අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතන කරනලද තරුණයන් සහ අතුරුදහන් කරනලද තරුණයන් සිහි වීමටය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු ලැබුවේ, එවකට පැවති පොදු පෙරමුණු රජයේ මැදිහත් වීමෙනි. නමුත් අද ‛අහිංසකයන්ගේ ආරාමය’ ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ මේ දිනවල කෝට්ටේ ප්‍රදේශයේ සිදුවන සීඝ්‍රගාමී සංවර්ධනයට සහ දර්ශනීය පෙනුමට මෙම ස්මාරකය බාධාවක් යැයි කියමිනි. මෙම තත්ත්වය පිළිබඳව අහිංසකයන්ගේ ආරාමය නිර්මාණය කළ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ සිය අදහස් දැක් වූයේ මෙලෙසය.
“අහිංසකයන්ගෙ ආරාමය ගොඩනැගුවාට ඒක රැකගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එවකට හිටපු රජයට නොහැකි වුණා. කාලයක් ගතවුණාට පස්සෙ මේ ස්මාරකය අමතක වෙලා ගියා. ‛මව් පෙරමුණ’ කියන සංවිධානය අවුරුද්දකට වරක් මෙම ස්මාරකයට එකතු වෙලා යම් වැඩසටහනක් කරමින් සිටියා. නමුත් කාලයක් ගත වුණාට පස්සෙ එම කටයුත්තත් නැවතුණා. පසුව ස්මාරකය අමතක අමතක වෙලා ගියා.”
“මම ඔය ස්මාරකය හදන කොට කරපු වැරැද්දක් තියෙනවා. මම ඕක හදන කොට කිසිම පක්ෂයක නමක් ගැහුවෙ නැහැ. මම හිතුවා මේ රටේ පුරවැසියො කියලා ජාතියක් ඉන්නවා කියලා. මට ඔතන චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විවෘත කළා කියලා පුවරුවක් ගහන්න තිබ්බා. මම ඒක කළේ නැහැ. ඉතින් මම උත්සාහ කළේ ස්මාරකය පක්ෂවලින් ගලවලා ජනතාව තුළ තැන්පත් කරන්න. මේක විනාශ වෙන්න හේතුව ඒකයි. මේකට මුල්ගල තියෙන කොට දැන් ඉන්න ජනාධිපතිතුමාත් ආවා. ප්‍රධාන පත්තරේක සංස්කාරක සටහන ගියෙත් මේ ආරාමය ගැන. එතරම් අවධානයක් ලැබුණු දෙයක් අමතක වෙනවා කියන්නෙ ඒක දේශපාලන පක්ෂයක් මුල් කරගනිමින් ඉදි නොවුනු නිසායි.”
“ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය අය 33 දෙනෙක් මූලික කරගෙන තමයි මේක හදන්නෙ. නමුත් අද ජවිපෙ ඒක ගණන් ගන්නෙත් නැහැ. මේක මේ රටේ පුරවැසියො නැති එකේ ප්‍රශ්නයක්. ඒකට ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ.”
“අපි ශ්‍රී ලාංකිකයො වශයෙන් බුද්ධිමය වශයෙන් පසුගාමී තැනකනෙ ඉන්නෙ. අපි ඉතිහාසය සහ උරුමය ලෙස දකින්නෙ අනුරාධපුරය සහ පොළොන්නරුව පමණයි. දැන් ආනන්ද කුමාරස්වාමි කියන්නෙ ඓෙතිහාසික නමක්නෙ. ඒ නම නැති කරලා නෙළුම් පොකුණ මාවත කියලා අපි දානවා. ඒ තරමටම අපි බුද්ධිමය වශයෙන් පසුගාමීයි. කොළඹ නගරයට තියෙනවා වෙනම ඉතිහාසයක්. මේ ස්මාරක, මාවත් වල නම් පිටුපස තියෙනවා ඉතිහාසයක්. අපි ඒවා ඉවත් කරනවා කියන්නෙ අපි අපේ ඉතිහාසය මකලා දානවා කියන එකයි. අතීතයේ මුල් ඉදිරුණ සිංගප්පුරුවේ ආකෘතියක් සඳහා අපි ගමන් කරනවා.”
“පාලක පන්තියෙ ශ්‍රේෂ්ඨත්වයට පත්කරන ස්මාරක ගොඩ නැගනෙවා. නමුත් අහිංසකයන්ගෙ ආරාමය කියන්නෙ රජය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරකයක් නෙමෙයිනෙ. ඒ හින්දා ඒවා විනාශ වෙනවා . රජවරුන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරක ආරක්ෂා වෙනවා. නමුත් රාජ්‍ය ශේෂ්ඨත්වයට පත්කරන ස්මාරක ගොඩනැගීම සම්බන්ධයෙන්වත් අපිට ගැඹුරු අවබෝධයක් නැහැ. බත්තරමුලලේ ජනකලා කේන්ද්‍රය අසල තියෙන ඉන්දියානු සොල්දාදුවන් සම්බන්ධයෙන් හදපු ස්මාරකයත් එක්ක බලන කොට, පාර්ලිමේන්තුව අසල තියෙන ලංකාවේ සොල්දාදුවො සම්බන්ධයෙන් හදපු ස්මාරකය හීනි, කෙට්ටු, මන්ද පෝෂණයට ලක් වුණු එකක්. ඉන්දියානු ස්මාරකයෙ පරිමාණය, හැඩය, ගැඹුර ගත්තාම ඒක යම් කිසි අදහසක් දෙන ස්මාරකයක්. ලංකාවේ එක බැලුවහම කළු පසුබිමක තමයි ඔක්කොම සොල්දාදුවන්ගෙ නම් ගහලා තියෙන්නෙ. වර්ණ, පරිමාණය ගැන කිසිදු අවබෝධයකින් නෙමෙයි ඒ ස්මාරකය හදලා තියෙන්නෙ.”
“අපි අද ජනප්‍රිය පාරිභෝගික සංස්කෘතියකට හසුවෙලා තියෙන්නෙ. ඇමරිකාවෙ, එංගලන්තයෙ තියෙන්නෙත් පාරිභෝගික සංස්කෘතිය තමයි. නමුත් ඒ රටවල පාරිභෝගික සංස්කෘතිය තිබුණට කලා නිර්මාණවල, ස්මාරක වල වටිනාකම මැනීම සඳහා පාරිභෝගික සංස්කෘතික මිනුම් භාවිතා කරන්නෙ නැහැ. ඒ සමාජ වල බලයලත් චරිත දන්නවා ඒවා ගොඩ නැගෙන්න ඕනෙ කොහොමද කියලා. නමුත් අපේ වගේ රටවල ක්‍රියාත්මක වෙන්නෙ අධම ධනවාදයක්. නැතිනම් අධම පාරිභෝගික සමාජයක තමයි අපි ඉන්නෙ. මෑතකදි ධනය එකතු කරගත්ත පන්තියක් බලයෙ ඉන්නන කොට ඒ සංස්කෘතික ලක්ෂණ සමස්ත සමාජයටම බෝ වෙනවා.”
ජගත් වීරසිංහ[Jagath Weerasinghe]
අහිංසකයන්ගේ ආරාමය නිර්මාතෘ
(සාකච්ඡාචක් ඇසුරෙනි)