Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසන් වාර්තාව උපන්ගෙයි මිය යයි

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]


උගත් පාඩම් කොමිසම ශ්‍රී ලංකාවේ ජනතාවට තිබිය යුතු අයිතින් පිළිබඳව හරබර නිර්දේශ රොත්තක්ම සිය වාර්තාවේ ලියා තැබුවේ ය. දැන් වාර්තාවේ එම නිර්දේශ මහමඟට ගෙනැවිත් කළ එළියේම පුලූස්සා දමමින් තිබේ. අනේ අපොයි කියන්නටවත් කෙනෙක් නැති ගානය.

ජනවාරි 17 දින මහනුවර – යාපනය ඒ 9 මාර්ගයත් ජනවාරි 25 දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටත් රාජපක්ෂ ආණ්ඩුව යොදා ගත්තේ මහජන බලයට එදිරිව සිය රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථා දෙකක් ලෙස ය. රාජ්‍ය හමුදා ජනවාරි 17 වන දින බලහත්කාර අතුරුදහන්කිරීම් විරෝධී උද්ඝෝෂනයකට සහභාගි වීම පිණිස ඒ 9 මාවත දිගේ යාපනය බලා යමින් සිටි දහසක පමණ ජනකායකගේ ගමන නතර කළහ. ඒ ව්‍යජ හේතු මත දිගින් දිගින් දිගටම බාධා පනවමිනි.

එවැනි ක්‍රියාවක් ශ්‍රී ලංකාවේ අසන්නට ලැබුණේ පළමු වතාවට ය. එමගින් පෙන්නුම් කරන ලද්දේ මහජන ව්‍යාපාරයන්ට ඇති බිය පමණක් නොව එවැනි උද්ඝෝෂනයන් මර්දනය කිරීමට ලැජ්ජාබයක් නැති කමය. අරුමය නම් මේ සියල්ල සිදු වන්නේ යුද්දය පැවැති සමයේ දී ජනඝෝෂා සහ පාගමන් යනාදියට මූලිකත්වය දෙමින් විදී දේශපාලනයක් කළ මහින්ද රාජපක්ෂ යටතේ වීමය.

පළමුවෙන් මා සොයා ආ පීඩකයින් දෙවනුව ඔබ සොයා එනු ඇතැයි හැත්තැ වසරකට ලියූ මාටින් නිලමෝර් සැබැ කරමින් ඒ 9 මාර්ගයේ ක්‍රියාවට දැමුණු මර්දන ප්‍රවණතාවයේ ඊළග පියවර ඉන් සතියකට පසු කොළඹ දී ගැනුනි. ඒ ජන මාධ්‍ය මර්දනයට එරෙහිව සංවිධානය කරන ලද කලූ ජනවාරි විරෝධතාවය කොළඹ දීම අමු අමුවේ මැඩලීමට ක්‍රියා කිරීම විසිනි. සාමකාමී පුරවැසි විරෝධතාවයකට රාජපක්ෂ පාලනය පෙන් වූ බිය සහ ක්‍රෝධය ඇදහිය නොහැකි තරම් දරුණු විය. රාජපක්ෂ පාලනය කලූ ජනවාරි විරෝධතාවයට එරෙහිව නීතියත් මැර බලයත් සිය අතවැසි ජනමාධ්‍යත් අඩු නැතිව යොදා ගත්තේ ය.

කිසිදාක නැති පරිදි මාධ්‍ය නිදහස සඳහා වූ උද්ඝෝෂනයක් නතර කිරීම පිණිස මෙම අවස්ථාවේ දී අධිකරණ නියෝගයක් ගැනීමට කොටුව පොලීසිය ක්‍රියා කළේ ය. ගැත්තන් කිහිප දෙනෙකු යොදා ගනිමින් රාජ්‍ය අතවැසි ජනමාධ්‍ය මෙම උද්ඝෝෂනයට විරුද්ධව දැවැන්ත ප්‍රචාරයක් දියත් කළේ ද ඒ අතරය. උද්ඝෝෂනයේ පෙරමුණේ සිටි ක්‍රියාධරයින් බිය ගැන්වීම පිණිස එල්ටීටීඊ බිල්ලා කැඳවන ලද්දේ ද රාජ්‍ය මාධ්‍ය හරහා ය. අවසානයේ දී පොලීසිය මහා ජනයාගේ කතා කිරීමේ අයිතිය කොන්දේසි ගණනාවකට යටත් කරමින් අධිකරණය තීන්දුවක් ලබා ගත්තේ ය. ඒත් සමගම සවස තුනට මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සිය උද්ඝෝෂණය පවත්වීමට නියමිත වූ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සවස දෙකට රාජපාක්ෂික මැර පිරිස් ද ඇතුළත් කණ්ඩායමක් විසින් අල්ලා ගන්නා ලදී. එම රාජ පාක්ෂික විරෝධතාකරුවන්ගේ ඝෝෂාව හමූයේ කලූ ජනවාරි විරෝධතාවයට වාරණ පැනවූ බල පුලූවන්කාර කොටුව පොලීසිය ඉටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බකන් නිලා සිටියහ. අධිකරණ නියෝග කුණු කූඩයට යැවුණි.

