Colombo, Featured Articles, Features

ඇට්ලස් යෝධයාගේ කතාව


දෙවියන් සමග පැවති සටනින් පැරදීම හේතුකොට ගෙන ඇට්ලස් යෝධයාට ලෝකය සිය උරහිසේ තබා ගැනීමට සිදු විය. ඉතින් එදා සිට අද දක්වා ලෝකයේ බර දරා සිටින්නේ මේ ඇට්ලස් යෝධයාය. ඇතැම් විට භූමිකම්පා ආදිය සිදුවන්නේ ඇට්ලස් යෝධයා විසින් තම බර චලනය කිරීමෙන් බවට පිළිගැනේ. ඉතින් ලෝකය තුළ කොපමණ ක්‍රියාකාරකම් සිදුවුවද අවසානයෙහි ඒ සියල්ලේම පැවැත්ම තීරණය වන්නේ ඇට්ලස්ගේ සිතුවිලි අනුව බව මෙම මිථ්‍යාවට අනුව අපට පිළිගන්නට සිදුවේ. ලංකාවේ අය ඇමරිකාවටත්, ඇමරිකාවේ අය සයිබීරියාවටත් යවන්නට ඇට්ලස්ට යන්නේ තත්පර කිහිපයකි. කරන්නට ඇත්තේ ගෝලය මදක් කැරකවීම පමණකි. මේ කාරණා හුදෙක් මිථ්‍යා ලෙස පිළිගැණුනද ලාංකීය දේශපාලනය තුළ නම් ඇට්ලස් යනු මිථ්‍යාවක් නොවේ. ඇට්ලස්ගේ භූමිකාව ලාංකීය දේශපාලන යථාර්තයකි. ලංකාව තුළ මතුවන ඕනෑම දෙයක හැඩයක් තත්පර කිහිපයකින් වෙනත් හැඩයක් බවට පත් කිරීමට මෙම ඇට්ලස්ගේ භූමිකාවට හැකිය. ‛අර්බුදයන්’ යනු ලාංකීය දේහයේ නෛසර්ගික ලක්ෂණයකි. වැඩි වශයෙන්ම මේ ඇට්ලස්ගේ භූමිකාව ක්‍රියාත්මක වන්නේ මෙබඳු අර්බුදයන් පවතින අවස්ථාවන් වලදීය.

ඇට්ලස් එනකං

ඕනෑම අර්බුදයක් තත්ත්පර කිහිපයක වචන හුවමාරුවකින්, එම අර්බුදයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොවන්නට විසඳීමට ඇට්ලස්ට හැකිය. එැබිවින් බොහෝ පිරිස් තම අර්බුදයන් විසඳීමට ඇට්ලස් එනකං හෝ ඇට්ලස්ගෙන් කෝල් එකක් එනකං බලා සිටිති. පසුගිය දිනෙක එළවළු ප්ලාස්ටික් කූඩවල ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් ගෙන ආ නීතියට එරෙහිව කොයිතරම් ජනතා විරෝධයක් පැමිණියද අමාත්‍යවරයා සිය තීරණයේම එල්බ සිටියේය. සුපුරුදු ලෙසම සාකච්ඡාවක් ඇති වූ අතර ඇට්ලස්ගේ භූමිකාව මැදිහත් වීමෙන් ප්ලාස්ටික් කූඩ අළුබවට පත් විය. එක් අතකින් ජනයා එරෙහි වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයට පයින් ගසන ඇමතිවරයා අනෙක් පැත්තෙන් පාලකයාගේ තනි තීරණයට එකඟ වෙමින් රාජාණ්ඩුවාදයට ආවඩයි. මේ ආකාරයටම නත්තල් දිනයට පෙරදා පැවැත්වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වැඩ වර්ජනය අවසන් වන්නට ගත වූයේ තත්ත්පර කිහිපයක දුරකථන ඇමතුමක් පමණි.තමන් ගැන කවුරුත් බොහෝ කාලයකින් කතා කලේ නැතිබව යම් ඇමති කෙනෙකුට හිතුණොත් ඔහු හෝ ඇය අභූතරූපී නීතියක් එනම් ‛හෙට සිට මහජනයා ඔළුවෙන් යා යුතුය’ වැනි නීතියක් ගෙන එයි. පසුවදා සිට පොලීසිය විසින් ඔළුවෙන් යන්නේ නැති අය අල්ලා හිරේ දමති. නැතිනම් ඒ අයගෙන් අල්ලස් ගනිති. මෙම නීතියට මහජනයා විරෝධය පාන විට අදාල ඇමතිවරයා ඔහේ බලා සිටියි. ඉතින් බලාපොරොත්තු වූ පරිදි ඇට්ලස් පැමිණෙයි. ඔළුවෙන් යාමේ නීතිය ඉවත් කරයි. නැවතත් සුපුරුදු පරිදි සාමය පැමිණෙයි. මේක මම විසඳනකන් බලා ඉන්නේ නැතිව තමුසෙට විසඳන්නට බැරි වූනේ ඇයි යන්න කිසිම විටෙක ඇට්ලස් විසින් ඇමතිවරයාගෙන් නොඅසයි. මන්ද එබඳු අර්බුද ඇට්ලස්ගේ පැවැත්මට අවශ්‍ය බැවිණි. මේවායින් නිර්වස්ත්‍ර වන්නේ මේ දේශපාලන ක්‍රමය විසින් රාජාණ්ඩුවාදයට දක්වන බලවත් අනුරාගයයි.

