සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and reconciliation

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” (1)

– [Photo, courtesy JDS, is of Sri Lanka’s President reading the LLRC report on a ‘haansi putuwa‘ at his official residence.]
”මුහුණදුන් අත්දැකීම් හඳුනා ගැනීම සඳහා කෙනෙකු අත්‍යන්තයෙන් අවංක විය යුතුය. එසේම නිර්භීත විය යුතුය. අදාළ ක්‍රියාවලිය තුළ හෙළිදරව් විය හැකි අතීත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු භයංකාර විය හැකිය.

එසේම, අතීතය දෙස ආපසු හැරී බලන ඒ ක්‍රියාවලියේ දී, අප දකින චිත්‍රය තුළ අපේ සන්තෝසයට සහ ආඩම්බරයට පමණක් නොව, අපේ ශෝකයට සහ පශ්චාත්තාපයට හේතු විය හැකි සිදුවීම් ද ඇතුළත් විය හැකිය. මේ සියල්ල දෙස අවංකවත්, විවෘතවත් ආපසු හැරී බැලීමේ එල්ලයක් නැති කිසි විමර්ශනයක්, වර්තමානයේ පටු දේශපාලන අවශ්‍යතා සඳහා මිස අනාගත අභිවෘද්ධියකට තුඩු දෙතැ යි සිතිය නොහැකිය.

අවාසනාවකට මෙන්, පත්කොට ඇති කොමිසමේ සංයුතිය, විමර්ශනය සඳහා දී ඇති කාල පරාසය (2002 සිට) සහ කොමිසමට පිටින් අපට දක්නට ලැඛෙන රට කරවන බලධාරීන්ගේ පොදු චර්යාව අනුව පෙනෙන්ට ඇත්තේ, මෙහි මූලික එල්ලය වශයෙන් පවතින්නේ, මේ රටේ ජාතීන් සහ ජන කොටස් අතර සංහිඳියාවක් ඇති කර ගැනීමේ අභිලාෂයක් නොව, ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ වර්තමාන ආකල්පය මත පැලැස්තර අලවා ගැනීමේ ක්ෂණික උවමනාවක් බවයි.”

මේ කොමිසම මුලින්ම පත්කළ අවස්ථාවේ, ”අළුත්ම ඇන්දවීම: අත්දැකීම් සහ සංහිඳියා කොමිසම’ මැයෙන් මේ කොලමේ අප එසේ ලියා ඇත.

එම කොමිසමේ සම්පූර්ණ වාර්තාව දැන් ප්‍රකාශයට පත්කොට තිබේ. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ මෙම වාර්තාව, ලංකාව නිදහසෙන් පසු මුහුණදුන් සකල දෝෂ නිරාවරණය කෙරෙන, මීට පෙර අප අසා නැති ගුප්ත රහසක් පළමු වරට නිරාවරණය කෙරෙන කුළුඳුල් වෑයමක් වෙතැ යි යන මහා අපේක්ෂාව දක්වා ක්‍රම ක්‍රමයෙන් පසු ගිය කාලය තිස්සේ දේශපාලන කථීකාව තුළ රූපගත වෙමින් පැවතියේය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක්’ පත්කෙළේ කුමක් සඳහා ද යන ඉතා සරළ අභිප්‍රාය පවා එහි දී ඉහත කී අපේක්ෂා ලෝකය තුළ පහසුවෙන්ම අමතක කෙරුණි.

ඒ අභිප්‍රාය කුමක් ද? යුද්ධයේ අවසාන කාලයේ දී සිදු වී යැයි කියන ‘යුද අපරාධ’සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ප්‍රබලව නැගී එමින් තිබූ මහා තෙරපීම යම් ආකාරයකින් සමනය කර ගැනීමේ අපේක්ෂාව යැයි එදා අප ලියූ අදහස වෙනස් කර ගැනීමට තරම් විශේෂ හේතුවක් අද මේ වාර්තාව කියැවීමේ දී සැපයෙන්නේ නැති බව එම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් පළමුවෙන්ම සටහන් කළ යුතුව තිබේ.

අපේ රාජ්‍ය නායකයන් ලෝකයේ විවිධ වේදිකාවල පසු ගිය කාලයේ තමන්ගේ එක් ශක්තිමත් සටන් පාඨයක් වශයෙන් පාවිච්චි කෙළේ මේ කොමිසම පිළිබඳ අනාගත අපේක්ෂාවන්ය. ඕනෑම ප්‍රබන්ධයකට තුඩුදෙන අභිප්‍රාය එම ප්‍රබන්ධයේ සාර්ථකත්වය මැන බැලෙන ප්‍රධාන මිම්ම විය යුතු බව පොදුවේ පිළිගැනේ. අභිප්‍රාය වන්නේ ජාත්‍යන්තර තෙරපීම සමනය කර ගැනීම නම්, ඒ අර්ථයෙන්වත් මේ වාර්තාව සාර්ථක ප්‍රයත්නයක් වීමට, එම අභිප්‍රාය කොතෙක් දුරට ජයගෙන ඇත්ද යන්න සොයා බැලිය යුතුව තිබේ.

