සිංහල, Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” (3)


ලංකාවේ වාර්ගික ගැටුම උත්සන්න වීමට හේතුකාරක වූ අතීත දේශපාලනය දෙසට ඇඟිල්ල දිගු කිරීම සහ වර්තමානයේ ජාතික ප්‍රශ්නය කියා දෙයක් ඇති බව සහ ඊට දේශපාලන විසඳුමක් සැපයිය යුතු බව පිළිගැනීම සේම, අනාගත යහපාලනය සඳහා අවශ්‍ය කරන නිර්දේශ ගණනාවක් යෝජනා කිරීම තුළින් ”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” යම් අර්ථසිද්ධ මෙහෙවරකට මුලපුරා ඇති බවට සොඳුරු මායාවක් ගොඩනැගෙමින් ඇති බවක් පෙනෙන්ට තිබේ. විශේෂයෙන්, ජාතික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රගතිශීලි කොටස් මේ සම්බන්ධයෙන් දක්වන අදහස් දෙස බැලීමේ දී එය පැහැදිළි වෙයි. අපේක්ෂා දල්වා ගැනීම සහ එම අපේක්ෂා තවත් මූලාශ්‍රයකින් සුජාත කරනු ලැබ තිබීම කෙනෙකු තුළ යම් සැනසිල්ලක් ඇති කැරැවීම ස්වභාවිකයි. එහෙත් ප්‍රශ්නයට අදාළ යෝජනා නිර්දේශ කිරීම් තුළ ඇති අවසාන වැදගත්කම තීරණය කළ යුත්තේ, කෘත්‍යමය අරුතකින් මිස ප්‍රශ්නය මතවාදීමය අකුරු කිරීමකින් නොවේ. එහි දී මෙම කොමිසමේ නිර්දේශ කෙතරම් දුරට ප්‍රායෝගික තලයේ යථාවක් වීමට අවශ්‍ය කොන්දේසි රටේ පවතින දේශපාලනය තුළ සොයා ගැනීමට ඇත් දැ යි සළකා බැලිය යුතුය.

උදාහරණයක් වශයෙන්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් බලය ඛෙදා හැරීම මෙම කොමිසම නිර්දේශ කර තිබිය දී, ජනාධිපතිවරයා තවමත් පුන පුනා කියන්නේ, පොලිස් සහ ඉඩම් බලතල උතුරට දීමට තමන් කොහෙත්ම සූදානම් නැති බවයි. එසේ කියන්නේ, යුද්ධයේ ජයග්‍රහණයට පෙර, 13 වැනි ව්‍යවස්ථාවෙන් ඔබ්බටත් යාමට තමන් සූදානම් යැයි කියූ ජනාධිපතිවරයෙකි. අනිත් පැත්තෙන්, එක්සත් ජාතික පක්ෂයේ දොස්තර ජයලත් ජයවර්ධන, පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබා නොදෙන්නේ නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කටුගා දැමිය යුතු බවට කළ නිර්භය ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් එම පක්ෂයේම සභාපතිවරයා මාධ්‍ය අමතා කියන්නේ එය ජයලත් ජයවර්ධනගේ මිස පක්ෂයේ ප්‍රතිපත්තියක් නොවන බවයි. මේ කාරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය වැනි සෙසු පක්ෂ දරණ මතය ඊට වෙනස් නැති බව අපි දනිමු. එසේ තිබිය දී, කොමිසම කියන පරිදි ඛෙදාහැරෙන්නේ කුමන බලයක් ද? කොටින්ම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා (13) උල්ලංඝණය කරන රටක, ඊනියා කොමිසමක නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තරම් උනන්දුවක් කාට නම් ඇති වෙයි ද?

මෙවැනි ප්‍රතිපත්තිමය කාරණා මොහොතකට පසෙකින් තබා බිම් මට්ටමේ සිදුවීම් දෙකක් දෙසට හැරෙමු.

