස්සෙ භූමි තෙල් රුපියල් 35 කින් වැඩිවෙලා තියෙනවා. දවසකට ලීටර් 60ක් භූමි තෙල් වැයවෙනවා. එතකොට දවසකට කොච්චර වියදමක් යනවද කියලා හිතලා බලන්න.
සංවර්ධනය….? ඔහුගේ හඬ එක විට වේගවත් වූයේ මහා රළ කඳක් ගල්පරයක වැදුනාක් මෙනි.
‛‛පාර විතරයි හදන්නෙ. ජනතාවගේ රැකියා, නිවාස විනාශ වෙලා තියෙන්නෙ. පාර හදන්නෙ මොකටද? රජයේ වාහන යන්නනෙ මේවා හදන්නෙ. මිනිහෙකුට නිවාස සහ රැකියාව අත්‍යවශ්‍යයි. යුද්දෙන් ඒවා නැතිවුණු අයට තවම වන්දි ලැබිලාවත් නැහැ. අපිත් සිංහල ප්‍රදේශවලට ගිහිල්ලා තියෙනවා. මීගමුවෙ අළුත් බස් නැවතුම්පොළ හදන හැටි කොහොමද? මන්නාරමේ ඒවගේ ගොඩනැගිල්ලක් පෙන්වන්න බලන්න.’’
මොනවද ඔයාලා මෙයාගෙන් අහන්නේ…? ක්ෂණිකයින් මතු වුනු සිංහල කටහඬ ඇසුනු දිශාවට යොමූ වූ මම පිටුපස බැලීමි. නාවික හමුදා සෙබලා මා පිටුපස ය.
‛‛ජීවිතේ කොහොමද කියලා අහනවා…’’ යැයි මා පැවසීය.
එයා මොනවද කියන්නෙ…? නැවතත් නාවික සෙබලාගෙන් ප්‍රශ්ණයකි.
හොදයි ලු… කෙටි පිළිතුර තුළ වූ නොඉවසුම් ගතිය දැනුනු නිසාදෝ නාවික සෙබලා ඉවතට ගියේ ය.
ඒත් ධිවරයා නම් තම කතාව නතර කළෙවත්, කිසිදු වෙනසක් පෙන්වූයේ වත් නැත. ඔහුගේ මුහුණේ මහා වේදනාවක් රැදී ඇතැයි මට සිතිනි. යුද්ධය අවසන් වෙලා වසර දෙකකටත් වැඩිය ගත වෙලත් දෙමළ මිනිසෙක් සමග ඔහුගේ ජීවිතය ගැන, දුක් වේදනාවන් පිළිබදව කතා කරන්න මිනිසෙකුට අයිතියක් නැති ද? හමුදාව ඒවා වාරණයට උත්සහ කිරීම කෙතරම් වේදනාකාරී දෙයක්ද? සහජීවනය ගොඩනැගිය හැක්කේ සිවිල් ජීවිතවලට හමුදාව අත පෙවීමකින්ද?
‛‛අපේ බෝට්ටු ඉන්දියානු සීමාවට ඇතුළු වුණොත් අපිව අරගෙන යනවා. තව පොඩ්ඩකින් බලන්න ඉන්දියාවෙන් බෝට්ටු මෙතෙනට එනවා. නමුත් ඒ අයට කිසිදෙයක් වෙන්නෙ නැහැ. දැන් පේසාලෙට ගියොත් මුහුදු වෙරළෙත් ඉන්දියානුවන් ඉන්නවා. දවස් තුනම වෙරළට ඇවිල්ලා ඒ අය යනවා. මේක ඉන්දියාවද කියලා වෙලාවකට හිතෙනවා. ඉන්දියාවෙන් ට්‍රෝලර් 600 ක් එනවා. ඒ අය අල්ලන්න අනුමැතියක් නැහැ කියලා මෙහෙ අය කියනවා. අපිව නම් එක එක විදිහට පාලනය කරන්න මෙහෙ අයට පුළුවන්. ඒත් ඉන්දියාවෙන් ආවහම එයාලව පාලනය කරන්න මෙයාලට බැහැලු.’’ ඒ කිවූ වචන මහ මුහුදට වඩා ගැඹුරු, වේදනාත්මක වචන බව ඔහුගේ මුහුණෙන් දිස් විය. ඔවුන් මේ දිවා රෑ වෙහෙසෙන්නේ මාළිගා හදන්නට නොව එක දවසක්වත් නිදහසේ ජීවත් වෙන්න බව පසෙකින් වූ තවත් ධිවරයෙක් ‛‛හොදි පමණක් සමඟ පරාටා දෙක තුනක් කනවා දුටු මට සිතිනි.