ජාත්‍යන්තරය ඉදිරිපත් කරන නිශ්චිත ප්‍රශ්න ගණනාවක් තිබේ. ඒවා මූලික වශයෙන් සමන්විත වන්නේ ‘යුද අපරාධ’ ක්ෂේත්‍රය මුල් කර ගනිමිනි. ප්‍රශ්නයකට සැපයෙන පිළිතුර එම ප්‍රශ්යනයම පෙරලා ප්‍රශ්න කිරීමක් වන විට සිදුවන්නේ, ප්‍රශ්නය අර්බුදයට යාමයි. එය, ප්‍රශ්නවලට මුහුණදීමේ එක් විදික්‍රමයකි. එහෙත් ඒ මගින් ප්‍රශ්නය විසෙඳන්නේ නැත. කොළඹ පැවති විරෝධතා ව්‍යාපාරයකට පහර දීම සඳහා රජයේ අනුග්‍රහයෙන් ගෙන්වන ලද මැර පිරිසක් පොලූ මුගුරු අතින් ගෙන සිටින ඡායාරූපයක් මීට කලකට ඉහත ජාතික මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් පසු නැගුණු ප්‍රශ්නයක දී පොලිසියේ ප්‍රධානියෙකු ඊට දෙන ලද පිළිතුර වූණේ, zපොල්ලක් අතින් ගෙන යමෙකුට පාරක ගමන් කිරීමට අයිතියක් නැද්ද?’ යනුවෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වර්තමාන වාර්තාව, ඉහත කී ජාත්‍යන්තරයේ ප්‍රශ්නාවලිය සැලකිල්ලට ගන්නේ අර පොලිස්කාරයා මෙන් ග්‍රාම්‍ය ආකාරයෙන් නොවේ. එහෙත්, වාර්තාව තුළ ඔවුන් දෙන ලද සමස්ත පිළිතුරේ සාරය, අර පොලිස්කාරයාගේ ”පොල්ලෙන් ගැසූ” පිළිතුරෙන් වැඩි ඈතකට නොයයි. (ඒ ගැන පසුව සාකච්ඡා කරමු).

අනිත් අතට, ජාතීන් අතර අනාගත ‘සංහිඳියාව’ සම්බන්ධයෙන් මේ වාර්තාව අපූර්වත්වයක් නියෝජනය නොකළත්, යුද්ධය විසින් නව වටයකින් වර්තමානයේ ස්ථාපිත කෙරෙමින් පවතින මහෝත්තමවාදී මෝහය අළුතෙන් ප්‍රශ්න කිරීම හරහා එක්තරා අභියෝගයකට ලක්කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බවක් පෙනේ. එහෙත්, කොමසාරිස්වරුන්ගේ ඒ අංශයේ විචක්ෂණ නිරීක්ෂණ වුවත්, ඒවා කෙතරම් අගේ කළ යුතු වුවත්, ප්‍රායෝගික තලයක ඒවා කෙසේ ක්‍රියාත්මක් වේ දැ යි සැලකිල්ලට ගන්නා විට ඇ‍‍ෙඳන චිත්‍රය හොඳටම බොඳ වන බව ඔවුන් පවා නොපැකිළව පිළිගනී:

”මීට පෙර පත්කරන ලද කොමිෂන් සභා මගින් යෝජනා කළ ඉතා වැදගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට (පාලකයන්) එක දිගටම අසමත් වීම නිසා, ආණ්ඩුවෙන් පත්කරන ඕනෑම කොමිෂන් සභාවක් ගැන සැකයෙන් බැලීමටත්, ඒවා විවේචනය කිරීමටත් මිනිසුන් පෙළඹී සිටීම අපට තේරුම්ගත හැකිය. අපේ ‘සංහිඳියා කොමිසම’ ද ඒ විවේචනයෙන් නිදහස් වන්නේ නැත.” යනුවෙන් සිය වාර්තාවේ 5 වැනි පරිච්ඡේදයේ 36 වැනි ඡේදයේ ඔවුන් සටහන් කරන්නේ එබැවිනි.

