නන්නත්තාර බල්ලන් එකට රංචු ගැසෙති. එකට ලගිති. එක්ව ගොදුර හඹා යති. ඒත් ගොදුරට පොරකෑම උන්ගේ ගති ලක්ෂණයකි. ඒ නිසා බලූ පොර සහ කා ගැනීම් ලාංකික අපට සුලභ දසුන්ය.
පාදඩ නන්නත්තාරයින්ගෙන් සැදුම්ලත් පාතාල කල්ලි, චණ්ඩි, කප්පම්කරුවන්, පිංපියන් ආදීන් අතර ද මේ වැනිම ලක්ෂණ දැකිය හැක. ඔවුන් එක්ව රංචු ගැසෙති. එකට නිදිවදිති. තම වැයික්කිය සටහන් කර ගැනීමට වැයික්කිය තුළ ආධිපත්‍යය පතුරවා ගැනීමට ඔවුන් ඔවුන්වම ඇනකොටා ගනිති. මරා ගනිති. තම වැයික්කියේ බලය තහවුරු කර ගැනීමට මොවුන් හඩනගා චණ්ඩිපාට් දමා බලපුළුවන්කාරකම් පෙන්වති. හරියට බල්ලන් තම වැයික්කිය සලකුණු කිරීමට ගස් වලට, කණුවලට මුත්‍රා කර තම ප්‍රදේශය ලකුණු කරන අයුරිනි. නන්නත්තාර බල්ලන්ගේ සංස්කෘතියම නන්නත්තාර මිනිසුන්ටද හිමි බව මේ කල්ලිතම හැසිරීමෙන් පසක් කරති.
ඉහත සඳහන් කණ්ඩායම් දෙක එසේ වීම සාමාන්‍යය ස්වභාවයවන අතර එය සමාජයට හානිදායක ආකාරයට පත්වෙන විට ඒවා සමනය කිරීමට, මර්ධනය කිරීමට නීතියත් ඇති රටක නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන පොලීසි යොදවති. නමුත් අද වනවිට ලංකාවේ දේශපාලන ආධිපත්‍යය බලය මේ නන්නත්තාර කණ්ඩායමකට හිමිව ඇත්නම් තත්ත්වය සුභදායක නැත. කුඩුකාරයින්, මිනීමරුවන්, ලිංගික අපරාධකරුවන්, කප්පම් කල්ලි, කුලියට මිනීමරන්නන් ආදීන් දේශපාලන පක්ෂවල නියෝජිතයන් ලෙස ඉදිරිපත් වී මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පලාත් සභා ප්‍රදේශීය සභාවලට තේරී පත් වී හමාරය. ඇමතිකම්වලින් සහ අධීකෂණ මන්ත්‍රී ධූරවලින් මොවුන්ට සම්මානනීය බවක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබේ. මේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකිරීමට, මේ අපරාධ මර්දනය කිරීමට සිටින පොලිසියම මේ අපරාධකරුවන්ගේ ආරක්ෂකයින් ලෙස යොදා ඇත. පොලිසිවලට අණදීමට මේ අපරාධකරුවන්ට විදායක බලතල ලබා දී ඇත්තේ රටේ පළමු පුරවැසියා වන ලංකාවේ නීතියට ඉහළින් සිටින පුද්ගලයා වන ජනාධිපතිවරයා විසින්මය.
මෙම නන්නත්තාර ලූම්පනයින්ට මේ තනතුරු ලබාදීමට ඇති එකම සුදුසුකම වන්නේ මොවුන් රෙදි නැතිව මහපාරේ ගමන් කිරීමට වුවත් ලැජ්ජාවක් නැති නඩයක් වීම, ඕනෑම සමාජ විරෝධී, ගඳගසන ජඩ වැඩක් කිරීමට මොවුන් තුළ ඇති හැකියාව, ඒවාගේම ජනාධිපතිවරයා ඇතුලූ ඔහුගේ පවුලේ අය ළඟ යටහත් පහත් සුවච කීකරු බලූ ගැත්තන් සේ සිටීම පමණි.
