සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

”මගේ එකම අයියා කිල්ර්ස්ලා (Killers) මැරුවා”

A9

ඒ භූමිය පුරා විසිරුණු සෑම වැලි කැටයකටම කියන්නට කථාවක් ඇත. ඒ ලෙසම එහි වූ සෑම බිත්තියකම බුලට් සිදුරක් ඇත්තාක්මෙන් සෑම හදවතකමද තුන්කල්හිම හදවත ගණියම් කරනා වේදනාවක් ඇත. ඕමන්ත හමුදා කපොල්ලෙන් හමුදා රාජ්‍යට ඇතුවෙද්දීම බැලූබැළු අත දිස්වන්නේ වේදනාවේ නේකවිද ස්වරූපයන්ය. මහා හුදකලාවක් හාත්පස වෙලාගෙන ඇත.

බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. දෙපස සියල්ල ඇසුරු සැනින් අප පසුකර යද්දී පෙනුනේ වේදනාත්මක නටඹුන් මිස අන් කිසිවක් නොවේ. කලක් සරුසාර මහා මිනිසුන්ගේ ලෙයින් දාඩියෙන් හරිහම්බ කරගත් සියලූ දෑ සුන්බනු බවට පත්ව මහා නිද්‍රාවක වෙලී සිටී. තැනින් තැන නැගීසිටි කුටියක් වේ නමි ඒ වැසිකිලියක් පමණි. මේ භුමියේ ජීවත්වූ ගැහැණූන් සහ පිරිමින් මේ නිමේෂය තුළ එක්කෝ මිහිපිට අපායන් බදු වූ කඳවුරක හෝ ජීවිතය මේ භූමියේම පස් තට්ටුව සමග මිහිදන්ව ඇත. එකී වේදනාත්මක සියලූ සංකේතයන් පසුකරමින් බස්රථය වේගයෙන් තව ඉදිරියට ම ඇදෙයි.


යාපනය සරසවිය

අප කවුරුන්ද යන වග ඔවුන් දන්නේ නැත. ඔවුන් දන්නේ ඔවුන්ගේ ජීවිතය තලාපෙලා පොඩිපට්ටම් කිරීමට රාජ්‍ය සියලු වෙහෙස දරමින් සිටින බව පමණි. ඔවුන්ගේ තියුණු දෑස් අප ගැන නිරීක්ෂණ කීපයක් කියයි. එක්කෝ අප හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් විය යුතුය. නැතිනම් ඔවුන්ද නොදන්නා පැරා මිලිටරියක කවුරුන් හෝ විය යුතුය. අප විශ්වවිද්‍යාලයට ඇතුළුවන විසල් ගේට්ටුව ඉදිරිපිටද ශ‍්‍රී ලංකා හමුදවේ බුද්ධි අංශ සාමාජිකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් කීපදෙනෙක් අපගේ නිරීක්ෂණයන්ට පවා හසුවිය. ඒ නිසාම අපගේ දමිළ සහෝදරයන්ගේ නිරීක්‍ෂණය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් අහිතක අපට නොනැගේ. එය අතිශයන් සාධාරණය. ඔවුන්ට එදිනෙදා භූමියේදී මුණගැසෙනා යථාර්ථය එය බැවිණි. සරසවියට ඇතුළුවන දොරටුවේ සිට අපගේ මිත‍්‍රයා සිටි තැනට පැමිණෙන විට හමුවූ සියලූ දෑස් කීවේ ඉහත කථාව විය. නිවාස අඩස්සියේ දැමූ නිදහසකින් ඇතිඵලය කුමක්ද යන ප‍්‍රශ්ණය අපට හමුවූ සෑම දෑසකම සනිටුහන්ව තිබුණි. ඒ සියලූ දෑස් සමගින් අප ඒකාත්මික විය යුතුමයි. අප මිත‍්‍රයා අප ඔහු සිටි ස්ථානය එනතුරු මග බලා සිටී. ඉතා ළෙංගතු ලෙස අප පිළිගත් ඔහු අප කැඳවාගෙන ගියේ යාපනය සරසවියේ විද්‍යාපීඨ පුස්තකාලයේ පැවති කලා සහ මෝස්තර අංශයේ චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් පෙන්වීම සඳහාය.