කොමිසම ඉදිරියේ පෙනී සිටි සිය ගණන් මිනිසුන් එකාවන්ව දැරූ අදහසක්, මේ කාරණයට අදාළව ‘උගත් පාඩම් හා සංහිඳියා වාර්තාව’ තව දුරටත් අවධාරණය කරයි. එම අදහස, කොමසාරිස්වරුන්ට අනුව, දෙයාකාර වන්නේය:

‘දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇති වූ වේදනාකාරී වූත්, දුර්භාග්‍ය සම්පන්න වූත් ගැටුමෙන් ගොඩවිත් සිටින සෑම ප්‍රජාවකටම අයත් ජනතාව තිරසාර සාමයක්, ආරක්ෂාවක්, මිත්‍රත්වයක් සහ සංහිඳියාවක් අපේක්ෂා කරති. මේ රටේ දේශපාලන නායකයන්ගේ අසමත් කම නිසා හෝ නුසූදානම නිසා මෙතෙක් කල් ඔඩුදිවූ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා නැවත වරක් මේ අසිරිමත් භූමියේ ලේ හැලීමකට ඉඩ නොතැබිය යුතු බවට ඒ කවුරුත් ඒකමතික වූහ. දේශපාලන නායකයන්ගේ අසාර්ථකතා වෙනුවෙන් ඊළඟ තවත් පරම්පරාවක් වන්දි ගෙවිය යුතු නැත. එය දකුණේ කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදයට සේම උතුරේ ඛෙදුම්වාදී ත්‍රස්තවාදයටත් අදාළ ය. 1980 ගණන්වල පත්කරන ලද තරුණ ප්‍රශ්න පිළිබඳ සොයා බැලූ කොමිසම ඇතුළු ඊට පසු ඇති කරන ලද තවත් නොයෙකුත් කොමිෂන් සභා මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අද දක්වා ක්‍රියාත්මක වී නොතිබීම මෙහි දී සැලකිල්ලට ලක්විය යුතුය.” (8 වැනි පරිච්ඡේදයේ 139 වැනි ඡේදය).

”දෙවැනුව, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ නිමාවත් සමග අගනා අවස්ථාවක මහා කවුළුවක්} විධායක ජනාධිපතිවරයෙකුගේ නායකත්වය යටතේ ශක්තිමත් සහ පුළුල් පදනමකින් යුත් ආණ්ඩුවක් පැවතීම හේතුකොටගෙන, සියලූ ප්‍රජාවන් අතර සංහිඳියාව, මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය වන ආකාරයට ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රශ්න සමූහයකට පොදුවේ ආමන්ත්‍රණය කළ හැකි අගනා අවස්ථාවක මහා කවුළුවක්} සියළු පුරවැසියන්ගේ සුජාත අයිතීන් සහතික කෙරෙන සහ සුළු ජාතීන්ගේ දුක්ගැනවිලිවලට දේශපාලන විසඳුම් සැපයෙන මහා කවුළුවක්} විවරව ඇත. රටේ සතරදිග් භාගයෙන් මේ කොමිසම ඉදිරියට පැමිණි මිනිස්සු, අපේ ජනතාව සඳහා වන එකමුතු අනාගතයක දර්ශනයක් සහ යහපත් ශ්‍රී ලාංකික අනන්‍යතාවක් වෙනුවෙන් සාමූහිකව පෙළගැසීමේ භාග්‍යමත් මොහොත දැන් එළැඹී තිඛෙන බව මේ කොමිසම ඉදිරියේ අප කාටත් ඒත්තු යන ආකාරයෙන් පැහැදිළි කොට සිටියෝය.” (8 වැනි පරිච්ඡේදයේ 139 සහ 140 වැනි ඡේද).

යුද්ධයේ අවසාන මාස කිහිපයේ අත්දැකීම්, ඊට පෙර තිස් අවුරුදු යුද්ධ කාලයක් තුළ ඇති වූ සිදුවීම්වලින් වෙනස් කෙරෙන එක කාරණයක් මේ විමර්ශනයේ න්‍යෂ්ටික අභිප්‍රාය වශයෙන් පැවති බව අපි දනිමු.. එනම්, ඒ දක්වා එක දිගටම විත්ති කූඩුවේ සිටි කොටි සංවිධානයට අමතරව මේ කියන අවසාන කාලයේ දී ලංකා ආණ්ඩුවත් එම විත්ති කූඩුවට නැංවීමට තරම් යුද්ධයේ අත්දැකීම් කර්කශ අදියරකට පත්වූ බවට තිබූ විශ්වාසයයි. සමස්ත යුද්ධයට අදාළ ඒ දීර්ඝ ඓතිහාසික පඨිතය අධ්‍යයනය කිරීමේ දී යුද්ධයේ හේතුව, යුද්ධයේ විනාශය සහ ඒ විනාශයේ තුවාල සුව කෙරෙන අනාගත විසඳුම් වශයෙන් ක්ෂේත්‍ර තුනක් කොමිසම හඳුනාගෙන ඇත. එහි දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් හැකි තාක් විවෘත වීමටත් තවත් අංශ සම්බන්ධයෙන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමටත් කොමිසම පෙළඹී ඇති බවක් පෙනේ. සමස්ත වාර්තාව පුරා දක්නට ලැඛෙන බරපතල පරස්පරතාව මතුවන්නේ ඒ
ආශ්‍රයෙනි. (ඉදිරි සතියට)


ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]