උදාහරණයකට මර්වින් සිල්වා ගනිමු. ඔහු එකක් පසු පස එකක් ලෙස පසුගිය වසර ගණනාවේම ජඩ, තුප්පහි පහත් ක්‍රියාවන්හි ප්‍රසිද්ධියේ යෙදුනි. මාධ්‍යවේදීන්ට පහරදීම, රූපවාහිනියට කුඩු කල්ලි සමඟ පැමිණීම, පෙල පාලිවලට පහරදීම, නිලධාරීන් ගස්බැඳීම, ඡන්ද දායකයින්ට පහර දීම, තර්ජනය කිරීම ආදී මෙකී නොකී දෙය ඔහු කරන්නේ රූපවාහිනී කැමරා ඉදිරිපිටයි. මේ ඡඩ පහත් ක්‍රියාවන් කරන ඔහු ඊළඟට ජනාධිපතිවරයා සහ රාජපක්ෂ සොයුරන් ඉදිරියේ දනනමා බිමදිගාවී වඳිති. ජනාධිපතිවරයා මදහස පිරුණු මුහුනින් තම සුවච කීකරු කුක්කාගේ හිස අතගායි. මර්වින්ගේ නීති විරෝධී ක්‍රියා දඟ ළමයකු ගේ දඟ වැඩක් තරමටවත් ගණන් නොගැනේ. මේ සියල්ල ඔහු කරන්නේ මේ රාජපක්ෂවරුන්ගේ අනූ දැනුම සහ උවමනාවන් සඳහා බව මේ හැසිරීම් පැහැදිලි කළා වුවත් ලංකාවේ මිනිසුන්ට එහි නීතියට නම් ඒවා පෙනෙන්නේ නැත. ඒ වාගේම ජනාධිපතිවරයාටද නොතේරෙන දෙය නම් ”නීතියක් ඇති රටක නම්” තමාට මෙසේ අපරාධකරුවන්ට සැලකීමට අයිතියක් නොමැති බවයි. ඒත් රටේ නීතියක් පොත්වල ඇති බව පමණක් අපි දනිමු. නමුත් නීතියේ පරමාධිපත්‍යයක් අවශ්‍යවන්නේ අවදිමත් ජනතාවක් නොඑසේනම් සිවිල් සමාජයක් ඇති රටකට පමණි. ලංකාවේ එවැන්නක් තිබේද?
දඩාවතේ යන බල්ලන් එකට රංචු ගැසෙනවා මෙන්ම කා හපා ගනිති. මේ නන්නත්තාර ලූම්පනුන්ද මොන තානාන්තර දැරුවත් එකට රංචු ගැසී සිටිනවා මෙන්ම ඇන කොටා ගැනීම, මරා ගැනීම ස්වභාවිකය. එකට එක්වී සිසු පෙළපාලියකට පහර දෙන මුන් ඊළඟ දිනයේ කප්පම් මුදල් ඛෙදා හදාගැනීමට බැනඅඩ ගසමින් කෝලාහල කරති. වෙඩිතබා ගනිති. ලංකාවේ පොලීසියට ඇති රාජකාරිය රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම නොව මෙම නන්නත්තාර දේශපාලඥයන්ට ආරක්ෂාව දීම පමණි.
