Photo by –jds.org
හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ මාව සත පහකටවත් ගණන් ගන්නේ නැතුව ගහක වහලා හිටපු කුරුල්ලෙක්ට බිරුවා. බල්ලාගේ බලවත් අසන්තෝෂයට හේතුව මොකක්ද කියලා කල්පනා කර කර ඉන්න කොට, මෙන්න ඌ මට පස්ස හරවලා වාඩි වුණා. බලු අසන්තෝෂයට හේතුව කෑම වෙන්න ඇති කියලා හිතලා මම ඌට කෑම ටිකක් ගෙනත් දුන්නා. ඒ වුණාට ඌගේ ලොකුකමට ඌ කෑම පිඟාන දිහා බැලුවෙවත් නෑ. බල්ලාගෙ කේන්තිය සාධාරණයිනෙ. කෑම ගෙනල්ලා දුන්නට වතුර ගෙනත් දුන්නෙ නැහැනෙ. ඔන්න ඉතින් මම වතුර භාජනේකුත් උගෙ ලඟින් තිබ්බා. ඒ වුණාට මූ ඇහැක්වත් ඇරලා බැලුවෙ නැහැ. තවදුරටත් බලු ලොකුකං ඉවසන්න බැරි හින්දා මම ආපහු ගෙවල් පැත්තට හැරුනෙ ටී.වී යන නිදහස් උත්සවේ බලනවා කියලා හිතාගෙන.
‛අද නිවාඩුද?’ මෙච්චර වෙලා මූණ පුම්බගෙන හිටපු බල්ලා මා එක්ක කතා කරන්න ගත්තා.
‛ඔව් අද නිදහස් දිනේ හින්දා නිවාඩු හම්බ වුණා.’ මම කිව්වා.
‛දැන් නිදහස හම්බ වෙලා කොච්චර දවස් වෙනවද?’ ලංකාවේ දේශපාලනේ ගැන මගෙ දැනුම මනින්න වගේ බල්ලා ඇහුවා.
‛දැන් අවුරුද් 64 ක් වෙනවා.’ මමත් බල්ලා ඉස්සර ඇඹරෙන්නෙ නැතිව අත දිග ඇරලා උත්තර දුන්නා.
‛හැබැයි ආණ්ඩුව නම් කියන්නෙ සැබෑ නිදහස හම්බ වුණේ තිස් අවුරුද්දක යුද්ධෙ ඉවර කළාට පස්සෙ කියලා නේද?’ බල්ලා ඇහුවා.
බල්ලගෙයි මගෙයි සාකච්ඡාව ටිකක් ගැඹුරු එකක් වෙන්න යනවා කියලා මට තේරුණා. වෙනදට ගෑණු ළමයි ගැන, සත්තු ගැන, ගමේ ඕප දූුප වගේ දේවල් කතා කරන බල්ලා අද ටිකක් සීරියස් වෙලා කියලා මට වැටහුණා. බල්ලා එක්ක දේශපාලනේ කතා කරන්න ගියොත් ටී.වී එකේ යන නිදහස් උත්සවේ බලන්න වෙන්නෙ නැති හින්දා මම හිමින් සැරේ එතනින් මාරු වෙන්න හැදුවා.
‛මොකද හදිස්සි?’ ඒ ගමන බල්ලා ඇහුවා.
‛ටී.වී එකේ නිදහස් උත්සවේ යනවනෙ. ඒක බලන්න කියලා හැදුවෙ.’ මම කිව්වා.
‛ඕක ඉතින් හැමදාම බලන එකනෙ. නිදහස් උත්සවේ කියලා වෙන්නෙ මොකක්ද කියලා ඔයා දන්නවාද? ආණ්ඩුවේ බලය පෙන්නන්න ගෝල් ෆේස් එකේ නටන නාඩගමකට නිදහස් උත්සවයක් කියලා කියන්න පුළුවන්ද?’
‛මේ පාර තියෙන්නෙ ගෝල් ෆේස් එකේ නෙමෙයි. අනුරාධපුරේ.’ බල්ලාගේ දේශපාලන දැනුමේ මද බව ගැන මට පොඩි දුකකුත් හිතුනා. මොකා වුණත් අපේ ගෙදර බල්ලනෙ.
‛කොහේ තිබ්බත් වෙන්නෙ එකම දේනෙ. කොහේ හරි පාරක් ඉස්සරහ මඩුවක් අටවගන්නවා. ජනාධිපතිතුමයි, එයාගෙ ගෙදර කට්ටියයි, ඇමතිලා ටිකයි, එයාලගෙ ගෙදර කට්ටියයි ඒ මඩුවෙ වාඩි වෙනවා. කෑම්ප් වල හංගලා තිබ්බ තුවක්කුයි, වාහනයි, ගුවන් යානා ටිකයි, පෙන්න පෙන්න හමුදාවෙ පාර දිගේ යනවා. මෙහෙම යන ගමන් අර මඩුවෙ වාඩි වෙලා ඉන්න අයට වඳිනවා. මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද කියලා ඔයා දන්නවද?’ බල්ලා ඇහුවා.
ඌ හොම්බ දික් කරගෙන මා දිහා බලා හිටියා. හරියට ඌ අහපු ප්රශ්නෙට උත්තර නොදුන්නොත් මාව කයි කියලා හිතෙන තරමට ඌ සීරියස් වෙලා.
