[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
කෙසඟ සිරුරැති මිනිසෙක් 2011 අවසාන බාගය පුරා ඉන්දියාවේ පුවත්පත්හි ශීර්ෂ පාඨ අල්ලා ගනිමින් සිටියේ ය. ඔහු අල්ලා ගත්තේ ශීර්ෂ පාඨ පමණක් නොවේ. ලක්ෂ ගණන් ඉන්දීය ජනයාගේ සාධාරණත්වය සඳහා වන කැක්කුම ද අල්ලා ගනිමින් සිටියේ ය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනෙක ඉන්දියවේ ප්රබළ පුවත්පතක් වන ටයිම්ස් ඔප් ඉන්දියා හි මෙවැනි වාර්තාවක් පළවිය:
‛‛නව දිල්ලිය: පසුගිය සෙනසුරාදා මහජන නියෝජිත සභා දෙකම නැගීඑන මහාජන සහයෝගයක් භුක්තිවිඳි දූෂණ විරෝධි ස්වාධීන ඔම්බුඩ්ස්මන්වරයකු ඉල්ලා සිටින අන්නා හසාරේගේ ව්‍යාපාරයට හිසනැමූ විට ඉතිහාසයට අලුත් පිටුවක් ලියැවුණි. ලොක් සභාව සහ රාජ සභාව, ස්ථාවර කාරක සභාව විසින් අන්නා හසාරේගේ ඉල්ලීම සළකාබලනු ඇති බවට ඒකමතිකව තීරණය කළේ ය. එනම් දූෂණ විරෝධි ඔම්බුඩ්මන්වරයා පත් කිරීමත් ප්‍රාන්ත රාජ්‍යන්හි ද එවැනි තනතුරක් ඇති කිරීමත් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු මගින් ලබා දෙන මහාජන සේවය අරමුණු කරගත් පුරවැසි ප්‍රඥාප්තියක් ඇති කිරීමත් ය. එම ගිවිස ගැනීම විසින් දින දොළසක් වූ අන්නාගේ උපවාසය නතර කෙරුණි.’’
මෙපරිද්දෙන් දූෂණ විරෝධය ඉන්දියානු දේශපාලනයේ මහත් කැළැඹිමක් බවට පත් කළ මේ සාමන්‍ය මිනිසා කළකට පෙර යුද හමුදා රියදුරකු වූ හසාරේ නැමැත්තෙකි. පසු කළෙක සිය ස්වේච්ජා සමාජ කටුයතු අතරතුර ඔහු අන්නා හසාරේ බවට පත් විය. එනම් හසාරේ අයියා ය. (අපේ බොහෝ සිවිල් ව්‍යාපාර ප්‍රධානීන් හැදින්වෙන සර් කෑල්ල හසාරේට නැත.) අද ඉන්දියාවේ බලගතුම සිවිල් චරිතයක් වන්නේ ඒ යුද හමුදා සේවය වෙනුවෙන් ලබන විශ්‍රාම වැටුපෙන් ජිවත්වන මේ පුද්ගලයා ය. ඉන්දියානු සමාජ ආර්ථික දේශපාලන ජිවිතයේ මහත් පිළිලයක් වන අල්ලස් දූෂණ විරෝධී ඔහුගේ හඬ ඉන්දියාවේ ගම් නියම්ගම් සිසාරා රැව් දෙයි. ඔහු වත්මන් ඉන්දියාවේ නව ගාන්ධි කෙනෙකි.