මොවුන්ට මෙතුළින් රටේ බලයේ භූක්තිය හිමිවී ඇත. ඔවුන්ද එය හොඳින් වටහාගෙන තිබේ. මොවුන් මේ චණ්ඩි, ගණන්කාරකම් කරන්නේ පොලීසි සහ හමුදාවේ බලය තම අතට පත්කර ඇති බැවිනි. එසේ නැතිව මොවුන් අඩුම තරමින් තම අතේ පයේ හයියෙන් චණ්ඩි වූ මරදානේ චොප්පෙලා, ගම්පහ මුනිදාසලා මෙන් ආත්ම ශක්තියක් ඇති මිනිසුන්වත් නොවෙති. මොවුන් නිකම්ම නිකන් නන්නත්තාර ලූම්පනුන් පමණි. ඔවුන්ට රාජ්‍ය බලය පවරා තම උවමනාවන් සඳහා ජඩවැඩ, අපරාධ කරවීමට ජනාධිපති සහ සොයුරන් මොවුන් යොදා ගෙන ඇති බැවින් ඔවුන් හිතුමතේ හැසිරෙති. ඒත් රටේ සෙනඟට (ජනයාට) වගේ වගක් නැත. එසේ නැතිනම් රටේ බලය දූෂණය කරන ආකාරය ඔවුන්ට නොපෙනෙති.
ජනාධිපති ළඟ දන නමා බිම වැතිර වැඳ වැටෙන මුන් මහජනයා ඉදිරිපිට සාහසික වේසයෙන් හැසිරෙන්නේ පොලිස් ආරක්ෂාව මැදයි. රාජපක්ෂලා ළඟ නගුට වනන මුන් තමනට ලැබී ඇති බලයෙන් ඔළු තෝන්තු කරගෙන ඇති ප්‍රමාණය තේරුම් ගැනීමට තංගල්ලෙන් උදාහරණ සැපයේ. තංගල්ල වෙරල තීරය පලස්තීනයේ ගසා තීරයටත් වඩා භයානක බව පසුගිය දිනක මුන් ක්‍රියාවෙන් පෙන්වනු ලැබීය. බලයෙන් ගිනි කන වැටී අති මොවුන්ට සුදු කතක් දුටු විට මදකිපේ. දඩාවතේ යන බල්ලන් බැල්ලියකට රැලේ වැටෙති. මිනිහා මරාදැමූ ගැහැනියකට මුන් රැලද රැලේ වැටුණි.
කැලණිය බල්ලන්ගේ රජ දහනක්ව තිබුණි. මර්වින් වරින්වර කැලණිය වටේටම මුත්‍රා කරමින් තම වැයික්කිය සලකුණු කරනු ලැබීය. තම වැයික්කිය තුළ ඔහු හතර අත සපා කනු ලැබීය. ඔහුගේ සහචර බලූ රැල නොකරන දෙයක් නොමැත. දැලිපිහිය කෘත හස්ත ලෙස යොදාගත් අතර පිස්තෝලය ගෙන ප්‍රසිද්ධ රැස්වීම්වල වහසි බස් බිනීය. මේ පෙන්වූයේ මර්වින්ගේ බලය නොවීය. රාජපක්ෂවරුන්ගේ බලය විය. සෙනඟ ඔල්වරසන් දුනි. කොන්දක් ඇති එකකු දෙදෙනකු පමණක් ”අනේ අපේ රට බල්ලන්ට ගියා”කියා පැවසූහ. එයට වන්දිය ලෙස අතපය අහිමිවීම, දිවි අහිමිවීම හෝ අතුරුදහන්වීමට සිදු විය. ඇත්තෙන්ම රටේ බලය මේ නන්නන්තාර බල්ලන් හිමි කරගෙන සිටී. රාජපක්ෂලාගේ බලූ කුක්කන් රටපුරාවෙන්ම පාර්ලිමේන්තුවට, පලාත් සභා ප්‍රාදේශීය සභාවලට පත්ව ඇත. පාර්ලිමේන්තුව තුළ මොවුන් බලූ රෑනක් තම ප්‍රතිවාදී බල්ලකු හඹායන ලෙසින් විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් හඹාගොස් හපා කන්නේ රටටම පේන ලෙසිනි. ප්‍රාදේශීය සහ පළාත් සභාවන් හිද මේ තත්ත්වය මෙසේමය. පාර්ලිමේන්තුවේ කතාකරන ඇමතිලාගේ වචන මාලාවට කුණුහරුප අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.
