Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” [2]


මේ කොමිසම පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවේ. ඊට විසඳුම් සෙවීම සඳහා මීට පෙර කිහිපවරක් විවිධ කොමිෂන් සභා පත්කොට, ඊට අදාළ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදහස් උදහස් උපයාගෙන තිබේ.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සැලකිල්ලට ලක්කොට නැති කිසි අංශයක් දැනට ඉතිරි වී නැත. රටේ ජනතාවත්, නායකයිනුත් ඒ අරභයා දැනගත යුතු සියල්ල, මේ වන විට දැනගෙන අවාසනයි. එහෙත් ඒ කිසි අදහසක් හෝ මතයක් එම ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පාලකයන් විසින් මෙතෙක් සද්භාවයෙන් පාවිච්චියට ගෙන නැත. ඇත්ත වශයෙන්ම, දැන් තවත් පාර්ලිමේන්තු කාරක සභාවක් එම අරමුණම එල්ල කරගෙන පිහිටුවීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී. එම පාර්ලිමේන්තු කාරක සභාවත්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් සම්බන්ධයෙන් අතීතයේ රඟදැක්වූ අභ්‍යාසයන්ට වඩා අඟලකින්වත් ඉදිරිගාමී වෙතැ යි සිතීම හිතළුවකි.

එසේ වුව ද, ජාතික ප්‍රශ්නයට විසඳුමක් කෙසේ වෙතත්, එහි මූලය පිළිබඳව නොසලකා ජාතික සංහිඳියාවක් ඇති කර ගැනීමට බැරි බව දන්නා නිසා දෝ උගත් කොමසාරිස්වරු ඊට අදාළ බොහෝ කරුණු කෙරෙහි යම් අවධානයක් අවධාරණය කොට තිබීම අගේ කළ යුතුය.

කෙසේ වෙතත්, ‘විසඳුම’ යන්නෙන් එක ජාතියක් අදහස් කරන දෙය අනිත් ජාතිය අදහස් කරන දෙයම නොවේ. මුළු රටටම එකඟ විය හැකි විසඳුමක් යැයි කියන විට, සිංහල ඡන්දයෙන් බලයට පත්වන ජනාධිපතිවරයා අදහස් කරන්නේ, ‘සිංහලයන්ට’ එකඟ විය හැකි හෙවත් ‘සිංහලයන්ගේ’ විසඳුමක් ගැනයි. එයින් ගම්‍ය වන්නේ වෙන කිසිවක් නොව, දෙමළාගේ ප්‍රශ්නයක් සඳහා සිංහලයා විසින් දෙනු ලබන විසඳුමක්’ යන්නයි. එය භාර ගැනීම හෝ නොගැනීම ‘දෙමළාගේ ප්‍රශ්නයකි.’

අපි තවත් විදිහකින් මේ ප්‍රශ්නය මතු කරමු. විසඳුමක් අවශ්‍ය කරන්නේ දෙමළ ජනයාට ද? ‘ඉස්සර වගේ නෙවෙයි, දැන් පාරක බැහැලා යන්න පුළුවන්’ යැයි සිංහලයාගේ කටින් අද පිටවෙන විට එයින් අදහස් කරන්නේ, උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනයාට පාරක බැස යාමට බැරි වූ කාලයක් ගැන නොව (ඔවුන්ට එදා මෙන්ම අදත් එසේ යාමට පුලූවන් කමක් නැත), දකුණේ සිංහලයාට පාරක බැස යාමට නොහැකි වූ කාලයක් ගැන යි. එයින් සනාථ වන්නේ දෙමළාගේ ප්‍රශ්නයක් වශයෙන් වැරදියට හඳුනාගෙන ඇති කාරණය සිංහලයාගේ ද ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වූ බවයි. තවත් විදිහකින් කිවහොත්, උතුරුකරයත් තමන්ට අයත් පළාතක් වශයෙන් ආරක්ෂා කර ගැනීමට සිංහලයාට අවශ්‍ය කරන තාක් කල් (භෞමික අඛණ්ඩතාවය), දෙමළාගේ ප්‍රශ්නය සිංහලයාගේ ද ප්‍රශ්නයක් වන බවයි.