මෙම කලූ ජනවාරි විරෝධතාවයේ පෙරමුණෙහි සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විසි වසරක ඉතිහාසයෙහි කිසි දිනෙක මෙවැනි බාධා කිරීමක් එයට ඇති වී නැත. රාජපක්ෂවරුන් විසින් සාමය සහ නිදහස පිහිටුවා ඇතැයි කියන අද මෙන් නොව මීට වඩා අර්බූද කාලයන්හිදීවත් එය විසින් මෙවැනි උද්ඝෝෂන බොහෝ පවත්වා තිබේ. එම උද්ඝෝෂනයන්ට එකළ සිටි මහින්ද රාජපක්ෂ ද ආවේ ය. එනමුත් මෙවැනි දුෂ්ඨ මර්දනයක් ඒ කිසිම අවස්ථාවක දී එල්ල වූයේ නැත. පුදුම නමුත් ඇත්ත එය ය.

රාජ්‍ය බලය යොදවා සාමකාමී මහජන ක්‍රියාවන් මැඩලීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව යොමුවෙමින් සිටින්නේ තර්කානුකූලව එවැනි අවශ්‍යතාවයක් කිසිසේත්ම තිබිය නොහැකි තත්ත්වයක් යටතේ ය. පළමුවැනිව යුද්ධය අවසන් වී තෙවසරකට ආසන්න ය. පසුගිය තෙවසර තුළ කිසිදු සන්නද්ධ දේශපාලන ක්‍රියාවක් හෝ එවැනි සංවිධානයක් හෝ ඇති වී නැති අතර රටෙහි කළබලකාරී තත්ත්වයක් නැත. දෙවනුව යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් විමසා බලනු පිණිස ජනාධිපති රාජපක්ෂ විසින්ම පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම මෙවැනි මර්දනයන්ට ඉඩ නොතැබිය යුතු බව වෙනත් වචනයෙන් නමුත් ඉතා පැහැදිළිව නිර්දේශ කර තිබීම යි.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් වු අවස්ථාවෙහි ශ්‍රී ලංකාවේ පවත්නා පුද්ගලයින්ගේ පාලනය වෙනුවට නීතියේ පාලනය පිහිටුවන ලෙස එහි එන නිර්දේශය ආකර්ශනීය පුවත්පත් කතුවැකි මැයක් බවට එක් රැයින් පත් විය.

කොමිසම විසින් මෙරට දේශපාලනය ප්‍රජාතන්ත්‍රීයකරණය පිණිස යෝජනා කරන ලද නිර්දේශ බොහෝ දෙනෙකු විසින් වර්ණනා කරන ලද්දේ එය විසින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලා ප්‍රගතියක් ඇති කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. පොලිස් කොමිසම ස්වාධීන කරන ලෙස එය විසින් කරන ලද නිර්දේශය ද එවැනිම ආකර්ශනයක් දිනා ගත්තේ ය. උතුරු නැගෙණහිර මිලිටරිකරණය නතර කළ යුතු බවට ද කොමිසම නිර්දේශ කළේ ය.