කෙසේ වුවත් අමතක නොකළ යුතු එක දෙයකි. දඩාවතේ යන බල්ලන් රංචු ගැසෙති. එක්ව යති. ඒත් ගොදුරුවලට උන් එකිනෙකා පොරකති. හපාගනිති. මෙම දේශපාලන බලූරැලටද මෙය පොදුය. ඔවුන් එක්ව රංචු ගැසී සිටිති. එක්ව හැසිරෙති. ගොදුරු සඳහා පොරකති. මාරාගනිති. නමුත් මේවායින් මේ බලය උන් අතින් නොමිදෙති. ඒ මේ බලූරැල වලිගවනමින් රාජපක්ෂවරු වටා දැවටෙන බැවිනි. මොවුන් ඇතිදැඩි වෙන්නේ ඔවුන් අතින් බැවිනි.
මේ කුක්කන් රාජපක්ෂලාට වලිගවනන තාක්කල් උන්ටද පැවැත්මක් ඇතිබව උන් දනී. මේ කුක්කන් ඒනිසා ඔවුනට අභියෝගයක් වන්නේ නැත. ඒනිසා කැලණියේ හෝ වෙනත් තැනක මේ බලූ රැල පොරකමින් උනුන් කාගත්තාට එයින් මේ බල්ලන් ගෙන් රට මිදෙන්නේ නම් නැත.
කැලණියේ දැන් උනුනුන් කාගනිති. එක එකා ගත් කප්පම් ප්‍රමාණය හෙළිකරති. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වති. විගඩම වන්නේ අල්ලස් නීති, අපරාධ නීති මේ අයට අදාළ නොවීමයි. නීතියක් ඇති රටක නම් මේවනවිට මේ සියලූ දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවයි. එසේ වීමට රටකට නීතියේ ආධිපත්‍යයක් තිබිය යුතුය. රටේ ඕනෑම දෙයකට ඉදිරියට පැන මොනවා හෝ කතා කියන ජනාධිපතිගේ මුඛ පුට්ටුය. ප්‍රවෘත්ති සාකච්ඡාවලින් කප්පම් ගැන, කුඩු බිස්නස් කළ අයුරු ගැන කියවෙද්දී ඒවා ඔහුට නොඇසෙති. අමාත්‍යවරු, රූපවාහිනියේ කුණුහරුප කියන්නේ චිත්‍ර පටයකවත් ”තමුසෙ” වැනි වචන නොහොබිනා බව කියන රටකය.
කෙසේ වුවත් මේ බලූ පොරවලින් සිදුවන එක හොඳක් තිබේ. ලංකාවේ වැඩිමනක් සෙනගට මේවායේ ඇති අපුල නොපෙණුනා වුවත් ඒ අතරින් එකාදෙන්නා මේ සිදුවන බලය දූෂණය දකින්නට පටන් ගනු ඇත. රට බල්ලන් අතට පත්ව ඇති බව ඔවුන්ට පසක්වනු ඇත. රට විනාශ කරන මේ නන්නත්තාර බලූ රැලෙන් රට නිදහස් කරගතයුතු බව ඔවුන් පවසනු ඇත.
බල්ලන් රංචු ගැසුණු තැන බලූපොර වැලැක්විය නොහැක. ඒත් අපට මේ බලූ පොර තව කෙතෙක් කල් බලන්නට සිදුවේද? රටේ ජනයාගේ ඡන්දයෙන් මේ නන්නත්තාර පාදඩයන් පාර්ලිමේන්තුවලට යවනතාක්කල් අපට මේ බලූපොර නැරඹීමට සිදුවනු ඇත.
රංජිත් හේනායකආරච්චි[Ranjith Hennayakaarchchi]