එහෙත් යුද්ධයේ නිශ්චිත හමුදාමය ජයග්‍රහණය නිසා සිංහලයාගේ පැත්තෙන් මේ ප්‍රශ්නය දෙස බලන ආකාරයේ වෙනසක් නැවතත් ඇති වී තිඛෙන බව පෙනේ. ඉස්සර ‘පාරේ බැස යාමට නොහැකිවීම’ සහ දැන් ‘පාරේ බැස යාමට හැකිවීම’ යන ස්වභාවයන් අද සිංහලයා හඳුනාගන්නේ, ‘කොටි සංවිධානය සිටි’ අවස්ථාව සහ ‘කොටි සංවිධානය තව දුරටත් නැති’ අවස්ථාවන් වශයෙන් ය. මේ ආකාරයෙන් ජාතික ප්‍රශ්නය සමග ‘බෝම්බ පිපිරීම’ අනන්‍ය කරගත් විට, බෝම්බ පිපිරීම අහෝසි වන අවස්ථාව ‘ජාතික ප්‍රශ්නය විසඳූ’ අවස්ථාවක් වශයෙන් ජනතා සිත්සතන් තුළ දළ ආකාරයෙන් සංජානනය කෙරේ. වර්තමාන පාලකයන් ඉත සිතින් ගන්නා බව පෙනෙන පාඩමත් එයයි. එහෙත් මෙම උගත් කොමිසම එම අදහසට එකඟ නැත. ඔවුහූ මෙසේ කියති:

”දෙමළ ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි පිළිබඳව කටයුතු කිරීමට බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම අපොහොසත් වීම ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුමේ මූලය වන බව කොමිසමේ මතය යි. නිදහස ලබන අවස්ථාවේ පැවති දේශපාලනික සමමිතිය දිගටම පවත්වා ගත්තේ නම් සහ රාජ්‍ය ක්‍රමය පිළිබඳ සුළු ජාතීන්ගේ විශ්වාසය ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙළේ නම්, ප්‍රචණ්ඩකාරී සහ ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයකට මේ රට මුහුණ නොදෙන්නට ඉඩ තිබුණි.” (8.150)

”ගැටුමේ හේතුකාරකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා දේශපාලන විසඳුමක් අත්‍යාවශ්‍ය කෙරේ… ජෝර්ජ් සන්තායන සඳහන් කළ පරිදි, ”අතීතය අමතක කරන්නා එකම වරද නැවතත් කරයි”. මේ කොමිසම ඉදිරියේ අදහස් දැක්වූ සමහරු, නිදහසෙන් 63 වසරක් ගතව ඇති අද සමහර අංශවලින් අප මුලින් හිටිය තැනට ආපස්සට ගොස් ඇතැයි” පෙන්වා දුන්හ. (8.151)

”එසේම, දෙමළ මිනිසුන්ට දුක්ගැනවිලි ඇති බව ප්‍රතික්ෂේප කිරීම අතාර්කික ය. නිරර්ථක ය.” (8.153)

ලංකාවේ වාර්ගික ප්‍රශ්නයක් නැතැ යි ද, තිබුණේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණකැ යි ද පුන පුනා කියන ජාතික චින්තන සහ ජාතිවාදී පර්ෂද මේ කොමිසම ඉදිරියේ දිගින් දිගටම සාක්ෂි දුන්නේය. එහෙත් ඔවුන්ගේ අර්ථකථනය කොමිසම විසින් භාරගෙන නොතිබීම, මේ විමර්ෂණය තුළ පෙනෙන්නට ඇති තවත් සාධනීය ලක්ෂණයකි.

දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි යනු යමෙකු දෙමළ වීම නිසා ඇතිව තිඛෙන තත්ත්වයක් බව ඉහත සඳහන් ප්‍රකාශය හරහා කොමිසම පිළිගනී. එහෙත් දෙමළාට විශේෂ ප්‍රශ්නයක් නැතැ යි කියන මතවාදය වර්තමාන ආණ්ඩුවේ පාර්ශ්ව ගණනාවක් නියෝජනය කරයි. පසු ගිය කාලයේ පමණක් නොව, අද දක්වාමත් ආණ්ඩුවට අවශ්‍ය කරන සිංහල මතවාදී පන්නරය සැපයුණේ එවැනි දේශපාලන ව්‍යාපාර හරහාය. එසේ වුව ද, මේ වාර්තාවේ කිසි තැනක, එම මතවාදය විසින් දායක කරන ලද නිෂේධනීය කාර්ය භාරය, ඉහත කී බලයේ සිටි සෑම ආණ්ඩුවක් පසුපසම තිබූ අසාර්ථකත්වයේ’ එක් වැදගත් සාධකයක් වශයෙන් හඳුනා ගැනීමට අපොහොසත්ව තිබීමෙන් පෙනී යන්නේ, මෙම කොමිසම නූගත් පාඩම් ද තවත් ඉතිරිව ඇති බවයි.