තවත් වැදගත් නිර්දේශයක් වුයේ ජනමාධ්‍ය නිදහසට එල් වී ඇති බාධා ඉවත් කරන ලෙසත් ජනමාධ්‍යවේදින්ට සහ ආයතනයන්ට එල්ල කරන ලද විවිධාකාර ප්‍රහාරයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයන් කරන ලෙසත්ය. එවැනි පරීක්ෂනයක් ඉල්ලා විදී බට මාධ්‍ය නිදහසේ බලවේගයනට රාජපක්ෂ ආණ්ඩුව එළව එළවා පහර ගැසුවේ ය.

ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ පිලිලයක් බවට පත් වී ඇති බලහත්කාර අතුරුදහන් කිරීම් ද එම නිර්දේශයන්ට හසු වී තිබුනි. අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීම පිණිස විශේෂ කොමසාරිස්වරයකු පත් කළ යුතු බවත් එය නිර්දේශ කළේ ය. එසේ නමුත් පැහැර ගැනීම් සහ අතුරුදහන්විම් කෙළවරක් නැත.

මෙවැනි වැදගත් නිර්දේශ එම වාර්තාවේ පිරී තිබේ. එම වාර්තාව නිකුත් කරන ලද නොවැම්බර් 19දා සිට මෙදා තෙක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසිම් ගැන විමසා බලන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත්තේ වත්මන් රාජ්‍ය පාලකයින් එම වාර්තාව පයිසයකටවත් මායිම් නොකරන බවයි. ඒ අතර කැපී පෙනෙන සිදුවීම් ගණනාවක්ම වන අතර ඉහත සදහන් කළ රාජ්‍ය බලහත්කාරය යොදා මහජන උද්ඝෝෂනයන් වැලැක්වීම ප්‍රමුඛ ය. (පසුගිය ලිපියෙහි ඒ 9 මාවතේ සිදු වූ මර්දනය සාකච්ජා කර ඇත)

පසුගිය වසර ගණනාව පුරා මෙරට ජනමාධ්‍ය අත්විදින්නේ රාජ්‍යයේ වාරණයේ, මර්දනයේ පීඩනයට පමණක් නොව රාජ පාක්ෂිකයින් විසින් මිලදී ගැනීමේ ද අනතුරටය. එය ත්‍රිත්ව ප්‍රහාරයකි. මෙම ප්‍රහාරයන් එක පෙළට තබා බලන්නේ නම් මාධ්‍ය මර්දනයේ මාසය ජනවාරිය බව පෙනි යයි. මාධ්‍ය මර්දනයේ කළු ජනවාරිය යන්න නිර්මාණය වන්නේ ඒ අනුව ය. මෙම වසරේ ජනවාරි මාසයෙහි රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකාවේ ජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමාගමයේ නිදහසට හෙළන ලද කුලූ ගෙඩි පහර විසින් කලූ ජනවාරිය තවත් කලූ කළේ ය.

මේ තාක් කල් රාජ්‍ය නීති නැමැති දඩුඅඩුවේ නොගසන ලද අන්තර් ජාලය මත නීති පැනවීම මෙම ජනවාරියේ දී සිදු විය. එමගින් වෙබ් අඩවි 30ක් තහනම් කරන ලදී. යාපනය බලා ගිය උද්ඝෝෂනකරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය (දිගින් දිගටම පණවන ලද බාධා මගින්) පැහැර ගැනීමත් කලූ ජනවාරි විරෝධතාවයට පැණවූ තහංචිත් කලූ ජනවාරියේ මාධ්‍ය මර්දන ලැයිස්තුවට එක් වෙයි. එපමණක් නොව රාජ්‍ය ජනමාධ්‍ය යොදා ගනිමින් දිගින් දිගටම ජනමාධ්‍ය නිදහසේ ක්‍රියාධරයිනට එරෙහිව ගෙන යන අභූත සහ නින්දිත ප්‍රහාර වැළ ද එක්වන්නේ කලූ ජනවාරි මර්දන ලැයිස්තුවට ය. රාජ පාක්ෂික ජාවාරම්කරුවකු විසින් ලීඩර් පුවත් පත් ආයතනය මිලදී ගැනීම වාර්තා වන්නේ ද මේ ජනවාරියේදී ම ය. දෙමළ බසින් වාර ප්‍රකාශණ ගණනාවක් පවත්වා ගෙන යන ‘විලිදු‘ නම් මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය කඩා ඊට ඇතුළු වී එහි තොරතුරු ලිපි ගොනු පරීක්ෂා කරන ලද්දේ ජනවාරි 24 දින ය. මෙම කාර්යාලය පැවැතියේ තානාපති කාර්යාල හතරකට සමීපව රූපවාහිනී සංස්ථාවට මීටර 50ක් දුරිනි. රාජ්‍ය ආරක්ෂාව නැතිව එවැනි ක්‍රියාවක් කරන්නට සමත් මැර පිරිසක් සිටිනු ඇත් ද?

