නොකියාම රෑ පුරා ඝන සැරේටම
අම්මේ,
අදත් හිම වැටී තිබුණා
හීතලෙන් හීතල ඇවිත්
ජිනීවා විලත් ගිල ගත්තා.
මා ඉන්නේ ජිනීවා යැයි
කී දවසක
ඔය දහස්විල් රටනේද හිච්චි,
ඇසූ සැටි මතකයට ආවා.
මොන්ට් බොලාන්ක් පාලම දිගේ
හිම සුළං මුහුණට වැදුණා
කම්මුල් ගල් ගැසුනා
ලුනු රසය අරං එන
මුහුදු හුළගේ සනීපය මැවුනා
අත්මෙස් නැති ඇඟිළි ගල් ගැසුණා
පාවහන් වසාගෙන හිම ඇවිත් දෙපා හිරි වැටුනා.
පා මේස් හරි පයට තෝරා දුන් අක්කා
මල්ලියේ එන්නේ කවදාද? කියා
ලඟදී දවසක
අම්මා වගේම ඇහුවා.
ඇයිදැයි නොදැන හනිහනිකෙටම ඇවිදින
මිනිස් රූ කා අතර විල් තෙරේ දිගේ
මං තනිවෙලා හිටියා.
සිනහවෙන, නම දොඩන මිනිසුන් අතර
පොඩ්ඩි අතින්ගෙන
ගාලු පාරේ ඇවිද යනු පෙණුනා.
හිම මිදී අයිස් වී
පාර මත දිලිසෙමින් තිබුනා
නොසිතාම නොදැනම එකවරම
අම්මේ කියවුණා.
ඇත්තමයි අම්මේ,
හීනියට අම්මා කියනවා ඇහුණා
හිච්වි පුතා, බලාගෙන අඩිය තියන්න
මේ වැටෙන වෙලාවක් නෙමෙයි
මට එතකොට
ඉස්කෝලෙ ඇරී
හැමදාම අම්මා ගෙනා
සත දහයක නාරම් බික් මතක් වුනා.
ඒ නාරම් බික් අරගෙනම
බොන්සුවා කියාගන
මම ප්‍රංශ පන්තියේ වාඩි වුනා.
සු.දේ
ජිනීවා
07.02.2012