”ඕනෑම අර්ථවත් සංහිඳියාවක් ඇති වීමට නම්, එහි පදනම් සාරය වන සාමය සහ ස්ථාවරත්වය සඳහා ස්වාධීන අධිකරණයක් සහ පාරදෘෂ්‍ය නීති ක්‍රියාවලියක් සමග නීතියේ ආධිපත්‍යයට අනුගත වීම, නැතිවම බැරි කොන්දේසියක් වන්නේය. ප්‍රජාතන්ත්‍රවාදයක් නම්, පුද්ගලයන්ගේ ආධිපත්‍යය යටතේ නොව නීතියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වන සාධාරණ පාලන ක්‍රමයක් වන බවට සහතික විය යුතුය.” (8.185)

යහපාලනය පිළිබඳ මේ අනගි යෝජනාව කොමිසමේ තවත් වැදගත් නිරීක්ෂණයකි. ස්වාධීන අධිකරණයක් සහ පාරදෘෂ්‍ය නීති ක්‍රියාවලියක් සහිත නීතියේ ආධිපත්‍යය මිස පුද්ගලයන්ගේ ආධිපත්‍යයක් අනාගත සංහිඳියාවකට කොහෙත්ම හිකකර නොවන බව කොමිසම කියන්නේ, වර්තමාන තත්ත්වය ගැන සැළකිල්ලට ගැනීමෙන් බව පැහැදිළියි. එහෙත්, මීට පෙර ලිපියේ අප පෙන්වා දුන් පරිදි, ”විධායක ජනාධිපතිවරයෙකු යටතේ ශක්තිමත් සහ පුළුල් පදනමකින් යුත් ආණ්ඩුවක් පැවතීම හේතුකොටගෙන, සුළු ජාතීන්ගේ දුක්ගැනවිලිවලට දේශපාලන විසඳුම් සැපයෙන මහා කවුළුවක් අද විවරව ඇතැයි” කොමිසම සිය වාර්තාවේ තවත් තැනක විශ්වාසය පළ කරන්නේ කෙසේ ද? ”ස්වාධීන අධිකරණය, පාරදෘෂ්‍ය නීති ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය වෙනුවට පුද්ගල ආධිපත්‍යයක අනතුර” ඇඟවීමට පවා සිදුවී තිඛෙන්නේම, ”ශක්තිමත් සහ පුළුල් පදනමකින් යුත් විධායක ජනාධිපතිවරයෙකු” නිසාම බව කොමිසමට නොවැටහෙන්නේ මන්ද? මේ කාරණය සම්බන්ධයෙන්, ”18 වැනි ව්‍යවස්ථාව” නැමැති සංසිද්ධිය පිළිබඳ නාම මාත්‍රයෙන්වත් සඳහන් කිරීමේ ධෛර්යයක් කොමිසමට තිබිණි නම්, ඔවුන්ගේ නිර්දේශය නිශ්චිත අරුත් නැංවීමට තිබුණි. එහෙත්, එවැනි සංයුක්ත සන්දර්භයක නොපිහිටා පොදුවේ නිර්දේශ කරන යෝජනා, උත්තුංග සංකල්පනා විය හැකි වුවත්, ප්‍රායෝගික වශයෙන් නිෂ්ඵල ය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ගැන කොමිසමේ කරුණු දැක්වීමත් එයාකාරයි:

”දේශපාලන සම්බන්ධකම් සහිත පුද්ගලයන් වැරදි කළ විට ඒ පිළිබඳ විභාග කිරීමට සහ එම වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අපොහොසත් වී ඇත.” (8.186. ඒ)