වේදනාවේ රූපාන්තරණය

ප‍්‍රදර්ශණය පැවැත්වෙන ශාලාවට අප ඇතුළුවූ සැණින් සියලූ දෙනා මුණට මූණ බලාගත්හ. ඒ හැඟීම ඔවුන්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් නැරඹීමට අප පැමිණෙතැයි ඔවුන් කිසිඳු ලෙසකින් සිතාගත නොහැකි ලෙසකි. එම ප‍්‍රදර්ශණයද කොළඹ දී පැවැත්වෙන හුඳු චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් පමණක් නොවේ. සෑම සිතුවකම ආත්මය හා බද්ධ වූ වේදනාත්මක විලාපයක් ඇත. ඒ සිතුවම් පුරාම වේදනාවේ වර්ණය ඇත. ඒ සිතුවම් පුරාම වේදනාවක හැඩයක් ඇත. සුවිශේෂීම කරුණ ඒ සියලූ සිතුවම් හි ලංකා සමාජයේ කිසිවකුට මඟහැර යානොහැකි යථාර්ථයක් ඇත. ඒ නිසාම ඒ සියලූ සිතුවම්වලින් දකුණේ හෘදසාක්ෂිය ප‍්‍රශ්ණ කිරීම හමුදා බැටෑලියන් කෙළකොටික් ගෙනැවිත් දැම්ම වළක්වා ගත නොහැකිය. එය ඒ තරම්ම ප‍්‍රබල ලෙසින් සිතුවමට නඟා ඇත. දමිළ සමාජයම දවනා වේදනාව ඔවුන් කැන්වසයක්මතට ගෙන ඇත.

සෑම කැන්වසයක් මත ඇති පින්සල් පහරකටම එයටම අනන්‍යවූ වේදනාවක් ඇත. තමන්ගේ නිර්මාණයන් පිළිබඳ අදහස් දක්වන්නට ඔවුන් ඉදිරිපත් වූහ. අපි ඔවුන් සමග සිතුවම් පිළිබඳ න්‍යායාත්මක කථාබහක් නොකෙලෙමු. අපට ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ප‍්‍රකාශණයේ වේදනාව අපත් සමග බෙදාහදා ගැනීමයි. ඒ නිසාම අපි ඔවුන්ගේ වේදනාව සමග සම්මුඛවීමු.

හදවතට පිහිතුඩකින් අණින්නාක් බඳුවූ සිතුවමක් අභියස අප ගල්ගැසුනෙමු. එහි ඇත්තේ සරුවට වැඩුණු කෙසෙල් ගසක් හොදින් ඵලදාර ඇති කැනද සමග මැදින් කඩාවැටී ඇති අයුරුය. තම සිතුවම ගැන අදහස් දැක්වූ සහෝදරයා අප සමග පැවසූයේ එකම එක වාක්‍යයයි. එය තවමත් දෙසවනේ කෙළවරේම අන්තයේ රැව්පිළිරැව් දෙයි.

”මගේ එකම අයියා කිල්ර්ස්ලා (Killers) මැරුවා”

යාපනය ජන සමාජයට ව්‍යවහාරයේදී කිල්ර්ස්ලා (Killers) යනු කවුරුන්දැයි සොයබලා වටහා ගන්නා ලෙස අප ඔබට යෝජනා කරමු. එම සිතුවම ඔහුගේ ජීවිතයේ ප‍්‍රතිභිම්බයක් වූ අතරම එය දමිළ ජනසමාජයේද පිළිඹිබුවකි. ඒ සරාවත් සශ‍්‍රීක දමිළ නිජබිම රාජ්‍ය මගින් කුඩුපට්ටම් කිරීමේ කඨෝර යථාර්තයයි. එම නිර්මාණ මහා නිර්මාණ වන්නේම හුඳු ඊනියා සෞදර්යයෙන් එපිටට ගිය ජීවන දෘෂ්ඨියක හැඩතල කැන්වසය මතට ගෙනෙන බැවිනි.

තවත් සිතුවමක් ඉදිරිපිට අප පාෂාණිභූත වීමු. එහි වුයේ භාවනායෝගීව සිටින තැනැත්තකුගේ ඉරියව්වුකි. තද රක්ත වර්ණ මිශ‍්‍රිත පසුබිමෙන් හිස්ව එම පුද්ගලයාගේ හැඩය මතුවී ඇත. එම චිත‍්‍රය සුවිශේෂී කරුණ වූයේ ඉබි අගුළු එම ශරීරය පුරා වීමයි. හදවතට, මුවටද, දෑස් වලටද ඉබිදමා ඇත. යතුරු අපට පසුබිමේ විසිර ඇත. මෙම සිතුවම පසුගිය කාලයේ බෞද්ධ දර්ශණය සිංහල බෞද්ධ නම් කල්ලියේ ආයුධය වූ පසු බෞද්ධ දර්ශණයේ හෘදසාක්ෂියට සිදුවූ සැබෑ ඛේදවාචකය මනාව රූපකරණය කරවයි. තමන්ගේ අසල්වැසියාගේ සහෝදරයාගේ ලෙයින් මහාපොළව තෙත්තව යද්දී බෞද්ධයන් විසින් කරනු ලැබුවේ තම හෘදසාක්ෂිට අගුලූ ලා සිටීමයි. සිංහල බෞද්ධ කල්ලයට තමන්ගේම ජනතාවක් උතුරේ සමූළඝාතනය කරන්නට ඉඩ හැර අත්පුඩි ගැසූ බෞද්ධයන්ගේ හෘද සාක්ෂිය සහ උතුරේ අරගලය විනාශ කිරීම හරහා දකුණේදී තමන්ගේ නිදහසට අගුළුලාගත් ජනතාවකගේ යථාර්ථයයි.

