[Photo credit Ada Derana]
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී) පිහිටුවා ගෙවුණු මේ කාලය තුළ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන් විවේචනයට ලක් කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ, එල්එල්ආර්සීයේ වාර්තාව සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කෙරෙන තෙක් එහි වැඩ කටයුතු පිළිබඳව පූර්ව විනිශ්චයකට නොඑළඹෙන ලෙස සහ ඉවසිලිවන්තව සිටින ලෙස ය. දැන් වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. අප හමුවේ තිබෙන්නේ කුමක් ද? එය නිසැකව ම, යුද්ධය පිළිබඳ ආණ්ඩුවේ දැක්ම නොහොත් රට තුළ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය නිවැරදි යැයි තහවුරු කරන්නක් නො වේ ද? ඒත් එය එවැන්නක් නො වේ නම්, ඊට වැරදී තිබෙන්නේ කොතැන ද?
අනෙක් ඕනෑ ම ලියවිල්ලක් මෙන් මෙය ද විවිධ දෘෂ්ටි කෝණවලින් බලා විවිධාකාරයෙන් කියවිය හැකි ය. පුළුල් පරාසයක ගැටලු පිළිබඳව ඉදිරිපත් වුණු දැක්මවල් ගණනාවක් එක්තැන් කිරීමට එය යත්න දරයි-වඩාත් ම සුලබ මාතෘකාව වන සටන් විරාම ගිවිසුමෙන් පටන් ගෙන (වාර්තාව තුළ සැකෙවින් ඉස්මතු කෙරෙන) යුද්ධයේ අවසන් අදියරවල දී සතුරුකම් පවත්වා ගෙන ගිය ආකාරය, චැනල් ෆෝ විඩියෝව, මානව අයිතිවාසිකම් හා බලය බෙදා හැරීම වැනි වඩා තීරණාත්මක සහ මතභේදාත්මක ගැටලු දක්වා ම.
සතුරුකම් පවත්වා ගෙන ගිය ආකාරය: ‛ව්‍යාකුල චිත්‍රය’
වඩාත් ම මතභේදාත්මක වන්නේ, යුද්ධයේ අවසන් අදියරවල දී සතුරුකම් පවත්වා ගෙන ගිය ආකාරය විය හැකි යි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ (යූඑන්එස්ජී-පී) වාර්තාව විධායක මණ්ඩලයේ අදහස සාරාංශ කරමින් ප්‍රකාශ කළේ, ‛විශ්වසනීය චෝදනා පවතින බවට කමිටුව එළඹ ඇති තීරණයෙන් එළිදරව් වන්නේ, යුද්ධයේ අවසන් අදියරවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ දක්වා කළ විස්තර කිරීමට බෙහෙවින් වෙනස් විස්තරයකි’ (සස පි.). අපට තිබෙන ප්‍රශ්නය මෙය යි: එල්එල්ආර්සී වාර්තාවෙන් ඇඟවෙන්නේ කුමක් ද?
එල්එල්ආර්සී වාර්තාව කියවිය හැකි එක් ආකාරයකින් ඇති වන්නේ, එහි අරමුණ ආණ්ඩුව කරන විස්තරය කරා ආපසු යාම ය යන හැඟීම යි. වාර්තාවේ 9.4 ඡේදය ප්‍රකාශ කරන්නේ, සන්නද්ධ හමුදාවල මිලිටරි මූලෝපාය ‛සිවිල් හානි’ වැළැක්වීමට නොහොත් අවම කිරීමට ඉහළ ම වැදගත්කමක් දෙමින් ‛පරිස්සමින් සිතා බලා සකස් කර ගත් එකක් වීම’ ගැන එල්එල්ආර්සීය ‛තෘප්තියට පත් වන’ බව යි. යුද මුක්ත කලාපවල සිටි සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කර නොගැනුණේ යැයි එල්එල්ආර්සීය විශ්වාස කරයි (9.6 ඡේදය). සන්නද්ධ හමුදා ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළේ ද නැද්ද යන්න පිළිබඳව ඇතිව තිබෙන මුළු මහත් විවාදයේ ම හදවත ලෙස පවතින්නේ මෙම ගැටලුව බැවින්, මාධ්‍යයෙන් ඉස්මතු කර දැක්වෙන වඩාත් ම වැදගත් කාරණවලින් එකක්ව තිබෙන්නේ මෙය යි.
මීට අමතරව, වාර්තාවේ ආරම්භක කොටස් කියවීමෙන් පෙනී යන්නේ, වාර්තාව සිය නිගමනයට එළඹීමේ දී සන්නද්ධ හමුදා නියෝජනය කළ නිලධාරීන් කෙරෙහි අතිමහත් විශ්වාසයක් තබා ඇති බව යි. පැහැදිලි කිරීම් සපයා තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ය. උදාහරණයක් ලෙස, 4.36-4.41 දක්වා ඡේදවල දී ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීහු ගුවන් ප්‍රහාර සිදු කළ ආකාරය පිළිබඳ තම දැක්ම කෙරෙහි ම ප්‍රබල ලෙස යොමු වෙති. එල්එල්ආර්සීය හමුවට සිවිල් වැසියන් ද පැමිණිය ද ඉන් අනතුරුව තිබෙන විස්තර කිරීම් මාලාව (උදාහරණයක් ලෙස, 4.51-58 ඡේදය දක්වා සහ 4.61-64 ඡේදය දක්වා) සිදු වුණු දෙයින් බොහොමයක් සම්බන්ධයෙන් එල්ටීටීඊය දෝෂාරෝපණයට ලක් විය යුතු ය යන හැඟීම ඇති කරන බවක් පෙනී යයි. තව ද, හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරීහු එල්ටීටීඊයේ ක්‍රියා පිළිවෙළ පිළිබඳව ම කුරිරු චිත්‍රයක් අඳිති (උදා. 4.84 ඡේදය); පුදුමාතලන් සහ මුල්ලිවයික්කාල් රෝහල්වල සේවය කර තිබෙන වෛද්‍යවරු, පැන යාමට උත්සාහ කළ ජනයාට එල්ටීටීඊය වෙඩි තැබූ බව ප්‍රකාශ කරති (4.85 ඡේදය, ඉන් අනතුරුව තිබෙන්නේ රැඳවියන් ගණනාවක් මෙය ම පුනරුච්චාරණය කරමින් කළ විස්තර කිරීම් ය). කිලිනොච්චි වැසියන් පවසන්නේ තමන් බේරා ගත්තේ හමුදාව බව යි (4.97 ඡේදය). වාර්තාව ‛මිනිස් පලිහවල්’ යන වචන ද යොදා ගනියි. නියමිත ජාත්‍යන්තර නීති පද අනුව ගත්ත ද මෙම යොදා ගැනීම විවාදාත්මක ය (යූඑන්එස්ජී-පීය සිය වාර්තාවේ 65 පිටුවේ ‛මිනිස් අවරෝධක’ යන වචන යොදා ගන්නා බව සැලකිල්ලට ගන්න).
