පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස් සත්ත්වෝද්‍යානයන්ට ලබා දී ඇත. 2002 වසර වන විට මෙසේ පින්නවලින් ලබා දී තිබූ අලි – ඇතුන් ගේ ප්‍රමාණය 66 කි. ඒ අතර ඇත්තු හය දෙනෙක් ද වූහ. ඉන් පසු ව 2009 වසරේ දී දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා පින්නවල ඉපදුණු ඇත් පැටවුන් දෙදෙනකු බලහත්කාරයෙන් ලබා ගත්තේ ය. මේ අතරතුර 2006, 2007 හා 2010 වසර වල චීනයට එක් සතෙක්, ජපානයට හා කොරියාවට සතුන් දෙදෙනකු බැගින් ලබා දී තිබේ. 2011 වසරේ දී අලි – ඇතුන් එකොළහක් අලි අනාථාගාරයෙන් ලබා දී තිබේ. ඒ අනුව දැනට අලි අනාථාගාරයෙන් ලබා දී ඇති මුළු අලි – ඇතුන් ප්‍රමාණය 84 කි.
මෙයට අමතර ව දැනට පින්නවල සිටින එකම තරුණ ඇතා වන “සුමන” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ඉල්ලීම සපුරාලීම පිණිස ඔහුට ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සතා ලබාදුන හොත් පින්නවල ඇත් පරපුර බෝ කිරීමට දැනට සිටින එක ම ඇතා අහිමි වී යයි. එය පරිබාහිර සංරක්ෂණ කාර්යයේ දී ප්‍රධාන ගැටලුවක් බව පරිසර සංරක්ෂන භාරයේ සජීව චාමිකර වාර්තාවක් නිකුත් කරමින් පවසයි.
එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ,
ස්ථානීය සංරක්ෂණය හා පරිබාහිර සංරක්ෂණය වශයෙන් පරිසර විද්‍යාවේ දී ජීවී විශේෂ සංරක්ෂණය දෙආකාර වේ. යම් ජීවී විශේෂයක් වෙසෙන ස්වාභාවික වාසස්ථාන ආරක්ෂාකරමින් ඒ විශේෂය අදාළ වාසස්ථානයේ දී ම ආරක්ෂා කිරීම ස්ථානීය සංරක්ෂණය යි. පරිබාහිර සංරක්ෂණයේ දී සිදුවන්නේ යම් ජීවී විශේෂයක් ජීවත් වන වාසස්ථානය තර්ජනයට ලක්වීම හේතුවෙන් එකී ජීවී විශේෂය වඳ වී යන්නේ නම් ඒ විශේෂය වාසස්ථානයෙන් වෙන්කර වෙනත් යෝග්‍ය පරිසර තත්ත්ව යටතේ ගහනය වර්ධනය කිරීම යි. මේ අයුරෙන් ලංකාවේ අලි – ඇතුන් පරිබාහිර සංරක්ෂණය සඳහා භාවිත කරන හොඳ ම ස්ථානය පින්නවල අලි අනාථාගාරය යි.
ආසියා අලියා ඉතාම හොඳින් පරිබාහිර සංරක්ෂණය සඳහා යොමු කරන ලොව හොඳ ම ස්ථානය ලෙස සැලැකෙන්නේ ද පින්නවල අලි අනාථාගාරය යි. පින්නවල, අක්කර 23 ක භූමි භාගයක 1975 පෙබරවාරි 16 වන දින, පී. බී. ජී. කළුගල්ල ඇමැතිවරයා විසින් මෙය ආරම්භ කරන්නේ ස්වාභාවික වාසස්ථානවල දී ආබාධයට ලක්වන අලි – ඇතුන් රැකබලා ගැනීම සහ ලංකාවේ අලි – ඇතුන් බෝ කිරීම අරමුණු කරගෙන ය. එහෙත් අද වන විට ඒ ප්‍රධාන අරමුණුවලින් පරිබාහිර ව දේශපාලඥයනට, ව්‍යාපාරිකයනට, දියවඩන නිලමෙවරුන්ට හා ශ්‍රමණ වේශධාරීන්ට වුවමනා පරිදි අලි – ඇතුන් බෙදා දෙන මධ්‍යස්ථානයක් බවට මේ ස්ථානය පත් ව තිබේ.