‛ඒකෙන් අදහස් වෙන්නෙ නිදහස.’ මම කිව්වා.
‛බම්බුව.’ එහෙම කියපු බල්ලා උගුර පාදලා වාඩි වුණා.
‛මට නම් ඕවා බලනකොට හිතෙන්නෙ, තමන්ගෙ ආයුධ බලේ බලා ඉන්න අයට පෙන්නලා, ඒ අයව බය කරන්න හදනවා කියලා. හමුදාවෙ කොල්ලො මූණෙ දැලි ගාගෙන, චණ්ඩියො වගෙ මුහුණ හදාගෙන, ජීවිතේට දැකලා නැති ආයුධත් අරගෙන පෙළපාලි යන්නෙ අපිව බය කරන්න නැත්නම් වෙන මොකටද? එයාලට විරුද්ධ වෙලා නිකං අමාරුවෙ වැටෙන්න එපා කියලා මූණට කියන්න බැරි හින්දා ඒක වෙන විදිහකට කියනවා කියලා ඔයාට නිකමටවත් හිතුනෙ නැද්ද? ’
‛ඒ ආයුධ ගත්ත අය ජනාධිපතිතුමයි, එයාගෙ ගෙදර අයයි ඉස්සරහදී වඳින්නෙ මොකද කියලා දන්නවද? ඒ කියන්නෙ එයාලා ගාව කොච්චර ආයුධ තිබ්බත් ජනාධිපතිතුමාට බයයි කියන එකනෙ. දැන් හිතන්න ඔයාට කවුරුහරි චණ්ඩියෙක් ගහන්න එනවා. මිනිහා මිනීමරුවෙක් කියලා ප්රසිද්ධ කෙනෙක්. හැබැයි එකපාරටම තව චණ්ඩියෙක් එනවා. අළුත් චණ්ඩියව දැකලා පරණ චණ්ඩියා දුවනවා. දැන් වැඩිපුර දරුණු කවුද? අළුත් චණ්ඩියද? පරණ චණ්ඩියද? ඒ වගේ තමයි හමුදාචවට කොච්චර ආයුධ තිබුණත් එයාලට වැඩිය ජනාධිපතිතුමයි, පවුලෙ අයයි දරුණුයි කියලනෙ මේ නොකියා කියන්නෙ. ඉතින් මේක චණ්ඩින්ගෙ උත්සවයක් මිසක් නිදහස් උත්සවයක් කියන්නෙ කොහොමද?’
‛මේ උත්සවේ අවුරුද්දකට සැරයක් කොහොම හරි තියන්නෙ මොකද දන්නවද? මිනිස්සුන්ව බය කරන්න තියෙන හොඳම සහ පහසුම විදිහ මේක හින්දා. ඉස්සර ඕක ගෝල් ෆේස් එකේ විතරයිනෙ තිබ්බෙ. ඒ කියන්නෙ කොළඹ අයව විතරයි බය කළේ. දැන් හැම තැනම ගෙනිහින් මුළු ලංකාවම බය කරනවා. ඉතින් සිහි කල්පනාවෙන් නිදහස් උත්සවේ බලන කිසිම කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව වචනයක් වත් කියන්නෙ නැහැ. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ දැන් අපිට නිදහස් උත්සව දෙකක් තියෙනවනෙ. ඒ කියන්නෙ ඉස්සර හිටපු ආණ්ඩු අපිව මේ විදිහට බය කළේ අවුරුද්දකට එක වතාවයිනෙ. මේ ආණ්ඩුව අපිව අවුරුද්දකට දෙවතාවක් බය කරනවා.’
‛අන්තිමට පාලකයො, අපේම කොල්ලන්ට එක එක ආයුධ දීලා, උන්ව අපිට අඳුර ගන්න බැරි විදිහට මූණවල් වල දැලි ගාලා උන් ලවාම අපිව බය කරනවා. අපි බලා ඉන්නවා. ඕක ඉතින් තව අවුරුදු ගාණක් යන කන් ඔහොමම තමයි. ඉතින් අන්තිමට අපි නිදහස සමරනවා කියලා කරන්නෙ, ආයිත් කාටහරි යටත් වෙන එක කියලා ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද?’
දීර්ඝ දේශනය අවසන් කරපු බල්ලා වතුර උගුරු කිහිපයක් බොන්න හැදුවට ඌව බැඳලා තිබුණු දම්වැල ඌට බාධාවක් වුණා. මෙච්චරවෙලා බල්ලාව දම්වැලකින් බැඳලා තිබුණා කියලා මට හිතුනෙ එතකොටයි. මම බල්ලාව දම්වැලෙන් නිදහස් කළා. ඒත් එක්කම ඌගේ මූණට ආපු හිනාවත් එක්ක මෙච්චර වෙලා ඌ අසන්තෝෂයෙන් හිටපු කාරණය පැහැදිලි වුණා. බල්ලා දෙපාරක් උඩ පැනලා මා ගාවට ආවා.
‛ඔයා දන්නවද?, නිදහස තමයි මේ ලෝකෙ තියෙන සුන්දරම වචනය.’ කියලා මට රහසින් කියපු ඌ, පැනලා දිව්වා.