”යුද්ධය අවසන් වී ඇතත්, නීතිය හා සාමය පිළිබඳ වැදගත් ප්‍රශ්න ඉතිරිව පවතී. ආයුධ සන්නද්ධ පිරිස් විසින් කප්පම් ගැනීම්, පැහැරගෙන යාම්, අතුරුදහන් වීම් සහ මංකොල්ලකෑම් නිසා උතුරු නැගෙනහිර ජීවත්වන ජනතාවගේ සිත්සතන් කැළඹෙයි. දේශපාලඥයන් ගණනාවක්ම නීතියට පිටින් කටයුතු කරන බවට කරුණු ඉදිරිපත් විය. අපරාධ කල්ලි සමග මේ දේශපාලඥයන් පවත්වන ගනුදෙනු හරහා පොලීසියට කෙරෙන බලපෑම් හේතුවෙන් පොලීසිය දේශපාලනීකරණය වීමටත් යුක්ති ධර්මය වල් වැදීමටත් හේතු වී තිබේ.” (8.186 බී)

”ගිනිඅවි භාවිත කරමින් පවත්වාගෙන යන දේශපාලනික ප්‍රචණ්ඩත්වය මේ රටේ නීතිගරුක පුරවැසියන්ගේ සිත් වීශාල වශයෙන් පීඩාවට පත්කොට තිබේ.” (8.186 සී)

”භාරතී නැමැත්තෙක් නැගෙනහිර පළාතේ පැහැරගෙන යාම්, කප්පම් ගැනීම් සහ මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවට කොමිසම ඉදිරියේ කරුණු ඉදිරිපත්ව තිබේ. මේ කාරණය අදාල බලධාරීන් වෙත කොමිසම මගින් ඉදිරිපත් කොට ඇත. එහෙත් මේ චූදිතයා පිළිබඳ අර්ථවත් පියවරක් ගැනීමට බලධාරීන් උත්සුක වී නැති බව කණගාටුවෙන් සඳහන් කළ යුතුව තිබේ.” (8.187 ඒ)

”…ආයුධ බිම තබා යටත් වු පොලිස් නිලධාරීන් 600 ක් ඝාතනය කිරීමට, එවකට නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ කරුණා සහ තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධ බවට කරුණු ඉදිරිපත් කොට තිබේ.” (8.187 බී)

”කෙසේ වෙතත්, අද වන තෙක්, මේ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නැති බව මේ කොමිසම සඳහන් කරන්නේ කණගාටුවෙනි… ජීවිත අහිමි වූ මේ නිලධාරීන්ගේ යැපෙන්නන්ට මේ දක්වා වන්දියක් පවා ගෙවා නැත. මේ අපරාධයේ ස්වභාවයත්, සංහිඳියාව කෙරෙහි එහි ඇති බලපෑමත් කරණකොටගෙන මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කොමිසම විශ්වාස කරයි. (8.187 ඩී)

”ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) සාමාජිකයන් කප්පම් ගැනීමේ ක්‍රියාවන්හි නිරත වන බවට කිහිප දෙනෙක් පැමිණිලි කළෝය. ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ නායකයාගෙන් (ඩග්ලස් දේවානන්ද) මේ කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පිළිතුරු දුන්නේ, ‘වැස්සහම පොළොව තෙමෙනවා තමයි” යනුවෙනි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගෞරවයට එම නායකයාගේ මෙම ආකල්පය (පිළිතුර) නොගැලපෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කොට සිටිය යුතුය.” (8.187 ඊ)

උක්ත කරුණුවලට මූලික වගකිවයුත්තා වාසගමකින් නම් කිරීමට කොමිසම පියවර ගෙන නැත. ඩග්ලස් දේවානන්ද සහ කරුණා අම්මාන් අපරාධ කොට ඇත්නම් සහ දැනටමත් අපරාධ කරයි නම්, එවැන්නන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන විට, කොමිසමේ ඇඟිල්ල දිගු විය යුතුව තිබුණේ කා දෙසට ද?

මේ කරුණුවලින් පෙනී යන්නේ නැවත නැවතත් මුවහමකට තඩිබෑමේ අභ්‍යාසයක කොමිසම නිරතව ඇති බවයි.

(ලබන සතියට)


ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]