පසු ගිය දා පුවත්පත් වාර්තා කළ පරිදි, උතුරේ යුද ආබාධිතයන් සඳහා බි්‍රතාන්‍යයේ පුණ්‍යාධාර සංවිධානයක් මගින් නොමිලේ එවන ලද අත්වාරු කට්ටල සහ රෝද පුටු සිය ගණනක් මාස තුනක් තිස්සේ කොළඹ රේගුවේ සිරවී තිබුණි. රේගු නිලධාරීන් පෙන්වා දෙන පරිදි, දෙපාර්තමේන්තු පහක අනුමැතිය එම කන්ටේනරය නිදහස් කිරීම සඳහා අවශ්‍ය වීම ඒ පමාවට හේතුවලූ. අප මේ කතා කරන්නේ, උතුරට සැපයෙන අවි ආයුධ විශේෂයක් හෝ මේ රටේ භෞකික අඛණ්ඩතාවට අදාළ යමක් ගැන නොවේ. නැතහොත්, ඉඩම් සහ පොලිස් බලතල උතුරට දෙන්නේ ද යන්න පිළිබඳ බරසාර දේශපාලනික කාරණයක් ද නොවේ. උතුරේ අත්පා අහිමි වූවන්ට ඇවිදීමට අවශ්‍ය කරන අත්වාරුවක් පවා නිර්බාදීව සැපයීමට තරම්, ‘ජාතීන් අතර සංහිඳියාවක්’ ගැන සාකච්ඡා කෙරෙන වකවානුවක රට කරවන බලධාරීන් කොතරම් සංවේදී ද යන්නයි.

සිංහල මධ්‍යතන සාහිත්‍ය කලාව සහ ඉන්දියානු කලා සාහිත්‍ය බටහිර ලෝකයට හඳුන්වා දී එම ලෝකයේ නූතන කලා කථීකාව තුළ පෙරදිග සංස්කෘතික ලකුණ සනිටුහන් කළ කීර්තිමත් පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. වර්ගයෙන් දමිළ වන ඔහු, නමින් ආනන්ද කුමාරස්වාමි ය. මීට පෙර රට කැරැවූ සිංහල නායකයෝ ඔහුගේ එම ඓතිහාසික මෙහෙවර අගයමින් කොළඹ ප්‍රධාන පාරක් ඔහුගේ නමට කැප කළෝය. කොමිෂන් සභා පිහිටුවමින් ජාතීන් අතර සංහිඳියාවක් සෙවීමක නිරතව සිටිති යි කියන වර්තමාන රජය, එම කොමිෂන් වාර්තාව පළවී දෙසතියක් ගිය තැන, අර කී දෙමළ ශ්‍රීමතානන්ගේ නම, එම පාරේ බාගයකින් කටුගා දැම්මේය.

මේ කියන කොමිසම අනාගතයට නිර්දේශ කරන ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ‘සාධනීය’ යෝජනාවලිය අපට ස්ථානගත කිරීමට සිදුව ඇත්තේ මෙවැනි වටාපිටාවකයි. ඒ නිසා, ඉතිහාසයේ කළ වැරදිවලින් එකක් හෝ වර්තමානයේ දී හරිගස්සා ගන්නා සංකේතීය අවස්ථාවක්වත් එළැඹෙන තෙක්, කොමිසම පිළිබඳ අනාගත මායාවන්ගෙන් ප්‍රවේශම් වීමට කෙනෙකුට සිදුවන්නේය.

කෙසේ වෙතත්, කොමිසම පිහිටැවූයේ වෙනම පරමාර්ථයකට බව අපි දනිමු. ඒ, යුද අපරාධ පිළිබඳව චෝදනාවෙන් රජය නිදොස් කොට, කොටි සංවිධානය පමණක් වරදකරු කිරීමටයි. ඒ අභ්‍යාසය ලෝකයා ඉදිරියේ වලංගු වීමට නම් යම් ස්වාධීනත්වයක් සිය විනිශ්චයන් තුළ පෙන්නුම් කිරීමට කොමසාරිස්වරු බැඳී සිටියහ. මේ නිසා ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ කළ යුතු බවට නිර්දේශ කරන ඔවුහූ, අනිත් අතට, ඒ සෑම සිදුවීමක්ම රජයේ යුද මූලෝපායෙන් බැහැර හුදෙකලා සිදුවීම් සේ හුවාදැක්වීම මගින්, බලධාරීන් කිසිවෙකු ‘චේතනාන්විතව’ වරදක නියැලී නැති බවට තීන්දු කරයි.