එහෙත් පින්නවල අලි අනාථාගාරය මේ වන විට දෙස් විදෙස් සංචාරකයන් ගේ විශාල ආකර්ෂණයකට බඳුන් වූ ස්ථානයකි. එහි සතුන් හොඳින් රැක බලාගැනීම, බෝ කිරීම හා නිදැල්ලේ හැසිරීමට තිබෙන ඉඩකඩ නිසා බොහෝ සංචාරකයෝ මේ ස්ථානයට ඇදී එති. මේ නිසා ම 2011 වසරේ දී සංචාරකයන් 728,434 ක් පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණ තිබේ. ඉන් විදේශීය සංචාරකයන් ගණන 264,452 කි. ඒ අනුව පසුගිය වසරේ දී මින් ලද ආදායම රුපියල් මිලියන 487 ක් පමණ වෙයි.
පින්නවල අලි අනාථාගාරය ලෝකවාසීන් අතර වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ අලි බෝ කිරීම ඉතා හොඳින් සිදු කරන ස්ථානයක් ලෙස ය. මෙහි පළමු අලි උපත සිදු වූයේ 1985 ජුලි 5 වන දා ය. “විජය” හා “කුමාරි” නම් සතුන්ට දාව අලි අනාථාගාරයේ පළමු ව ඉපැදුණු ළදරු ඇතින්න “සුකුමලී” යනුවෙන් නම් කළ අතර, ඉන්පසු ව අද වන විට අලි පැටවුන් 67 ක් පමණ පින්නවල දී උපත ලබා ඇත. විශේෂත්වය වන්නේ ඇත් පැටවුන් දෙදෙනකු ද මෙහි බෝ කිරීමට හැකි වීම ය. මේ ආකාරයට විශාල සතුන් ප්‍රමාණයක් බෝ කිරීමට හැකි වී ඇත්තේ මෙහි සතුන් රැක බලාගැනීම, පෝෂණය කිරීම හොඳ මට්ටමක පැවතීම නිසා ය. එසේ ම සතුන් බෝ කිරීමේ පහසුකම්, තාක්ෂණික දැනුම හා පාරම්පරික දැනුම ඉතා හොඳ මට්ටමකින් මෙහි පශු වෛද්‍යවරුන්ට හා ඇත් ගොව්වන්ට තිබෙන නිසාය.
පින්නවල සිටි අලි – ඇතුන් ගෙන් මෙතෙක් විවිධ හේතු නිසා මිය ගොස් ඇත්තේ වැඩුණු සතුන් හතර දෙනකු පමණි. “විජය” නමින් හැඳින්වූ එක් සතකු මොළයෙහි ගෙඩියක් හේතුවෙන් මිය ගොස් ඇති අතර, තවත් එක් සතකු මේ ආකාරයෙන් ම ස්වාභාවික ව මරණයට පත් ව ඇත. “කණ්ඩුල” නම් ඇතා පින්නවල සිට යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුවේ මංගල හස්තියා වී සිටි අතර, පසු ව නැවත පින්නවලට බාරදීමෙන් අනතුරු ව තවත් සතකු සමඟ සටන් වැද මරණයට පත් විය. පින්නවල අලි අනාථාගාරයේ සිදු වූ ඉතා සෝචනීය අලි මරණය වූයේ “නීලගිරි” ගේ මරණය යි. ඇත් ගොව්වන් හෙණ්ඩුවලින් පහර දීමෙන් මේ සතා මරණයට පත් වූ අතර, ඊට සහභාගි වූ සියලු පුද්ගලයන් අලි අනාථාගාරයේ සේවාවෙන් ඉවත් කර තිබේ.
දැනට මෙහි අලි – ඇත්තු 85 දෙනකු පමණ සිටිති. ඔවුන් අතර ඇතුන් සිටිනුයේ තිදෙනකු පමණි. අඳ ඇතකු වන “රාජා” දැනට මහලු සතෙකි. “සම්පත්” ද පින්නවල සිටින මහලු ඇතෙකි. තරුණ වයසේ පසුවන පින්නවල සිටින එක ම ඇතා “සුමන” ය.
පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස් සත්ත්වෝද්‍යානයන්ට ලබා දී ඇත. 2002 වසර වන විට මෙසේ පින්නවලින් ලබා දී තිබූ අලි – ඇතුන් ගේ ප්‍රමාණය 66 කි. ඒ අතර ඇත්තු හය දෙනෙක් ද වූහ. ඉන් පසු ව 2009 වසරේ දී දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා පින්නවල ඉපදුණු ඇත් පැටවුන් දෙදෙනකු බලහත්කාරයෙන් ලබා ගත්තේ ය. මේ අතරතුර 2006, 2007 හා 2010 වසර වල චීනයට එක් සතෙක්, ජපානයට හා කොරියාවට සතුන් දෙදෙනකු බැගින් ලබා දී තිබේ. 2011 වසරේ දී අලි – ඇතුන් එකොළහක් අලි අනාථාගාරයෙන් ලබා දී තිබේ. ඒ අනුව දැනට අලි අනාථාගාරයෙන් ලබා දී ඇති මුළු අලි – ඇතුන් ප්‍රමාණය 84 කි.
මෙයට අමතර ව දැනට පින්නවල සිටින එකම තරුණ ඇතා වන “සුමන” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ඉල්ලීම සපුරාලීම පිණිස ඔහුට ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සතා ලබාදුන හොත් පින්නවල ඇත් පරපුර බෝ කිරීමට දැනට සිටින එක ම ඇතා අහිමි වී යයි. එය පරිබාහිර සංරක්ෂණ කාර්යයේ දී ප්‍රධාන ගැටලුවකි.
අලි අනාථාගාරයෙන් තවත් අලි – ඇතුන් හය දෙනකු විදෙස් සත්ත්වෝද්‍යානයන්ට ලබාදීමට සූදානමක් ඇත. ඉරාන සත්ත්වෝද්‍යානයට, වයස අවුරුදු හයක් වන “මිහිරි” නම් ගැහැනු සතා හා වයස අවුරුදු හතක් වන “ මහසෙන්” නම් පිරිමි සතා ලබාදීමට සූදානම් වේ. මෙයට අමතර ව චෙක් රාජ්‍යයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයට තවත් සතුන් හතර දෙනකු ලබාදීමට සූදානමක් ද ඇත. ඒ සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා හා ඡායාරූප ශිල්පියකු ඇතුළු ව දස දෙනෙක් 2012.01.25 වන දින ලංකාවට පැමිණ අලි අනාථාගාරයේ ජීවත්වන සෞඛ්‍ය
සම්පන්න අලි – ඇතුන් තේරීමේ කටයුතුවල නිරත වෙමින් සිටිති. මේ අයුරෙන් සිතූ සිතූ පරිදි අලි – ඇතුන් ලබා දීමෙන් අනාගතයේ දී බෝ කිරීමට සිටින සතුන් පින්නවලට අහිමි වී යයි.
සත්ත්වෝද්‍යාන අතර සතුන් හුවමාරු කිරීම සිදු කළ ද අලි අනාථාගාරය, සත්ත්වෝද්‍යානයෙන් පරිබාහිර වෙනමම සංරක්ෂණ මධ්‍යස්ථානයකි. එය පිහිටුවීමේ අරමුණු සත්ත්වෝද්‍යානයක අරමුණුවලට වඩා හාත්පසින් ම වෙනස් ය. එහෙත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ 1982 වසරේ සිට අලි අනාථාගාරය පාලනය වන නිසා, සත්ත්වෝද්‍යානයේ සතුන් හුවමාරු කිරීම සිදු වන ආකාරයට පින්නවලින් අලි – ඇතුන් ලබාදීම කිසිසේත් ම සුදුසු නැත. බලධාරීන් ගේ නොදැනුම්වත්කමට මෙවන් දෑ සිදු කිරීමෙන් සිදු වන්නේ අප රටට අනන්‍ය ජෛව සම්පත් අහිමි වීම පමණකි. මෙවන් කරුණු පෙන්නා දුන් විට බුද්ධිමත් නිලධාරීන් ඒවා තේරුම් ගෙන කටයුතු කළ ද වත්මන් සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ, භාෂ්වර සේනංක ගුණරත්න මහතා තමාගත් තීරණ නිවැරැදි බව තහවුරු කිරීමට කරුණු සොයනවා විනා වැරැදි නිවැරැදි කර ගැනීමට උත්සාහ නොගෙන කටයුතු කරනු පෙනෙයි. තමා දේශපාලඥයන් ගේ අවශ්‍යතාවන් අනුව මේ තීරණවලට එළැඹුණු බව ද අමතක කරයි.