ඔහු සිය දූෂණ විරෝධී ව්‍යාපාරය කිසිදු දේශපාලන පක්ෂයක අතකොළුවක් බවට පත් කළේ නැත. එම ව්‍යාපාරයේ සැබෑ බලය ඇත්තේ පක්ෂ දේශපාලනයෙහි කිහිළිකරුවක් නොවීම ද යන්න මත ය. එනිසා ම ඉන්දියානු දේශපාලනයේ ප්‍රබල සිවිල් චරිත ගණනාවක් ම අද හසාරේ කණ්ඩායම නමින් හැදින්වෙන ස්වේච්ඡා නායක මණ්ඩලය වර්ණවත් කරයි. ඒ අතර නර්මදා මහජන උද්ඝෝෂන ව්‍යාපාරයේ විරවරිය වූ මේදා පත්කර්, තොරතුරු නිදහසේ ඉන්දියානු ව්‍යාපාරයේ නායකයකු වන අරවින්ද් කෙජ්රිවාල්, ඉන්දියාවේ ප්‍රථම පොලිස්පතිවරිය වූ කිරාන් බීඩි ද වෙති. තමිල් නාඩුවෙහි ජනප්‍රියතම සිනමා නළුවකු වන රජ්නි කාන්ත් හසාර් ගේ දූෂණ විරෝධි ව්‍යාපාරයේ දෘඩ සහායකු වන අතර වරක් තවත් එවැනි චරිතයක් වන අමීර් ඛාන් කියා සිටියේ ‛ වීරයා අන්නා හසාරේ, මම නොවෙයි’ කියා ය.
දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා වූ කිසාන් බබුරාවෝ හසාරේ උපත ලද්දේ 1937 දී මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බිහින්ගා නම් ඈත දුපප්ත් ගමක ය. ඔහුගේ ළමා කාළය දරිද්‍රතාවයේ ගිලී තිබුණි. කුලී කම්කරුවන් වූ හසාරේගේ මාපියන්ට දරුවන් කිසිවකුට පාසැල් අධ්‍යපනයක් ලබා දීමට හැකියාවක් තිබුණේ නැත. පවුලේ ඥාතියකු විසින් මුම්බායි නගරය කරා ගෙන යන ලද හසාරේට වාසනාව ලැබුණේ හත්වන පන්තිය දක්වා පාසැල් යාමට පමණ ය. පවුලේ බර දැරිම පිණිස දවසට සත 40ක වැටුපට මල් සාලාවක වැඩට ගිය හසාරේ පසුව සිය සොයුරන් දෙදෙනෙකු ද සමඟ තමන්ගේ ම මල් කඩයක් ඇරඹුවේ ය.
1962න් ඇරඹි ඉන්දු – පකිස්තාන් යුද සමයෙහි යුද හමුදාවට බැදුණු හසාරේ වසර 13ක් එහි සේවය කළේ ය. දෙවරක්ම අනූනවයෙන් ජිවිතය බේරාගත් හසාරේ යුද්ධයේ මරණ දැකීමෙන් කම්පාවට පත්ව සිටියේ ය. සිය ජීවිතය දෙවියන් විසින් බේරා දුන්නේ ජන සමාජය පිණීස කැපකිරීමට විය යුතුයැ යි හසාරේ විශ්වාස කරයි.
හසාරේ තනිකඩයෙකි. යුද හමුදා සේවයෙන් පසු යළි සිය ගම කරා ගිය හසාරේ ගම් වැසියන්ගේ ජිවිතය යහපත් කරනු පිණිස විවිධ පියවරයන් ගැනීමට තරුණ පිරිස් මෙහෙය වීය. ඔහුගේ මුල් කාලින සමාජ ක්‍රියාකාරිත්වය එක්තරා අන්දමක බලහත්කාර සුචරිතවාදයක් සමඟ බැදී තිබුණි. ගමෙහි දුගී භාවයේම ලක්ෂණයක් වූ බීමත්කම නැති කිරිම පිණිස ඔහු බලහත්කාරය යොදා ගන්නා තරුණ පිරිස් සංවිධානය කළ බව කියනු ලැබේ. ‛නිව් ඉන්ටනැෂනලිස්ට්’ නම් විකල්ප සඟරාවට දුන් සම්මුඛ සාකච්ජාවක දී අරුන්දතී රෝයි හසාරේ උග්‍ර අන්තවාදියකු ලෙස නම් කළේ ය. එනමුත් 1980 ගනන් පුරා නර්මදා වේල්ලට එරෙහි නැගුණු තවත් බලගතු මහාජන ව්‍යාපාරයේ අවිවාදිත නායිකාව වූ මේදා පත්කර් කියා සිටියේ රෝයිගේ විවේචනය දොස් සහිත බවයි.