මේ සියුම් වෙනස, සමස්ත යුද ක්‍රියාවලිය ආරක්ෂා කෙරෙන අවසරයක් වශයෙන් එක දිගට පවත්වා ගැනීම පහසු නැත. උදාහරණයක් වශයෙන්, රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම රජයෙන් සිදුවූවක්ද, කොටි සංවිධානයෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව කොමිසම අවසාන විනිශ්චයකට නොඑළඹෙයි. තවද, ‘යුද මුක්ත කලාප’ රජයෙන් ප්‍රකාශයට පත්කළ පසු, එම කලාපයට පැමිණෙන සිවිල් වැසියන් සමග කොටි සාමාජිකයන්ද විත් එම කලාපයේ සිට රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන විට ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට රජයේ හමුදාවන්ට බල කෙරෙන බව, zසිවිල් වැසියන් සහ සටන්කරුවන්’ පිළිබඳවත්, zසිවිල් විෂය සහ හමුදා අරමුණු’ පිළිබඳවත් ප්‍රකාශිත ජාත්‍යන්තර විශ්වාසයන් උද්ධෘත කර ගනිමින්, කොමිසම නිගමනය කරයි.

අපි මෙසේ සිතමු. කිසියම් තුවක්කුකරුවෙකු යම් බලවතෙකු ප්‍රාණ ඇපකරුවෙකු වශයෙන් අල්ලාගත් විට අදාළ බලධාරීන් කිසි විටෙක ප්‍රාණ ඇපකාර බලවතාගේ ජීවිතය වැනසෙන ආකාරයෙන් තුවක්කුකරුවාට වෙඩි තබන්නේ නැත. එහෙත්, කොමිසම අඟවන පරිදි, ලක්ෂ ගණනක් දෙමළ සිවිල් වැසියන් ප්‍රාණඇපකරුවන් වශයෙන් ගත් විට එම විශේෂ සුපරීක්ෂාව නොතකා හැරීමට ආරක්ෂක අංශවලට සිදුවෙයි. මෙවැනි යුද මුක්ත කලාප පිහිටුවිය යුත්තේ දෙපාර්ශ්වයේම (ආණ්ඩුවේ සහ කොටි සංවිධානයේ) පොදු එකඟත්වය මත පමණක් බව එක තැනක (4.21) පෙන්වා දෙන කොමිසම, මේ අවස්ථාවේ දී රජයේ තනි තීරණයට යුද මුක්ත කලාප පිහිටුවීම මගින් සිදුව ඇත්තේ, සිවිල් වැසියන් නොමග ගොස් මර උගුලකට හසු වීම නොවේද යන ප්‍රශ්නය මගහරී. තවත් විදිහකින් කිවහොත්, ඒක පාර්ශ්වීය යුද මුක්ත කලාපයක සිදුවන විනාශයක පූර්ණ වගකීම එම පාර්ශ්වය විසින්ම, එනම් රජය විසින්ම නොදැරිය යුතුද යන ප්‍රශ්නයට කොමිසම පිළිතුරු දෙන්නේ නැත.

‘චැනල් 4’ වීඩියෝ පටය ගැන කොමිසමේ නිරීක්ෂණය පෙන්නුම් කරන්නේද එවැනි ලිස්සන පිළිවෙතකි. කොමිසම ‘ස්වාධීන’ විශේෂඥයන් වශයෙන් හඳුනාගන්නා දෙදෙනෙකුගේ (ආචාර්ය චතුර ද සිල්වා සහ මහාචාර්ය ඊ.ඒ.යිෆන්ටිස්) විශේෂඥ අදහස් අනුව මේ වීඩියෝ පටය හුදු ප්‍රබන්ධයක් වශයෙන් බැහැර කළ හැකිව තිබුණි. එහෙත්, අවසානයේ දී කොමිසම නිර්දේශ කරන්නේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් තවත් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. එම පරීක්ෂණය, අවශ්‍ය නම්, සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ හුදෙකලා සිදුවීම් කිහිපයකට බැර කිරීමේ හැකියාවද ඇති නිසා, යුද්ධයේ සමස්ත මූලෝපාය පිළිබඳ කාරණය අභියෝගයට ලක්කිරීමකින් නිදහස් වීමටත් පිළිවන.

ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]