‛‛උතුරු නැගෙනහිර දේශපාලන තත්ත්වය දිහා බැලුවහම අපිට එච්චර වාසියක් නැතිබව පැහැදිලිනෙ. අද කතා කරන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. හෙට ඔයාලා ගිහිල්ලා මං මේ කියන ඒවා දැම්මට පස්සෙ මට මොනව වෙයිද කියල කවුද දන්නෙ?’’
අවසන් වරට ඔහු කීවේ ය.
මහ මුහුද එතරම් හඬක් නැතිව වෙරළ සිප ගත්තත් ඒ කිවූ වචනවල ගැබ්ව ඇති බියකරු සත්‍ය හමුදා නිළ ඇඳුමකටවත්, දියවන්නාවේ සිට, රළ බිඳින හඬට වඩා ඝෝෂාවෙන් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිසුන්ගේ නිදහස ගැන කයිවාරු ගහන මහත්වරුන්ට නම් තේරෙන්නේ නැති බව, මේ මිනිසුන්වත් තෙරුම් ගෙන සිටිනවාදැයි වරෙක හැඟී යයි.
මහත්තයා පොඩ්ඩක් එනවද? යළිත් නාවික සෙබලා මා ඇමතීය.
‛‛නම කියනව ද?’’ යළිත් ඔහු කියයි. ‛‛නෑ අපිට ඕඩරයක් ආවා මහත්තුරුන්ගේ විස්තර ගන්න.’’
‛‛ඇයි අපි ආවේ වැරදි තැනකට ද, එසේත් නැතිනම් නාවික හමුදා කඳවුරකටද..?’’ මම විමසීමි.
‛‛දැන් යුද්ධයත් නෑ. ආරක්ෂක අංශ ප්‍රධානීන් සියලු දෙනා කියනවා දැන් ඕන තැනකට යන්න පුලුවන් කිසි ප්‍රශ්ණයක් නෑ කියලා, මොනවද ඔයාලා මේ කරන්නේ.’’
‛‛අපිට මිනිසුන් එක්ක කතා කරන්න බැරිද?’’ මම විමසුවෙමි.
‛‛අපිට කියලා තියෙන දේ තමයි අපි කරන්නේ’’ පවසමින් මාගේ සියලු තොරතුරු සටහන් කර ගත්තේ ය.
‛‛කොහේවත් පොටෝ ගන්න දෙන්න එපා, සිවිල් මිනිසුන්ගේ පොටෝවත්, කතා කරන්නවත් දෙන්න එපා’’ නාවික හමුදා සෙබලා ළග තිබූ වෝකිටෝකී යන්ත්‍රයෙන් එක පාරට ඇසෙන්නට විය.
ඕකේ සර්. ඕකේ…ඕකේ.. සෙබලා පිළිතුරු දෙයි..
පොටෝ ගත්ත ද? නැවතත් මගෙන් විමසයි.. නෑ පොටෝ ගත්තේ නෑ. මම කීවේ ය.
යුද්ධය අවසන් වී වසර දෙකකටත් වඩා ගත වී ඇත. උතුරු නැගෙනහිර ඕනෑම තැනකට යා හැකි යැයි පුරසාරම් දොඩවන ආරක්ෂක අංශ සහ ඇමතිවරුන් මේ යථාර්තය නොදන්නවා නොවේ. සත්‍ය නම් තවත් එහි පාලනය වන්නේ සිවිල් නීතියට නොව හමුදා නීතිය බව හොඳින් ම පැහැදිලි වන්නේ දකුණෙන් යාපනයට ගොස් එතනින් බෝට්ටුවෙන් නාගදීපයට ගොස්, යාපනයේ කඩේකින් හෝ මන්නාරමේ කඩේකින් කරෝල කූරියෙක් රැගෙන ආපසු දකුණට ගොස් ‛ෂා’ දැන් නියමයි කීමෙන් නොවේ. පිීඩිත දෙමළ මිනිසාගේ ඇත්ත ජීවිතය හමුවන්නේ ඔවුන්ගේ ඇත්ත බිම්වලය. ඔවුන්ගේ නිවෙස් වලය. ඔවුන් සමග නිදහසේ කතා කිරීමෙන්ය. බෙදා හදා ගැනීමෙන්ය. එසේත් නැතිනම් හමුදා කඳවුරු තුලවත්, හමුදාව විසින් සිංහල ජනයාට යාමට කියන තැන්වලවත් නොවේ. ඒ සත්‍ය, ඒ ජීවිතවල බියකරු බව, තවමත් ආණ්ඩුවේ මිලිටරිය විසින් වසන් කරනු බව හොඳින්ම පෙනෙන්නට තිබේ.
මන්නාරමේ බහුතර ජනතාවක් තම ජීවිකාව ගෙන යන්නේ ධීවර රස්සාවෙන් ය. එයිනුත් සුලුපන්න ධීවර ක්‍රමයන් භාවිතා කරමින් ජීවත්වන්න්න තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් සිටියි. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ යුද්ධය අවසන් උනාට අඩුම රමේ තම ධීවර රැකියාව කරගෙන යාමට තරම්වත් නිදහස් නැති බවය. නිදහසේ තරම කියාපාමින් මන්නාරමේ නගරයේ මෙන්ම නගරයෙන් පිටත් නාවික හමුදාව සහ යුද හමුදාව තවමත් ගිනි අවි අමෝරා සිටිනු අපට දැක ගත හැකිවිය.
‛‛යුද්ධය ඉවරවෙලා අවුරුදු 02ක් ගතවෙලත් නිදහසේ අනුමැති නැතිව ධීවර කටයුතුවල අපට යෙදෙන්න බැහැ. තවම පාස් ක්‍රමය ක්‍රියාත්මකව තිබෙනවා. මෙම නිසා ධීවරයන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. තැනින් තැන කුඩා කුඩා නාවික හමුදා කඳවුරු තිබෙන නිසාත් ඒවායේ ආරක්ෂක ක්‍රියා මාර්ග නිසාත් මාළු දැල් දාන්න බැරි තත්වයක් උදාවෙලා තියනෙවා. මේ ප්‍රදේශයේ ධීවර වෙළඳාම සිදුවන ප්‍රදේශ දෙකක් මැදින් නාවික කඳවුරක් පිහිටා තිබෙනවා. ඒක නිසා පාර වහලා තියෙන්නෙ. ඒක ධීවර කටයුතු වලට හරි බාධාවක්. ඒක නිසා කඳවුර මැදින් යන පාර ඇරලා දුන්නොත් ධීවර කටයුතු වලට පහසුයි. මේ බව පවසන්නේ, තාල්වාඩු ධීවරයන්ගේ සමූපකාර සංගමයේ සභාපති, සෞව්රියාන් ජූඩ්සන් මහතායි.
ඔහු තවදුරටත් මෙසේ පවසයි,
අපටම කියලා අයිතිවාසිකමක්, නිදහසක්, සංස්කෘතියක් තියෙන්න ඕනෙ. මේවා අහිමි වුණොත් ජීවිතය හරිම පීඩාකාරී වේවි. පැය විසිහතරම මාළු අල්ලන්න පුළුවන්, අධ්‍යාපනයෙන් ඉහළ යන්න පුළුවන්. විශාල සංවර්ධනයක් වෙන්න පුළුවන්. නමුත් අයිතිවාසිකම්, නිදහස නැතුව ජීවත් වෙන්න පුළුවන් ද? ඕනෑම මිනිසෙක්ට නිදහසේ ජීවත් වීම අත්‍යවශයි. ශ්‍රී ලංකාවේ හැමෝටම එක හා සමාන ප්‍රජාවක් විදිහට ජීවත් වෙන්න ඉඩ තියෙන්න ඕනෙ.’’ ඔහු පවසයි.
යුද්ධයෙන් පසුව මන්නාරමේ ජනයා බොහෝ අපේක්ෂාවන් සමග ජීවත් වූ බවත්, වේගවත් ලෙස තම ජීවිතවල සංවර්ධනයක් සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් සිටි බවත් මන්නාරම දිස්ත්‍රික්ක සර්ව ආගමික සංගමයේ සභාපති, තමිල් නේෂන් පියතුමා පවස යි.
‛‛ජනතාවගේ අපේක්ෂාව අනුව සංවර්ධනය වෙනවා කියලා කියන්න බැහැ. සුළු සුළු සංවර්ධනයන් සිදුවෙලා තිබෙන බව ඇත්ත. පාරවල් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. විශේෂයෙන්ම මන්නාරම ජනතාවට ප්‍රශ්නයක් වෙලා තිබුණු මන්නාරම පාලම අළුතින් හදලා තියෙනවා. ඒ පාලම එක්ක තිබෙන ප්‍රධාන පාරත් ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. මෙවැනි සංවර්ධන කටයුතු වෙලා තිබෙන බව ඇත්ත. නමුත් මීට වඩා යුද්ධයෙන් හානියට පත් බොහෝ නිවාස ප්‍රතිසංස්කරණය කරලා නැහැ. පොදු ගොඩනැගිලි, ආගමික ගොඩනැගිලි විනාශවෙලා තිබෙනවා. ඒවා තාමත් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. මේ සියලු දේ කල යුතුයි. යුද්ධයෙන් පසු කර තිබෙන ප්‍රමාණය අඩුයි. කරන්නට තිබෙන දේවල් බොහෝයි.
‛‛මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂය වෙනම පක්ෂයක්. දෙමළ ප්‍රදේශවල ජනතාවව නියෝජනය කරන්නෙ සුළුතර පක්ෂයක්. මේ අය ජනතාව විසින් තෝරාපත් කරගත්තත් බලය පාවිච්චිකරලා කිසිදෙයක් කරන්න බැහැ. එම නියෝජිතයන් සමග කතා කලාමත් ඒ අය ඒ දේ තමයි කියන්නෙ. රජය තමා අපට මුදල් සපයන්න ඕනෙ කියලා ඒ නියෝජිතයො කියනවා.
විශේෂයෙන් ව්‍යවස්ථාවේ වෙනසක් කළ යුතුයි. මෙම වෙනස්කම් වල සාර්ථකභාවය රඳා පවතින්නේ දෙමළ ජනතාවට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න තැනකට සිංහල ජනතාවගේ සහ දේශපාලඥයින්ගේ චින්තනය වෙනස් වෙනව නම් විතරයි. දෙපිරිසම අතරම සැකසංකා තිබෙනවා. මේවා තුරන් කර ප්‍රායෝගික දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි. ඒ විසඳුම වාචිකව සිදුවනවාට වඩා නෛතිකව සිදු විය යුතුයි.
අද වන විට දේශපාලන විසඳුමටත් වගේම, ප්‍රමුඛ ප්‍රශ්න දෙමළ ජනතාවට ඇතිවෙලා තියෙනවා. මූලිකම කාරණය තමයි අවතැන් වූවන්ව නැවත පදිංචි කිරීම, අනික මේ අයට නිවාස සාදා දිය යුතුයි. රැකියා ලබා දිය යුතුයි. යුද්ධයෙන් පස්සෙ ජනතාව මේවා ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් මේවා සිදුවන්නේ ඉතාමත් මන්දගාමීවයි. යුද්ධයෙන් හානියට පත් ජනතාවට තවම සහනාධාර ලැබී නැහැ. ශාරීරික වශයෙන් පීඩාවට පත් ජනතාව බොහෝ ප්‍රමාණයක් තවම ඉන්නවා. බොහෝ පවුල් වල ගෘහ මූලිකයන් අහිමි වෙලා තියෙනවා. මෙවැනි පවුල් වලට සහනාධාර, වන්දි ලබා දිය යුතුයි. රැකියා ලබා දිය යුතුයි. ළමයින්ට අධ්‍යාපන පහසුකම් ලබා දිය යුතුයි. යුද්ධය නිමවී අවුරුදු 2ක් ගතවෙලා නිවාස නැතුව, රස්සාවල් නැතුව, කෑම නැතුව තවම ජනතාව පීඩා විඳිනවා. යුද්ධය නිම වුණාට පස්සෙ දෙමළ ජනතාවගෙ ප්‍රධාන බලාපොරොත්තු දෙකක් තිබුණා. එකක් තමයි දේශපාලන විසඳුම, අනික තමයි යුද්ධයෙන් ඇති වූ ප්‍රශ්න විසඳීම. තාම දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරලා නැහැ. ඒ පිළිබඳව අපි කනස්සල්ලට පත් වෙනවා. දෙමළ ජනතාව නැවතත් රැවටිලා තියෙනවා. යුද්ධයෙන් ඇති වූ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමේ කටයුතු ඉතාමත් මන්දගාමීයි.
අනෙක යුද්ධය දැන් ඉවරයි. නමුත් යුද්ධය ඇයි ඇති වුණේ කියන කාරණය තවම තියෙනවා. භාෂා ප්‍රශ්නය, රැකියා නොමැතිකම, දෙමළ ජනතාවගේ ප්‍රදේශ සිංහලීයකරණය කිරීම වැනි ගැටළු නිසා තමයි යුද්ධය ඇති වුණේ. යුද්ධය ඉවර වුණා කියලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉවර නැහැ. ඒ ප්‍රශ්න තාම තියෙනවා. හැමෝම පිළිගත්ත දේශපාලන විසඳුමක් ලබා දෙන්න ඕනෙ කියලා දෙමළ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක මීට ඉස්සෙල්ල වෙන්න තිබුණු දෙයක්. නමුත් තවමත් ක්‍රියාත්මක කර නැති එක ගැන කණගාටුයි.’’
හිරු මුදුන් වීමට ආසන්න ය. මන්නාරමේ අලුතින් ඉදි කළ පාලම මත අවට සිරි නැරඹීමට පැමැණී විනෝද චාරිකා නඩයකි. පාලම අද්දර බිලිපිත්තක් වතුරට දමා කොයි මොහොතේ හෝ මාලුවෙකු බිලි බෑමේ අරමුණින් ඇසිපිය නොහෙළා බලා සිටින තරුණ ගැටවු කිහිප දෙනෙකි. ඈතින් කුඩා ඔරුවක දැලක් එළන ධිවරයෙක් ගිණි අවුවද නොතකා තම රාජකාරිය කරනු පෙනෙයි.
මේ අලුත් පාලම් තැනුවට, පැයට කිලෝමීටර 100ක වේගයෙන් ගියාට ඇත්තටම තවමත් උතුරු නැගෙනහිර කෙතරම් විසඳාලියහැකි, විසඳාලියයුතු ගැටලු ප්‍රමාණයක් තිබේද? සිමෙන්තිවලින් පාලම් තැනුවට වසර ගණනාවක් කතා කිරීමටත්, බෙදා හදා ගැනීමටත් නොහැකි වුනු ජාතීන් දෙකක් අතර පාලම් හදන්නේ කොහොමද? මේ සිමෙන්ති පාලම් හදන විට සිතන්නට තිබුණේ එය යි. දෙමළ මිනිසෙක් සමග කතා කළ නොහැකි යැයි ඔවුන් ඡායාරූපයකට නොනැගිය යුතු යැයි ආරක්ෂක අංශ තර්ජනය කරන විට කොතරම් මෙවැනි පාළම් හැදුවත් කුමට ද?
‛‛අද කතා කරන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. හෙට ඔයාලා ගිහිල්ලා මං මේ කියන ඒවා දැම්මට පස්සෙ මට මොනව වෙයිද කියල කවුද දන්නෙ?’’ උදෑසන තල්වාඩු වෙරළේ දී ධීවරයා කියු ඒ කතාව මගේ මනසේ දෝංකාර දෙන්නට විය.
මන්නාරමේ සංචාරයකින් පසු,
සම්පත් සමරකෝන්[Sampath Samarakoon]
පරිවර්තන සහය රාජේෂ්, මනෝජ්