හසාරේ පාර්ශුද්ධ මිනිසකු නොවේ. ඔහුට විරුද්ධව විවිධාකාර චෝදනා නැගී ඇති අතර ඉන් එකක් වූයේ විය යුතු පරිදි ම මුල්‍ය වංචාවන් ය. නමුත් අත නොහැර කල සිවිල් අරගල හමූයේ එම චෝදනා පිසාදා යැවුණි. අද ඉන්දියානු දේශපාලනය කළබවාලන දූෂණ විරෝධී ව්‍යාපාරයේ නායකත්වය කරා හසාරේ පැමිණියේ බොහෝ මඩවගුරු සහ අරගල හරහා ය. ඔහු වීරයකු වන්නේ ශුද්ධවන්තයකු වන නිසා නොව සිය ජීවිතය පරදුවට තබමින් මහාජන සේවයට කැපව සිටින නිසා සහ සිය සමාජ ව්‍යාපාරය ඉදිරිගාමී වෙනසක ප්‍රබල කොටස්කරුවකු බවට පත් කර ඇති නිසා ය. එමෙන්ම එවැනි අවිහිංසාවාදී පුළුල් මහජන ව්‍යාපාරයක් මගින් සාර්ථකත්වයක් අත්කරගත හැකි බව අත් දැකීමෙන් ම ඉතිහාසයට එක්කරමින් ඇති නිසා ය.
හසාරේගේ සටන් ක්‍රමය ගාන්ධිවාදී අවිහිංසාවාදය යි. එහි උච්චතම පියවර උපවාසය යි. අද හසාරේ නායකත්වය දෙන දූෂණ විරෝධි ව්‍යාපාරයේ ඉලක්කය රාජ්‍ය සේවයේ දූෂණ පිටුදැකීමේ අරමුණින් ඔම්බුඩ්ස්මන්වර ආයතනයක් පිහිටුවෙන පනතක් සම්මත කර ගැනීම ය. ඉහත දැක්වූ ටයිම්ස් ඔfප් ඉන්දියා වාර්තාවෙන් ද දැක්වෙන පරිදි මෙම ඉල්ලීම ඉටු කිරීමට ඉන්දීය ආණ්ඩුව පසුගිය අගොස්තු මාසයේ දී ගැසට් නිවේදනයක් මගින් ම එකඟ විය. ඇත්ත වශයෙන්ම නම් එවැනි පනතක් දෙසැම්බර් අගභාගයේ දී ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නමුත් අන්නා සහාරේ සහ කණ්ඩායම එය ප්‍රතික්ෂේප කළේ එය අප්රමාණවත් බවට චෝදනා කරමිනි. අවසානයේ දී පාර්ලිමේන්තුව ද එම පනත එම හේතුව මතම ප්‍රතික්ෂේප කළේ ය. කොන්ග්රස් පක්ෂය පැරදුණි.
වීරයකු බිහිවීමට සමාජ දේශපාලන පසුබිමක් ද අවශය ය. වත්මන් ඉන්දියාව වේගවත් ආර්ථික සංවර්ධනයක් භුක්ති විදී. ඒ විසින් මහත් ධනයක් උත්පාදනය කරයි. රාජ්‍ය බලය විසින් දූෂණය ඇති කරන පරිදිම වෙනත් ආකාරයක බලයක් වන ධනය විසින් ද දූෂණය ඇති කරයි. ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් විසින් පිහිටුවන ලබන පාරදෘශය වගවීමේ යාන්ත්‍රණයන් නැති කළ දූෂණය දේශපාලන සහ ව්‍යාපාරික පන්තියේ දුෂ්ඨ බැදීම සහ පරමාර්ථය බවට පත්වෙයි. බොහෝ කොටම මෙවැනි වංචා මගින් උපයන ලද ඩොලර් බිලියන 1,456ක් ඉන්දීය දේශපාලනඥයින් සහ ධනපතියන් විසින් ස්විස් බැංකුවල තැන්පත් කර ඇතැයි කියනු ලැබේ.