අලි අනාථාගාරයෙන් විවිධ විහාරස්ථාන හා දේවාලවලට ලබාදුන් සතුන් ගේ තත්ත්වය ඉතා සෝචනීය ය. රාමඤ්ඤ නිකායේ මූලස්ථානය ලෙස කොල්ලුපිටිය, පොල්වත්ත විහාරස්ථානය පැවැති සමයේ ලබාදුන් අලි- ඇතුන් සිටියේ ගිරිඋල්ලේ, මහින්ද ගලප්පත්ති නැමැති පුද්ගලයා භාරයේ ය. 1994 වසරේ දී පින්නවලින් මේ විහාරස්ථානය වෙත ලබාදුන් “ගජබා” සහ “සිංහරාජා” (ජීවතුන් අතර සිටිය දී) සිටියේ මොහු භාරයේ ය.“ සිංහරාජා” ගිරිඋල්ලේ දී අකුණු සැර වැදීමෙන් මිය ගියේ දුම්රිය මාර්ගයේ ගැටෙන පරිදි මේ සතා දම්වැලකින් බැඳ තිබුණු නිසා ය. ඒ සතා මිය යෑම වෙනුවට 2002 වසරේ දී රාමඤ්ඤ නිකායේ මූලස්ථානයට “ඇසළ” නම් අලියා අලි අනාථාගාරය විසින් ලබාදෙන ලදි. දැනට රාමඤ්ඤ නිකායේ මූලස්ථානය පිහිටා ඇත්තේ මීරිගම, ශාසනවර්ධන විහාරස්ථානයේ වන අතර “ඇසළ” ද දැනට සිටින්නේ මහින්ද ගලප්පත්ති නැමැත්තා සතු ව ය.
2011 වසරේ දී මේ විහාරස්ථානයට ලබාදුන් “විශ්ව” නම් අලියා දැනට සිටින්නේ ජාඇල, ගුරුගේ නේචර් පාර්ක් නම් පෞද්ගලික සත්ත්වෝද්‍යානයේ ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා භාරයේ ය. නිසි පරිදි අලි – ඇතුන් රැකබලා නොගන්නා පුද්ගලයන්ට හා මෙලෙස නීති විරෝධී ලෙස අලි – ඇතුන් වෙනත් පුද්ගලයන්ට හා පෞද්ගලික සත්ත්වෝද්‍යානයන්ට පවරන විහාරස්ථාන අධිපතීන්ට කිසිදු සොයා බැලීමකින් තොර ව නැවත නැවත අලි – ඇතුන් ලබාදීම සෝචනීය තත්ත්වයකි. මෙයින් පෙනීයන්නේ අලි අනාථාගාරයෙන් අලි – ඇතුන් ලබාදුන් පසු ව කිසිදු පසුවිපරම් ක්‍රියාවලියක් සිදු නො කරන බව ය.
1995 වසරේ දී දෙවුන්දර, ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට ලබාදුන් “අභය” නම් අලි පැටවා 2010 වසරේ දී ඇත් ගොව්වා ගේ හෙණ්ඩු පහරවලට ලක් ව මිය ගියේ ය. එ සේ තිබිය දී 2011 වසරේ නැවත වරක් ඒ දේවාලයට “ළසදා” නම් ඇතින්න තිළිණ කරන ලදි. මේ තත්ත්වය දිගින් දිගට ම සිදුවීමෙන් පෙනී යන්නේ කිසිදු ක්‍රමවේදයකින් තොර ව අලි – අනාථාගාරයේ අලි – ඇතුන් විවිධ ස්ථානවලට ලබාදෙන බව ය. මේ ක්‍රියාවලියේ අභ්‍යන්තරයේ ඇති අනෙක් කරුණ වන්නේ අලි අනාථාගාරයේ නිලධාරීන් තමන් ගේ වුවමනාව හෝ කැමැත්ත අනුව මෙසේ අලි – ඇතුන් ලබාදීම සිදු කරන බව නො වේ. ඒ සඳහා දේශපාලන බලය හා නිල බලය හිමි පුද්ගලයන් ගේ දැඩි බලපෑ හේතුවෙන් නිසි ක්‍රමවේදයකින් තොර ව පින්නවලින් අලි – ඇතුන් ලබා දීමට සිදුවන බව ය.