විභාග, අපේක්ෂා සහ ඇට්ලස්

මෑතක් වන තුරු ලංකාවේ ජනතාව විශ්වාස කළ ආණ්ඩුවේ එකම ආයතනය වූයේ විභාග දෙපාර්තමේන්තුව පමණි. ලංකාවේ බොහෝ මිනිසුන් සිය ජීවිතය පරිවර්තනය කරන ප්‍රධාන සාධකය බවට අධ්‍යාපනය පත් කර ගත්තේ විභාග දෙපාර්තමේන්තුව පිළිබඳ වූ විශ්වාසය නිසාවෙනි. පැමිණි ප්‍රතිපල කිසිදු සැක කිරීමකින් තොරව පිළි ගත්තේ විභාග දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසය නිසාවෙනි. අධිකරණය පවා විශ්වාස කිරීමට නොහැකි යුගයක ලංකාවේ මිනිසුන් විභාග දෙපාර්තමේන්තුව විශ්වාස කළේය. නමුත් මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල සමග විභාග දෙපාර්තමේන්තුවත් තවත් ආණ්ඩුවේ ආයතනයක් බව සිතීමට ලංකාවේ ජනතාවට බල කෙරිණ. මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ විභාග කොමසාරිස් වරයාද, නැතිනම් ඇමතිවරුන්ගේ සූත්‍රද නැතිනම් ළමුන්ද යන්න පිළිබඳව විවිධ මත ගොඩනැගුණි. නමුත් කෙසේ හෝ අවසානයේ උසස් පෙළ විභාග ප්‍රතිපල ප්‍රමාද විය. ඉතින් වෙනදා වගේම අර්බුදයට ඇට්ලස් මැදිහත් වන තෙක් ඇමතිවරු සහ නිළධාරීන් අනෙකාට වරද පටවමින් කල් මැරීය. අර්බුදය වසා ගැනීමට විවිධ ප්‍රබන්ධ ගෙතීය. අවසානයේ ඉරණමේ කොටා ඇති ආකාරයට ඇට්ලස්ගේ භූමිකාව ක්‍රියාත්මක විය. වහාම විභාග ප්‍රතිපල ලබා දෙන ලෙස අණකරමින් ගැටළුව සුණු විසුණු කිරීමට අණක් පැමිණියේය. මෙම අණ පැමිණෙන තෙක් බලා සිටි නිළධාරීන් සහ ඇමතිවරු වෙනදා වාගේම එම අණට අනුව ක්‍රියාත්මක වීමට කටයුතු කළද වැඩේ වැරදිණ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ සැකසුණු ස්වාධීන පද්ධතියකට අත පෙවීමට අණකට නොහැකිය. එබැවින් එයින් සිදු වූයේ අර්බුදය අවසන් වනවා වෙනුවට තව තවත් අර්බුද ගණනාවක් හට ගැනීමයි. මෙවර ඇට්ලස්ටත්, එහෙයියන්ටත් වැඩ වැරදිණ. මන්ද මෙය එළවළු කූඩ ප්‍රශ්න, බස් ස්ට්‍රයික්, අල්ලස් චෝදනා තරම් පහසු නොවූ නිසාය. තමා සිටින්නේ මිනිසුන් සිටින සමාජයක් බවත් එම මිනිසුන්ට අපේක්ෂා, බලාපොරොත්තු තිබෙන බවත් ඇට්ලස්ලාට, ඇමතිවරුන්ට, නිළධාරීන්ට ප්‍රථම වරට වැටහෙන්නට ගත්තේ මෙතනදීය. එමෙන්ම මිනිසුන්ගේ හිත් හදන එක අධිවේගී මාර්ග දහසක්, වරායවල් දහසක්, ගුවන් පාලම් දහසක් හදනවාට වඩා අමාරු බව වැටහුණේ මෙහිදීය.

