සිංහල, Colombo, Education, Features, Life quips

සොරි….මෙහෙම රටකනේ අපි ජීවත්වෙන්නේ..

soba
පසුගිය සෙනසුරාදා(06) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති සොබා නම් පරිසර වැඩසටහනට සමගාමීව පැවත්වන ලද ඡායාරූප තරඟයේ සහතික පත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙමාපියන් සහ දරුවන් මහත් අපහසුතාවයකට ලක් වූ බව ‛විකල්ප’ වෙබ් අඩවියට වාර්තාවේ.

මෙම පරිසර වැඩසහන සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුඑ මැති ඇමතිවරුන් කිහිපදෙනකුම සහභාගී විය. ජාතික මට්ටමේ කුසලතා සහතික අග්‍රාමාත්‍යතුමා අතින් ලබා ගැනීම සදහා උදෑසන 8.30ට විහාරමහාදේවි උද්‍යානයට පැමිණෙන්නැයි සදහන් කරන ලද ලිපියක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම දරුවන් වෙත යවා ඇත.

කෙසේ නමුත් මෙම වැඩසටහන ආරම්භ වූයේ පෙ.ව. 10.00ටත් පසුවය. උත්සවය අතරතුර ප්‍රමුඛ ස්ථාන ලබාගත් දරුවන්ට සහතිකපත් ලබා දෙනු ලැබීය. වැඩසටහන ආරම්භ වී පැය කහිපයක් ගත වූ නමුත් කුසලතා සහ ඇගයීම් සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි ආරාධනා කරන ලද ළමුන් කිසිවෙකුටත් උත්සවය අවසාන වනතෙක් සහතික ලැබුණේ නැත. කෙසේ වෙතත් උත්සවය අවසාන වුයේ මොණරාගල, මාතලේ, යාපනය වැනි ප්‍රදේශවලින් පැමිණි දරුවන්ට සහතික නොලැබීමත් සමඟය.

ඇයි අපිට එන්න කිව්වේ..? එක් දෙමාපියෙක් අදාළ නිළධාරියෙකුගෙන් ඇසීය.
නෑ සහතික දෙනවා…පිළිතුරක් ලැබිණි.
උත්සවය ඉවරයිනේ..?
නෑ..නෑ.. දෙනවා.
මට ඇමතිතුමා හම්බවෙන්න දෙන්න
බෑ..බෑ…නිළධාරියෙක් පැවසීය.
නෑ..නෑ.. මෙතන පොඩි වැරුද්දක් වෙලා තියනවා. ඒකට සමාවෙන්න..?අදාළ නිළධාරියා පැවසීය.

‛‛මේ වගේ අසාධාරණ වැඩ කරන්න එපා. මේ මිනිස්සු මහන්සිවෙලා ඇවිල්ලා තියෙන්නේ නිකන් ඉන්න බැරුවට නෙමේ. ඔයාලට වැරුද්දක් කරලා සමාව ගන්න ලේසියි. නමුත් මතක තියාගන්න, මේ දරුවන් නිදි මරාගෙන, ටයි ගැටගහගෙන අවේ නිකන් නෙමේ. උන්ට හීනයක් තිබ්බා අගමැතිතුමා අතින් මෙි සහතික ගන්න ඒකයි. ඒක නැතිකරපු ඔහෙලාට කොච්චර සොරි කිව්වත් මේ ළමයිගේ පුංචි හිත් හදන්න බෑ.’’එක් දෙමාපියෙක් වේදනාවෙන් පැවසීය.

ඉන්පසු සියලු දෙමාපියන් එකවර මේ ක්‍රියාකලාපයට විරෝධය දක්වන්නට විය. තත්වය ඉතා උණුසුම් තත්වයක් ගත්තේය.
නිළධාරීන් සහතික දෙන්න තීරණය කළේය. නමුත් උත්සවය අවසාන වී ඇති නිසා, කිසිවෙක් වේදිකාවේවත්, පුටුවලවත් නැත. අදාල සියලු දෙනාට වේදිකාවට එන්න කීවේය. හිස් පුටු ඉදිරියෙන් තබාගෙන කුඩා දරුවන්ගේ බිඳුනු හිත් සනසන්නට සිතා අදාළ නිළධාරීන් විසින් සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සහායක යෙදුනු පෙනෙන්නට විය.
‛‛මෙහෙම රටකනේ අපි ජීවත්වෙන්නේ..’’එක් දෙමාපියෙක් වේදනාවෙන් කියනු ඇසිනි.