මේ මොහොතේ දී, යූඑන්එස්ජී-පීය සහ එල්එල්ආර්සීය එක ම කාසියේ දෙපැත්ත ය යන හැඟීම ඇති කර ගත හොත්, ඒ කිසිවෙකුට දොස් කිව නොහැකි ය.
එහෙත්, සත්තකින් ම යට දැක්වුණේ කතාවේ එක් අංශයක් පමණකි. මේ කතාවේ මීට සමාන ලෙස බිහිසුණු තවත් පැත්තක් ඇත. එහි දී, දෝෂාරෝපණය එල්ටීටීඊයෙන් සන්නද්ධ හමුදා වෙත මාරු වන්නට පටන් ගනියි (යූඑන්එස්ජී-පීය, සන්නද්ධ හමුදාව විවේචනයට ලක් කළ ආකාරයට ම එල්ටීටීඊය ද විවේචනයට ලක් කළාක් මෙනි). එසේ ම, සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව ද සැලකිය යුතු ව්‍යාකුලතාවක් පවතී. උදාහරණයක් ලෙස, හමුදාව ෂෙල් වෙඩි යොදා ගත් බවත් ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර යොදා ගත් බවත් සිවිල් වැසියන් පෙන්වා දී ඇත (4.73 ඡේදය). ඇතැමුන් පවසන පරිදි, ෂෙල් වෙඩි ප්‍රහාර රැසක් එල්ල වී විශාල පිරිසක් ඝාතනයට ලක් වූහ (4.74 ඡේදය), දෙපාර්ශ්වය ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ නිසා මෙය එල්ටීටීඊය පමණක් කළ වරදක් නො වී ය (4.79 ඡේදය). මුල්ලිවයික්කාල් වැනි ප්‍රදේශවලට එක දිගට ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය, කයිට්ස්වලින් පැමිණි වැන්දඹු කාන්තාවන් තිදෙනෙකු කියා සිටියේ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා තම සැමියන් මිය ගිය බව යි (4.105 ඡේදය). මේ සියල්ල, බෙහෙවින් අවශ්‍ය කරන දැක්මක් සම්පාදනය කරයි, එසේ කිරීමෙන්, සැබවින් ම සිදු වුණු දේ පිළිබඳව වඩා නිවැරදි චිත්‍රයක් ඇඳ ගැනීමට අපට උපකාර වෙයි.
සිත් සසල කරවන කතා ද පවතී. එක් සිවිල් වැසියෙකු එල්එල්ආර්සීයට කියා සිටියේ, මුහුදින් ගමන් කරමින් සිටිය දී සුදු කොඩි අතැතිව නාවික හමුදා සාමාජිකයන්ට ‛අයියා, අයියා’ කියා කෑ ගැසූ විට, අනපේක්ෂිත ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී 8 දෙනෙකු එතැන ම මිය ගිය බව යි (4.107 ඡේදය). සමහර වෙඩි තැබීම් සහ ඝාතනයන් සිදු කළේ නාවික හමුදාවෙන් බව පසුව පැහැදිලි කෙරිණ (එහෙත්, මෙය වරදවා හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් බවත් නාවික හමුදාව ඊට සමාව ගත් බවත් ප්‍රකාශ කරනු ලැබේ). පුදුකුඩිඉරිප්පු රෝහල ගත් කල, දෙපාර්ශ්වයෙන් ම එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාර නිසා රෝහලට හානි සිදු වුණු බව ඇතැම් විස්තර කිරීම්වලින් පැහැදිලි වේ (4.125 ඡේදය). 2009 පෙබරවාරි 4 වන දා රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වුණු බව, තරමක් වක්‍ර භාෂාවෙන් (කිසිදු පාර්ශ්වයකට දෝෂාරෝපණය නොකරමින්) වුව ද ආණ්ඩුවේ නිලධාරීහු පවා පිළිගත්හ (4.129 ඡේදය); මෙය වූකලි, සන්නද්ධ හමුදාවලට එරෙහිව එල්ල වන චෝදනා ද ලෙහෙසියෙන් නිෂ්ප්‍රභ කළ නොහැකි බව පෙන්නුම් කරන වක්‍රෝක්තියකි. උදාහරණයක් ලෙස, පුදුමාතලන්හි පිහිටුවූ තාවකාලික රෝහලේ තත්ත්වය කුමක් වී ද? රෝහල වටා ෂෙල් වෙඩි ඇද හැලෙමින් පැවති අතර, දෙපාර්ශ්වය ම ‛එකිනෙකාට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ගත්තා’ (4.133 ඡේදය, අධෝලිපි අත හැර දැමිණ).