යුද සමයේ දී සිදුවූ අතුරුදහන් කිරීම සොයා බැලීමට විශේෂ කොමසාරිස්වරයකු පත් කරන ලෙස උගත් පාඩම් කොමිසම නිර්දේශ කර තිබිය දීම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයකු වූ සත්‍යසීලන් පාක්යරාජ් පසුගිය ජනවාරි 22දා ත්‍රිකුණාමලයේ දී පැහැර ගැනුනි. ජනවාරි 01දා සිට 4දා දක්වා සෑම දිනයකදීම අයෙක් බැගින් පැහැර ගෙන මරා දමන ලදී. ජනවාරි 07 දින ඇමැති මර්වින් සිල්වාට සම්බන්ද ඩොනල්ඩ් නම් අයෙක් පැහැර ගැනුනි. පැහැර ගෙන ගොස් මරා දමන ලද ඇඹිලපිටියේ පාසැල් දරුවන් 23 දෙනා වෙනුවෙන් ගොඩ නගන ලද ස්මාරකය රාජපක්ෂ ආණ්ඩුව විසින් නගර අලංකරණය පිණිස විනාශ කරන්නේ ද මේ කලූ ජනවාරියේ දී ය.

පුද්ගල පාලනය වෙනුවට නීතියේ පාලනය පිහිටුවන ලෙස උගත් පාඩම් කොමිසම කියා තිබිය දී රජයේ සිංහල පුවත්පත ජනවාරියේ දී වාර්තාවක් පළ කරමින් කියන්නේ ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ දැනටමත් පාතාලයෙන් අඩකට වඩා විනාශ කර හමාර බවය. එසේ නමුත් එම විනාශ කිරීම සඳහා ගැනුනු කිසිදු නීතිමය පියවරක් දැන ගන්නට නැත.

උගත් පාඩම් කොමිසම විසින් ස්වාධීන කොමිසමක් යටතට ගෙන ඒමට යෝජනා කළ පොලීසිය කවරදාකවත් නැතිව ජනමාධ්‍ය උද්ඝෝෂණය තහනම් කරන්නට අධිකරණයට යයි. අනතුරුව රාජපාක්ෂික මැර උද්ඝෝෂනකරුවන්ට රිසි සේ නටන්නට ඉඩ දෙයි. භාරත ලක්ෂ්මන් ඝාතනයේ දි නම කියැවුනු පොලිස් අධිකාරිවරයෙකුට උසස් වීමක් ලැඛෙන්නේ ද ජනවාරියේ දී ය.

උගත් පාඩම් කොමිසම, තොරතුරු නිදහසේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා සිටියේ ය. එනමුත් ලක්ෂ ගණන් උසස් ළෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බල පෑ ඉසෙඩ් ස්කෝර් අවුල පිළිබඳ පරීක්ෂන වාර්තාව තවමත් ජනාපතිවරයාගේ පෙට්ටගමේ ය. එය ප්‍රකාශයට පත් කරන ලෙස කරනු ලබන ඉල්ලීම් හුදු බීරි අලින්ට වීනා වැයීමක් බවට පත්ව තිබේ.

මේ ලැයිස්තුව තව දිගය. එනම් උගත් පාඩම් කොමිසමේ වාර්තාව මහපොළවට ළඟා වීමට පෙරම පුලූස්සා දැමිමේ වාර්තා ලැයිස්තුව යි. රජයෙන්ම පත් කරන ලද නමුත් ඒවායේ නිර්දේශ ඉටු නොකිරීමෙන් තබන ලද වාර්තා සම්බන්දයෙන් ශ්‍රී ලංකාව වාර්තා ගත ය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්ට හිමිවන තැන ප්‍රායෝගික වශයෙන් මේ තාක් ඉක්මනින් පෙන්වා ලීම ගැන අප රාජපක්ෂ පාලනයට ස්තුතිවන්ත විය යුතු ය.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]