පුරවැසියාගේ සිට වහලා දක්වා

විභාග ප්‍රතිපල වියවුල් වීම එක්තරා ආකාරයකට සතුටට කරුණකි.මන්ද තවමත් එක් පුද්ගලයෙක්ගේ තීරණයකට යටත් නොවන ආයතන පද්ධතීන් ලංකාව තුළ තිබෙන බව හැඟෙන බැවිනි. එය එසේ වන්නේ කිසිදු පුද්ගලයෙක්ට විශේෂයෙන්ම විභාග කොමසාරිස්වරයාටවත් අත නොතැබිය හැකි ආකාරයට එම පද්ධතිය ගොඩනගා ඇති නිසාවෙනි. ඉතින් මෙම පද්ධතියේ පැවති ස්වාධීනත්වය නිසාම ඒ මත විශාල ජන විශ්වාසයක් ගොඩනැගිනි. මෙම විශ්වාසය අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන ශක්තිය වන්නේය. ක්‍රීඩාවකට පැවැත්මක් ඇත්තේ එම ක්‍රීඩාවේ නීති රීති මිනිසුන් විශ්වාස කරන තාක් පමණි. ඉතින් බලයෙන් මත් වූ පාලකයන් සහ එම බලය ඉදිරියේ නිර්වස්ත්‍ර වූ නිළධාරීන් විසින් ජනයාගේ විශ්වාස පද්ධතියකට කෙනහිලිකම් කරමින් සිටිති. ඉතින් මෙහි අවසාන ප්‍රතිපලය වනුයේ විභාගයටද ලංකාවේ මැතිවරණයට හිමි වී තැන හිමි වීමයි. එය පොදු ජන විශ්වාසයෙන් ඈත් වීමයි. එහි ප්‍රතිපලය වන්නේ මෙතෙක් කල් ඒ මත පාලනය වූ ජීවිත අරාජික වීමත් සමස්ත සමාජ ක්‍රමය එමගින් අරාජික වීමත්ය. විභාගය ප්‍රතිපල පවා පාලකයාට භාර දෙන රටක මිනිසුන්ට නැතිවන්නට තවත් ජීවිතයක් නොමැත. මේ අප ගමන් කරන්නේ පුරවැසියන් වහලුන් බවට පරිවර්තනය වන යුගයකටය.

රාජාණ්ඩුවාදී විකෘතිය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකෘතිය

අධ්‍යාපනයට ඇති නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තුළ දැකිය හැකි සුවිශේෂීම අවශ්‍යතාවයකි. එබැවින් ලාංකීය සමාජය තුළ සාධනීය ආකාරයකට අධ්‍යාපනය නැමැති ආයතනය මෙතෙක් කල් ගොඩ නැගින. එම ආයතනයට අත පෙවීමට කිසිවෙකු උත්සාහ නොදැරුවේ එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධාන සංකේතයක් බැවිණි. ලාංකීය අධ්‍යාපනය හුදකලා වූවක් නොව එය ලෝකයත් සමග බද්ධ වීම මෙහි ස්වාධීනත්වයට ප්‍රධාන හේතුව වන්නට ඇත. ලංකාවේ අධ්‍යාපනය මෙවන් තත්ත්වයක පසුවුවද ලංකාවේ දේශපාලනය තවමත් ගමන් කරන්නේ රාජාණ්ඩුවාදී හර පද්ධතීන් ඔස්සේය. ජන විරෝධයට හිස නොනමන ඇමතිවරයා පාලකයාගේ අණට කීකරුවන්නේ එබැවිනි. මෙබඳු තත්ත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයක් තිබුණද අවසානයේ දී පාලකයාගේ තීරණ හමුවේ සියළුම ප්‍රජාතාන්ත්‍රික ගිවිසුම් අවසන් වේ. නමුත් විභාග ප්‍රතිපල ගැටළුවේ දී ප්‍රජාතාන්ත්‍රික ආයතන ව්‍යුහය රාජාණ්ඩුවාදී පාලනයට එරෙහි විය. එබැවින් බස් ස්ට්‍රයික් එකක් නවත්වනවා වාගේ පහසුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන ආයතනයේ හැඩය වෙනස් කිරීමට රාජාණ්ඩුවාදයට නොහැකි විය. අද විභාග ප්‍රතිපල අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ රාජාණ්ඩුවාදී දේශපාලන ක්‍රමයක් තුළ තවමත් කෙසේ හෝ හිස ගසා ගැනීමට දඟලන ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම අර්බුදය ප්‍රකෘතියක් වන්නේ එබැවිනි. බැරි වෙලාවත් පාලකයාගේ මැදිහත් වීමෙන් මෙම අර්බුදයත් විසඳුවා නම් එය විකෘතියකි. මෙම අර්බුදයන් අවසන් වීමට නම් එක්කෝ රාජාණ්ඩුවාදී විකෘතිය සමස්ත සමාජය තුළ ව්‍යාප්ත විය යුතුය. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකෘතිය සමස්ත සමාජය තුළ පැතිරිය යුතුය. වෙනත් ආකාරයකට කියනවා නම් එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ රාජාණ්ඩුවාදී තීරණ ක්‍රියාත්මක නොකිරීමට රජවරු උත්සාහ ගත යුතුය. නැතිනම් රාජාණ්ඩුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සිහින නොදැකීමට ජනතාව පුරුදු විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයට හා රාජාණ්ඩුවාදයට එකට විවාහ ජීවිතයක් ගත කළ නොහැකිය.