ඇය නවයොවුන් තරුණියකි. මුහුණ දුටු සැණින් ඇය ඉතා සරළ තරුණියකි. නමුත් ඇයගේ ප‍්‍රකාශණය අතිශය භාවාත්මකය. ඇගේ ජීවන දෘෂ්ඨිය දකුණේ තරුණියකට නොමැති තරමේ ප‍්‍රතුළතාවයකින් යුක්තය. ඇයගේ නිර්මාණය හුද සිතුවමකින් එහාට ගිය ස්ථාපනයකි. ස්ථාපනය ඇය නම්කර තිබුණේ යාපනයේ සංස්කෘතිය යනුවෙනි. නමුත් ඇය සමග සංවාදයේදී බුරබුරා නැගි වේදනාව වූයේ ඔවුන්ගේ සංස්කෘතියට වන විනාශය ගැනය. සැබැවින්ම එම විනාශය දකුණේ සැලැස්මකට අනුව සිදුවන්නක් බව යාපනයේ මේ මොහොත නිරීක්ෂණයේදී විග‍්‍රහකරගැනීම අපහසු නැත.

ප‍්‍රදර්ශණය පුරා පැවති සෑම සිතුවමකම වූ හැඩයටකට දකුණට කියන්නට කථාවක් ඇත. දකුණෙන් අසන්නට ප‍්‍රශ්ණයක් ඇත. ඒ, අප මරණයේ රූදුරු වේදනාවන් වෙළාගන්නිද්දී අපගේ දරුවන් සහෝදරයන්, පියවරුන්, පෙම්වතුන්ගේ ලේ සුවදට ඉවකරන්නට, ඔවුන්ව සුන්විසුනු කර දමන්නට ඔබගේ දරුවන් සහෝදරයන්, පියවරුන්, පෙම්වතුන් 60,000 ක් විනාශකර දැමූවන් සමග ඔබ එක පෙළට සිටගත්තේ කෙසේද ද? යන්නයි. ඔවුන් සමග ඔබගේ විතැන්වීම ඔබගේ පෙම්වතා පියා සහෝදරයාගේ ලේ සුවදට ඉවකරන ක‍්‍රියාදායමය අලූත් වටයකින් ආරම්භය ලබනු ඇත. ඒ අපගේ නිරීක්ෂණයයි.

මේ සිතුවම් හි යථාර්ථය අභියෝගයට ලක්කරන්නේ පශ්චාත් යුධ ශ‍්‍රී ලංකා සමාජය වින්දනාත්මක ඉම සළකුණු කර ඇති පශ්චාත් මානුෂීය මෙහෙයුහම හෙවත් නව ශ‍්‍රී ලංකාවේ සිනමාවටය. ගාමණී, සෙල්වම් සහ තවත් තිරයට පැමිණෙන්ට නියමිත ඊනියා නිර්මාණවලටය. අරගලය පරාජය කිරීම තුළ දමිළ ජන සමාජය නිරාමිස සුවපත් අත්කරගෙන ඇතැයි යන දකුණේ ප්‍රසිද්ධ උපකල්පනයට සෘජූ රුපමය පිළිතුරකි. ඒ නිසාම ඔබේ වේදනාව ද ඔවුන්ගේ වේදනාවද එකම කැන්වසයක් මතට පැමිණීමට කාලය පැමිණ ඇතැයි කීමට වඩා ඔබ වඩාත් හොදින් ඔබේ හෘද සාක්ෂිය දෙස බලන්න. එවිට ඔබට ඔවුන්ගේ වේදනාව පෙනෙනු ඇත.

by – www.youkthiya.com


ක්‍රිශාන් රාජපක්ෂ[Krishan Rajapaksha]