පොල්හේන්ගොඩ, ඇලන්මැතිනියාරාමයේ අලි බලා ගැනීමට යොදවා ඇත්තේ අලි අනාථාගාරයේ “නීලගිරි” මරා දැමීමට සම්බන්ධ වූ ඇත් ගොව්වෙකි. එසේ තිබිය දී 2011 වසරේ දී අලි අනාථාගාරයෙන් “සාමා” නම් ඇතින්න ඇලන්මැතිනියාරාමයට පිරිනැමුණේ ය. ඇලන්මැතිනියාරාමයේ සිටින වනාන්තරයෙන් හොරෙන් අල්ලාගත් අලි පැටවකු සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇති අතර, ඒ සතා දැනට බලාගන්නේ අලි අනාථාගාරයෙන් ඉවත් කළ පෙර සඳහන් කළ ඇත් ගොව්වා ය. මේ තත්ත්වයන් විශ්ලේෂණය කර බැලූ විට ඉතා ම නිවැරැදි ව ප්‍රත්‍යක්ෂ වන්නේ දේශපාලඥයන් ගේ බලපෑම් අනුව රිසි සේ අලි අනාථාගාරයේ අලි – ඇතුන් ලබාදෙන බව ය.
නිසි ක්‍රමවේදයකට අනුව, පසුවිපරම් ක්‍රියාවලියකට යටත් ව අලි – ඇතුන් ලබාදීම සිදු වන්නේ නම් මෙවන් දෑ සිදු විය නොහැකි ය. එසේ තිබිය දී මේ සතුන් ගේ නිදහස් අයිතිය වෙනුවෙන් හා පැවැත්ම වෙනුවෙන් පරිසරවේදීන් හා සංවිධාන මඟින් කරුණු ඉදිරිපත් කරනු ලැබූ විට එක්තරා පිරිසක් උන්මත්කයන් ලෙස හැසිරෙමින් කියා සිටින්නේ මෙය බෞද්ධ විරෝධීන් ගේ ක්‍රියාකාරීත්වයක් බව ය. අප වගකීමෙන් යුතු ව එසේ පවසන පුද්ගලයන් ගෙන් අසා සිටින්නේ බෞද්ධ ඉගැන්වීමට පටහැනි ව කටයුතු කරන්නේ අලි – ඇතුනට නිදහසේ ජීවත් වීමට අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටින පරිසර ක්‍රියාධරයන් ද නැත හොත් ඒ සතුන් ගේ නිදහස් ජීවන අයිතිය අහිමි කරන හීලෑ අලි – ඇත් හිමිකරුවන් ද යන්න ය.
සමහරු චෝදනා නගන්නේ පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා අනාදිමත් කාලයක සිට අලි – ඇතුන් යොදා ගෙන තිබෙන නිසා එය තවදුරටත් පවත්වා ගෙන යෑම අවශ්‍ය බවත්, බෞද්ධ විරෝධී පරිසරවේදීන් ඊට එරෙහි ව කටයුතු කරන බවත් ය. අප ඉතා වගකීමෙන් යුතු ව සඳහන් කරන්නේ පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා පමණක් අලි – ඇතුන් යොදා ගැනීමට කිසිදු පරිසරවේදියකු ගේ විරෝධයක් නොමැති බව ය.
පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි – ඇතුන් ගේ හිඟයක් පවතින්නේ නම් ඒ සඳහා ඉතා හොඳ පිළියමක් බ්‍රිගේඩියර් එච්. ඒ. එන්. ටී. පෙරේරා මහතා සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා ව සිටි අවධියේ දී ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තේ ය. එවකට විෂයභාර අමාත්‍යවරයා ව කටයුතු කළේ ඒ.එච්.එම්. ෆවුසි මහතා ය. ඒ ක්‍රියාමාර්ගය වූයේ පින්නවල, අලි අනාථාගාරයේ සිටින අලි – ඇතුන් අතුරෙන් තෝරාගත් කණ්ඩායමක් පෙරහර ඇතුළු ව සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට පුරුදු පුහුණු කර ඒ සඳහා ලබාදීම ය. ඒ අනුව පුහුණු කිරීම් කටයුතු සිදු කැරෙමින් පවතිද්දී හීලෑ අලි – ඇත් හිමිකරුවන් ගේ දැඩි බලපෑම් නිසා විෂයභාර අමාත්‍යවරයා විසින් මේ ක්‍රියාවලිය වහා ම නතර කර දමන ලදි. ඊට හේතු වූයේ හීලෑ අලි – ඇත් හිමිකරුවන්ට පෙරහර සඳහා අලි – ඇතුන් ලබා දීමෙන් ලැබෙන ආදායම අහිමි වේ ය යන සැකය ය. මෙවන් තත්ත්වයන් ගෙන් ඉතා හොඳින් පැහැදිලි වන්නේ හීලෑ අලි – ඇත් හිමිකරුවන්ට අවශ්‍ය වන්නේ පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතුවලට අලි ලබාදීම නො ව මුදල් ඉපැයීම පමණක් බව ය. එහෙත් ඔවුන් ව්‍යාජ ලෙස හුවා දක්වන්නේ පෙරහර වැනි සංස්කෘතික කටයුතු සඳහා අලි – ඇතුන් අවශ්‍ය වන බව පමණකි.
හීලෑ අලි – ඇත් හිමිකරුවන් ගේ ව්‍යාජත්වය සනාථ කිරීමට තවත් ඉතා වැදගත් කරුණක් මෙසේ ය. එනම් පසුගිය කාලයේ අලි අනාථාගාරයේ අලි – ඇතුන් 67 දෙනකු බෝ කිරීම සිදු කළ ද හීලෑ අලි – ඇත් හිමිකරුවන් මෙතෙක් බෝ කර ඇත්තේ අලි පැටවුන් තිදෙනකු පමණක් වීමයි. කෑගල්ලේ නැසීගිය සෑම් සමරසිංහ මහතා එක් අලි පැටවකු බෝ කර ඇත. පළමු වරට අලි පැටවකු බෝ කිරීම සිදු කළේ ද ඒ මහතා ය. “සෑම් පැටියා” ලෙස හඳුන්වන ඒ සතා සෑම් සමරසිංහ මහතා ගේ පුතා වන සංජිත් සමරසිංහ මහතා විසින් මතුගම ජගත් යන අයට භාර කරනු ලැබ ඇත. දැනට ඒ සතා බලාගන්නේ 2000 වසරේ ගංගාරාම විහාරස්ථානයේ සිටි “අතුල” නම් ඇතා මරා දැමූ “කොළඹයා” නමින් හඳුන්වන ඇත්ගොව්වා වීම කනගාටුවට කරුණකි.
මීට අමතර ව අනෙක් අලි පැටවුන් දෙදෙන බෝ කළේ කොට්ටාවේ නැසීගිය ජේ. පී. අයි. පියදාස මහතා ය. බෝ කළ පළමු සතා “ජයතු” නිවැරැදි ව රැකබලා නො ගැනීම නිසා ගෙල සිරවීමෙන් මරණයට පත් විය. ඔහු විසින් බෝ කැරුණු “බණ්ඩාර” නම් අනෙක් අලියා ඔහු ගේ පුතා වන කමල් කිත්සිරි භාරයේ තව ම ජීවත් වේ.