එබඳු ම බරපතළ කාරණයක් වන්නේ, යටත් වීමෙන්/අත් අඩංගුවට ගැනීමෙන් පසුව එල්ටීටීඊ ක්‍රියාකාරීන් පැහැර ගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කළ කියා පෑම් ය. ආරක්ෂක අධිකාරීන් කළ විස්තර කිරීම්, එවැනි පැහැර ගෙන යාම් සනාථ කරමින් සිවිල් වැසියන් කළ විස්තර කිරීම් සමග එකට කියවිය යුතු බව එල්එල්ආර්සීය තරමක් ප්‍රශංසනීය ලෙස පිළිගනී (එවැනි චෝදනා පිළිබඳ දීර්ඝ ලැයිස්තුව, 4.241-460 ඡේදය දක්වා, සහ 4.15 ඇමුණුම බලන්න). මෙය එල්එල්ආර්සීය ‛බරපතළ සැලකිල්ලක්’ දැක්විය යුතු කාරණයක් ලෙස පවතී (4.318 ඡේදය).
ඇඟවුම් පැහැදිලි ය. පැහැර ගෙන ගිය එබඳු පුද්ගලයන් පිළිබඳ හෝඩුවාවක් තව මත් නොමැත්තේ නම්, ඝාතනය කිරීම පිළිබඳ සිදුවීම් පවතින්නට බොහෝ ඉඩ ඇත. මෙම චෝදනාවල පවත්නා අව්‍යාජ බලය, පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට රාජ්‍යයේ පාර්ශ්වයෙන් යුතුකමක් ඇතැයි එල්එල්ආර්සීයට පසුව පිළිගැනීමට සලස්වා ඇති බවක් පෙනී යයි (4.286 ඡේදය). රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ‛කොමිසම ඉදිරියේ තැබුණු කරුණු යොමු වන්නේ, සිදුවීම්වල නිශ්චිත ස්වභාවය පිළිබඳව යම් තරමකට ව්‍යාකුල චිත්‍රයක් කරා යැ…’යි එය තව දුරටත් පිළිගත්තේ ය (4.288 ඡේදය). එපමණක් නො ව, ගැටුම අතරතුර දී බොහෝ සිවිල් වැසියන් මිය ගිය බව ද පැහැදිලි ය (4.358 ඡේදය). යුද මුක්ත කලාප ප්‍රකාශයට පත් කිරීම ප්‍රශංසනීය විය හැකි නමුත්, සංග්‍රාම භූමිය සමීපාසන්නයෙහි සත්‍යාසත්‍යතාව සනාථ කළ නොහැකි යුද මුක්ත කලාප එලෙස ඒකපාර්ශ්වීයව ප්‍රකාශයට පත් කිරීම අතිශයින් ම ගැටලු සහගත වී යැයි එල්එල්ආර්සීය රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් (!) ප්‍රකාශ කර තිබීම, වැදගත් ද නිවැරදි ද වන්නේ ය (4.359 ඡේදයේ සඩ කරුණ).
එසේ නම්, එල්එල්ආර්සීය කර තිබෙන්නේ ක්ෂමාලාපකයාගේ භුමිකාව රැඟීම ද? ඉහත දැක්වුණු එක් කියවීමකින් ඇඟවෙන්නේ කාරණය මෙය බව යි. කෙසේ වුව ද, එම වැටහීමට බෙහෙවින් විරුද්ධව යන තවත් අංශයක් ද පවතියි. සැබවින් ම, එල්එල්ආර්සීය සැකසංකාවලින් බොහොමයක් තහවුරු කරන අතර, ඉන් ඇතැම් ඒවා යුද්ධයේ අවසන් අදියරවලට සම්බන්ධ යි. එල්එල්ආර්සීය පෙන්වා දෙන පරිදි: සිවිල් වැසියන් ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් වාර්තාගත සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පවතී (4.360 ඡේදය පොදුවේ බලන්න). යම් කාලයක් තිස්සේ බොහෝ දෙනා පැවසුවේ මෙය යි, එබඳු සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වූයේ මේ නිසයි. එල්එල්ආර්සීය බල කරන තෙක් ආණ්ඩුව පොරොත්තු වී ඇත.
එහෙත්, ප්‍රශ්නය ඉතිරිව පවතී. එබඳු පරීක්ෂණ පවත්වන්නේ ද, එසේ නම්, ඒ කෙසේ ද, කවර දා ද? මේ පරීක්ෂණ පවත්වන්නේ කවුරුන් ද? නොහොත්, කිෂාලි පින්තු ජයවර්ධන ප්‍රශ්න කළාක් මෙන්: “පොලීසියේ සහ නඩු පවරන්නන්ගේ මූලික රාජ්‍ය ආයතන අසාධ්‍ය ලෙස දේශපාලනීකරණය වී ඇති තත්ත්වයක, අධිකරණ සංහතිය මත් විධායකයෙන් එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන්, නැත් නම් එය ස්වාධීනත්වයෙන් තොර වීම සම්බන්ධයෙන්, මහජනයා තුළ පවතින වැටහීමෙන් එන්න එන්න ම පීඩාවට පත් වෙමින් සිටින තත්ත්වයක, පරීක්ෂණ පැවැත්වීමේ, චෝදනා ඉදිරිපත් කිරීමේ සහ දඬුවම් පැමිණවීමේ වගකීම භාර ගන්නේ කවුරුන් ද? (‛අධිකරණ මිනුම් දඬුවලින් එල්එල්ආර්සී වාර්තාව කිරා මැන බැලීම’, ද සන්ඩේ ටයිම්ස්, 2011 දෙසැ. 18).
එහෙත් මෙහි දී, අපි ද අපගේ ආරම්භක ප්‍රශ්නය වෙත ආපසු යන්නෙමු: යුද්ධයේ අවසන් අදියරවල් පිළිබඳ ආණ්ඩුවේ විස්තර කිරීමෙන් අප දුරස් වන්නේ කොතරම් දුරට ද? යූඑන්එස්ජී-පීය ඉදිරිපත් කළ විස්තර කිරීමට අප එතරම් සමීපව ළංව නැති විය හැකි වුවත්, ආණ්ඩුවෙන් ඉදිරිපත් කෙරුණු විස්තර කිරීමට ද අප නිශ්චිත වශයෙන් ම සමීප නැති බව ඉහත විස්තරයෙන් යම් පමණකට පැහැදිලි ය. ගැටුමට අදාළ ඇතැම් තීරණාත්මක ගැටලු පිළිබඳව පවතින්නේ ‛යම් තරමකට ව්‍යාකුල’ චිත්‍රයක් යැයි පිළිගැනීමෙන් යැවෙන පණිවුඩය වන්නේ මෙය යි: වග විය යුතු ගැටලු සම්බන්ධයෙන් එල්එල්ආර්සීය මෙන් ම වෙනත් මානව හිමිකම් සංවිධාන ද පළ කළ සැලකිලිමත් වීම් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී, ආණ්ඩුව තව තවත් බැරෑරුම් විය යුතු ය.
චැනල් ෆෝ නාළිකාව
එල්එල්ආර්සීය අවධානය යොමු කරන තවත් තීරණාත්මක ගැටලුවක් නම් චැනල් ෆෝ විඩියෝව මැදි කර ගෙන හට ගත් මතභේදය යි. එල්එල්ආර්සීය ඉදිරියේ පෙනී සිටි කිසිවෙකු කවර හෝ සැලකිය යුතු ආකාරයකින් ගැටලුව මතු කර නොතිබුණ ද මෙම ගැටලුව සලකා බැලීමට එල්එල්ආර්සීය තීරණය කර තිබීම ගැන ස්තුති කළ යුතු ය (4.363 ඡේදය). විඩියෝව පරීක්ෂා කිරීමේ දී ආචාර්ය චතුර ද සිල්වාගේ අදහස ලබා ගෙන තිබිණ. ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික පරිචය වී තිබුණේ, විඩියෝව තුළ තිබෙන සෑම රූපාවලියක් ම දූෂිත ඒවා යැයි ප්‍රකාශ කරමින් මෙම චෝදනා ඉවත ලීම යි. එහෙත් ලැබුණු අදහසෙන් කියවෙන්නේ එය ම නො වේ; එනම්, එම නිශ්චිත රූපාවලි කොටස් පියවි වාතාවරණයක් තුළ පටිගත කරන ලද ඒවා බව පෙනේ (4.367 ඡේදය).
‛විඩියෝවේ අවංක භාවයට’ ආධාරක වන සහ විරුද්ධව යන බලගතු කරුණු පවතින්නේ යැයි පිළිගනිමින් එල්එල්ආර්සීය තව දුරටත් ඉදිරියට යයි (4.370 ඡේදය). මේ මොහොතේ දී, තව දුර අදහස් ලබා ගැනීම සඳහා, ‛ඩිජිටල් ඡායාරූප පිළිබඳ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු’ වන ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ.ඒ. යිෆැන්ටිස් වෙත එල්එල්ආර්සීය කාරණය යොමු කරයි (4.372 ඡේදය). ඔහු චැනල් ෆෝවේ අවංක භාවය ප්‍රබල ලෙස ප්‍රශ්නයට බඳුන් කරමින්, විඩියෝව පිළිබඳව ඍණාත්මක විස්තරයක් සම්පාදනය කරයි.
දැන්, එල්එල්ආර්සීය සිය විභාගය මෙතෙකින් අවසන් කර තිබෙන සහ මහාචාර්ය යිෆැන්ටිස්ගේ මතය ඒකාන්ත සහ අවසන් යැයි වැළඳ ගෙන සිටින තත්ත්වය තුළ, එය සැලකිය යුතු විවේචනයකට ලක් වන්නට ඉඩ ඇත. ඒ ඇයි? සියලු තැන්වලින් පිටස්තර ස්ථානයක, එනම් නෙවාඩා විශ්වවිද්‍යාලයෙහි- එල්එල්ආර්සීයේ සාමාජිකයෙකු ද එහි සිට පැමිණියෙකු වීම සිත් ගන්නසුලු කරුණකි!-පැළපදියම් වී ගත් විශේෂඥයෙකු සොයා යාම තුළ යම් සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙන්නට ඇතැයි විවේචකයන්ට හැම විට ම තර්ක කළ හැකි බැවිනි (මෙම තර්කයෙහි කිසි වරදක් නැත), අනුමාන කළ හැකි බැවිනි.
එහෙත් එල්එල්ආර්සීය (එහි ලොකු වාසනාවකට!) මහාචාර්ය යිෆැන්ටිස්ගේ විස්තර කිරීම කාරණය පිළිබඳ අවසන් වචනය ලෙස සලකන බවක් නො පෙනේ. විඩියෝවට අදාළ බෙහෙවින් වැදගත් ගැටලුවල ස්වභාවයත් ඒවායේ පැහැදිලිකමක් නොමැතිකමත් පිළිබඳ තත්ත්වය තුළ, ආණ්ඩුව ‛මෙම කාරණය සම්බන්ධයෙන් සත්‍යය තහවුරු කිරීම සඳහා හෝ නැතහොත් විඩියෝවෙන් පැන නගින චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකට මුල පිරිය යුතු’ යැයි නිර්දේශ කිරීමට එල්එල්ආර්සීය ඉදිරියට යයි (4.375 ඡේදය). ඒ අර්ථයෙන් ගත් කල, එල්එල්ආර්සීය පුනරුච්චාරණය කරන්නේ යම් කාලයක් තිස්සේ බොහෝ අය පවසා ඇති දෙය යි: ‛යම් අපරාධයක් කර තිබෙන්නේ නම්, මාහැඟි සම්ප්‍රදායන් ආරක්ෂා කරන බොහෝ දෙනෙකුගේ ගෞරවය කෙලෙසීමට කිහිප දෙනෙකුට ඉඩ දිය නොහැකි යි’ (4.376 අ ඡේදය).
මෙය බොහෝ ආකාරවලින් කියවිය හැකි වැදගත් නිගමනයකි. අපගේ කියවීමෙන් ඇඟවෙන්නේ, මෙය විඩියෝව ප්‍රසිද්ධ කෙරුණු තැන් පටන් විවේචකයන් පෙන්වා දී ඇති දෙය තහවුරු කරන බව යි. බොහෝ අය, සියුම් විවේචනයක නො යෙදී, විඩියෝව දූෂිත එකක් ලෙස සලකා ඉවත ලීමට ඉක්මන් වූහ. ඇතැම් සිදුවීම් සිදු වන්නට තිබෙන ඉඩකඩ, ලේ වැකි ගැටුමක් අතරතුර දී එවැනි ආකාරයේ බිහිසුණු ක්‍රියාවන් සැබවින් ම සිදු විය හැකි යැයි කල්පනාවට ගැනීමට බොහෝ දෙනෙකුට වුවමනාවක් නොතිබිණ. අනතුරුව මෙය, තව දුර පරීක්ෂණ ඉල්ලා සිටීමට ජාත්‍යන්තර විවේචකයන්ට මනා අවස්ථාවක් සපයයි, එය එසේ විය යුතු යි.
එල්එල්ආර්සීයේ නිගමනය පිළිබඳ තවත් කියවීමකින් ඇඟවෙන්නේ, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර ඇතැයි එල්එල්ආර්සීය මොහොතකට වත් විශ්වාස නොකරන බව යි. තවත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමෙන් එල්එල්ආර්සීය අඟවන්නේ, (දේශීය වශයෙන් මහත් ප්‍රසිද්ධියක් ලබා දෙමින්) ආණ්ඩුව වතාවක් පැවැත්වූ ඊනියා පරීක්ෂණය විශ්වසනීය නොවන බව යි. එය විශ්වසනීය වී නම්, සිය වාර්තාව අවසන් කළ ආකාරයෙන් එය අවසන් කිරීමට එල්එල්ආර්සීයට නිසැකව ම සිදු නොවනු ඇත. එම නිසා, එල්එල්ආර්සීය ගෙන ඇති ආස්ථානය සාදරයෙන් පිළිගත යුතු ය.
සැලකිය යුතු අභියෝගය වන්නේ, මෙම නිර්දේශිත ‛ස්වාධීන’ පරීක්ෂණය ශ්‍රී ලංකාව තුළ සිදු කරන්නේ කෙසේ ද යන්න බව කිවමනා නො වේ. ඊට සහභාගි විය යුත්තේ කවුරුන් ද? ‛විශේෂඥයන්ගේ’ නම් තීරණය කරන්නේ කවුරුන් ද? මෙහි දී නැවතත්, ආණ්ඩුව දුෂ්කර අභියෝගයකට මුහුණ දෙයි.
මානව අයිතිවාසිකම්
(ව්‍යවස්ථාමය සහතික වීම් මෙන් ම ජාත්‍යන්තර සම්මුති ගණනාවක පාර්ශ්වකරුවෙකු වී සිටීමෙන් පැන නගින ජාත්‍යන්තර බැඳීම් නිසා) මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට බැඳීමක් ඇතැයි එල්එල්ආර්සීය සිහිපත් කර දෙයි. මෙය-මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ‛අප යළි කැප වීමේ’ අවශ්‍යතාව-එල්එල්ආර්සීය ඉදිරියේ පෙනී සිටි පුද්ගලයන් ගණනාවක් අවධාරණය කළ පැතිකඩකි (5.4 ඡේදය). සංකල්පය තුළ ‛කා වැදී තිබෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරික බුදුදහමෙන් සහ වෙනත් ආගම්වලින් සහාය ලැබෙන හර වටිනාකම් සහ ආචාර ධර්ම’ යැයි ද එල්එල්ආර්සීය ආණ්ඩුවට කියා සිටී.
ආරක්ෂක හමුදා සහ වෙනත් කණ්ඩායම් කළැයි කියන පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් යනාදි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තාව ඉතා විවේචනාත්මක ආකල්පයක් ගනී. යටත් වුණු පසුව එල්ටීටීඊ ක්‍රියාකාරීන් පැහැර ගැනීම් පිළිබඳව එල්එල්ආර්සීය ප්‍රකාශ කළ දෙය අපි ඉහත විභාග කළෙමු. ආරක්ෂක හමුදා කළ පැහැර ගැනීම් (උදාහරණයක් ලෙස, 5.15 ඡේදය බලන්න) සහ නාඳුනන පාර්ශ්වයන් කළ පැහැර ගැනීම් පිළිබඳව කළ විස්තර කිරීම් ද පවතී. එල්එල්ආර්සීය ඉස්මතු කර දක්වන තවත් තීරණාත්මක ගැටලුවක් නම් ‛සුදු වෑන්වලින් පැමිණ කරන’ පැහැර ගැනීම් ය (5.2 ඡේදය)-මෙය යූඑන්එස්ජී-පීය අවධානය යොමු කළ කරුණකි, ‛මහජනතාව තුළ භීතියක් පැළපදියම් කිරීම සඳහා’ ඒවා යොදා ගන්නා ලදැයි එය ප්‍රකාශ කළේ ය (යූඑන්එස්ජී-පීයේ වාර්තාව, 17 පි., 63 ඡේදය බලන්න).
රාසික් පටනි මහතා පිළිබඳ සිදුවීමේ දී ලත් ‛කලකිරවනසුලු අත්දැකීම’ ගැන ද එල්එල්ආර්සීය සඳහන් කරයි (5.31 ඡේදය). අධිකරණ ක්‍රමය, අපරාධ පරීක්ෂණ මෙන් ම පොලිස් පරිපාලනය තුළ ද පවත්නා දේශපාලනික මැදිහත් වීම් සම්බන්ධයෙන් එය තීරණාත්මක විස්තරයක් කර තිබිණ (5.33 ඡේදය).
ආණ්ඩුවේ යුතුකම මෙන් ම වගකීම ද වන්නේ සියලු සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම යැයි, ඉහත කාරණ පෙන්වා දෙමින් එල්එල්ආර්සීය අවධාරණය කර ඇත. බලාත්කාරී අතුරුදන් කිරීම් අපරාධ බවට පත් කිරීම සඳහා නීතිය බල ගැන්විය යුතු යැයි ද එය අවධාරණය කර ඇත (5.46 ඡේදය, මෙය මීට කලින් බොහෝ දෙනෙකු යෝජනා කර ඇති දෙයකි). ඇතැම් නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වල කල්ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ආරම්භ කළ යුතු අතර, එවැනි කණ්ඩායම් නිරායුධ කිරීමට පියවර ගත යුතු ය (5.77-78 ඡේද). එසේ ම, සී.ජී. වීරමන්ත්‍රී වැනි විනිශ්චයකාරවරුන් ප්‍රකාශ කළ විවේචනාත්මක අදහස් ඉස්මතු කර දක්වමින්, එල්එල්ආර්සීය තොරතුරු සඳහා ඇති අයිතියට අදාළ නීති බල ගැන්විය යුතු යැයි යෝජනා කිරීමට ද ඉදිරියට යයි (5.154-156 ඡේද බලන්න). සිදු විණැයි කියන අතුරුදන් වීම් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ පිළිබඳ විශේෂ කොමසාරිස්වරයෙකු ඇති කළ යුතු යැයි නිර්දේශ කිරීම සඳහා එල්එල්ආර්සීය පෙරට යාම සිත් ගන්නාසුලු ය (5.48 ඡේදය). වාර්තාව ප්‍රසිද්ධ නොකළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ (උඩලගම කොමිසම) නිර්දේශ ක්‍රියාත්මක කළ යැයි කියා ද එය නිර්දේශ කරයි (5.163 ඡේදය). මෙය ද එල්එල්ආර්සී වාර්තාවේ සැලකිය යුතු අංගයකි.
වාර්තාව අවසානය කරා යද්දී, ටීඑන්ඒ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුවේ දී සභාගත කළ වාර්තාව පිළිගෙන තිබීම වැදගත් කරුණකි (8.307 ඡේදය). මන්ත්‍රී සුමන්දිරන්ගේ වාර්තාවේ දී පළ කළ බරපතළ සැලකිලිමත් වීම් අවධානයට ලක් කරන කල, එල්එල්ආර්සීය මෙය කිරීම හොඳ දෙයකි. සුමන්දිරන් වාර්තාව පිළිගැනීමෙන්, ආණ්ඩුව එම සැලකිලිමත් වීම් කෙරෙහි පැහැදිලිව සහ ආයතනිකව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කෙරෙයි.
මානව අයිතිවාසිකම් සහ පොදුවේ නීතිය සහ සාමය පිළිබඳව එල්එල්ආර්සීය පළ කරන අදහස්වලින් උපදින සමස්ත චිත්‍රය අනාවරණකාරී එකකි. මෙය පුදුමයට කරුණක් නො වේ. එය දිගු කාලයක් තිස්සේ බොහෝ විවේචකයන් දරා සිටින අදහස් යළි තහවුරු කරයි. බොහෝ අය මෙම ගැටලු පෙන්වා දී ඇති අතර, ඒ අර්ථයෙන් ගත් කල්හි, අප මෙහි දී උගනිමින් සිටින්නේ අලුත් පාඩම් නො වේ. එහෙත්, එල්එල්ආර්සීය මෙම ගැටලු ඉස්මතු කර දැක්වීම, ආණ්ඩුවට දැන් හැල හොල්මනක් නැතිව නිවාඩු පාඩුවේ සිටිය නොහැකි යැයි වඩා ප්‍රබල පණිවුඩයක් යැවීමට උදව් වෙයි.
මානව අයිතිවාසිකම් සංවිධාන අඛණ්ඩව සිය විවේචන කර ගෙන යනු ඇති නමුත්, වාර්තාව තුළ ඇතැම් තීරණාත්මක ගැටලු ඉස්මතු කර දක්වා තිබීම පිළිබඳව ස්තුති කළ යුතු ය. එය සිදු වී ඇත. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ සෑම් සරිෆි පිළිගෙන ඇති පරිදි, වාර්තාව ‛ආණ්ඩුව බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු’ ‛සිත් ගන්නාසුලු නිර්දේශ ඉදිරිපත් කරයි’ (‛අයිතිවාසිකම් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ යුද වාර්තාව විවේචනය කරයි’, ඒඑෆ්පී පුවත් සේවය, 2011 දෙසැ. 16). සැබෑ ප්‍රශ්නය නම්, මෙය කිරීමට ආණ්ඩුව සත්‍ය වශයෙන් ම කැප වී සිටින්නේ ද යන්න යි. පරීක්ෂණ පිළිබඳ විශේෂ කොමසාරිස් තනතුරක් නිර්මාණය කර එම තානාන්තරය සඳහා ක්ෂමාලාපකයෙකු පත් කිරීමට ආණ්ඩුව පෙරට ගියත් එල්එල්ආර්සීයේ නිර්දේශ නිසරු නොවනු ඇත. යුද්ධය අවසන් වුණු තැන් සිට සිදු වුණු දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වැනි නිමක් නැති වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, වඩා පුළුල් දැක්මකින් යුතුව අභියෝගය දැක ගත යුතු ය. සර්ව ශුභවාදී වන්නට, මේ දක්වා කිසිදු හේතුවක් නැත.
දේශපාලනික විසඳුම සහ බලය බෙදා හැරීම
වඩාත් ම විවාදාත්මක ගැටලුවලින් එකක් වනු ඇත්තේ, දේශපාලන විසඳුම සහ බලය බෙදා හැරීමේ ගැටලුව සැලකිල්ලට ගැනීම යි. ටීඑන්ඒහි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දැනට මත් වාර්තාවට පහර එල්ල කර ඇත: “ගැටුමට බලපෑ හේතු පරීක්ෂා කිරීමට මෙන් ම විසඳුමක් සඳහා රාමුවක් ඉදිරිපත් කිරීමට ද කොමිසම අසමත් වී ඇත. බලය බෙදා හැරීම පිළිබඳව කිසිවක් සඳහන් කර නැත. ගැටලුව සම්බන්ධයෙන් කිසිවෙකු වග වන තත්ත්වයට පත් කර නැත” (‛එල්එල්ආර්සී වාර්තාව ඊළඟට කළ යුතු දෙය වාර්තා කරනවා ද?’, ද නේෂන්, 2011 දෙසැ. 18).
ප්‍රේමචන්ද්‍ර කරන අයුරින් ටීඑන්ඒහි පැත්තෙන් ප්‍රවිෂ්ට වීමෙන් පෙනෙන්නේ, මෙහි දී ඔහු මුළුමනින් ම වැරදි නොවන බව යි. එල්එල්ආර්සීය පවසන්නට යත්න දරන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් බොහෝ විට ප්‍රශ්න මතු කළ හැකි ය. බලය බෙදා හැරීම පිළිබඳ කොටස ලියා තිබෙන ආකාරය නොපැහැදිලි ය. බලය බෙදා හැරීම ‛මහජනයා කේන්ද්‍ර කර ගත්’ එකක් විය යුතු යැයි එය ප්‍රකාශ කරයි (8.216 ඡේදය)-බලය බෙදා හැරීමට විරුද්ධ අයට අනුව ගත් කල, මෙයින් අදහස් වනු ඇත්තේ, එල්එල්ආර්සීය ගම් මට්ටමේ නොහොත් ප්‍රජාමූල මට්ටමේ බලය බෙදා හැරීමකට සමාන දෙයකට පමණක් පක්ෂව කතා කරමින් සිටින බව යි. මෙම අදහසට අනුව ගත් විට, බලය බෙදා හැරීමේ ප්‍රධාන ඒකකය පළාතෙන් ගම දක්වා හැකිළී තිබෙන බව පෙනී යයි. ‛පොදු අනන්‍යතාවක්’ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වාර්තාව කතා කරයි; එනම්, බලය බෙදා හැරීම යම් විශේෂ ජනවාර්ගික කණ්ඩායමකට වරප්‍රසාදයක් හෝ අවාසියක් නොවිය යුතු ය. එපමණක් නො ව, පළාත් පාලන ආයතන බල ගැන්වීමේ වැදගත්කම පෙන්වා දෙන වාර්තාව, ඒ වහා ම පළාත් සභා ක්‍රමයේ අඩුලුහුඬුකම් සැලකිල්ලට ගත යුතු බව ඉස්මතු කර දැක්වීමට ද පෙරට යයි! මෙය, ටීඑන්ඒයට සහ බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ප්‍රගතිශීලී යෝජනා අපේක්ෂාවෙන් සිටි බොහෝ අය තුළ බලගතු කැලඹීමක් ඇති කරනවා නිසැක යි.
කෙසේ වුව ද, වෙනස් කියවීමකටත් ඉඩ තිබෙනවා නො වේ ද? පළමු වැන්න නම්, බලය බෙදා හැරීමට සරල ලෙස පක්ෂව කතා කිරීමෙන් වුව ඔබ ‛ඊළාම්වාදියෙකු’ බවට පත් විය හැකි රටක දී, එල්එල්ආර්සීය පැහැදිලිව ම බලය බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිබඳව, එනම් එය ‛ජාතික වැදගත්කමකින්’ යුතු ගැටලුවක් ලෙස සාකච්ඡා කර ඇත (විශේෂයෙන් ම 8.213 ඡේදය බලන්න-‛බලය බෙදා හැරීම පිළිබඳව කිසිවක් සඳහන් කර නැතැ’යි ප්‍රේමචන්ද්‍ර කර තිබෙන ප්‍රකාශය වචනාර්ථයෙන් ගත හොත්, මෙහි දී ඔහු වැරදි ය). දෙවැන්න නම්, දේශපාලනික විසඳුමක් සහ ජනවාර්ගික ගැටලුවක් පිළිබඳව කතාබහ කිරීම නිසා ‛මොන දේශපාලනික විසඳුමක් ද? මොන ජනවාර්ගික ගැටලුවක් ද?’ යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය හැකි රටක දී, ‛බලය බෙදා හැරීම පදනම් කර ගත් දේශපාලනික විසඳුමකින්, ජනවාර්ගික ගැටලුව කෙරෙහි මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට තර්ජනය කරන වෙනත් බැරෑරුම් ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය යුතු යැයි එල්එල්ආර්සීය ප්‍රකාශ කරයි (8.215 ඡේදය, අවධාරණය ඈඳිණ). දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවට ද ජනවාර්ගික ගැටලුවක් තිබෙන බවට ද පැහැදිලි පිළිගැනීමක් පවතී. තෙවැන්න නම්, එල්එල්ආර්සීය පවසන පරිදි අවධානය යොමු විය යුත්තේ, ‛සෑම මට්ටමක දී ම, විශේෂයෙන් ම ආණ්ඩුවේ සියලු මට්ටම්වල දී’ මහජනතාව බල ගැන්වීම කෙරෙහි ය (8.218 ඡේදය). එසේ නම්, පළාත යනු පීඩාවට පත් නොවන දෙයකි. සිව් වැන්න නම්, ‛පවත්නා දෙය පදනම් කර ගැනීමෙන්…’ ‛බලය බෙදා හැරීමේ ගැටලුව සම්බන්ධයෙන් දෘශ්‍යමාන ප්‍රගතියක් ඇති කිරීමේ තීරණාත්මක වැදගත්කම’ ද, එල්එල්ආර්සීය අවධාරණය කරන බවක් පෙනේ (8.225 ඡේදය, අවධාරණය ඈඳිණ). දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගැනීමක්, එනම් ‛පවත්නා දෙය පදනම් කර ගැනීමක්’ ලෙස ද මෙය මැනවින් අර්ථදැක්විය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ‛බලය බෙදා හැරීමට විරුද්ධ’ කඳවුරට මෙම අර්ථදැක්වීම බරපතළ ලෙස විපත්තිකර විය හැකි ය.
බලය බෙදා හැරීම පිළිබඳ නිර්දේශවල දී, එල්එල්ආර්සීයට තව තවත් අවධාරණාත්මක වන්නට ඉඩ තිබිණ. කෙසේ වුව ද, යම් කලකට පෙර තර්ක කළ පරිදි, මුළුමනින් ම පැහැදිලි නිර්දේශ එළිපිට ප්‍රකාශයට පත් කිරීම එල්එල්ආර්සීයේ භූමිකාව නො වේ. එල්එල්ආර්සීය එසේ කළත්, ආණ්ඩුව එක පිම්මේ ඊට එකඟ වනු ඇතැයි ඉන් අදහස් වන්නේ ද නැත! එළඹෙන වසරවල දී ආණ්ඩුව සිතන පිළිවෙළෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන්නේ නම්, වත්මන් රාමුව පදනම් කර ගැනීම නොහොත් පවත්නා රාමුව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම අතිශයින් ම දුෂ්කර කටයුත්තක් බව ආණ්ඩුව සහ එහි නිලධාරීන් කර ඇති ප්‍රකාශ සලකා බැලීමෙන් හොඳින් ම පැහැදිලි වේ.
නිගමනය
ප්‍රන්ස විප්ලවය පිළිබඳව සිතන්නේ කුමක් දැයි විමසූ විට මාඕ පවසන ලදැයි කියන දෙය අපි හැම දෙනා ම දනිමු: එනම්, එය ළඟ දී ම කිව හැකි යි යන්න යි. අපට මාඕගෙන් බොහෝ පාඩම් උගන්නට නැති විය හැකි නමුත්, එම පිළිතුර අප හොඳින් මතක තබා ගත යුත්තක් බව නිසැක ය. මේ අයුරින් ම, අපට එල්එල්ආර්සී වාර්තාව ගැන ද වැඩි යමක් නිව නොහැකි ය: එය ද ළඟ දී ම කිව හැක්කකි.
එල්එල්ආර්සීයෙන් අප උගත යුතු පාඩම් තුළ විස්මය දනවන කිසිවක් නැත. වාර්තාව නිකුත් කිරීමෙන්, ආණ්ඩුව නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇත යන්නක් කිසි සේත් ම තහවුරු නො වේ. එහෙත්, තීරණාත්මක ගැටලු බොහොමයක් පිළිබඳව බොහෝ ජනයා පළ කළ දෝෂාරෝපණ, චෝදනා, දුක් ගැනවිලි, සැලකිලිමත් වීම් සහ ප්‍රාර්ථනාවන් එල්එල්ආර්සීය සැලකිල්ලට ගනී. එම නිසා, අවසන් වාර්තාව නිසැකව ම සාදර පිළිගැනීමකට ලක් වනු ඇත.
වාර්තාවේ සමස්ත පණිවුඩය, (සටන් විරාම ගිවිසුම සහ ‛මානුෂීය මෙහෙයුම’ පිළිබඳව) ආණ්ඩුව කී දෙයත්, (ව්‍යාකුල පින්තූරය, මහජන පීඩාව, වග වීමක් නැතිකම, මානව අහිතිවාසිකම් ගැටලු යනාදිය පිළිබඳව) විවේචකයන් පෙන්වා දී ඇති දේවලුත් අතර එහා මෙහා වන බවක් පෙනී යයි. ඇතැම් විට වාර්තාවේ ශක්තිය ද මෙය විය හැකි ය. දැන් එහි අන්තර්ගත කරුණු පුළුල්ව විවාදයට භාජන කළ යුතු ය; එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දක්වා ගෙන යා යුතු යැයි අයෙක් විශ්වාස කරති. එහෙත් වඩා වැදගත් ද බැරෑරුම් ද කරුණ වන්නේ, වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ය යන්න යි. අඩුවෙන් කතාබහ සහ වැඩියෙන් ක්‍රියාව යනු වඩා ප්‍රිය උපදවන දෙයකි.
කලන සේනාරත්න[Kalana Senaratne]
http://groundviews.org/2011/12/18/the-llrc-report-a-critical-reading/ යේ පලවූ ලිපියක පරිවර්තනයකි