ඉන්දියාවේ දේශපාලන පන්තියේ දූෂණය කොතරම් ද යන්න හෙළිකළ එක් අවස්ථාවක් වූයේ 2G දූෂනය නමින් 2010 වසරේදී කුප්රසිද්ධියට පත් ටෙලිකොම් වංචාවය. ටෙලිකොම් ඇමැතිවරයා වූ ටී.රාජා විසින් කොමිස් ලබා ගැනීම පිණිස ඇදහිය නොහැකි තරම් අඩු මිලකට ව්‍යාපාරිකයිනට 2G අවසර ලබා දීමෙන් ඉන්දීය ආණ්ඩුවට අහිමි වූ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 38260ක් බවට වාර්තා වී තිබේ. එය ඉන්දීය ඉතිහාසයේ වාර්තාගත දැවැන්තතම දූෂිත වංචාවය.
දූෂණය දුප්පත්කමෙහි ද ලක්ෂණයකි. එසේ නමුත් මේ මහා පරිමාන දූෂණ සමඟ සසදන කළ එවැනි දූෂණ මුදලින් සොච්චමක් නියෝජනය කරයි. එනමුත් සමාජ පිළිලයක් වශයෙන් දූෂණය මෙරට මෙන්ම එරටෙහි ද පෘතුළ ය. දූෂණයෙන් වැඩි පුරම බැට කන්නේ සහ විශේෂයෙන් ම ඊට විරුද්ධ මනෝබාවයක් ඇති කරගන්නේ නැගී එන මධ්‍යම පන්තිය යි. අන්නා හසාරේ දූෂණ විරෝධී සංකේතය ලෙස මතුව එන්නේ එවැනි සමාජ ආර්ථික පසුබිමක් තුළය. ඔහුගේ ව්‍යාපාරය මධ්‍යම පන්තික එකක් ම නොවේ. ඊට සහාය දෙන බොහෝ දුගී සමාජ ස්ථරයන් ද අන්තර් සමාජ බලවේගයන් ද වෙති.
මෙම සමාජ ආර්ථික පසුබිම ශ්‍රී ලංකාවෙහි ද එළෙසින්ම හෝ ඊටත් වඩා සංකේන්ද්‍රණය වූ අයුරින් පවතින බව අපි දනිමු. එනමුත් ප්‍රබල ගාන්ධිවාදී සම්ප්රදාය හැරුණ විට ඉන්දියාවෙහි මෙරට නැති තවත් වැදගත්ම සාධකයක් තිබේ. එනම් දේශපාලන ප්රජාතන්ත්රවාදය යි. මෙම දූෂණ විරෝධී උපවාසකරුවන් සුදුවෑන්වලින් පැහැර ගැනෙන්නේ හෝ රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් පළවා හැරෙන්නේ හෝ නැත. ඒ වෙනුවට එරට දේශපාලන සම්ප්රදාය විසින් මෙම සිවිල් සමාජීය උද්ඝෝෂන සැළකෙන්නේ සාධනීය වර්ධනයන් ලෙස ය. ශ්‍රී ලංකාවේ දී අල්ලස් සහ දූෂණ කොමිසම ජනාධිපති යටතට පත් කර එහි ස්වාධිනත්වයට කණ කොකා හඬවන අතර ඉන්දියාව අන්නා හසාරේලා සමඟ සාකච්ජාවෙන් සහ සම්මුතියෙන් දූෂණ විරෝධී නව ස්වාධීන යාන්ත්‍රණයන් පිහිටුවා ගැනීමට ඉදිරියට යයි.
අපට හසාරේ අයියා වීරයකු විය යුත්තේ ඊනියා ආසියාවේ ආශ්චර්යයේ ආර්ථික සහ දේශපාලන දූෂණ අපේ සමස්ත සමාජ දේහයේ මහත් පිළිලයක් බවට පත්ව ඇති නිසා ය.
සුනන්ද දේශප්‍රිය[Sunanda Dehapriya]