අප අතරින් සමුගත් සෑම් සමරසිංහ හා ජේ. පී. අයි. පියදාස යන අලි – ඇත් හිමිකරුවන්ට අමතර ව අනෙක් කිසිදු අලි – ඇත් හිමිකරුවකු අලි බෝ කිරීමට අකැමැති වන්නේ කරුණු දෙකක් ප්‍රධාන කර ගෙන ය. ගැබ්ගත් ගැහැනු සතෙක් මාස 22 ක ගැබ් කාලයක් ගත කර පැටවා බිහි කරන අතර, ඉන් පසු පැටවා කිරි දී පෝෂණය කිරීම සිදු කරයි. (පැටවකු වසර තුනක් පමණ වත් මව් සතාගේ කිරි වලින් පෝෂණය කළ යුතු ය.) ඒ අනුව ගැබ්ගත් මවු සතකු වසර පහක් පමණ කාලයක් වැඩ ගැනීමකින් තොර ව පෝෂණය කිරීමට හා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදු වේ. ඒ සඳහා විශාල මුදලක් ආදායමකින් තොර ව වැය වන නිසා අලි – ඇත් හිමිකරුවන් සතුන් බෝ කිරීමට කැමැති නැත. අනෙක් කරුණ නම් පිරිමි සතුන් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා යොදාගත් විට මද කිපෙන කාලයට අඛණ්ඩ ව ප්‍රජනන ක්‍රියාවලියට යෙදවීමට සිදුවන අතර, එසේ නොමැති වුව හොත් ඒ සතුන් පාලනය කිරීම අපහසු වන නිසා ය. මේ තත්ත්වය හේතු කොට හීලෑ අලි – ඇත් හිමිකරුවෝ අලි – ඇතුන් බෝ කිරීමේ ක්‍රියාවලියට අකැමැති ය. ඔවුන් සෑම විට ම උත්සාහ දරන්නේ වනාන්තරයෙන් හෝ පින්නවලින් හෝ අලි – ඇතුන් ලබා ගැනීමට ය. මින් පැහැදිලි වන්නේ අලි – ඇතුන් අවශ්‍ය ව ඇත්තේ මුදල් ඉපැයීමට මිස පෙරහර වැනි සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට නොවන බව ය.
බොහෝ හීලෑ අලි – ඇත් හිමිකරුවෝ ඒ සතුන් විවිධ කාර්යයන්හි හිංසාකාරී ලෙස යොදවති. රත්නපුර, කෑගල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල හීලෑ අලි – ඇත් හිමිකරුවන් සතු අලි – ඇතුන් රක්ෂිත වනාන්තරයන්හි සිදු කරන හොර දැව ජාවාරම් සඳහා යොදා ගනිති. රක්ෂිතයන් ගෙන් කපා ගන්නා දැව ප්‍රවාහනය සඳහා මේ සතුන් යොදා ගැනේ.
සංචාරකයන් පිට මත තබා ගෙන යෑම සඳහා හබරන, සීගිරිය ප්‍රදේශයන්හි හෝටල්වලට අලි – ඇතුන් ලබාදීම හීලෑ අලි – ඇත් හිමිකරුවන් ගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඇස් අඳ සතුන් හා මහලු සතුන් ද සංචාරකයන් පිට මත තබාගෙන යෑමට යොදා ගනිති. මේ සතුන් දහවල් කාලයේ දැඩි සූර්යය තාපය සහිත පරිසරයේ, මහා මාර්ග ඔස්සේ නිසි පරිදි ජලය හා ආහාර නො ලබා සංචාරකයන් පිට මත ගෙන යමින් තම හාම්පුතුන් පොහොසත් කරති.
පන්නිපිටිය, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ සිටින අලින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව සඳහා යොදා ගැනේ. ප්‍රභූවරුන් ගේ හා ධනවත් ව්‍යාපාරිකයන් ගේ මංගල උත්සවයන්හි දී මනාල මනාලියන් මේ සතුන් ගේ පිට මත රැගෙන යෑම සඳහා ලබා දීමෙන් ඒ විහාරස්ථානය මුදල් උපයයි. එහෙත් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් පවසන්නේ තමන් සතු අලි – ඇතුන් ආදරයෙන් රැක බලා ගන්නා බවත්, ඒ සතුන්ට කිසිදු හිංසාවක් පීඩාවක් නො කරන බවත් ය. එය වචනයට සීමාවූවක් මිස ප්‍රායෝගික යථාර්ථයක් නො වන බව අපි ඉතා වගකීමෙන් යුතු ව ලියා තබමු.
