මගේ භාර්යාවගේ ජාතික හැඳුනුම්පත නැතිවිය. ඒ හැඳුනුම්පත හමුවූ කෙනෙක් තැපැල් මගින් එවාවියි කියා අපි බලාපොරොත්තු වුණා. සුමාන ගණනක් බලා සිටි නමුත් එය ලැබුණේ නැහැ. දැන් ඉතිං කරන්නට ඇත්තේ අලුත් හැඳුනුම්පතකට අයදුම් කිරීම බව අපි තීරණය කළා.
(ජාතික හැඳුනුම්පත නැතුව මග තොටේ ගමන් කිරීමත්, ගෙදර රැදී සිටීමත් මේ කාලයේ භයානක බව පොඩි ළමයෙක් වුවත් දනී)
මේ නිසා ජාතික හැඳුනුම්පත නැතිවීම ගැන පැමිණිලි කරන්න අපි දෙදෙනා පොලිස් ස්ථානයට ගියා. එදා දිනය 2007 අගෝස්තු 09 වෙනිදා. රටේ උතුරු නැගෙනහිර අරුණාම දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්න පහසුකම් තියෙන එකම පොළිස් ස්ථානය මීගමුව බව මම මාගේ භාර්යාවට කියා දුන්නා.
දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට අදාළ අංශයට ගොස් එහි සිටි පොලිස් අධිකාරිවරයාට ආ කාරණය කියූ විට එතුමා මට කාරුණිකව කතා කොට කිව්වා, –
˝ඔයාට සිංහල හොඳට පුළුවන්නෙ…ඉතිං ගිහිං සිංහල අංශයට පැමිණිලි කරලා පැමිණිලි පිටපතක් ලබා ගන්නකෝ ˝
කියලා. ඒ වෙලාවේ මගේ භාර්යාව මගේ මූණ දිහා බැලුවා. කොහොමහරි අපි දෙන්නා අදාළ අංශයට ගිහින් සිංහල භාෂාවෙන් පැමිණිල්ල සටහන් කළා. පැමිණිලි පිටපත ලැබෙනතුරු ටික වේලාවක් රැඳී ඉන්න සිද්ද වුණා. අපි දැක්කා පොලිස් ස්ථානයේ වෙන තැනක පොඩි ළමයි පිරිසක් ඉන්නවා. එයාලා දෙමළෙන් කතා කරන හඬ ඇහුණා.
මේ අය කවුදැයි එහි සිටි කොස්තාපල්වරයෙකුගෙන් ඇසු විට කිඹුලාපිටියේ රතිඤ්ඤා කම්හලේ සිට මේ ළමයින් බේරාගෙන ආ බව ඔහු කිව්වා. මම පුදුමයට පත් වුණා. කිඹුලාපිටිය කියන්නේ මීගමුව බස් නැවතුමේ සිට කිලෝමීටර් 12 දුරින් පිහිටි සිංහල බහුතරයක් ජීවත් වෙන ගම්මානයක්. එතකොට රතිඤ්ඤා කම්හලට කොෙහාමද දෙමළ ළමයි ගොඩක්? මේගැන තව විස්තර දැනගන්න මම ඒළමයි හිටපු පැත්තට ගියා. එහි සිටි පොලිස් කොස්තාපල්වරයාට මාගේ මාධ්‍යවේදි හැඳුනුම්පත පෙන්නා අවසර ලබා ගෙන වැඩි විස්තර විමසා සිටියා. එතන වයස 14 ට ඉහළ ළමයින් 29 ක් සිටින බව පොලිස් කොස්තාපල්වරයා කිව්වා. නමුත් ඇත්තටම නම් ඒ ළමයින් අවුරුදු 14 ට වඩා අඩු කුඩා දරුවන් බව මට පෙණුනා. ගැහැණු ළමයි 6 ක් සහ පිරිමි ළමයි 23ක් හිටියා. 29 දෙනාගෙන් 28 දෙනෙක් වවුනියාව මදවාච්චි ප්‍රදේශයේ පදිංචි අය.
මේ සියලු ළමයින්ගෙන් ප්‍රශ්න කර දෙමව්පියන්ට බාර දෙන බව පොලිස් රාළහාමි කිව්වා. මම පොලිසියේ අනුමැතිය ඇතිව ටිකක් වැඩිහිටි පෙනුමක් තිබුණු ළමයෙක් එක්ක කතාකළා.
˝අපි වවුනියාව මැදවච්චි ප්‍රදේශයේ පදිංචි අය. අපේ ගමේ ගෑනු කෙනෙක් රසකැවිලි හදන කම්හලක වැඩ තියෙන බවත් මාසයකට රුපියල් 5000 ක් පඩි ගෙවන බවත් කියා පොරොන්දු වී අපිව අරගෙන ඇවිත් මේ රතිඤ්ඤා කම්හලට දැම්මා. අපිට මූලික පහසුකම් මොනවත් නැහැ. අපි ඇවිල්ලා මාස දෙකක් වෙනවා. මේ වෙනකං පඩි ගෙවලා නැහැ. සමහරුන්ට රුපියල් 2000 ක් ගෙවලා තියෙනවා. අපිට දෙමව්පියන් එක්ක දුරකථනයෙන් කතා කරන්නත් බැහැ. දෙමව්පියන් අපිට කතා කරන්න උත්සහ කරත් මුදලාලි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ˝
මේ අහිංසක ළමයි දැක්කම මට විශාල කණගාටුවක් ඇතිවුණා. ඒ අය එක එක්කෙනා එක්ක තනි තනියම කතා කරන්න ලැබුණානම් තවත් තොරතුරු රාශියක් ලබා ගන්න තිබුණා.
මම මගේ පැමිණිල්ලේ පටපතක් අරගෙන පොලිසියෙන් පිටතට ආවා. මා තුළ අර දරුවන් ගැන ප්‍රශ්න ගොඩාක් නැගුණා. කුඩා දරුවන්ව රැකියාවේ යෙදීම තහනම් බව රටේ නීතියයි. රජය අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන්වලත් ළමා අයිතිවාසිකම් ගැන බොහෝ දේ සඳහන් වෙනවා. නමුත් අපේ රටේ උතුරේ හා වතුකරයේ දෙමළ ළමයි දකුණේ ගෙවල්වලත් කම්හල්වලත් ඉතාම අඩු පහසුකම් යටතේ සොච්චම් පඩියකට වැඩ කරනවා.
මේ රතිඤ්ඤා කම්හලේ සිට මේ ළමයින්ව මුදවා ගත්තේ ඔවුන් කුඩා ළමයින් නිසාමද? නැතිනම් ඔවුන් දෙමළ වීම නිසා රටේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසාද? මේ ළමයි සිංහල හෝ මුස්ලිම් වුණානම් පොලිසිය මුදවා ගනීද? මේ දරුවන්ගේ ඇත්ත වයස කුමක්ද? දැන් මේ ළමයින්ව කොහාට යවයිද? ආපහු ගම්වලට ගියත් ඊට පසුව කුමක් වේවිද? මේ ආදී ප්‍රශ්න රාශියකින් මගේ ඔලුව පිරුණා.
ශ්‍රමය සූරා කන මුදලාලි යක්ෂයින්ගෙන් මේ වැනි අසරණ දරුවන්වත් රටේ සිටින දුප්පත් කම්කරුවන්වත් මුදා ගැනීම අත්‍යවශ්‍යයි.
එම්. සාජහන්
මීගමුව