උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට
වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
ගමන පමයි අකුරට වැඩ කලාවේ
වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ
රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද
උවන පොතට එක්කෙරුවා මල් සුවඳ
විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
‛අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා
කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා
සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ
වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
මව්බිමත් සමඟ රමණය කළවුන්ට
මව් වුණත්’කයක් පමණෙකි හැමිනෙන්ට
පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?
මංජුල වෙඩිවර්ධන[Manjula Wediwardhana]
————————————————————————————————————————————–
සටහන
වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි’තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා,’තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ පරිසරවේදියකු විය. දේශපාලන අනුග්‍රහය මත, කුඩාතනෙන වෙරළේ, මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන්’කළ ඔහු ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නො නැවතී, ‛‛ෆේස්බුක්’’ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නො බිය ව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා උත්සුක විය.’තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නො වූ තේවා, කුඩාතනෛ වෙරළ’තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ ‛’කුඩා’තනෙන වෙරළේ සම්පත් සංහාරය’ මැයෙනි. ඒ 2010 වසරේ අවසාන දිනයයි. එදින ම රාත්‍රියේ ඔහුගේ නිවසට කඩා වැදුණු ‛වැලි හොරු’ පරිගණකය පිරික්සා, අනතුරුව ඔහු’කුඩාතනෛ වැල්ලට රැගෙන ගිය හ. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.
2011 වසරේ කේතිස්වරන් පිළිබදව විකල්ප පුරවැසි වෙබ් අඩවියේ පෙර සටහන් – 2011 ලබද්දී සයිබාවේ නිදහසටත් වෙඩි තබති.