මේ සියලු තත්ත්වයන් හමුවේ පරිසරවේදීන් වන අපි වනාන්තරවල වෙසෙන අලි – ඇතුන් ගේ හා හීලෑ අලි – ඇත් පරපුරේ පැවැත්ම වෙනුවෙන් යෝජනා කිහිපයක් බලධාරීන් වෙත හා ප්‍රතිපත්ති තීරකයන් වෙත ඉදිරිපත් කරන්නෙමු.
ඉන් පළමුවැන්න නම් පින්නවල අලි අනාථාගාරයේ අලි – ඇතුන් පෞද්ගලික හිමිකරුවන් වෙත ලබාදීම හා වනාන්තරයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම වහා ම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ය. ඒ අතරතුර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව පින්නවල අලි අනාථාගාරයේ, දෙහිවල සත්ත්වෝද්‍යානයේ, විහාර, දේවාල හා පෞද්ගලික හිමිකරුවන් සතු සියලු ම හීලෑ අලි – ඇතුන් ජාන වාර්තාවක් සමඟ ලියාපදිංචි කිරීම සිදු කළ යුතු ය. මේ සඳහා අලි සොරකමේ යෙදෙන කණ්ඩායම් හා ඔවුන් මෙහෙයවන දියවඩන නිලමේවරු ඇතුළු ප්‍රභූවරුන් යැයි කියාගන්නා පිරිස් අකැමැති වුව ද වග කිය යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ක්‍රියාවලිය වහා ම ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
ජාන වාර්තාවක් සමඟ අලි ලියාපදිංචි කළ යුතු ය යන්න නිවැරැදි ව වටහා නොගත් සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂකතුමන් පසුගිය දා ප්‍රකාශ කර සිටියේ මේ මඟින් රාජ්‍ය නොවන සංවිධාන අලි – ඇතුන් ගේ ජාන සම්පත් මංකොල්ලකෑමකට උත්සාහ දරන බව ය. අප පැහැදිලි ව එතුමන්ට දන්වා සිටින්නේ අලි – ඇතුන් ලියාපදිංචි කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බව ය. කරුණු හරිහැටි නො දැන උන්මන්තකයන් ලෙස හැසිරීම වෙනුවට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් වශයෙන් විවෘත
මනසකින් යුතු ව මහජන අදහස්වලට ඇහුම්කන් දෙන්නේ නම් බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීම පහසු ය.
අපගේ අනෙක් යෝජනාව නම් හීලෑ අලි – ඇත් හිමිකරුවන් භාරයේ සිටින තරුණ අලි – ඇතුන් යොදා ගෙන පින්නවල අලි අනාථාගාරයේ අලි – ඇතුන් බෝ කිරීමේ කාර්යය ඉතා ම විධිමත් ව අඛණ්ඩව සිදු කරන ලෙස ය. ඒ අතරතුර අලි අනාථාගාරයේ සිටින අලි – ඇතුන් පුරුදු පුහුණු කර පෙරහර හා අනෙකුත් සංස්කෘතික කටයුතුවලට පමණක් ක්‍රමවත් ලෙස යොදා ගන්නා ලෙස ය. සැබෑ ලෙසම හීලෑ අලි – ඇත් පරපුර පවත්වා ගෙන යෑම අවශ්‍ය වන්නේ සංස්කෘතික කටයුතු සඳහා පමණක් නම් මේ ක්‍රියාමාර්ගවලට පිවිස සමහර අලි – ඇත් හිමිකරුවන් ගේ කෲර ග්‍රහණයෙන් අපේ හීලෑ අලි – ඇත් පරපුර බේරා ගත යුතුව ඇත. අවසන් වශයෙන් අවධාරණය කරන්නේ අලි – ඇතුන් සංරක්ෂණය යන්න විද්‍යාත්මක පදනමක පිහිටා සිදු කළ යුත්තක් මිස දේශපාලන තීන්දු තීරණ අනුව ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවන බව ය.
සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය